UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත් තුළ කරුණාව පහළ වේවා

සිත් තුළ කරුණාව පහළ වේවා

ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති සියලුම ශාස්තෘවරයෝ සත්ව හිංසාවට විපක්‍ෂ වූහ. අහිංසා ධර්මයම දේශනා කළහ. “සියලු සත්වයෝම දණ්ඩනයට ත්‍රස්ත වෙති; සියලු සත්වයෝම මරණයට භයවෙති. ඒ සතුන් තමාට උපමා කොට ඔවුන් මැරිමෙනුත් අනුන්ලවා මැරවීමෙනුත් වැළකිය යුතුය” යි බුදුපියාණන් වහන්සේ වදාළසේක. උන් වහන්සේ සතුන් මරන ආයුධ වෙළෙඳාම, සතුන් වෙළෙඳාම, මස් මාංස වෙළෙඳාම හා මත්ද්‍රව්‍ය වර්ග වෙළෙඳාමත් තහනම් කළහ. මනුෂ්‍යයාට පමණක් නොව කුරා කුහුඹුවා දක්වා ඇති සකල සත්වයන්ටම කරුණා මෛත්‍රිය පැතිරවීමට ගෞතම සර්වඥයන් වහන්සේ ඉගැන්වූ සේක. හින්දු ආගමෙහි ද අහිංසාව පරම ධර්මය හැටියට උගන්වයි.

සතෙකු මැරීමට උපදෙස් දෙන්නාත් සතා මරන්නාත් සතා හමගසන්නාත් ඒ සතාගේ මස් විකුණන්නාත් මස් මිලදී ගන්නාත් මස් පිසින්නාත් මස් බෙදන්නාත් ඒ මස් අනුභව කරන්නාත් යන මේ සියල්ලෝම ප්‍රාණ ඝාතකයෝයි හින්දු මනු නීතියෙහි උගන්වා තිබේ. බයිබලයෙහි කලින් සඳහන් වී තිබුණේ ප්‍රාණඝාත නොකරනු යන ආඥාවයි’ පසුව එය සංශෝධනය කොට “මිනී නොමරවයි” යොදාගත්හ. ඉස්ලාම් ආගමේ මොහමද් තුමා ද සත්ව හිංසාවට තදින් විරුද්ධවූ අහිංසා වාදියෙකි. පොළවේ වාසය කරන තිරිසනුන් මෙන්ම අහසේ පියාසර කරන පක්‍ෂීහූ ද මනුෂ්‍යයාගේ සහෝදරයෝයි කුරාණයේ උගන්වා තිබේ.

ගව මහීෂයන් මැරිම මනුෂ්‍ය ලෝකයට ශාපයක් වූ බවත් එයින් මනුෂ්‍යයන්ගේ සමඟිය හා ඉසුරු සැප නැති වූ බවත් කලින් පැවැති රෝග තුන වෙනුවට අට අනූවක් රෝග පහළ වූ බවත් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී වදාළ සේක. අපට පස්ගෝරස ලබාදෙන පරම මිත්‍රයා මැරීමේ අයුත්ත එම සූත්‍ර දේශනාවෙහි මොනවට දක්වන ලද්දේය. ගවයන් මරා ඔවුන්ගේ මස් අනුභව කිරීම නිසා කෙළවරක් නැති මාරක රෝග වැලෙඳන බවද අද දවසේ වෛද්‍ය විශේෂඥයෝ පවා එකහෙලා ප්‍රකාශ කරත්. බුද්ධ දේශනාවේ සත්‍යතාව එයින් ද මොනවට ස්ඵූට වන්නේය. පසුගිය වසර කීපය තුළ මරන ලද ගව, එළුවන්ගේත් සංඛ්‍යාව දසලක්ෂයක් පමණ වේ. සූකර පක්‍ෂි මත්ස්‍යාදීන්ගේ ගණනත් ඊට එක්කළ හොත් කෝටි ගණනකි. ලාංකිකයෝ මාංසානුභව නොකෙරෙත් නම් මෙ සත්ව සමුද්‍රයේ ප්‍රාණ සංරක්‍ෂණ වන්නාහ. මස් කෑම අවශ්‍ය නොවන බව හා එයින් ලැබෙන පෝෂණ ගුණය කිරි එළවළු, පළතුරු ආදියෙන් අඩු නැතුව ලබාගන්ට පුළුවන් බවත් වර්තමාන ආහාර විශේෂඥයෝ ඒකමතිකව ප්‍රකාශ කරත්. එසේ නම් දරුණු සත්ව හිංසාවකටත් සත්ව ඝාතනයකටත් හේතුව මාංස භක්‍ෂණයෙන් වැළකී සිටින්නට බැරි මක්නිසාද? මස්ම අනුභව කරන අපි‍්‍රකානු වාසීන් ආදීකොට ඇති මනුෂ්‍ය ජාතීන් බල හීනවූ ද ඉතා කුඩා වූ ද ඉතා බයගුලුවූ ද මන්දායුෂ්කයන් බව සර් විලියම් ලොරන්ස් තුමා කියයි. “මනුෂ්‍යයෝ යම්තාක් කල් කොටින් මෙන් සතුන්ගේ මස් ආහාරකොට ගනිත්ද? ඒ තාක්ම කොටින්ගේ ගතිගුණත් ඔවුන් තුළ විද්‍යාමාන වන්නාහ. ලේ මස් ආහාරය මිනිසුන් අත්හැර දමන තෙක් ලෝක සාමයක් ඇති කළ නොහැක. ලෝකයා ගලවාගැනීමට ඇති එකම මාර්ගය මත්ස්‍ය මාංසයෙන් තොරව එළවළු අනුභව කිරීමයි. වෛද්‍යාචාර්ය ඇනා කිංග්ස්පෝඩ් මැතිනිය ප්‍රකාශ කළාය. “මාංස භක්‍ෂණය මිනිසුන් තුළ තිරිසන් ගති උත්සන්න කරවන බවට සැක නැත. බොහෝවිට මනුෂ්‍යයා ඒ කරණ කොටගෙන තිරිසන් සතකු බවටම පරිවර්තනය කරනු ලබයි” යන මේ වචන වෛද්‍යාචාර්ය පෝබ්ස් විනිස්ලෝ තුමන්ගේ ය.

මස් කන සිංහ, ව්‍යාඝ්‍ර, කොටි, වලස්, සිවල්, ගිජුලිහිණි, උකුසු සර්පාදී සතුන් හා තෘණ, එළවළු, ධාන්‍යාදිය අනුභව කරන හස්ති, අශ්ව, ගව, මහීෂ, එළු, බැටලු, රිළා, වඳුරු, ගිරා, පරවි ආදී සතුන් අතර ඇත්තාවූ මහත් වෙනස සලකන විට යථෝක්ත කියමනේ සත්‍යතාවය ප්‍රත්‍යක්‍ෂ වේ. මස් කන සත්තු හිත් පිත් නැති ආත්මාර්ථකාමී අපරාධකාරයෝය. මස් නොකන සත්තු අනුකම්පාභරිත කෘතඥ සමාදානකාමී උදාරගති ඇත්තෝ ය. නිරපරාදීහුය.

මස් කන සතා මස් නොකන සතාට වඩා ශක්ති සම්පන්න යැයි සිතීම මුලාවකි. මස් නොකා පළතුරු අනුභව කරන ගෝරිල්ලා හා ඒෆ් වර්ගයට අයත් මහා වානරයාත් සිංහයාට වඩා ශක්ති සම්පන්නය. ඔහු එකම පොලු පහරින් සිංහයා අභිබවනය කොට මිහිතලයෙහි බෑවීමෙහි සමර්ථයහ. වරක් දඩයමේ ගිය යුරෝපීයෙකුට ගොරිල්ලෙකු මුනගැහුණේ ය. නිර්භිත ගෝරිල්ලා දුට කෙණෙහි බියෙන් තැතිගත් දඩයක්කාරයා අත තිබූ තුවක්කුවත් බිම වැටුනි. ගෝරිල්ලා වහා එය අතට ගෙන දෙකඩ කඩා බිම දමා යන්නට ගියේය. ඌට මේ ශක්තිය ලැබුනේ මස් කෑමෙන් ද? පසුගිය කාලයෙහි මස් මාංස නොදී එළවළු කිරි ආදියදී පෝෂණය කරනු ලැබූ වලසෙකු කීකරු අහිංසක සතෙක් වූ බව පුවත් මගින් පළවුණි.

තවද දන්ත රෝග, උන්මාදරෝග, ජවරරෝග, අජීර්ණ රෝග, පිළිකා රෝග, පක්‍ෂාගාතය ආදී වාත රෝග, දියවැඩියා රෝග, ක්‍ෂය රෝග, ඇපැන්ඩිසයිටීස්, අතීසාරය යනාදී භයානක රෝග මස් කෑමෙන් වැළදෙන බව අපරදිග මහා වෛද්‍යවරු එකහෙලා ප්‍රකාශ කරත්. ආගම ධර්මයට විපක්‍ෂ වූද සෞඛ්‍යයට සම්බාධක වූ ද අප්‍රමාණ සත්ව සංඛ්‍යාවකගේ ජීවිත විනාශයට හේතුවූද, මනුෂ්‍යයාගේ චරිතය දූෂණය කොට ඔහු මත්පැනට හා අපරාධයට යොමුකරවන්නා වූද මස් මාංසයෙන් වැළකී ඊට වඩා පවිත්‍ර, ඊට වඩා පෝෂණ ගුණයෙන් සපිරි එළවළු, කිරි, ගිතෙල්, ධාන්‍යය, පළතුරු, අල බතල ආදිය අනුබව කිරීමෙන් සකල සත්වයන් කෙරෙහි අවංකව මෙත් වැඩීමටත් මේ උතුම් වෛශාඛ මංගල දිනයෙහි අධිෂ්ඨාන කර ගැනීම බෞද්ධයන්ගේ යුතුකමකි.

සියලු බුදුවරු දේශනාකර ඇත්තේ “සබ්බේ තසන්ති දණ්ඩස්ස” සියලු සත්වයන් දඬුවමට බිය බවත් ජීවත්වීමට කැමති බවත්ය. එනිසා මේ උතුම්කාල පරිච්ඡේදය තුළ ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනයා තුළ කරුණාව පහළ වේවා!

 

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]