UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මය විනය සුරකින්නා සැබෑ සැනසුම ලබයි

ධර්මය විනය සුරකින්නා සැබෑ සැනසුම ලබයි

කාලය වෙනදාටත් වඩා ඉක්මනින් ගෙවී යන බවක් දක්නට ලැබේ. ඒ කාලයේ ඇති ගැටලුවක් නොවේ. එනමුත් මනුෂ්‍යයා කාර්ය බහුල වීමේ ප්‍රතිඵලයකි. එහි අතුරු ප්‍රතිඵල වන්නේ ඇලීම් සහ ගැටීම්ය. එනම්, රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්වලට බලවත් ලෙස හසුවී පස් පව්, දස අකුසල්වලට නොදැනුවත්වම යොමුවීමය. මෙම අවස්ථාව, බුදුදහමට අනුව විග්‍රහ කරන්නේ නම් සතියෙන් බැහැරව අසතිය ක්‍රියාත්මක වීමයි. මෙහි “සතියෙන් බැහැරව“ යනුවෙන් අදහස් කරන්නේ සතර සතිපට්ඨානයෙන් තොරවම කටයුතු කිරීමයි. එනම්, තම හොඳ, නරක ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයෙන් තොරවෙයි.

බාහිර අරමුණු මුල්කොටගෙන පවත්නා හොඳ නරක සිතිවිලි පිළිබඳ අවබෝධයෙන් තොරවෙයි. තම සිතේ, ඒ ඒ මොහොතෙහි පවත්නා ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් තොරවෙයි. දහම් මඟෙහි කුසල්, අකුසල් මාර්ගය පිළිබඳ නිසි අවබෝධයෙන් තොරවෙයි. මෙහි අවසන් ප්‍රතිඵලය නම්, තමාට පමණක් නොව අන් අයට ද විපත් ගෙනදෙන අඥාන, පුද්ගලයෙක් බවට පත්වීමය.

අප රටෙහි වෙසෙන දහස් ගණනක් සිල්වත්, ගුණවත් භික්‍ෂූන් වහන්සේලා සමගින්, මේ සම්බුදු සසුන රැකිය යුතුය.

වර්තමාන බෞද්ධ ගිහි සමාජයේද වේගවත් වූ පරිහානියක් සිදුවෙමින් පවතින බව පෙනේ. එනමුත් සඳහන් කළ යුතු යමක්ද ඇත. එනම් ලක්ෂ ගණනාවක් ගුණ, නුවණින් පිරි, බාල, තරුණ, වැඩිහිටි පිරිස්ද සිටින බවය. පින්වත් වූ ස්වාමින් වහන්සේලා ද උගත්, සැදැහැති ගිහි බෞද්ධ පිරිස්ද එකතුව, චරිතාදර්ශයෙන් යුතුව, ගිහි බෞද්ධ සමාජයේ ලෞකික දියුණුවට ද ආධ්‍යාත්මික දියුණුවට ද හේතුවන කාලෝචිත වැඩපිළිවෙළවල් ආරම්භ කිරීම සුදුසුය. අපට රටක් වශයෙන් එකටම මෙය කළ නොහැකි නම්, ගමක් වශයෙන් ගෙන හෝ මෙය කිරීම අවශ්‍යය. සෑම ගමකම පාහේ බොහෝ විට බෞද්ධ විහාරස්ථානයක් පවතී. අප පින්වත් ස්වාමින් වහන්සේලා තම විහාරස්ථානය මුල් කොට පවත්වන්නා වූ දහම් පාසල, දායක සමිතිය, සීල භාවනා පිරිස ආදී ලෙසින් එකතු වී සදහම් වැඩපිළිවෙළ සකස් කර ගැනීම සුදුසුය. මිනිසුන්ගේ අඩුපාඩු දෙස උපේක්‍ෂාවෙන් බලමින්, යහපත් වූ විවිධ මාර්ග ඔස්සේ විහාරස්ථානයේ දායකත්වයට සමීප කරගැනීමට උත්සාහ කර ගත හැකිය. බොහෝ බෞද්ධයන් විහාරස්ථානයෙන් මිල මුදල් හෝ බඩු බාහිරාදිය බලාපොරොත්තු වන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන්නේ කරුණාව සහ මෛත්‍රියයි. එනමුත්, අවශ්‍ය පරිදි මෙන්ම, හැකි පරිදි දුප්පත් දායක ඇත්තන්ට හැකියාවක් ඇති දායක පිරිස් මෙහෙයවා උදවු උපකාර කිරීම අගනේය. බෞද්ධ ජනයා ධර්මානුකූලව,ආධ්‍යාත්මික වශයෙන් රැක ගැනීම අගනේය. මේ සඳහා පින්වත් ස්වාමින් වහන්සේලා මෙන්ම සැදැහැති, උගත් දායක පිරිස්ද එකතුවීම අවශ්‍යය. ගමේ සමහර දායක ඇත්තන්ට සමාජය පිළිගත් උගත්කම් නොමැති වුවද, මනා වූ ශ්‍රද්ධාවත්, පරිණත බවත් ඇත්තේය. සමහර තරුණ දරුවන්ද ශ්‍රද්ධාවෙන් යුතුව විහාරස්ථානවල කටයුතුවලට සම්බන්ධව කටයුතු කරනු පෙනෙන්නට තිබේ. විශාල වශයෙන් උගත් තරුණ දරුවන් බුදු දහමේ පිළිවෙත් මාර්ගයට සමීප වී සිටින බව පෙනේ. එනමුත්, මේ සියලු සංවිධාන සහ එකතුවීම් ශ්‍රද්ධාවෙන් යුතුව ධර්ම විනයට මුල් තැනක් දීමෙන්ම ක්‍රියා කිරීම අවශ්‍යය. එසේ නොමැති වුවොත්, වැරැදි ක්‍රියා ඇතිවීම මෙන්ම අසමගිකම්ද ඇතිවිය හැකිය.

මේ රටේ දහස් ගණනක් භික්‍ෂුන් වහන්සේලා විසින් අප රට, ජාතිය සහ දහම වෙනුවෙන් කොපමණ නම් සේවයක් සිදු කරන්නේද? එහෙත්, බොහෝ විටෙක වැරැදි පමණක්, වඩාත් මතුකොට ඇතැම් මාධ්‍යවල දක්වති. සමහරවිට එම වැරැදි සිදුකොට ඇත්තේ චීවරයට මුවාවූ පුද්ගලයෙක් විනා සැබෑ භික්‍ෂූන් වහන්සේ නමක් නොවිය හැකිය. “චීවරදාරියෙක් නම් වූ වචනය ද යොදා, සමස්ත සඟ සසුනටම මහත් නින්දාවක් ලබා දෙයි. කවරෙක් වුවද සිදු කරන වැරැදි සැඟවිය යුතුයයි මින් අදහස් නොකෙරේ. එවැනි දෙයට, නාහිමිවරු විසින් සුදුසු ශාසනික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුමය. එවැනි වැරැදිවලට ශාසනික වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග විනයෙහි දක්වා තිබේ.

බෞද්ධ දරු දැරියන් සහ විශේෂයෙන්ම තරුණ දරුවන්ගේ හැදියාව, සංවරය සහ පැවැත්ම කෙරේද අවධානය විශේෂයෙන් යොමු කළ යුතු කාලය එළඹ තිබේ. අධ්‍යාපනයෙහි විෂය කරුණුවලට පමණක්ම මෙන්ම, විභාග ඉලක්ක කරගෙන දරුවන් ඉගෙනීම නිසා, බොහෝ දරුවන් වෙතින්, කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පරිත්‍යාගය,ඔවුනොවුන්ට උපකාර කර ගැනීම, ගුරු දෙමාපියන්, වැඩිහිටියන්ට ගරුකිරීම් ආදී බොහෝ සාරගුණ වේගයෙන් ගිලිහී යන බවක් පෙනේ. මේවාට, ව්‍යාපාරික අදහස පමණක් ඇති, එනමුත් සාරධර්ම කෙරේ සැලකිල්ලක් නොදක්වන අධ්‍යාපන ආයතන, විද්‍යුත් මාධ්‍ය, සඟරා, අන්තර්ජාලය, ජංගම දුරකථන ආදිය විශාල දායකත්වයක් දක්වන බව පෙනේ. අන්තර්ජාලය උපකාරී කරගෙන බොහෝ යහපත් දෙය ප්‍රයෝජනයට ගත හැකිය. බොහෝ දරුවෝ යහපත් ප්‍රයෝජන ගනිති. එහෙත්, තවත් බොහොමයක් දරුවෝ එමගින් අයහපතට පෙලඹී ජීවිත ද විනාශ කර ගනිති. මේ සඳහා ගුරු, දෙමාපියන්ගේ බලවත් සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය. දිනපතා පාසලෙන් මෙන්ම, අපගේ දහම් පාසල් ඔස්සේද ජීවිතවල ඇති වටිනාකම, දරුවන්ට වඩ වඩාත් මතුකොට දක්වා උගන්වමු. හොඳ, නරක පෙන්වා දී නරකයෙහි ඇති බලවත් වූ පාපී වූ සහ විනාශකාරී ආදීනවය පෙන්වා දෙමු. වර්තමාන දියුණු ලෝකයේ කිසිවක් සැඟවිය නොහැක. එමනිසා, හොඳ නරක පෙන්වා දී හොඳ අනුගමනය කරන්නටත්, නරකින් වළකින්නටත්, දරුවන්ගේ “හදවත්වලටම” කතා කරමු.

ඇඳුම් පැලඳුම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය. විශේෂයෙන්ම සිංහල, බෞද්ධ සංස්කෘතියට අනුව දරුවෙක් කුඩා කල සිටම ‘ලජ්ජා බිය’ ඇතිව හැදිය යුතුය. ඇඳුමෙන් යම් පරිසරයක් ‘නිවිය’ හැකි මෙන්ම නොසන්සුන් කළ හැකිද වන්නේ ය.

විහාරස්ථානයට ගිය විට බුදු මැදුරේදී, දානශාලාවේදී, ධර්ම ශාලාවේදී හෝ ස්වාමින් වහන්සේලා ඉදිරිපිට වාඩිවෙන විට, ඔබ ගිලන් නොවේ නම් හැකිතාක්දුරට (බද්ධ පර්යංකයෙන් හෝ අර්ධ බද්ධ පර්යංකයෙන්) වාඩි වෙන්න. කුඩා කල සිටම එසේ හිඳ ගැනීමට, අපගේ දරුවන් පුරුදු කළ යුතුය. ලෝකයේ බොහෝ බෞද්ධ රටවල ජනයා පෙළට, ශරීර ඍජුව තබාගෙන සන්සුන්ව වන්දනා කරන අයුරු ඔබ ඡායාරූපවලින් හෝ දැක තිබෙන්නට පුළුවන. අනිත්‍ය වූ ලෝකයේ සිතට වහල් නොවී, දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම් ගැන සිතන්නටත් එමගින් දැහැමි ජීවිතයකටත් සමීප වීමටත් බුදු දහම උගන්වන පාඩම්, අපි කුඩා කාලයේ පටන් දන්නවා නොවේද? අප බෞද්ධයන් ලෙස ලෞකික වශයෙන් දියුණු විය යුතුය. එනමුත් දැහැමි ලෙසය. බුදු දහමෙන් ඈත්ව නොවේ. අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු විය යුතුය. පාපී චරිත නොවිය යුතුය. ධර්ම විනයෙන් තොරව සොයන හෝ ලබන කිසිදු යමක් සැබෑ විසඳුම හෝ සැනසුම නම් නොවේ.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]