UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය

අනුරාධපුර කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය


ප්‍රාතිහාර්ය විහාර මන්දිරය තුළ මූර්තිමත් කරන දහසක් බුද්ධ ප්‍රතිමා වහන්සේ

අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය නමැති රමණීය භූමිභාගයක දැනට ඉදිවෙමන් පවත්නා සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය පුද බිමෙහි නිර්මාතෘවරයාණන් වන්නේ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගිශ්වර ධර්මප්‍රභ, ධීරානන්දාභිධාන , ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක හා රජ රට පාර්ශ්වයේ උපාධ්‍යාය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

අනුරාධපුර – තන්තිරිමලේ ප්‍රධාන මාර්ගයේ සැතපුම්, පහක් පමණ ගිය විට, වනගත ඉතා ශාන්ත වූ පරිසරයක් තුළ මෙම ප්‍රාතිහාර්ය පුද බිම දැක ගත හැකිය. සද්ධාරංසි නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් අනුරාධපුරයට නව ආලෝකයක් ගෙන දෙමින් අක්කර 12 ක පමණ වන ගත භූමි භාගයක මෙම නවතම පුදබිම ඉදි කැරේ.

“මෙය වනාන්තරයක එළමහන් විහාරයක් ලෙස ඉදිවේ. අසිරිමත් තවත් පුදබිමක් මගේ සිතේ මැවුණු සොඳුරු බීජයක ඵලයයි එළි දක්වන්නේ, බුදු සිරිතේ එන අසිරිමත් ප්‍රාතිහාර්යයන්, සිදුවීම් මෙහිදී දැකබලා ගන්නට පිළිවන්. පොතෙන් කියවා සිතෙන් මවාගත් දේ දැක බලාගන්නට ඉඩ සැලසීමයි. මෙහි අරමුණ පොතෙන් දකින සංකල්පය මූර්තිමත් කිරීමකුයි සිදුවන්නේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කෙරෙන ආයෝජනයක් මේ” යැයි සද්ධාරංසි නාහිමියෝ පැවසූහ. වනගත භූමියක ඉදිකෙරන මෙම පුද බිම තුළ බුදුසමයේ අසිරිය විදහාපාන කථා වස්තුන් දහයක් පමණ දැනට මූර්තිමත් කර තිබේ. වනවදුලට කිසිදු හානියක් නොවන අයුරින් ඒ ඒ කථා වස්තූන් තනිතනිව, වෙන්වෙන්ව ඉදිකිරීම මෙහි විශේෂත්වයයි.

සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය පුද බිම තුළ තවත් සුවිශේෂී වූ දර්ශණීය විහාර මන්දිරයක්ද ඉදි කෙරේ. මේ සඳහා මුල්ගල තැබීම එවකට ගොවිජන සංවර්ධන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් පසුගියදා සිදුවිය. දහසක් බුදුවරුන් බුදුවූ වග මෙම විහාර මන්දිරය තුළ මූර්තිමත් කෙරේ.


බුදුන් වහන්සේගේ අනුශාසනාවකට සවන්දී සිටින භික්‍ෂු, භික්‍ෂුණීන් උපාසක උපාසිකාවන් මූර්තියට නගා ඇති අයුරු

ඒ අසිරිමත් බුද්ධ සංකල්පය විදහාපාමින් බුද්ධ ප්‍රතිමා දහසක් සහිතව ඉදිකෙරෙන මෙම විහාර මන්දිරය අඩි 2260 ප්‍රමාණයේ දෙමහල් මන්දිරයක ඉදිවේ. සද්ධාරංසි නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා සැදැහැවතුන්ගේ ආධාරයෙන්, උපකාරයෙන්, තැනෙන මෙම විහාරයේ ඉදිකිරීම් කටයුතු ද දැන් බොහෝ දුරට නිමවෙමින් පවතී.


ගංගානම් නදිය අසබඩ දී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට ප්‍රාතිහාර්ය පෑම තහනමට ලක්කළ අවස්ථාව, මූර්තියට

මෙම පුද බිම බොහෝ දේශීය හා විදේශීය ජනතාවගේ අමන්දානන්දයට හේතුවී ඇත. යෝජිත දහසක් බුද්ධ ප්‍රතිමා සහිත දර්ශනීය විහාර මන්දිරය කාරුණික අනුග්‍රහය ලබා හැකිතාක් ඉක්මනින් සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවෘත කිරීමට හැකි වනු ඇතැයි සද්ධාරංසි නාහිමියෝ විශ්වාසය පළ කර සිටී. පරලෝසැපත් දෙමාපියන්, ඥාති මිත්‍රාදීන් , රණවිරුවන් සිහිපත් කර පින්අනුමෝදන් කිරීමට මෙය කදිම අවස්ථාවක් බවද කියයි.

කොටස් දහසකින් සමන්විත වන මෙම විහාර මන්දිරයේ බුදුරුවක් සහිත එක් කොටසක් නිමකිරීමට රු. 27,000/- ක් පමණ වැය වේ. මෙම මුදලින් රුපියල් දෙදහසක් බැඳ ප්‍රතිමාවක් වෙන්කරවා ගත හැක. ප්‍රතිමා භාර ගැනීම ප්‍රාතිහාර්ය විහාර භූමියේ පිහිටි කාර්යාලයේදී සිදු කෙරේ. මේ පිළිබඳ වැඩිවිස්තර අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමි ප්‍රාතිහාර්ය විහාරය, කොක්කිච්චිය –ඇලයාපත්තුව අනුරාධපුරය යන ලිපිනයෙන් දැනගත හැකිය.

 

 

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]