UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තුන් ලොව තතු ලෙස දත් ලෝකවිදු බුදුපියාණෝ

තුන් ලොව තතු ලෙස දත් ලෝකවිදු බුදුපියාණෝ

තුන්ලොව යනු ඕකාස ලෝකය, සත්ත්ව ලෝකය හා සංඛාර ලෝකය යන තුන්වැදෑරුම් ලෝකයයි. බුදුරදුන් සබ්බා සූත්‍රයෙහි ලොව සියල්ල කුමක්දැ’යි මෙසේ හැඳින් වූහ. “මහණෙනි, මම ලොව සියල්ල ඔබලාට දේශනා කරමි. ඒ කවරේදයත් “ඇස-රූප, කණ-ශබ්ද, නාසය - ගඳ සුවඳ, දිව- රස, කය-පොට්ඨබිබ, මනස-ධර්ම” බුදු රදුන් විසින් පහදා දුන් මේ සියල්ල ලොවට අයත් දේවල්ය.

බුදුගුණ අනන්තය, බුදුගුණ කියා නිමකළ නොහැකි වුවත් අප උදේ සවස වන්දනා කරන විට සිහිපත් කෙරෙන බුදුරදුන්ගේ නවලොව්තුරු ගුණයන් පිළිබඳව බිඳක් දැන සිටීම මිත්‍යා දෘෂ්ටියට නොවැටී සුගතිපරායන වීමටත් උතුම් වූ නිවන් සැප පිණිසත් හේතුවනු ඇත. අද අප අවධානය යොමු කරනුයේ උන්වහන්සේගේ ලෝකවිදූ බුදුගුණ කෙරෙහිය. මෙහිදී ලෝකවිදූ ගුණයත් සම්මා සම්බුද්ධ ගුණයත් සමාන ලෙස කෙනෙකුට හැඟෙනු ඇත. ඒ බුදුගුණ දෙක අතර ඇති වෙනස ද සැකෙවින් වටහා ගනිමු.

සම්මා සම්බුද්ධ ගුණයෙන් කියැවෙන්නේ අප බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශයකින් හෝ ලොව අන් කිසිවකුගෙන් අසා දැනගෙන නොව ස්වකීය ශක්තියෙන්ම චතුරාර්ය සත්‍යය ඇතුළු සියලු මාර්ගයන් ප්‍රත්‍යක්ෂ කරගත් බවයි. සම්බුද්ධ යන නාමය ලබන්නේ පසේ බුදුවරුන් සහ ලොව්තුරා බුදුවරුන් පමණි. ලෝක විදූගුණය සම්මා සම්බුද්ධ ගුණයෙන් වෙනස් වන්නේ කෙසේද? ලෝකය යනුවෙන් මෙහිලා අදහස් වන්නේ අනන්ත අප්‍රමාණ විශ්වයයි. ලෝක යන වචනයට දක්වන අප්‍රමාණ විශ්වයේ අවකාශයත් ඒ අනන්ත විශ්වයේ පෙනෙන සියලුම සත්ත්වයන් පිළිබඳවත් ඒ විශ්වයේ පවත්නා ධර්මතා සියල්ලත් අයත් වේ. මෙම ලෝකය පිළිබඳ පවත්නා පුද්ගලයන්ගේ දැනුම ඉතාමත් සීමිතය. එය උදාහරණයකින් පවසනවානම්, පෘතුවියෙන් නිය මතට ගත් පස් බිඳකට සමානය. එසේත් නැත්නම් පෘථුවියෙන් ගත් වැලි ඇටයක් තරම්ය. නවීන විද්‍යාඥයකු අලුත් යමක් විද්‍යාත්මක පරීක්ෂණයකින් සොයා ගන්නා විට, ඒ මගින් ඔහු දකින්නේ ඊට වඩා අනන්ත අප්‍රමාණ සත්‍යයන් ඒ පිළිබඳව පවත්නා බවයි. ඒ ඒ විෂයන්ට ඒ ඒ විද්‍යඥයො බිහිවී සිටිති. එහෙත් මේ සියලු දෙනා විශ්වයේ වැලි ඇටයක් පමණ දේ දනිතැයි ඔවුන්ටම හැඟීයයි. මේ අනුව පුහුදුන් එබඳු කෙනෙකු ‘ලෝකවිදු’ තමා ලොව සියල්ල දත්බව නොකියති. එහෙත් තථාගතයාණෝ තුන් ලොවම තතු ලෙස දත්තෝ ය.

තුන්ලොව යනු ඕකාස ලෝකය, සත්ත්ව ලෝකය හා සංඛාර ලෝකය යන තුන්වැදෑරුම් ලෝකයයි. බුදුරදුන් සබ්බා සූත්‍රයෙහි ලොව සියල්ල කුමක්දැ’යි මෙසේ හැඳින් වූහ. “මහණෙනි, මම ලොව සියල්ල ඔබලාට දේශනා කරමි. ඒ කවරේදයත් “ඇස-රූප, කණ-ශබ්ද, නාසය - ගඳ සුවඳ, දිව- රස, කය-පොට්ඨබිබ, මනස-ධර්ම” බුදු රදුන් විසින් පහදා දුන් මේ සියල්ල ලොවට අයත් දේවල්ය. විද්‍යාඥයන් පර්යේෂණයන්ගෙන් අත්හදා බලන්නේ මෙකී ඉන්ද්‍රියන් හා ඉන්ද්‍රියන්ට අනුරූප වස්තූන්ය. මෙහිදී බුදුරජුන් මෙසේද පැහැදිලි කළහ. මහණෙනි, මේ ඉන්ද්‍රියන්ට හා ඉන්ද්‍රිය ගෝචර වස්තුන්ට බාහිරව යමෙක් යම් කිසිවක් පිළිබඳව ප්‍රකාශ කෙරෙයි නම් ඒ සියල්ල වචන රැසක්(වාචාවත්‍ථු) පමණි. එසේ නම් බුදු රජාණන් වහන්සේ ලෝකය පිළිබඳ දත් සියල්ල මිනිසාගේ ඉන්ද්‍රියන් හා ඉන්ද්‍රියන්ට අරමුණ වන්නාවූ දේවල් පමණි. මේ අනුව බුදුන් වහන්සේ ලෝක විදුවරයාණන් බවට පත්වන්නේ ඉන්ද්‍රිය හා අතින්ද්‍රිය ඥානයෙන් හෙවත් අභිඥාවන්ගෙන් තුන් ලොවම යථාභූත වශයෙන්, නිවැරැදිව දත් නිසා ය. කිසිදු විද්‍යාඥයෙකුට දිව්‍ය, බ්‍රහ්ම කිසිවකුට තථාගතයන් වහන්සේගේ ලෝකවිදු ඥානයට ලංවීමට නොහැක.

ඕකාස ලෝකය යනු අවකාශ ලෝකය හෙවත් අනන්ත අප්‍රමාණ විශ්වයයි. ඒ විශ්වයේ පවත්නා චන්ද්‍ර ,සූර්ය්‍ය, ග්‍රහ වළලු, තරු පොකුරු ආදියෙන් සමන්විත චක්‍රාවාටයි. චක්‍රාවාට යනු නාසා ආයතනය විසින් හබල් දුරේක්ෂ තුළින් දක්නා ලද ‘ගැලෙක්සින්’ ය. මේ ගැලෙක්සින් ද අනන්ත අප්‍රමාණය. ඒවා අතර දුර මණින්නේ ආලෝකය වසරකට ගමන් ගන්නා වේගය හෙවත් ‘ආලෝක වර්ෂ’ නම් වූ මිනුම් දඬු ඔස්සේ ය. නාසා ආයතනය මගින් නිකුත් කරන ලද හබල් දුරේක්ෂයෙන් දැක ඡායාරූපගත සිදුවීම් මගින් මේ ගැලෙක්සින්හි හෙවත් ලෝකධාතුන්ගේ පිපිරීම් මගින් කියා පාන්නේ බුදුරදුන් දේශනා කළ ලෝක ස්වභාවය හෙවත් විශ්වයේ එක්තරා ස්වභාවයකි. “ ලෝකය යනුවෙන් කියන්නේ කුමක්ද?” මහණෙනි ලෝකය යනු ‘ලුජ්ජති පලුජ්ජති ලෝකො’ බිඳෙන පළුදුවන ස්වභාවයයි. මේ අනුව ආලෝක වර්ෂ මිලියන බිලියන ගණනකට පෙර පිපිරීම් නවීන විද්‍යාවෙන් සනාථ කර ඇත. ලෝකය පිළිබඳවත් ලෝකයන් හට ගැනීම පිළිබඳවත් එහි පැවැත්ම හා විනාශය පිළිබඳවත් ලෝකවිදූ බුදුරජුන් දැන දැක පැහැදිලි කළහ.

ඕකාස ලෝකයේ අන්තය අනන්තය පිළිබඳ අසන ප්‍රශ්න නිසරු, අර්ථ ශුන්‍ය, මිනිසකුගේ ඉන්ද්‍රිය අනුභුතියට හසුකළ නොහැකි, එසේම මිනිසාගේ මූලික සංසාර දුක පිළිබඳව ගැටලුවට අදාල නොවන නිසා බුදු රජාණන් වහන්සේ ඊට පිළිතුරු දීම ප්‍රතික්‍ෂේප කළහ. මාලුංක්‍ය පුත්ත භික්‍ෂුව ඇතුළු බොහෝ දෙනෙක් බුදුරදුන්ගේ ලෝකය(විශ්වය) අන්තවත් ද? අනන්තවත් ද? ලෝකය සදාකල් පවතින දෙයක්ද? එය තිබී විනාශයට (උවෙරදයට) පත්වන දෙයක් ද? යන ප්‍රශ්න සතර ඇතුළු ප්‍රශ්න- දහයක් බුදුරදුන්ගෙන් ඇසූහ. බුදු රදුන් ඒ ප්‍රශ්න ‘අව්‍යාකත’ ප්‍රශ්න ලෙස සලකා ඒකාන්ත පිළිතුරක් නොදී බැහැර කළහ. සමහර උගතෙක් (රාධ ක්‍රිෂ්ණන්) බුදුරදුන් මේ විශ්වයේ අන්තය ගැන හෝ අනන්තය ගැන නොදත් නිසා, එනම් අඥෙයවාදියකු නිසා බුදුරදුන් මේ ප්‍රශ්නවල පිළිතුරු නොදුන් බවට මතයක් දරයි. කාන්සේ හා ටී.ආර්.වී.මූර්ති බුදුරදුන් තාර්කික පදනමක පිහිටා සිටිමින් මේ ප්‍රශ්න නිවනට අදාළ නොවන නිසා ඒවාට නිශ්චිත පිළිතුරක් නොදුන් බවට අදහස් දැක්වූහ.

අප බුදුරදුන් විශ්වයේ කෙළවර ගැන ඇසූ එම අව්‍යාකත ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ එකී උගතුන් දැක්වූ අදහස් නිසා නොව බුදුන් වහන්සේ සැබවින්ම ලෝකය පිළිබඳ මනාව දුටු නිසාත් එයට දෙන පිළිතුර එම ප්‍රශ්නය ඇසූ පුද්ගලයා තවත් අවුලකට පටලැවෙන නිසාත්, එක් අතකින් එය නිවනට අදාළ නොවන නිසාත්, ‘සක්කාය’ දිට්ඨියෙන් යුතු පුද්ගලයන් මේ ප්‍රශ්නවලට පිළිතුරු විමසන්නේ ය එම සක්කාය දිට්ඨියට බැඳුනු නිසාත් බව බුදුරදුන් පැහැදිලි කර ඇත. මිනිසා සක්කාය දිට්ඨිය වටේ ගමන් කරමින් ඒ අන්තයටත් අනෙක් අන්තයටත් ගමන් කරයි. මෙහිදී බුදුරදුන්ගේ ලෝකවිදු ගුණය වනාහි ප්‍රකටකරණ සූත්‍ර රාශියක් දැක්විය හැකිය. ලෝකධාතුන්ගේ අනන්ත අප්‍රමාණ ස්වභාවය උන්වහන්සේ මැනවින් දුටුවාහ. අනමතග්ග සංයුක්තයෙහිද, අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයෙන්ද ලෝක ධාතු විභාගය බුදු රදුන්ගේ අවකාශ ලෝකය පිළිබඳ ඥානය මනාව පැහැදිලිව පෙන්නුම් කරයි. එහිදී එක් හිරකින් සදැකිය සමන්විත ලෝකධාතු ඇති අතර එබඳු ලෝකධාතු දහසකින් සමන්විත ලෝක ධාතුවක් වේ. (ගැලැක්සි) එය චූලනී ලෝක ධාතුව නම් වේ. චුලනිකා ලෝකධාතු දහසක් සමන්විත තවත් ලෝක ධාතුවක් වේ. එසේ ගුණ කළ විට ලෝකධාතු දස ලක්ෂයක් වෙයි. එය මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව යි. මධ්‍යම සහස්සි ලෝකධාතුව තවත් ලෝකධාතු දහයකින් ගුණ කළ විට එය ත්‍රි සහස්සි මහා සහස්සි ලෝකධාතු නම් ලෝකධාතු විශේෂයක් පවතී.

ඉතිරි කොටස මැයි 21වන දා පත්‍රයේ පළවේ

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]