UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අමාවක 2013 නොවැම්බර් 03 වන දා

අනුස්මරණීය පින්කමක්

 

බෞද්ධයා විසින් සිදු කරනු ලබන පින්කම් අතර තෙමසකටත් අධික කාලයක් පුරා මහත් උත්සාහයෙන්, උනන්දුවෙන් පෙරුම් පුරා සිදු කරන උදාර පින්කමකි කඨින මහා පින්කම.

ථෙරවාදී භික්‍ෂූන් වහන්සේ වෙසෙන ලොව කවර රටක වුවද වස්සාන සමයේ වස් එළඹ මහා පවාරණයෙන් පවාරණය කළ උපසම්පන්න භික්‍ෂූන් වහන්සේ නිසාම කඨින පින්කම සිදු කර ගැනීමේ වාසනාව දායක පිරිසට හිමි වී ඇත.

කඨින පින්කම පිළිබඳ අනුසස් භික්‍ෂූන් වහන්සේ පමණක් නොව දායක පිරිස ද දැනුම්වත්ව සිටීම නිසා අනෙකුත් සියලු පින්කම්වලට වඩා කඨින පින්කමක් සිදු කර ගැනීමට දායක පිරිසද මහත් කැපවීමක් කරනු ලැබේ.

ජීවමාන බුදුරදුන් දවස පටන් රාජරාජ මහාමාත්‍යාදීන් විසින් පවා සිදු කර ගෙන එනු ලබන කඨින පින්කම සෑම විහාරස්ථානයක් පාසාම වසරෙන් වසර සිදු කර ගෙන එනු ලැබේ.

කඨින පින්කමෙහි ඇති ආනිශංස පිළිබඳ අවබෝධයකින් පසු වන නිසාම අනෙකුත් පින්කම්වලට වඩා සැදැහැ සිතින් ඊට බොහෝ දෙනා සහභාගි වනු ලබන්නේ හැකි පමණින් ඊට ආධාර උපකාර ද කරමිනි.

බෞද්ධයා ඉතා අවබෝධයෙන් ම ක්‍රියා කළ යුතු වේ. සසර දුක් දුරු කිරීමට අවශ්‍යවනුයේ කුසල් වර්ධනය කිරීම ය.

කර්මය, කර්ම ඵලය පිළිබඳ හැම විට විශ්වාසයෙන් කටයුතු කරන බෞද්ධයා සසර පුරා පින් දහම්වලට යොමු වනුයේ මහත් ශ්‍රද්ධාවෙනි, ප්‍රඥාවෙනි.

තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මනු ලොව උපත ලබනු ලැබේ. එසේ උපත ලබන මනුෂ්‍ය වර්ගයා අතර විවිධ වෙනස්කම් දක්නට ලැබේ.

දිනක් බුදුපියාණන් වහන්සේ වෙත පැමිණි සුබ නමැති තරුණයාට ද එවන් පැනයක් ඇතිවිය. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ.

මිනිස් වර්ගයා අතර කෙනකු උගත්ය. තවත් කෙනකු නූගත් ය. කෙනකු ධනවත් ය. තවත් කෙනකු දිළිඳු ය. කෙනකු ලස්සනය. තවත් කෙනකු අවලස්සනය. එසේ නම් ඊට තම තමන්ගේ කර්ම ශක්තියම හේතු වන බව කල්පනාවට ගත යුතු ය.

කෙනකු සැප විඳිනු දැක ඊට ඊර්ෂ්‍යා කිරීමෙන් සහනයක් ඇති නොවේ. පෙර කළ පින් මහිමයේ විපාකය විඳිනු දැක පින් මද අයද පිනෙහි නිරතවීමට උත්සාහ ගත යුතු ය. දිළින්දා, ධනවතා කෙරෙහි කෝපයෙන්, වෛරයෙන් පසුවීමෙන් සෙතක් නොවේ. දිළිඳුකම දුරු කර ගැනීමට උනන්දු විය යුතු වේ.

පරිත්‍යාගශීලියා කරනු ලබන පරිත්‍යාග දැක තමා ද ශක්ති පමණින් පරිත්‍යාගශීලියකුවීමට මහන්සි ගත යුතුව ඇත.

සසරේ පෙර කළ පුණ්‍ය මහිමයේ විපාක අත් විඳින අතර සසර අඩු පාඩු දුරුකර ගැනීමට තව තවත් කුසල් වර්ධනය කර ගත යුතුව ඇත. නැණවත් බෞද්ධයා ඒ අයුරින් ක්‍රියා කරනු ලැබේ.

පිනෙන් පොහොසතකු වීමට මුදල්ම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ යහපත් සිතිවිලි ය.

අඩු පාඩු මඟ හරවා ගත යුත්තේ බුද්ධිමත්ව විමසා බැලීමෙනි. පින, කුසලය අඩු වුවහොත් සසර අඩුපාඩු ඇතිවේ.

පින්දහම්හි නිරත විය යුත්තේ ද සැප ප්‍රාර්ථනා කිරීමෙන් තොරවය. පින් දහම් සිදු කළ විට ඒ සැප නිරන්තරයෙන් හිමි වන බැවිනි. එහෙත් පින්කම් අවසානයේ එක් අධිෂ්ඨානයක් තබාගත යුතු වේ.

එනම් කළ මේ පුණ්‍ය මහිමයේ බලයෙන් සියලු දුක් නසා නිවන් අවබෝධය පිණිසම වේවා යන මහඟු පැතුමය.

අනන්ත කාලයක් පුරා සසර ගමන් කරන ඔබත්, මමත් සසර ගමනේ දී හැකිතාක් පින්දහම්වල නිරතවිය යුත්තේ එවන් තිර අදිටනක් ද ඇතිවය.

චීවර මාසය තුළ සිදු කරන කඨින පින්කමට හැකිතාක් දායක වීමෙන් එබඳු තිර අදිටනක් හදවත තුළ ඇතිකර ගැනීමට අවස්ථාව උදා වී ඇත. තරඟකාරීත්වයෙන් තොරව ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් එබඳු පින්කම් බොහෝ දෙනාගේ දායකත්වයෙන්, සහභාගිත්වයෙන් සිදු කර ගැනීමෙන් මෙලොව වශයෙන් ම දැනෙනුයේ මහත් සැනසීමකි. ජීවිතයකදී කඨින පින්කම වැනි අනුස්මරණීය පින්කමක් සිදු කර ගැනීමෙන් ජීවිතාවසානයේ දී පවා යහපත් සිතිවිලිවලින් පෝෂණය විය හැකි වේ. එබැවින් දුර්ලභ වටිනා පින්දහම්හි නිරත වී සසර ගමන සාර්ථක කර ගැනීමට උත්සාහ කරමු.

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]