UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවිසි වසර සපිරි බොදු මහා පොත්හල

දෙවිසි වසර සපිරි බොදු මහා පොත්හල

සිංහල පාලි බෞද්ධ පොත පත පළ කරවීමට වර්තමාන පොත් ප්‍රකාශකවරු අද මුල් තැනක් දීමට කටයුතු කරන බව පෙනේ. එහෙත් නවතම බෞද්ධ පොතපත ලිවීමට හෝ සංස්කරණය කිරීමට කතුවරු වැඩි උත්සාහයක් නොකරන බව ද ඒ අතරම පෙනේ.බෞද්ධ ග්‍රන්ථ කතුවරු හැම දෙනෙකුම පාහේ ලියන්නේ ධම්මපදය, සතිපට්ඨානය, ජාතකකථා පොත, කර්මය යන විෂයයන්ගේ හතර පහය. ධම්මපද මුද්‍රණ පනහක් පමණ දැනට ඇත. සතිපට්ඨානයද එසේය. ජාතක පොත සරලව ද සිතුවම් සහිත හා රහිත ලෙසද විවිධ ප්‍රමාණවලින් හා විවිධ මාදිලියෙන් නිකුත් වී ඇත. මේවා සියල්ල පොදු වස්තූන් ය. තම තමන්ට හිතෙන පරිදි සහ තම තමන්ගේ නුවණේ අවබෝධයේ පරිමාවට අනුව වෙනස් කරමින් ලියති. එහෙත් අලුත් දෙයක් නොලියති. අදද ඒ අන්දමින්වත් බෞද්ධ පොතපත එළිදුටුවත් මෙයින් වසර විසිපහකට පමණ පෙර මේ තත්වය නොපැවතිණි.

දුරාතීතයේ පොත් ගණනාවක් ලියූ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියෝ තමන් ලියූ පොතක සංඥාපනයක පහත සඳහන් අදහස ලියා පළ කොට තිබිණ.’අමාරුවෙන් පොතක් ලිව්වත් එය මුද්‍රණය කරගැනීමට ප්‍රකාශන ආයතනයක් නැත. බෞද්ධ පොත පත වෙළෙඳපොළේ අලෙවිය අඩු නිසා හා සෙමින් වෙළෙඳාම් වන නිසා එවැනි බෞද්ධ පොත් මුද්‍රණය කිරීමට ප්‍රකාශකයෝ නොපෙළඹෙති. ඒ නිසා විවිධ කරුණු සොයා පොතක් ලිවීමට වඩා අමාරු කාරණය වන්නේ පොත ප්‍රකාශයට පත් කිරීමය.” මේ විසිපස් වසරකට පමණ පෙර පැවැති තත්ත්වයයි.

මේ තත්ත්වය අද වෙනස් වී තිබේ.මේ වෙනස් වීමට හා වෙනස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේ දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයයි. එය අද සමහර අය නොදන්නා කරුණකි. මෙයින් වසර විසි දෙකකට පෙර ජනවාරි දෙවෙනි දා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කරනවිට බෞද්ධ පොත් පළ කිරීමේ ක්ෂේත්‍රය පුරන් වී පැවතිණි. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කරමින් බෞද්ධ පොත පත ප්‍රචලිත කිරීම සඳහා ක්‍රම දෙකක් අනුගමනය කළේය.

පළමුවන ක්‍රමය බෞද්ධ පොත් ජනපි‍්‍රය කරවීමය. බොදු පොත පත කියවීමට ජනතාව උනන්දු කරවීම හා ඒ පිළිබඳ ඇල්මක් ඇති කරවීමයි. ඒ සඳහා ධර්මපාලතුමාගේ ප්‍රචාරක රථය මෙන් වූ මධ්‍යස්ථානයේ ජංගම පොත් රථයක් මගින් ප්‍රසිද්ධ නගරවලට, සති පොළවලට ආදී ස්ථානවලට ගොස් අවම මිලකට පොත් විකිණීම රට පුරා සිදු කරන ලදී. බෞද්ධ පොත්වලට ජනයා ඇළුම් කිරීමට පෙළඹුණේ මේ වැඩ පිළිවෙළ තුළිනි. දෙවැනිව කළේ පොත් ප්‍රදර්ශන පැවැත්වීමයි. ආදිම පොත් ප්‍රදර්ශනය පැවැත්වූයේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟිනි. ඒ මඟින් ද ජනයා තුළ පොත් කියවීමේ ඇල්ම දියුණු කළේය.

දෙවැනි ක්‍රමය වුයේ අලුතින් පැරැණි හා නව පොත් මුද්‍රණය කරවීමයි. ඒ මඟින් බොදු පොතපත සුලබ කිරීමද ලේඛකයන්ට අත දීමද සිදු විය. සූත්‍ර පිටකය පොත් පෙළ සරල සිංහලට පරිවර්තනය කර පළකිරීම එහි පළමුවන පියවර විය. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය ග්‍රන්ථ වියතුන් ලවා සරල සිංහලෙන් ලියවා පළ කළහ. ගංගොඩවිල සෝම හිමියන් පවා ප්‍රථමයෙන්ම කියවූ ත්‍රිපිටක පොත් පෙළ මේවා විය. එයට අමතරව පැරැණි සිංහල, පාලි, පොත් සංස්කරණය කර පළ කරවීය. දැනට දෙවිසිවසරකට පෙර ජාතක පොතවත් සොයාගැනීමට මෙරට සුලභව නොතිබිණි. එවැනි අවධියක ජාතක කථා පොත ජාතක පන්සිය හතළිස්හතම ඇතුළත් කොට සංස්කරණය කර පළ කරවීය.

විජය රජුගේ පටන් එක්දහස්නවසිය හතළිස් අට දක්වා මහා වංසය එකම පොතක් වශයෙන් පළකරන ලද්දේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගිනි. පණ්ඩිත මාතර ශ්‍රී‍්‍ර ධර්මවංශ හිමියන්ගේ විශුද්ධිමාර්ග සන්නය, අභිධර්ම චන්ද්‍රිකාව වැනි සම්භාවනීය ග්‍රන්ථ තනි තනි පොත් වශයෙන් පළ කරන ලද්දේ ද මෙම ආයතනයයි. මහජනයාට උපයෝගී වන ත්‍රිපිටක අර්ථකෝෂය වැනි අලුත් පොත් සංස්කරණයටද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පියවර තැබීය. තවද දීර්ඝ ප්‍රස්ථාවනාවක් හා ගැටපද විවරණයක් සහිතව සද්ධර්ම රත්නාවලියේ නව සංස්කරණයක් බෞද්ධයන් වෙත ලබා දීමටද පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම එවකට ඉතා දුෂ්කර සොයා ගැනීමක්ව පැවැති බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පූර්ණව මුද්‍රණය කරවීමද මෙම ආයතනය මඟින් මහජනයා ලද සුවිශාල සේවයකි. දෙවනුව ත්‍රිපිටකයට ලියන ලද අටුවා ග්‍රන්ථ හතළිස් අටක් සිංහලට පරිවර්තනය කොට මුද්‍රණයෙන් එළි දක්වා ජනාධිපතිතුමන් ප්‍රධාන බෞද්ධ ජනතාව වෙත පිරිනමන ලදදේ බෞද්ධ සංස්කෘතික ආයතනය විසිනි. එහිම ඊළඟ පියවර වූ ටීකා ග්‍රන්ථ දැනට පසළොසක් සිංහලට පරිවර්තනය කර මුද්‍රණය කොට මහජනතාව වෙත ලබා දී ඇත.මේ අනුව ත්‍රිපිටක පෙළ අටුවා, ටීකා, සිංහල පරිවර්තන සමඟ ලබාගත හැකි එකම ස්ථානය නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය බවට පත් වී ඇත.මේ වන විට පන්සල්වලින් සියයට අසූවක්වත් පාලි ත්‍රිපිටකය, අටුවා, ටීකාවලින් පරිපෝෂිත වී ඇත්තේ නැදිමාලෙන් බිහි වූ මෙම ආයතනය නිසාය. මෙම ටීකා වලට අමතරව තවත් ටීකා ග්‍රන්ථ පසළොසක් පමණ මුද්‍රණය කරවීමට සකස් කරමින් සිටී.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මෙම ටීකා පොත් සොයා ගැනීමට අපමණ වෙහෙසක් දැරීය. සමහර ටීකා පැරැණි පුස්කොළ පොත් තුළින්ම උපුටා ගැනීමට සිදු විය. ඒ පුස්කොළ පොත් සොයා ගත්තේ අගනුවරින් දුර බැහැර පැරැණි පන්සල් හා පිරිවෙන් මගිනි.අනගාරික ධර්මපාලතුමන්ගේ සහෝදර ඇලෙක්සැන්ඩර් හේවා විතාරණ මැතිඳුන්ගේ අනුග්‍රහයෙන් පාලි අටුවා මුද්‍රණය කර තිබිණි. ඒ පාලි පොත්ය. ටීකා එසේවත් සොයා ගැනීමට අපහසු විය.

මේ අන්දමින් ත්‍රිපිටක පෙළ අටුවා, ටීකා, ශබ්දකෝෂ ආදී තෙවළා දහමේ ව්‍යාප්තියට අවශ්‍ය සකල සම්පත්තීන්ගෙන් බෞද්ධ සාහිත්‍ය අද පරිපූර්ණ වී ඇත.මෙයට අමතරව වෙනත් බෞද්ධ පොත් සිය ගණනක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් එළිදක්වා ඇත. මුදල් හරිහම්බු කර පොලි කිරීම නොව,බෞද්ධ ජනතාව අතට බෞද්ධ පොත පත ලබා දීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඒකායන අභිප්‍රාය වී ඇත. පරමාර්ථය නිවැරැදි නම් යහපත් නම් ගමන් මග වරදින්නේ ද නැත. මේ අයුරින් අලුත් වැඩ පිළිවෙළකට අවශ්‍ය මාර්ගය තනමින් අලුත් කාර්යයක් කළේ මෙම ආයතනයයි.

බුදු සසුන රැකෙන්නේ පර්යාප්තිය රැකීමෙන්ය. ධර්මාශෝක රජු දවස බුදු සසුන් පිහිට වූ බොහෝ රටවල අද බුදු සසුන නැත. බුදුරදුන් වැඩසිටි දවස බුදු සසුන පිහිට වූ , සමහර විට සිරිපතුල පවා තැබූ සුනාපරන්තය, මක්කම ආදි රටවල අද බුදුසසුන නැත. හේතුව ඒ රටවල ස්ථූප තිබුණත් වෙහෙර විහාර පැවතුණත් පර්යාප්තිය නැති කමින් බුදු සසුන චිරස්ථායි නොවීමය. ලක්දිව ඒ අතින් ඉතා පොහොසත් ය. ඒ පර්යාප්ති ධර්මය මහා අරිට්ඨ මහරහතන් වහන්සේගේ සිට අද දක්වාම සංඝ පරම්පරාව විසින් ලක්දිවට අවිච්ඡින්නව ආරක්‍ෂා කොට ඇති නිසාත් ය. අනාගත පරම්පරාව සඳහා ඒ පරියාප්ති ධර්මය රැකගෙන යන්නේ බෞද්ධ සංස්කෘතිය මධ්‍යස්ථානය මගිනි.

එම යුතුකම හා වගකීම දරන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විසි දෙවන සංවත්සරය ඉකුත් 2014 ජනවාරි 02 වැනි දිනට යෙදුණු බැවින් එම ආයතනයේ මෙතෙක් පැමිණි දුෂ්කර ගමන්මගට අතහිත දුන් සකල සාධූන්ටම තුති වන්දනා පූර්වක පුණ්‍යානුමෝදනය මෙසේ පළ කර සිටිමු.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]