UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නූතන බෞද්ධ විචාර

නූතන බෞද්ධ විචාර හා මතාන්තර යන්නෙන් අදහස් කරන්නේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව හෙවත් ආදි බුදු දහමත් එයට එක්කාසු කරන ලද තවත් බොහෝ පිළිගත් බෞද්ධ මතවාදත් එක්ක ශ්‍රී ලංකාවේ ඇතිවෙලා තිබෙන යම් යම් අදහස් පිළිබඳව සාකච්ඡා කිරීම මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ.

සමහර කෙනෙක් බෞද්ධ කාරණා පිළිබඳව ප්‍රස්තුතයන් පිළිබඳව දාර්ශනික ප්‍රපංචයන් පිළිබඳව හිතලු ප්‍රකාශ කිරීමත්, ඒ වගේම තම තමන්ට දැනෙන දේ බුදුපියාණන් වහන්සේගේ හැඟීම හැටියට ප්‍රකාශ කිරීමත් වැරැදියි. එතැනදී සමහර කෙනෙක් නොදන්නා නිසා යම් යම් අදහස් පළකරනවා වෙන්නට බැරිකමක් නැහැ. සමහර කෙනකු ඉතාමත් වැරැදි ආකාරයට අසද්පුරුෂ චේතනාවෙන් බුද්ධ ධර්මය විකෘති කිරීම සඳහා අදහස් පළකරන එක ඉතාමත් භයානක කාරණාවක් ලෙස හැඳින්විය හැකිය. ලංකාවේ මේ වන විට වැඩියෙන්ම අලෙවි වන්නේ බෞද්ධ නමින් පළවන යම් යම් ප්‍රකාශයි. එනිසාම වඩාත් හොඳීන් සැළකිලිමත් විය යුතු වෙනවා, මේ බෞද්ධ නමින් එන ප්‍රකාශයන් කොපමණ ප්‍රමාණයක් බුදුදහමට හානියක් කරනවද? නැතහොත් ආලෝකයක් දෙනවද?, කියන කාරණාව. මේ වන විට උදාහරණ ගණනාවක් පහළවෙලා තිබෙනවා. බුදුපියාණන් වහන්සේගේ දේශනා විග්‍රහකරමින්ද බෞද්ධ අර්ථ සම්ප්‍රදායන් යැයි දක්වමින් ද අන්තරා භවයන් පිළිබඳව ග්‍රන්ථ රචනා කරන විශාල පිරිසක් ඉන්නවා. එම අන්තරාභවයන් සහ මනෝකාය පිළිබඳව ලෝකයේ බොහෝ බුද්ධිමතුන්, උගතුන් බොහෝ පර්යේෂකයන් කරුණු සඳහන් කරල තිබෙනවා. බුදුපියාණන් වහන්සේ ඒ පිළිබඳව දැක්වූ අදහස් අපවත් වී වදාළ අතිගෞරවාර්හ හේන්පිටගෙදර ඤාණසීහ ස්වාමින් වහන්සේ වැනි දැන උගත් විශිෂ්ට ඤාණ සම්භාරයක් තිබුණ ස්වාමීන් වහන්සේලා විසින් ප්‍රකාශ කරනු ලැබ ග්‍රන්ථ වශයෙන්ද පලකරනු ලැබද තිබෙනවා . ඒ වුනත් ඇතැම් කෙනකු මේ අතරවාරයේදී තමන්ගේ හිතලු අදහස් සහ යම් යම් බටහිර අදහස් සහ වෙනත් කර්තෘවරු විසින් රචනා කරන ලද කෘති ඉදිරිපත් කරමින් තම අදහස් බෞද්ධ මත හැටියට ඉදිරිපත් කරනු ලබනවා. එය සැළකිය යුතු කාරණාවක්.

දෙවන කාරණාව තමයි ඉතිහාසය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම. ඓතිහාසික තොරතුරක් ඉදිරිපත් කිරීමේදී ඓතිහාසික තොරතුරු සාධනය කිරීම සඳහා පුරාවිද්‍යාත්මක ක්‍රමවේදයක් තිබෙනවා. එය පිළිගත්ත ක්‍රමවේදයක්. බටහිර ක්‍රමවේද හා ශ්‍රී ලාංකික ඓතිහාසික ක්‍රමවේද, පෙරදිග ක්‍රමවේද, සම්භාව්‍ය පිළිගැනීම් ඒ අනුව යම්කිසි ඓතිහාසික කරුණක්, ඓතිහාසික ස්ථානයක් ඓතිහාසික සිදුවීමක්, මත යම් ආකාරයකට හිතලුවක් නිර්මාණය කළ හැකිය. සමහර වේලාවට නිර්මාණයකින් වේවා, ග්‍රන්ථයකින් වේවා, ටෙලිනාට්‍යයකින් වේවා, චිත්‍රපටයකින් වේවා, වෙනත් ආකාරයකින් වේවා නිර්මාණ අතරින් සමහර වෙලාවට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට හෝ පුනර්නිර්මාණය කිරීමට උත්සාහ දරන අවස්ථා තිබෙනවා. ඉතාම සද්භාවයෙන් කෙරෙන මෙම ඇතැම් නිර්මාණ වලිනුත් කෙරෙන එම සද්භාවය එලෙසම ඉතිරි වෙද්දි සමහර විට තොරතුරු වැරැදී යන්නට ඉඩ තිබෙනවා. මෙහිදී භාවය සද්වුණත්, වෑයම සද්වුණත්, කාරණාව සමහර විට අප අපේක්‍ෂිත ඉලක්ක දෙයට නොව අනපේක්‍ෂිත ඉලක්කයක් දෙසට ගමන් කරනවා වෙන්නට ඉඩකඩ තිබෙනවා. යම් යම් ඓතිහාසික තොරතුරු, යම් යම් ඓතිහාසික සිදුවීම්, පිළිබඳව තමන්ගේ අදහස් නිර්ලජ්ජීව ඇතැම් විට කිසිදු පර්යේෂණාත්මක සාධකයකින් තොරව අදහස් පළකරමින් මතවාද නිර්මාණය කරමින් නිකාය නිර්මාණය කරමින් කල්ලි කණ්ඩායම් නිර්මාණය කරමින් වෙනම සම්ප්‍රදායක් ඇතිකරන්නට වෑයම් කිරීම. එතනදී වැදගත් වන්නේ මෙම කාරණා පිළිබඳව ශාස්ත්‍රීය සංවාදයක් කිරීමත් ඒ ශාස්ත්‍රීය සංවාදය පසෙකලා මේ පිළිබඳව ඝනනායක වරුන් වෙමින් එම ඝනනායක සම්ප්‍රදායේ තවත් එක්තරා නායකත්වය පූර්ණ වූ කල්ලියක් කණ්ඩායමක් නිර්මාණය කිරීම. එය එතරම් වැදගත් නොවෙන්නේ ශාස්ත්‍රීය කාරණාවක කල්ලිවාදයක් තිබිය නොහැකි අතර බුද්ධි කණ්ඩායමක් තිබිය හැකියි. බුදුපියාණන් වහන්සේ ගේ ජීවිත කතාව උදාහරණයක් ලෙස ගත හැකිය. උන්වහන්සේගේ උප්පත්තිය, උන්වහන්සේගේ හැසිරීම, උන්වහන්සේ බුදුවුණ,වැඩසිටි ස්ථාන, මේ කාරණාව පිළිබඳව නූතන ශ්‍රී ලංකාවේ අදහස් පළවෙලා තිබෙනවා. ලංකාවෙ බුදුපියාණන් වහන්සේ උපන්නාය. උපන් ස්ථාන මේ මේ ස්ථාන යැයි යම් කෙනකුට අදහස් පළකරන්න හැකියාව තිබෙනවා. එම අදහස ප්‍රජාතන්ත්‍රවාද යට අනුවත් ඉදිරිපත් කළ හැකියි. සමහර වෙලාවට ඓතිහාසික තොරතුරු පිළිබඳව ඕනෑම කෙනකුට මතයක් ඉදිරිපත් කළ හැකියි. ඒ මතය මත කල්ලියක් නිර්මාණය කිරීම, කණ්ඩායමක් සෑදීම, තවත් කණ්ඩායමකට එරෙහිව ධනය රැස් කිරීම, තවත් කණ්ඩායමක් සමග යුද්ධ ප්‍රකාශ කිරීම, ඇදහිලි විශේෂයක් බවට පත්කර ගැනීම ඒ තරම්ම ශාස්ත්‍රීය නැහැ. බුදුපියාණන් වහන්සේ වැඩ සිටි දිවාගුහාව විය යුත්තේ ඓතිහාසික වාදයක් ,ශාස්ත්‍රීය සංවාදයක් මිසක් කල්ලියක් නිර්මාණය කිරීමට හෝ කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට නොවේ.

ඒ වගේම ලංකාවට පැමිණි යම් යම් අන්‍ය ආගම් පිළිබඳව කිසියම් මතයක් නිර්මාණය කිරීම උදෙසා කිසියම් දැවැන්ත නිර්මාණයක් ඉදිරිපත් කරමින් දැවැන්ත බිතු සිතුවම් නිර්මාණය කරමින් අලුතෙන් ඉතිහාසයක් හදල කල්ලියක් කණ්ඩායමක් හෝ ආගමක් නිර්මාණය කර ගැනීම හෝ ආගමක් නිර්මාණය කරගැනීම හෝ ආගමක් උදෙසා මෙකී තොරතුරු සාධනය කරගැනීමට අත්වැලක් සපයා ගැනීම වැනි මාතෘකා ශාස්ත්‍රීය නැහැ. ඓතිහාසික තොරතුරක් ඇතුළත් වනුයේ ඉතිහාස අධ්‍යයනයකට හෙවත් පුරාවිද්‍යා ගවේෂණයකට. එහිදී අසවල් ස්ථානයකදී අසවලා පැමිණියාය යනු, එදා සිට අපේ බලය පැවතුණාය කියා කියන එකම නොවේ. එනිසා ආගමික බලයක්, කල්ලිවාදයක්, කණ්ඩායම් වාදයක් බොහෝ දෙනා ගණනින් වැඩි වීම,, සඳහා සාක්‍ෂි සපයා ගැනීමක් කියල කියන කරුණු ශාස්ත්‍රීය කාරණයක් භාවිත කිරීම අවශ්‍ය කාරණාවක් නොවේ. එය තවත් එක නිකාය නිර්මාණය කිරීමක් කල්ලි කණ්ඩායමක් නිර්මාණය කිරීමක්.

උත්තරි මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම ඊළඟ කාරණාවයි. උත්තරි මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම, අර්හත් පදවිය ලබාගැනීම, බුදුපදවිය ලබාගැනීම, පසේබුදු පදවිය ලබාගැනීම යන ප්‍රකාශ නිසා ඔවුනොවුන් අතර ශාස්ත්‍රීය නොවන සංවාද ඇතිකර ගැනීම

යම්කිසි කෙනකුට යම්කිසි පොත් සමූහයක් පිළිබඳව දැනුම් තියෙන්නට පුළුවන්. ඒ දැනුම දැනුමක් හැටියට ඕනෑම කෙනකුට ලඝු කරන්න පුළුවන් වීම, වෙනම කාරණාවක්. කල්ලියක් කණ්ඩායමක් නිර්මාණය කිරීම යුද්ධ ප්‍රකාශ කිරීම, ඒත් සමගම අනෙක් කණ්ඩායම හෙළා පෙළා දැකීම වැනි දේවල් ශාස්ත්‍රිය නැහැ.

රටක් අනන්‍යවූ ලක්‍ෂණයන්ගෙන් ඓතිහාසිකව පැවත ගෙන ඒම සහ එකී පැවතගෙන ඒම නිසාම පමණක් ඇතිවුණ සංස්කෘතිය සෝදාපාලුවට ලක්වෙන ආකාරයේ සංස්කෘතික ඝාතනයන් කිරීම ඉතාම භයානකයි. ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය තිස්දෙකක භූමි භාගයේ තිබෙන්නේ මුහුදින් වටවුණු අනන්‍ය වූ සංස්කෘතික සම්ප්‍රදායකි. ඒක කිසිදු ජාතියකට හෝ කිසිදු වර්ගයකට හෝ සිංහල බෞද්ධයාට හෝ හිසරදයට කාරණාවක් නොවේ. එම සම්ප්‍රදාය තුළ මිනිසුන්ට යම් යම් ආකාරයේ හිතට සහනය දෙන දේවල් සම්ප්‍රදාය සහන ලබාගැනීම් , පිළිගැනීම් විශ්වාස වැනි දේවල් තිබිය හැකි වුවත් එය හානිකර නැහැ. එතනදී දැවැන්ත ලෙස තමන් රඳාසිටින්නා වූ ස්ථානගතව සිටින්නා වූ මේ සංස්කෘතික සම්ප්‍රදායට දයා විරහිතව පහර දීම අගය කළ යුත්තක් නොවේ. මළගෙයකදී හෝ මළගෙයක් ඉවර වූවාට පසු මළගිය ඥාතිවරයාට ආහාර තැබීම උදාහරණයක් ලෙස ගත හැකියි. මළගිය ඥාතිවරයාට ආහාර තැබීම මහා හානිකර සංස්කෘතියක් නොවේ. සමහර විට එය ප්‍රයෝජනවත් නැතිවා වෙන්නට පුළුවන්. ප්‍රයෝජනයක් නැතිවා වුවත්, එය කලක් තිස්සේ පවත්වාගෙන එන සම්ප්‍රදායක්. එය කලක් තිස්සේ පවත්වාගෙන ආ සම්ප්‍රදායෙන් හානියක් නැහැ නම් එය සංස්කෘතියක් ලෙස පවත්වාගෙන යාමේ කිසිදු වරදක් නැහැ. එය දාර්ශනික කාරණාවක් ලෙස එන්නේ නැතිව ඒ සඳහා මහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් මේ අවිහිංසක සම්ප්‍රදායකට, අවිහිංසක සංස්කෘතියකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් තමන්ගේ මමත්වය ප්‍රකාශ කරවා ගැනීම ශාස්ත්‍රීය කාරණාවක් නොවේ.

සජ්ඣායනා වැනි සංස්කෘතික කාරණා හිතලු ආකාරයට ,හිතුවක්කාර ආකාරයට වෙනස් කරගනිමින් මේ සංස්කෘතිය වෙනස් කිරීමට දරන වෑයම ශාස්ත්‍රීය කාරණාවක් නොවෙයි. ධර්ම කාරණා අතර එකිනෙක අතර ඇතිවන්නා වූ මතවාද මතාන්තර සාකච්ඡාවට භාජනය කළ යුතුයි. යම් කෙනකු බුදුපියාණන් වහන්සේගේ දේශනා පිළිබඳව වැරැදි නිර්වචන ඉදිරිපත් කරමින් කටයුතු කරනවා නම් ඒක වෙනම සාකච්ඡා කළ යුතුයි.

සංස්කෘතිය විකාශය, සංස්කෘතිය විනාශයට, සංස්කෘතිය ඝාතනය කිරීම උදෙසා කටයුතු කරනවා නම් ඒ පිළිබඳවත් සළකා බැලිය යුතුයි.

ඊළඟට මෙම සම්ප්‍රදායේ අලුතෙන් බිහිවී තිබෙන්නා වූ කාරණාවක් තමයි නිවන, සෝවාන් ඵලය වගේ කාරණා පිළිබඳව තම තමන්ට හිතෙන ආකාරයට විග්‍රහ, විවරණ සැපයීම ඇතැම් ජනමාධ්‍ය, ඇතැම් ගුවන් විදුලි මාර්ගයන්ගෙන් සෝවාන් වීම, බුදුපියාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය, බුදුපියාණන් වහන්සේගේ ඓතිහාසිකත්වය කියන කාරණා මහා දයා විරහිත ලෙස හෙළා තළා දකිමින් තමන්ට වුවමනා අදහස් ප්‍රකාශ කරන්නවුන් අද ඉන්නවා. ඕනෑම ගිහියකුට නිවන් දැකීමට හැකියාවක් තියෙනවා. ඕනෑම කෙනකුට සෝවාන් වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. එකී මූලික අවශ්‍යතා හා මූලික සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසුව. නමුත් එය පහත් පෙළේ සම්ප්‍රදායකට පහරදීමෙන් ලබන පහත් ආසාව, පහත් තෘප්තිය ලබාගැනීම උදෙසා කරන සටනක් ලෙස නොවෙයි. එය දේශනාවක් ලෙස හෝ එසේත් නැතහොත් තමා ලද අත්දැකීම ප්‍රකාශ කිරීමට පුළුවන් තමා ලද අත්දැකීම ප්‍රකාශ කිරීමත්, එකී අත්දැකීම ප්‍රකාශ කරමින් සම්ප්‍රදායට දැවැන්ත ලෙස ප්‍රහාර එල්ල කරමින් තමන්ගේ මමත්වය තමා විසින් ප්‍රකාශ කරවා ගැනීමත් යන කාරණාව අපේක්‍ෂණයන් දෙකක්. එතනදි කල්ලියක් වර්ධනය කරගැනීම, තමාගේ කණ්ඩායම වර්ධනය කරගැනීම වගේ දේවල්. මෙම බෞද්ධ සම්ප්‍රදාය තුළ කල්ලි කණ්ඩායම් එසේත් නැතහොත් මූල ධර්මවාදී කණ්ඩායම් නිර්මාණය කරන්නවුන් සිතිය යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප්‍රදායික භික්‍ෂූන් වහන්සේ ලා හා සාම්ප්‍රදායික බෞද්ධයන් විසින් නිර්මාණය කරන ලද සම්ප්‍රදාය ඇතුලෙ ඔවුන් තමන්ට හිමි කණ්ඩායම පවා නිර්මාණය කරගන්නේ. තමන්ට තමන්ගේ ශ්‍රාවකයන් හෝ තමන්ගේ අනුගාමිකයන් බවට පත්කර ගන්නේද තමන් විසින් පහර දෙන තමන් විසින් ඉතාම දැවැන්ත දයා විරහිත විවේචනයකට හසුකරන සම්ප්‍රදාය විසින් තමයි එය නිර්මාණය කරන්නේ. ඉතිහාසයේ සාම්ප්‍රදායික භික්‍ෂූන් වහන්සේලා විසින් නිර්මාණය කරන ලද කණ්ඩායමක් තමන්ගේ කණ්ඩායමක් බවට පත්කර ගනිමින් දයා විරහිත පහර දීමකට ලක්කරනවා . ඒ සම්ප්‍රදායේ සිටි ආදිතමයින්ව .මේ අය කල්පනා කළ යුතුයි,මහා ආක්‍රමතිකයන් විසින් වටකරනු ලැබ තිබෙන මෙම බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදාය එකී ආක්‍රමණිකයන් විසින් තමන්ගේ ගොදුරු බවට පත්කර ගන්නට සිටින අවස්ථාවේදී එයින් කණ්ඩායමක් කඩාගෙන ටික කලකට රජ වීමේ ඉතාම අදූරදර්ශී ක්‍රියාවක තමයි ඔවුන් නියුතු වෙන්නේ.

සමස්තයක් ලෙස ලෝකයේ බෞද්ධයා සහ ලංකාවේ සිංහලයා අතරමං කරනු ලැබ තියෙනවා සහ සුළු ජාතියක් සහ සුළු පිරිසකගේ ආගමක් බවට පත්කර ලැබ තියෙනවා. එබඳු සම්ප්‍රදායක් තුළ විශාල පිරිසක් අතරමං වෙන, ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය තුළ හිරවෙලා සිටිනවා. එකී සම්ප්‍රදායට එරෙහිවන පිරිසක් සහ එකී සම්ප්‍රදාය ගිලගනු ලබමින් සිටින පිරිසක් තුළ ඒ කණ්ඩායම් ඇතුළත අභ්‍යන්තර කණ්ඩායමක් හෙවත් සුළු කණ්ඩායමක් නිර්මාණය කොට ගෙන එහි අධිරාජ්‍යයා වීමට දරන වෑයම එතරම් ප්‍රඥාගෝචර නැහැ. මෙම මතාන්තර නිර්මාණය කරන්නවුන් සහ මෙම මතාන්තර පෝෂණය කරන්නවුන් කරනු ලබන්නේ හුදෙක් ඍජුව හෝ වක්‍රව ආක්‍රමණිකයාට තමාගේ කණ්ඩායම දුර්වල කිරීමේ උපක්‍රමයට ස්වේඡාවෙන් දායක වීමක් මෙබඳු කාරණා නිසා නූතන බෞද්ධ සම්ප්‍රදායන් අතර නිර්මාණය වුණ නව මතාන්තර, නව නිර්ණායක,නව නිර්වචන බොහෝ සෙයින් සම්ප්‍රදායට යන සමයට හානිකර බව කිව යුතුයි.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]