UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නව අරහාදී බුදුගුණ සිතමු

නව අරහාදී බුදුගුණ සිතමු

සියලු ලෝවාසී සත්වයන්ට මහා කරුණාවෙන් මෙතෙක් මේ විශ්වයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තරීතරම මනුෂ්‍ය රත්නය අප සරණ ගිය අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේය. යම් කෙනෙකු ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ ගියහොත් ඒ තැනැත්තාට සතර අපායෙන් ගැලවීමට අවස්ථාවක් තිබේ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යාම යනු ශ්‍රේෂ්ඨතම සරණට පත්වීමය. යම් කෙනෙකු ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයට පත්වීම යනු අග්‍රම ප්‍රසාදයට පත්වීමයි. ඒ අග්‍රම ප්‍රසාදය යම් අයෙකුට ලබාගත හැකි නම් ඔහුට /ඇයට අග්‍රම විපාක ලබාගත හැකි බව අග්ගප්පසාද සූත්‍රයේදී මෙන්ම ‘චුන්දි’ සූත්‍රයේදී දේශනාකොට තිබේ.

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධ වචන වලින් විස්තර කළ නොහැකිය. බෞද්ධ සාහත්‍යකරුවා විග්‍රහ කරන්නේ එක බුදුවරයෙකුගේ ගුණස්කන්ධය තවත් බුදුවරයෙකු කල්පයක් මුළුල්ලේ , එනම් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් දේශනා කළත් අවසන් නොවන බවයි. කෙසේ නමුත් අප බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගුණ නවයකින් හඳුන්වා දී තිබේ. අප නව අරහාදී බුදුගුණ යනුවෙන් හඳුන්වන්නේ ඒවාටයි.

මෙම උතුම් බුදු ගුණ නවය අනිවාර්ය වශයෙන් සියලුම බෞද්ධ පින්වතුන් විසින් දැනගත යුතුමය. ඒ ශාන්ති නායක අම්මෑණි බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ අපට මේ අයුරින් ඉගෙන ගත හැකිය. එය බුද්ධානුස්සති භාවනාව වඩන අයුරින්ම අධ්‍යයනය කිරීම වඩාත් වැදගත්වේ. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වු සේක. කෙලෙස් සතුරන් නැති කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුණූ සේක. රහසින්වත් පව් නොකළ සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා, සියල්ලටම සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි, කයින් පහස ලබා ඒ පහස කෙරෙහි, මනසින් අරමුණු සිතා ඒ අරමුණ කෙරෙහි නොඇලුණු සේක, නොගැටුණු සේක. මුලා නොවුණ සේක. ආශාව දුරුකළ සේක. බුදුරජාණන් වහන්සේ “අරහං” වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක නම් වු ආර්ය සත්‍යය ගුරූපදේශයකින් තොරවම අවබෝධ කොට වදාළ සේක. දුකට හේතුව නම්වූ ආර්ය සත්‍යය ගුරූපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළ සේක. දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යය ගුරූපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළ සේක. දුක නැති කිරීමේ මග නම් වු ආර්ය සත්‍යය ගුරූපදේශ නැතිවම ප්‍රගුණ කොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ “සම්මා සම්බුද්ධ” වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ උදයව්‍යය දර්ශනයෙන් යුත් විදර්ශනා ඥානයද ස්වකීය ඇතුළු ශරීරය නිරුද්ධකොට සිය දහස් ගණන් රූප මවා නොයෙක් ප්‍රතිහාර්ය කරන්නා වු මනෝමය ඍද්ධි ප්‍රාතිහාර්ය ඤාණයන්ද , අහසින් ගමන් කිරීම ජලයෙහි සක්මන් කිරීම,පොළොවෙහි කිමිදී වෙන තැනකින් මතුවීම නොපෙනී ගමන් කිරීම ආදි වූ ඍද්ධිප්‍රාතිහාර්ය ඤාණයද දිව්‍ය වූද මනුෂ්‍ය වූද, දුරස්ථ වූද, සමීපස්ථවූද, සියලු ශබ්දයන් ශ්‍රවණය කිරීමට සමක්‍ර්‍ෂ වූ දිව්‍යශෝත්‍ර ඤාණයද තම සිතින් අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා වූ පරචිත්ත විජනන ඥානයද තමාගේද අන් අයගේද පෙර ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඥානයද සත්වයන් කර්මානුරූපව චුතවෙන හා උපදින ආකාරය දක්නා වූ චුතූපපාත ඥානයද , සියලු දේ දැකීමේ හැකියාව වූ දිබ්බ චක්ඛු ඥානයද ඒ ඒ සත්වයන් තුළ කෙලෙස් සැඟවී ඇති ආකාරය දැකීමේ හැකියාව වූ ආසයානුසය ඥානයද , ඒ ඒ සත්වයන්ට ධර්මාවබෝධය සිදුවන ආකාරය දැකීමේ හැකියාව වූ චේතෝපරිය ඥානයද ඒ ඒ සත්වයන්ගේ සිතක ධර්මාවබෝධයට ඇති වාසනා ගුණය දැකීමේ හැකියාව වූ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයද ,චතුරාර්ය සත්‍යය සොළොස් ආකාරයෙන් පිරිසිඳ දැන සියලු කෙලෙස් ප්‍රහීණ කිරීමට සමත් වූ ආසවක්ඛ්‍යය ඥානයද ලබාගත් සේක. ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලයන් භෝජනයෙහි පමණ දන්නා බව, නිදිවැරීම, ශ්‍රද්ධාව, පාපයට භය ඇති බය, සියලු ශාස්ත්‍රයන් සියලු ධර්මයන් ඇතැඹුල සේ දන්නා වු බහුශ්‍රැත බව,මහත් වීය¸ ඇති බව මහත් සිහි ඇති බව, සියලු ප්‍රශ්න විසඳීමේ හැකියාව ඇත. මහා පඤ්ඤා, පුථ්‍රපඤ්ඤා ,හාසුපඤ්ඤා ,ජවනපඤ්ඤා , නික්ඛපඤ්ඤා , නිබ්බේධික පඤ්ඤා, යන මහා ප්‍රඥා ඇති බව විතක්ක, විචාර, පී‍්‍රති, සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයද විචාර පී‍්‍රති , සැප ඒකාග්ගතා සහිත දුතිය ධ්‍යානයද , පී‍්‍රති, සැප, ඒකග්ගතා සහිත තෘතිය ධ්‍යානයද , සැප, ඒකග්ගතා සහිත චතුර්ථධ්‍යානයද යන පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්විත වූ හෙයින්ද එම ධර්මයන්ට අනුව ජීවිතය ගතකරන හෙයින් “විජ්ජාචරණ සම්පන්න” වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී ධර්ම පූරණය කොට ආය¸මාර්ග ඥානයෙන් සුන්දර වු නිවන් මගට මනාකොට වැඩම කොට වදාළ හෙයින් සුගත වන සේක.

මාගේ ස්වාමීවූ බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයන් තත්වාකාරයෙන් දැනගෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වදාළ හෙයින් “ලෝකවිදූ” වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තුන්ලෝකයෙහි කිසිවෙකුට දමනය කළ නොහැකි අග්ගිසිඛ ,ධූමසිඛ,අපලාල, චූලෝදර ,මහෝදර ආදි ආනුභාව සම්පන්න දිව්‍යනාගයෝද, නාලාගිරි ආදි හස්තීන්ද සච්චක ,අම්බට්ඨ මානවක,සෝතදන්ඩ ,කූටදන්ත, පොක්ඛරසාකි ආදී මිථ්‍යාදෘෂ්ඨික මනුෂ්‍යයෝද,ආලවක, සුචිරෝම, ඛරරෝම ආදි චණ්ඩ පරුෂ යක්ෂයෝද ශක්‍රාදී දෙවියෝද බක බ්‍රහ්මාදී බ්‍රහ්මයෝද මේ දහම් මගෙහි දමනය කොට දහමට කීකරු කරවා අමා මහ නිවන් මගට යොමුකොට වදාළ හෙයින් අනුත්තරෝ “පුරිසදම්මසාරථි” වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ උතුම් ගුරුවරයාණෝ වන සේක. “සත්ථා දේව මනුස්සානං” වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම උතුම් චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දෙවිමිනිසුන්ට ඒ උතුම් ධර්මය අවබෝධ කරවන හෙයින්ද සියල්ල දැන වදාළ හෙයින්ද සියලු දෙය දිවැසින් දුටු හෙයින්ද ගුරූපදේශ නැතිවම දත යුතු සියල්ල අවබෝධ කළ හෙයින්ද “බුද්ධ” වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙතරම් වූ ගුණස්කන්ධයක් දරාගෙන වැඩ සිටි හෙයින් “භගවා” වන සේක. බුදුගුණ අනන්තයි, අප්‍රමාණයි///

මේ ආකාරයට අපට ඒ උතුම් බුදු ගුණ ඉගෙන ගෙන ඒවා මෙනෙහි කරමින් බුද්ධානුස්සති භාවනාව වැඩිය හැකිය.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]