UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධන විනාශයේ දොරටු

ධන විනාශයේ දොරටු

සුවපහසු ගිහි ජීවිතයක් උදෙසා උත්සාහයෙන් දැහැමිව ධනය ඉපැයිය යුතු අතර උපයාගත් ධනය භෝග විනාශ මුඛවලට යා නොදී දුශ්චරිතයන්ගෙන් වැළකී පවිටු මිතුරන් දුරලා සදාචාරවත්ව කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් ආරක්‍ෂා කරගත හැකිවේ
 

දැහැමින් උපයා ගන්නා ධනය දැහැමින් පරිභෝජනයට ගැනීම ගිහි බෞද්ධ පිළිවෙතයි. ධන පරිහරණය නිසි පරිදි සිදුවන්නේ නම් උත්සාහයෙන් සොයා සපයාගත් ධනයට වටිනාකමක් හිමිවේ.

ධන පරිහරණය පිළිබඳ බෞද්ධ පිළිවෙත පැහැදිලි කර ගැනීමට පෙර ධනය විනාශවන ක්‍රම පිළිබඳව පළමුව අවධානය යොමුකළ යුතුයි. ධන හානිය සිදුවෙන දොරටු පහක් පිළිබඳව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි ආරක්ඛ සම්පදා යටතේ දැක්වේ. ඒ අනුව රාජ සන්තක කිරීමෙන්, සොරකම් කිරීමෙන්, ගින්නට හසු වීමෙන්, ගංවතුරට හසුවීමෙන් හෝ අපි‍්‍රය පුද්ගලයෙකු අතට තම ධනය යොමු කිරීමෙන්ද ධනය විනාශ විය හැකිය. මෙම හේතු අතරින් ස්වභාවික හේතු තරමක් අපට පාලනය කරන්නට අපහසුය. එවැනි උවදුරු බොහෝ දුරට සිදුවන්නේ අප නොසිතූ අවස්ථාවල දීය. එහෙත් රාජ සන්තකවීම සොරසතුරන්ගෙන් වන විනාශය මෙන්ම අපි‍්‍රය පුද්ගලයන් අතට ධනය යොමුකිරීම ආදිය පහසුවෙන් වළක්වා ගැනීමට හැකිවේ. ගිහි ජීවන ප්‍රතිපදාව තුළ ධනය ආරක්‍ෂා කරගැනීම අනිවාර්ය වගකීමක් වේ. බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ අවස්ථාවලදී පෙන්වා දුන් ධන විනාශ ක්‍රම අතර ස්ත්‍රි ධූර්ත වීම, සුරා ධූර්තවීම මෙන්ම සූදුවට ඇබ්බැහි වීමද වේ. (පරාභව සූත්ත) බොහෝ පිරිසක් මේ කෙරෙහි ඇබ්බැහි වීම හේතුවෙන් සෞඛ්‍යමය,ආර්ථිකමය වශයෙන් මෙන්ම පවුලේ සාමයද විනාශ කරගෙන තිබේ. ගිහි සමාජයට පවතින ප්‍රබලම අභියෝගය වන්නේ මෙකී දෑ කෙරෙහි ඇබ්බැහි නොවී වාසය කිරීමය. ගිහිජීවිතය අතිශය ඛේදජනක තත්ත්වයකට පත්වන්නේ මෙකී දුරාචාර ක්‍රියාවන්ට යොමුවීම හේතුවෙන් ය.අනාගත ලෝකයට මහත් වැඩ දායක තරුණ ජීවිත විනාශ කෙරෙන බලවේග බවට මෙම දුශ්චරිත පත් වී තිබෙන්නේ මේ දෑ කෙරෙහි ඔවුන් ඇබ්බැහි වීම නිසයි. මහන්සියෙන් උපයා ගන්නා ධනය මෙම දුශ්චරිත කෙරෙහි වැය කිරීමෙන් සිදුවන්නේ ඛේදජනක ඉරණමකට තමා මෙන්ම පවුලේ සියලු දෙනාත් අවසානයේ සමාජයත් ගෙනයාමයි.

ගිහි විනය වශයෙන් සැළකෙන සිඟාලෝවාද සූත්‍රයෙහි ධන හානිය පිණිස පවතින තවත් හේතු කීපයක් දක්වා තිබේ. භෝග අපාය මුඛ වශයෙන් හැඳීන්වෙන මත්පැන් පානය, නොකල්හි වීථී සංචාරයේ නිරත වීම, සැණකෙළි උත්සව සඳහා නිතර සහභාගි වීම, සූදු ක්‍රීඩාවෙහි යෙදීම, පාප මිත්‍ර සේවනය හා දැඩි අලස බව එම කරුණු හයයි. මෙයින් පළමු කරුණ පිළිබඳ ඉහතින් දැක්වුවත් තවදුරටත් යමක් සාකච්ඡා කිරීම වැදගත් වේ. මත්පැන් පානයට ගිජු වීම මදයට හා ප්‍රමාදයට කරුණක් වන අතර අඩ දබර කලකෝලාහල මෙන්ම ගැටුම්වලටද එය හේතුවේ. මත් පැන හේතුවෙන් තම ආත්මගරුත්වයට හානි වන අතර ආර්ථික දියුණුවද අවුරාලයි. එසේම අපරාධකරුවන් අපරාධ කිරීමට පෙර අනිවාර්යෙන්ම මත්පැන් පානය කෙරෙන හෙයින් මෙය අපුණ්‍ය ආයතනයක් වශයෙන් ධම්මික සූත්‍රයේ දැක්වේ. මතට යොමු වූ පුද්ගලයන් සෞඛ්‍ය අතින් මෙන්ම ආර්ථික අතින්ද පරිහානියට පත් වී සිටියි. මෙම අයහපත් චර්යාව විමසීමකින් තොරව පිළිකුල් කළ යුතු මෙන්ම කිසිදු අනුග්‍රහයක් නොලැබිය යුත්තකි. අප රටේ බොහෝ දෙනෙක් ආර්ථික දරිද්‍රතාවයට පත්වී තිබෙන්නේ මෙකී උවදුරට යොමුවීමෙන්ය යන්න අවබෝධ කරගැනීමට පරීක්‍ෂණ වාර්තා අවශ්‍ය නොවේ. අනෙක් අතට විවිධ වෙළෙඳ දැන්වීම් මෙන්ම පෞරුෂය පිළිබඳ මිථ්‍යා ආකල්පද මෙම ඇබ්බැහි වීමට හේතුවක් වී තිබේ. පුද්ගලයෙකුගේ හෝ යම් කිසි උත්සව අවස්ථාවක අගය මැනීම සඳහා මත්පැන් යොදා ගැනීම විශාල ඛේදවාචකයකි. මංගල මෙන්ම අවමංගල උත්සවත් ආගමික වශයෙන් පවත්වන උත්සවවලදීත් විශාල මුදලක් වැයකොට මත්පැනින් සංග්‍රහ කරන්නට උනන්දුවීම සදාචාරය ගැන කල්පනා කරන සමාජයකට කිසිසේත්ම නොගැලපෙන්නකි. බෞද්ධයන්ට තමන් දිළිඳු අය යනුවෙන් මැසිවිලි නගන්නට සිදුවී තිබෙන්නේ මෙකී දුශ්චරිතවලට යොමුවීම නිසාය. බුදුරජාණන් වහන්සේගේ අවවාදය මත පිහිටා මතින් තොර ජීවිතයක් ගතකරන්නෙකුට දියුණුවේ රන් දොරටුව විවෘත කරගත හැකිවේ. තම උපන් දිනය විවාහය හා වෙනත් මංගල සම්මත අවස්ථාවලදී මත්පැන් භාවිතයට නොගන්නා බෞද්ධ තරුණ පිරිසක්ද කලාතුරකින් නමුත් දක්නට ලැබීම සතුටට කරුණකි. තරුණ බෞද්ධ සංගම් හා දහම් පාසල් මගින් නිරන්තරයෙන්ම උත්සුකවිය යුත්තේ එවන් ආදර්ශවත් තරුණ පිරිසක් නිර්මාණය කිරීමටය.

මත්පැනට අමතරව භෝග විනාශය සිදුකෙරෙන දෙවන කරුණ වන්නේ නොකල්හි වීදි සංචාරයේ යෙදීමයි.මෙයින් පෙන්වා දෙන්නේ නිකරුණේ තැන් තැන්වල ඇවිදීමයි. අරමුණක් නොමැතිව අවේලාවෙහි වීදි සංචාරයෙහි යෙදෙන්නාට ආරක්‍ෂාව අහිමි වන අතර සමහර විටෙක විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්විය හැකිය. නිවසක වෙසෙන පුරුෂ පක්‍ෂය නිවසින් බැහැරව වීදි සංචාරයේ යෙදීම හේතුවෙන් නිවසට මෙන්ම එහි වෙසෙන්නන්ටද ආරක්‍ෂාව අහිමිවේ. නිතර පාප මිත්‍ර ඇසුරට යොමුවන මෙම පිරිස විවිධ දුශ්චරිතවලට හුරු වී ධනය විනාශ කරගනිති. තම තමන්ගේ වටිනා කාලය ඵලදායි ආකාරයට ආයෝජනය කළොත් එයින් වන දියුණුව අපිරිමිත ය.

උත්සව සැණකෙළි විනෝදාස්වාදය සපයන මාධ්‍ය බහුලව දක්නට ලැබේ.මේවා කාමභෝගි ගිහි ජීවිතය හා බැඳී පවතී. මෙම අවස්ථා සම්පූර්ණයෙන්ම මගහැර වාසය කළ නොහැකිය. මෙලොව දියුණුව පිණිස කටයුතු කරන බුද්ධිමත් ගිහි පිරිස කළ යුතුවන්නේ විනෝද වීම් ජීවිතයේ අත්‍යාවශ්‍ය දේ බවට පත්කරගැනීමෙන් වැළකී තෝරා බේරාගෙන එම අවස්ථාවලට සහභාගි වී තම ධනයත්,සෞඛ්‍යයත්, සමාජ ගෞරවයත් ආරක්‍ෂා කරගැනීමයි. අර්ථවත් නොවන විනෝදාස්වාදය කාලයත් ධනයත් විනාශ කරයි. ජීවිතයට ගැඹුරු අර්ථයක් නොලැබෙන විනෝදාස්වාදයන් අර්ථ ශූන්‍යවේ.

දූ කෙළිය වනාහි දිළිදු බවේ ප්‍රධානම දොරටුවයි. දු කෙළියෙහි යෙදීමෙන් විශාල රාජධානි පවා විනාශයට පත් වූ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය කරගත හැකිවේ. දු කෙළියෙන් දිනන්නා අන්අයගේ වෛරයට පාත්‍රවන අතර පැරදුනු පුද්ගලයා තම විනාශ වූ ධනය ගැන සිතමින් සොවින් තැවෙයි. සූදුව හැරෙන කොට තමා අභියසම ධනය විනාශ වන වෙනත් ක්‍රමයක් දක්නට අපහසුය. එසේම සමාජය තුළ පිළිගැනීමක් වූයේ නම් එයද පිරිහී අපකීර්තියට පත්වෙයි. එවැන්නෙකුගේ ඇසුර වුව සමාජය ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.

පුද්ගලයෙකුගේ දියුණුවට මෙන්ම පරිහානියට බලපාන ප්‍රධාන කරුණක් වන්නේ ආශ්‍රයයි. වර්තමානයේ විවිධ සන්නිවේදන ක්‍රමවේද වඩාත් දියුණු මට්ටමකට පත්ව තිබෙන අතරම එයට සමගාමීව හොඳ මෙන්ම නරක ඇසුරද වර්ධනය වී තිබේ. වර්තාමන සන්නිවේදන උපකරණ වැරදියට යොදාගත් පිරිසක් බහුලව සමාජයේ දක්නට ලැබෙන හෙයින් අප වඩාත් බුද්ධිමත්ව දුරදක්නා නුවණින් ක්‍රියා කළ යුතු කාලය එළඹ තිබේ. තමන් සන්තක විශාල ධනයක් මෙන්ම මිනිස් වටිනාකම්ද කෙලෙසා ගත් පිරිසක් සිටින අතර ඔවුන් කෙරෙහි බලපා තිබෙන්නේ අවස්ථාවාදී පවිටු මිතුරන්ගේ ඇසුරයි. පවිටු මිතුරන්ගේ ඇසුරට යොමුවන පුද්ගලයාට තව තවත් ඇසුරට ලැබෙන්නේ සූදු ක්‍රීඩාවට , ස්ත්‍රි ඇසුරට, රහමෙර පානයට යොමුවුණූ පාප මිත්‍රයින් ය. කපටින් වංචනිකයන් සාහසික ක්‍රියාවල යෙදෙන්නන්ගේ ඇසුරට යොමුවන යහපත් පුද්ගලයන්ද එවැනිම පාපකාරී පුද්ගලයන් බවට පත්වී තම ධනය විනාශ කරගනිති.

බුදු දහමෙහි සමාජ ආශ්‍රය වැදගත් කොට සළකයි. එහෙත් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ පවිටු මිතුරන් ඇසුරු නොකර යහපත් මිතුරන් ඇසුරු කරන ලෙසය. (න භජෙ පාපකෙ මිතෙත නභජෙ පුරිසාධමේ) සමාජ ජීවිතයේදී අපට හමුවන හැම දෙනාම අපගේ සමීප ඇසුරට නොගත යුතුයි. තමාට වඩා නුවණින් හා උසස් හැදියාවෙන් යුත් හෝ අවම වශයෙන් තමා හා සමාන කෙනෙක් විය යුතුයි. පහත් ගතිගුණ වලින් හෙබි අධම හැසිරිම්වලින් යුක්ත පුද්ගලයන්ගේ ඇසුරෙන් ඉවත්වීමට අප හැම විටම වග බලා ගත යුතුවේ. සිගාලෝවාද සුත්‍රයෙහි ඇසුරට සුදුසු හා නුසුදුසු කළණ මිතුරන් හා පවිටු මිතුරන් පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්නට ලැබේ.

අලසකම ගිහි ජීවිතයේ දියුණුවට බාධාවකි. උත්සාහය හා වීර්යය ධනවත් වීමට මෙන්ම ධනය සුරක්‍ෂිත කරගැනීමටද හේතුවේ. අලස පුද්ගලයා දැන් සීතලය, දැන් උණුසුම්ය, දැන් හවස් වෙලාවය, දැන් උදෑසනය, දැන් ඉතා බඩගිනිය, දැන් කුස පිරී තිබේ ආදි වශයෙන් විවිධ හේතු දක්වමින් තම කාර්ය අතපසු කරයි.මේ හේතුවෙන් නූපන් ධනය නූපදියි. තිබෙන ධනයද විනාශයට පත්වේ. සියල්ල අපට අත්පත්කරගත හැකිවන්නේ උත්සාහයෙන් කටයුතු කිරීමෙනි. උත්සාහ නොකොට ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් කිසිවක් ලබාගත නොහැකි බවයි බුදුසමය පවසන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සාක්‍ෂාත් කිරීම උදෙසා කොතරම් වෙහෙසක් දැරුවේද යන්න දුෂ්කරක්‍රියාව පිළිබඳ සදහන් මසහාසච්චක සූත්‍රයෙන් පැහැදිලිවේ.මේ පිළිබඳව බෞද්ධයන් තරයේ සිතා බැලිය යුතුය. උන්වහන්සේ තම විමුක්තිය සාධනය කිරීමෙහිලා එවකට පිළිගත් නැකැත්කරු වෙනත් මිථ්‍යා ඉගැන්වීම් පිටුපස නොගොස් තම අරමුණ හොඳීන් හඳුනාගෙන එයට අදාළව උත්සාහයෙන් ක්‍රියා කළහ. මිනිස් ඉතිහාසයේ ස්වකීය බුද්ධිබලය මෙහෙයවා තුන්ලොවම ජයගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වන අප අලසව ප්‍රමාදීව කටයුතු කිරීම එක් අතකින් උන්වහන්සේට කරන නිගාවකි.

සුවපහසු ගිහි ජීවිතයක් උදෙසා උත්සාහයෙන් දැහැමිව ධනය ඉපැයිය යුතු අතර උපයාගත් ධනය භෝග විනාශ මුඛවලට යා නොදී දුශ්චරිතයන්ගෙන් වැළකී පවිටු මිතුරන් දුරලා සදාචාරවත්ව කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් ආරක්‍ෂා කරගත හැකිවේ.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]