UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්තුඩේ පඤ්ඤාකිත්ති නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබන බණ්ඩාරගම ගල්තුඩේ ගල්කන්ද පුරාණ විහාරය සහ වෑවිට ශ්‍රී පූර්වාරාමයන්හි උභය විහාරාධිපති

ගල්තුඩේ පඤ්ඤාකිත්ති නා හිමි

සේවාව ප්‍රශංසනීය වේ

ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් අපේ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් දැන උගත් ශික්‍ෂාකාමී මහා විහාර සම්ප්‍රදායන් මැනවින් ගරු කරන ස්ථවිර නමකි. බණ්ඩාරගම ගල්කන්දේ මහා විහාරය සහ වෑවිට ශ්‍රී පූර්වාරාමය යන විහාරයන්හි අධිපති ධූරය දරමින් එම විහාරස්ථානයන්හි අභිවෘද්ධිය උදෙසා මෙම ස්ථවිරයන් සිදු කර ඇති සේවාව ප්‍රශංසනීය වේ.

හොරණ විද්‍යාරත්න පිරිවෙනෙන් ස්වකීය අධ්‍යාපන අභිලාෂයන් සාර්ථක ලෙස මුදුන් පමුණුවා ගනු ලැබූ මෙකී ස්ථවිරයන් වීදාගම මහා මෛත්‍රිය රජමහ විහාරස්ථ ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙහි පරිවේණාධිපති වරයකු වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටු කර ඇත. එසේම ස්වකීය විහාරස්ථ දායක කාරකාදීන්ගේ කුදුමහත් ආගමික කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් ද විවිධ සමිති සමාගම්වල නිලතල දරමින් ද ශ්‍රද්ධා, ප්‍රඥා ගුණයන්ගෙන් පිරිපුන්ව විවිධ හැකියාවන් හා දක්‍ෂතාවයන්ගෙන් සමන්විතව ප්‍රදේශයේ ජාතික ආගමික හා සාමාජික සේවාවන්හි නිරත වෙමින් සිදු කර ඇති සේවාවද ඉතාම අගය කළ යුතු වේ.

මේ සියලු කාරණා පිළිබඳ ප්‍රසාදයට පත් අපේ මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාව මගින් “ ධර්ම කීර්ති ශ්‍රී” යන ගෞරව නාම සම්මුතිය සහිතව රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයෙහි ප්‍රධාන සංඝනායක පදවිය ගල්තුඩේ පඤ්ඤාකිත්ති නායක ස්ථවිරයන් වෙත පත් කරන්නට යෙදුනි.

එබැවින්, අනාගතයේදීත් ප්‍රශස්ථ ආගමික, ජාතික සහ සමාජයීය සේවාවන් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා ගල්තුඩේ ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාකිත්ත්‍යභිධාන රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයෙහි ප්‍රධාන අධිකරණ සංඝ නායක ස්ථවිරයන් හට තෙරුවන් සරණින් හා සිරි දළදා සමිඳු පිහිටෙන් චිර ජීවනය ලැබේවායි ආශිංසනය කරම්හ.


සේවාවන් ඉටුකිරීමට ආශිර්වාදය

බණ්ඩාරගම, ගල්තුඩේ, ගල්කන්ද පුරාණ විහාරය, වෑවිට ශ්‍රී පූර්වාරාමය යන උභය විහාරාධිපති ගරුකටයුතු ගල්තුඩේ පඤ්ඤාකිත්ති මහා ස්ථවිරයන් වහන්සේ වෙත අපේ මල්වතු මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාවෙන් රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව ආශිර්වාදාත්මක පණිවුඩයක් නිකුත් කරන්නේ බලවත් සතුටිනි.

අපේ ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් වහන්සේ වීදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙනේ පරිවේණාධිපති ධුරය දරමින් ක්‍රියා කරන අතර, කළුතර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස ද උදාර සේවාවක් සිදුකරති. ප්‍රදේශයේ කෙරෙන ජාතික, ආගමික, සාමාජික වැඩවලදී පුරෝගාමී දායකත්වයක් දරන මේ ස්ථවිරයන් වහන්සේ, විහාරස්ථාන දියුණු පවුණු කරමින්, ගෝලබාලාදීන් හදාවඩා ගනිමින්, ප්‍රදේශවාසී මහා සංඝයා වහන්සේ සමඟ සමීප සම්බන්ධතා ඇතිව, ගිහි ජනතාවගේ ද ප්‍රසාදය දිනාගෙන කටයුතු කරන තෙර නමකි. අපේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් වහන්සේ ඉහත කී නායක පදවිය ලැබීමට හැම අතින් ම සුදුසුකම් ලබා ඇති බව සතුටින් සඳහන් කරමි.

රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ගල්තුඩේ පඤ්ඤාකිත්ති නායක ස්ථවිරයන් වහන්සේට අභිනව නායක පදවිය තුළින් තව තවත් ජාතික ආගමික සාමාජික සේවාවන් ශක්තිමත් ව කරගෙන යාමට තුණුරුවන්ගේ ආශිර්වාදයෙන්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන්, අටමස්ථාන සොළොස්මස්ථානවල ආශිර්වාදයෙන්, දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන්, විද්‍යාලංකාර පිරිවෙනේ වැඩසිටින නිර්මල සර්වඥ ධාතුන් වහන්සේගේ මෙන් ම මුළු ත්‍රිපිටකය අවුරුදු තුනයි මාස පහයි දවස් පහළවක් සංඝායනා කළ විද්‍යාලංකාර පිං බිමේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවපත් භාවය චිර ජීවනය සැලසේවා යි විද්‍යාලංකාර පිරිවෙනේ ආශිර්වාදය ප්‍රකාශ කරමි.


ගෞරවය පුද කළ යුතු ය

රයිගම් සල්පිටි හේවාගම් කෝරලත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ගල්තුඩේ පඤ්ඤාකිත්ති නායක හිමිපාණන් වහන්සේ තත් දායක කාරකාදීන්ගේ අභිනන්දනයට පත්වන පුණ්‍ය මහෝත්සව අවස්ථාවට සුබ පැතුම් එක් කිරීමට ලැබීම මහත් සතුටකි.

භික්ෂූන් වහන්සේට ශාසනික තනතුරු ප්‍රදානය කිරීම බුද්ධ කාලයේ පටන් එන වටිනා ශාසන සම්ප්‍රදායකි. එහි මුඛ්‍ය පරමාර්ථය ශාසනික අභිවෘද්ධියයි. ඒ මහඟු ශාසන සම්ප්‍රදායට ගරු කරමින් අප නායක ස්වාමීන් වහන්සේට ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරි නැමූ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාවට දායක සභාවේත් බෞද්ධ අප සැමගේත් ගෞරවය පුද කළ යුත්තේ ය.

ගල්තුඩේ පඤ්ඤාකිත්ති නායක ස්වාමීන්වහන්සේගේ ශාසන දිවිය වසර පනහකට ආසන්න ය. ඒ ගෙවී ගිය දීර්ඝ කාලයම උන්වහන්සේගෙන් ශාසනයට රටට සමාජයට වූ මෙහෙවර අප්‍රමාණ බව මම දනිමි. ලෝ වැස්සන්ගේ හිත සුව සනසන්නැයි වදාළ සම්බුද්ධ දේශනාව පඤ්ඤාකිත්ති ස්වාමින් වහන්සේ මහත් ගෞරවයෙන් පිළිගෙන තිබේ. විහාරස්ථාන දෙකක භාරකාරත්වය ද දරමින් ආගමික ප්‍රබෝධයට ඉටුකරන වටිනා සේවාව දෙස බලන විට එය වඩාත් තහවුරු වේ. එසේම ශාසනයේ උන්නතියට විනයධර ධර්මධර පැවිදි ශිෂ්‍ය පිරිසක් තැනීමට ද උන්වහන්සේ කටයුතු කර තිබේ. පඤ්ඤාකිත්ති ස්වාමින් වහන්සේගේ ශාසනික මෙහෙවර සේම සමාජ මෙහෙවර ද ඉමහත් ගෞරවයකට පාත්‍ර වන්නකි. බණ්ඩාරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරිත්වය දරමින් දහම් අධ්‍යාපනයේ උන්නතියට වසර විසි හයක් අඛණ්ඩව උන්වහන්සේ කැපවී සිටිති.

එසේම බණ්ඩාරගම සමථ මූල මණ්ඩලය, දිසා රෝහල් උපදේශක සභාව, සණස, සර්වෝදය ඇතුළු තවත් බොහෝ සමිති සංවිධානවලට ද උන්වහන්සේගේ අනුශාසනා මග පෙන්වීම හා ආශිර්වාදය ලැබී තිබේ. ඉන් ප්‍රදේශයේ අනෙකුත් ආගමික සහ ජාතීන් අතරට ද පඤ්ඤාකිත්ති ස්වාමීන්වහන්සේගේ සේවාව ලැබී ඇත. රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය ගල්තුඩේ පඤ්ඤාකිත්ති නායක ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරමි.


ආදර්ශ සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක්

බණ්ඩාරගම, ගල්තුඩේ ගල්කන්දේ මහා විහාරය, වෑවිට ශ්‍රී පූර්වාරාමය යන උභය විහාරාධිපති ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත රයිගම්, සල්පිටි, හේවාගම් කෝරලත්‍රයෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ පුවත අසා මා බලවත් සතුටට පත්වීමි.

විනයධර, ධර්මධර, බහුශ්‍රැත, ශික්ෂාකාමී සංඝපීතෘන් වහන්සේ නමක් වන ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ වෙත අභිනව ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම ශාසනයේ අභිවෘද්ධිය පිණිස කරන ලද තවත් සුවිශේෂි වූ කාර්යයකි.

දීර්ඝ කාලයක් මෙම සසුන් කෙත ඔපවත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා කටයුතු කරනු ලබන ආදර්ශ සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් බව උන්වහන්සේගේ ශාසනික කටයුතුවලින් පැහැදිලිවේ.

යතිවරයාණන් වහන්සේ නමකගේ ආගමික, සමාජීය මෙහෙවර මනාව අවබෝධ කොටගත් උන්වහන්සේගේ පැවිදි ජීවිතය පරමාදර්ශි බව සඳහන් කරන්නේ මහත් බුද්ධාලම්භන ප්‍රීතියෙනි. විශේෂයෙන්ම සාමණේර භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම ගිහි සිසු දරුවන්ගේ ද අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා කැපවී කටයුතු කරන අප නා හිමිපාණන් වහන්සේ, බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ලෙසත්, කළුතර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ලෙසත්, ඓතිහාසික වීදාගම මහා මෛත්‍රිය රාජමහා විහාරස්ථ ශ්‍රී ඝනානන්ද පිරිවෙනේ පරිවේණාධිපති ලෙසත්, ප්‍රදේශයේ සමිති සමාගම්වල විවිධ තනතුරු දරමිනුත් ඉටුකරනුයේ සුවිශාල වූ සමාජ මෙහෙවරකි.

මෙවන් වූ ආගමික හා සාමාජීය සේවාවක නිරතව සිටින ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අප දේශයට සම්පතකි. උන්වහන්සේ රට, දැය, සමය වෙනුවෙන් සිදු කරන අපිරිමිත සේවාව තවදුරටත් පුළුල් පරාසයක් තුළ විහිදුවීමට අභිනව සංඝනායක පදවිය මහා ශක්තියක් බව සඳහන් කරමි.

රයිගම්, සල්පිටි, හේවාගම් කෝරලත්‍රයෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද ගල්තුඩේ පඤ්ඤාකිත්ති නායක හිමිපාණන් වහන්සේ සිදු කරනු ලබන ආගමික, සාමාජීය සේවාවන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


විශාල මෙහෙවරක් ඉටු කරති

කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමියන් රයිගම්, හේවාගම්, සල්පිටි කෝරලත්‍රයේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වීම නිමිත්තෙන් සුභාශිංසන එක් කරනුයේ හද පිරි සතුටිනි.

මා උන්වහන්සේ හඳුනන්නේ මා බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් ලෙස පත්ව ආ 2001 වර්ෂයේ සිටය. ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ ගල්තුඩේ ගල්කන්දේ විහාරය හා වෑවිට පූර්වාරාමය යන විහාර දෙක කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ දායක පිරිස පමණක් නොව වෙනත් ප්‍රදේශවලද ජනතාවගේ යහපත උදෙසා විශාල මෙහෙයක් ඉටු කරති.

1967 වර්ෂයේ පැවිදි භූමියට පත්වන ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමියන් හොරණ විද්‍යාරත්න පිරිවෙනින් ධර්ම ශාස්ත්‍ර ඤාණය ලබා ගත්හ. බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය අඛණ්ඩව වසර 26ක් හොබවා ඇති උන්වහන්සේ එම තනතුරට ඉමහත් කැපවීම නිසාම 2009 වසරේ සිට කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුරට ද තෝරා පත් කරගෙන ඇත. බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් සිසු නිපුණතා වැඩසටහන් හා කළුතර දිස්ත්‍රික් සිසු නිපුණතා වැඩසටහන් ක්‍රමානුකූලව සංවිධානාත්මකව පැවැත්වීම පැසසිය යුත්තකි. ඒවගේම බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා ඉටු කර ඇති සේවය අතිමහත්ය.

ඕනෑම ශාසනික අභියෝගයකට ධෛර්යයෙන් හා ඉවසීමෙන් මුහුණ දීමට ඇති හැකියාව සහ ආරම්භ කරන ඕනෑම කාර්යයක් ආරම්භයේ සිට අවසානය දක්වා ඉතාම සංවිධානාත්මකව එය ඉටු කිරීම උන්වහන්සේගේ විශේෂ ලක්ෂණ වේ.

ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමියන් අධ්‍යාපනික අංශයෙන් ද විශේෂ සේවාවක් ඉටු කරන හිමිනමකි. වීදාගම ඝනානන්ද පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් ලෙස පිරිවෙනේ අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය සඳහා ඉටු කරන සේවය ඉමහත්ය.

තව තවත් ආගමික හා ශාසනික සේවාවන්හි නිරත වීමට උන්වහන්සේට නිරෝගී දිවියත්, දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි.


පඤ්ඤාකිත්ති නා හිමි ....

යො මුඛ - සඤ්ඤතො භික්ඛු - මත්ත – භාණී අනුද්ධතො
අත්ථං ධම්මං ච දීපෙති - මධුරං තස්ස භාසිතං

“කට රැකගත් නුවණින් සලකා පමණ දැන කතා කරන සංසුන් සිතින් යම් භික්ෂුවක් පාලි අර්ථය හා ධර්මයන් මනාව දැන ප්‍රකාශ කෙරේ නම්, ඔහුගේ වචනය ඉතා මිහිරිය” ....

“යන ධම්ම පදයේ භික්ඛු වග්ගයේ සඳහන් බුද්ධ වචනයට සාකල්‍යයෙන් ම ගැළපෙන භික්ෂුවක ලෙස රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ප්‍රාප්ත වන බණ්ඩාරගම ගල්තුඩේ ගල්කන්දේ මහා විහාරය, බණ්ඩාරගම වෑවිට ශ්‍රී පූර්වාරාමය යන උභය විහාරාධිපතිත්වය දරමින් ශාසනාවතරණයේ යෙදෙන ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ හැඳින්විය හැකිය. වර්තමාන සමාජය දෙස විමර්ශනාත්මකව බලන විට බොහෝ පදවි තානාන්තර ලැබෙනුයේ නුසුදුස්සන්ට ය. එක්තරා අතකින් සලකා බලන විට කොසොල් මහ රජතුමා දුටු ස්වප්නයන් පිළිබඳව සඳහන් වන මහා සුපින ජාතිකය සිහි ගන්වන වකවානුවකි. එකී වර්තමාන සමාජ ප්‍රවණතාවය අතික්‍රමණය කළ අවස්ථාවක් ලෙස ඉහත පදවි ප්‍රාප්තිය සඳහන් කළ හැකිය. “ පූජාච පූජනීයානං ......... “ යන බුද්ධ වචනය සනිටුහන් වන මොහොතකි.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළය අනුරාධපුර යුගය තෙක් දිවෙන ඓතිහාසික අවස්ථාවන්ගෙන් පරිපූර්ණ වූවකි. වෙසෙසින්ම කෝට්ටේ යුගයේ රයිගම් රාජධානිය පිළිබඳ ඉතිහාසඥයන්ගේ නොමඳ කතා බහට පාත්‍රව ඇත. කෝට්ටේ යුගයේ විසූ මහා සාහිත්‍ය ධරයකු සේ සදා බහුමානයට පාත්‍ර වන මහා තෙරපාණන් කෙනෙකු ලෙස කවිකාර වීදාගම මහා මෛත්‍රිය මහා යතීන්ද්‍රයාණන් වහන්සේ හැඳින්විය හැකිය. වීදාගමට ආසන්නව පිහිටි බණ්ඩාරගම ගල්තුඩේ අප කතානායකයන්ගේ ජන්ම ග්‍රාමයයි. අතිශය සද්ධාකාමී සාසනාලයැති කේ. ඩී. නීලිස් ද අල්විස් හා පතිරගේ ජොසලින් නෝනා දම්පතීන්ට දාව 1953 ජුනි මස 11 වන දින ජන්ම ලාභය ලද අප කතානායකයා සහෝදර සහෝදරියන් 09 දෙනෙකු යුත් පවුලේ අන්තිම සාමාජිකයා නොහොත් බඩපිස්සා ය. කුඩා කල සිටම ආගම දහම කෙරෙහි නැඹුරුතාවක් දැක්වූ මේ කුමරුවා පුරාකෘත පුණ්‍ය මහිමය කරණ කොට ගෙන ප්‍රවෘජා භූමියට පත්වනුයේ 1967 ජූලි මස 21 වන දිනදීය. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඕනෑම අයෙකුට තම ජීවිතය අර්ථවත් කර ගැනීමට දෙමාපිය පැවිදි ගුරු සම්භාවනීයත්වය සුවිශේෂී වූවකි. ඒ අනුව එවකට රයිගම් කෝරළය පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාද්වීපයේම මහත් සම්භාවනාවට ප්‍රාප්ත වූ ගෝනදූවේ ශ්‍රී පඤ්ඤාලංකාර හා ගෝනදූවේ ධම්මකිත්ති මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා පැවිදි ආචාර්යවරු වූහ. අනතුරුව මූලික අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වූයේ එදා මෙදා තුර සිරිලක කීර්තිමත් විද්‍යාස්ථානයක් වූ හොරණ විද්‍යාරත්න විද්‍යායතනයට ය. පණ්ඩිත මහනුවර ධම්මරතන, පණ්ඩිත රැටියල පඤ්ඤාසාර, ආචාර්ය හොරණ වජිරඤාණ, පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර ආදී කීර්තිමත් පඬිවරුන්ගේ ආභාසය අප කතා නායකයාණන්ගේ අනාගත ජීවිතය සකසා ගැනීමට මහත් ශක්තියක් විය. ප්‍රාචීන මධ්‍යම විභාගය උසස් ලෙස සාමාර්ථව 1974 ජුනි මස 26 වන දින ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදාව ලදහ.

විසිවයස් සම්පූර්ණව ඉතාමත් තුරුණු වියේදීම භික්ෂුවකට අවශ්‍ය කරන ධර්ම දේශනා, පරිත්‍රාණ දේශනා කුසලතා පමණක් නොව නූතන භික්ෂුවකගෙන් සමාජය අපේක්ෂා කරන සෑම ආගමික කටයුතු පමණක් නොව සාමාජික ශාසනික කර්තව්‍යයන් වලදී මහා යතිවරුන් වැජඹෙන සභාවක වුවද ප්‍රමුඛත්වය නිතැතින්ම ලැබුණේ “ ගල්තුඩේ පොඩි හාමුදුරුවෝ” නමින් ගිහි පැවිදි කවුරුත් සෙනෙහෙබරව ආමන්ත්‍රණය කළ අපේ අභිනව නාහිමිපාණන්ට ය.

තමා හා සම්මුඛ වන ඕනෑම අයකුගේ සිත් දිනා ගැනීමේ මහත් වාසනා ශක්තියක් ගල්තුඩේ පඤ්ඤාකිත්ති නාහිමියන් සතුය, ඕනෑම අයකුගේ සිත් සතන් පහදාදීමේ සමත් අපූර්ව වාග් චාතුර්යයක් උන්වහන්සේ සතුය. දානය, බණ, පිරිත පමණක් නොව වෙනත් ඕනෑම ආගමික සාමාජික පොදු කටයුතුවලදී උන්වහන්සේගේ අනුශාසනාව ගිහි පැවිදි සියල්ලෝම අපේක්ෂා කරති.

විශේෂයෙන් ම බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය, බණ්ඩාරගම පොලීසිය, ප්‍රාදේශීය සභාව, මූලික රෝහල ආදී රාජ්‍ය ආයතන පමණක් නොව පොදු ස්වෙච්ඡා, සංවිධාන ද හැමවිටම යමක් ආරම්භ කිරීමට පෙර පිළිසරණ පතනුයේ ගල්තුඩේ පඤ්ඤාකිත්ති අභිනව නාහිමිගෙනි. තැනට සුදුසු කාලයට යුගයට ගැළපෙන ඕනෑම අයකුගේ සිත් මල් පුබුදුවන දැහැමි මාර්ගෝපදේශ දීමෙහි සහජ කුසලතාවයක් උන්වහන්සේ සතුය. අනුන්ගේ දුකේදී පිහිට වීම අප ලද්දේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන්ය. පරදුක්ඛ දුක්ඛිතයේ දී යුහුසුළු වන හාමුදුරුවන් අතර අපේ නාහිමියන් ට හිමි වනුයේ සුවිශේෂී තැනකි. උන්වහන්සේට ජාති ආගම් කුල ගෝත්‍ර කිසිවක් නැත. දේශපාලන ගැති බවක් ද නැත. බලය, නිලය අභියස නිවට වන්නේ ද නැත. යුක්තිය, සාධාරණත්වය අභියස ඕනෑම කෙනෙකු ඉදිරිපිට ගෞරව කිරීමට තරම් දූරදර්ශී බවක් ද අනන්‍ය වූ දර්ශනයක් ද අවිශේෂ වූ දාර්ශනික චින්තන ධාරාවක් ද තම චරිතයෙන් ප්‍රකට කරති.

මෙහිදී විශේෂයෙන් ම බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ප්‍රජාව උන් වහන්සේ කෙරෙහි දක්වන භක්ත්‍යාදරය විශේෂයෙන් සිහිකට යුතුය. බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල මුස්ලිම් සහෝදරත්වය එකමුතු කම අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කරවාලීමෙහි ප්‍රමුඛම කාර්යභාරය ඉටුකරනුයේ පඤ්ඤාකිත්ති නාහිමියන් ය. සමහර විටක දේශපාලනඥයන්ට, ආරක්ෂක අංශයන්ට නම්‍යශීලී නොවන අය පවා නාහිමියන්ගේ කෙටි දෙසුමකින් සංසුන් වෙති. සමගි වෙති. යථාර්ථය දකිති.

අප කතා නායකයන් වහන්සේ කෙතරම් ක්‍රියාශීලී ජනප්‍රිය සුහදශීලී ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ බවට වැදගත්ම සාධකයක් ලෙස ට බණ්ඩාරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට පත්වීම විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි. මේ වන විට පුරා වසර 22 ක් ම ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය හොබවති.

මෙහි තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙකී වසර 22 ම නිතරගයෙන් පත්වීමය. සමස්ත විහාරාධිපතීන් වහ්නසේලා, ප්‍රධාන ආචාර්යවරු, ගුරුවරු පමණක් නොව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද තවදුරටත් ප්‍රධාන ලේඛකාධිකාරී ධූරය දරන ලෙසට එක හඩින් ඉල්ලා සිටිති. “ දැනගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග” යන ජන වහර මෙහිදී සිහිපත් වේ. විවිධ විෂම විචිත්‍ර පුද්ගල සමූහ අතර මෙන් ම නිතර මතභේද ආදියට ලක්වන දහම්පාසල් ශ්‍රේණි විභාග, තරග විභාග ආදියේදී කෙතරම් අපක්ෂපාතී ව විචක්ෂණශීලීව තාදී ගුණයෙන් අනූනව කටයුතු කර ඇති බවට සාක්ෂියකි. බණ්ඩාරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයෙන් පැතුරුණු යශෝරාවයත්, කීර්ති සෝභාවත් හේතු කොට ගෙන අද දක්වා ම කළුතර දිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයද වසර 08 ක් ම හොබවති. “ සීල දස්සන සම්පන්නං ... “ යනාදී ගාථාවලට අනුව කෙනෙකු ජනප්‍රියවීම උදෙසා හේතුවන කරුණු කිහිපයකි. විනය ගරුක බව, නිකැලැල් දර්ශනයක් අනුව ක්‍රියා කිරීම, ධාර්මික බව, තමාට පැවරෙන කාර්යය මනාව ඉටු කිරීම ආදී වශයෙනි. එකී ගුණාංග නාහිමියන් සතු බවට කදිම සාධකයක් ලෙස ඉහත තනතුරු දැක්විය හැකිය. පදවි තානාන්තර හඹා යන සමාජයක නාහිමියන් ට පදවි තානාන්තර ලැබෙනුයේ ස්වොත්සාහයකින් තොරවය.

නාහිමියන්ගේ ගුරු සේවය ද විචිත්‍ර වූවකි. පඤ්ඤාකිත්ති නාහිමියන් විද්‍යාරත්නයේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන විට එවකට පරිවේණාධිපති ව සිටි ආචාර්ය හොරණ වජිරඤාණ නාහිමියෝ පඤ්ඤාකිත්ති හිමියන් විද්‍යාල අංශයේ ගුරුවරයකු ලෙස යෙදවූහ. අනතුරුව කෝට්ටේ රාජධානිය තෙක් දිවෙන ඓතිහාසික වීදාගම ශ්‍රී ඝනානන්ද මූලික පිරිවෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කළ කල්හි එහි උප ගුරුවරයකු ලෙස පත්ව වසර 10 ක්ම පරිවේණාධිපතීන් වහන්සේ ලෙස සාමණේරයන් වහන්සේලා පුහුණු කිරීමෙහි නියැලුණහ. මීට අමතරව උන් වහන්සේ ආගමික, සාමාජික, ජාතික වැඩ කටයුතුවල නිරත වූ බවට,

* බණ්ඩාරගම ‘සසුන් කෙත’ භික්ෂු සංසදයේ ආරම්භක සභාපති
* බණ්ඩාරගම සමථ මූල සංගමය – උපසභාපති
* බණ්ඩාරගම දිසා රෝහල් උපදේශක සභාවේ සභාපති
* බණ්ඩාරගම පොලිස් උපදේශක සභාවේ සභාපති
* බණ්ඩාරගම රණවිරු සංසදයේ ප්‍රධාන අනුශාසක
* සරණ හා සර්වෝදය ව්‍යාපාර වල දශක තුනකට ආසන්න කාලයක් සභාපති ලෙස කටයුතු කිරීම දැක්විය හැකිය.

මෙසේ අතිවිශිෂ්ට ආගමික, ජාතික, ශාසනික සේවාවන්හි නිරත වන අභිනව නාහිමිපාණන් වහන්සේගේ පදවි ප්‍රාප්තියේ අක්තපත්‍ර ප්‍රදානය 2013 ඔක්තෝබර් මස 04 වන දින සවස 2. 30 ට මහනුවර මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ දී අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. උන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය ප්‍රදේශවාසී මහා සංඝරත්නය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල හා ගල්තුඩේ, ගල්කන්දේ මහා විහාරයේ හා වෑවිට ශ්‍රී පූර්වාරාම උභය විහාරස්ථ දායක සභාවේ බණ්ඩාරගම මුස්ලිම් ප්‍රජාවගේ සහභාගිත්වයෙනුත් ඔක්තෝබර් 05 වන දින සවස 3. 00 ට ගල්තුඩේ ශ්‍රී මහා විහාරස්ථානයේ දි පැවැත්වේ. එහි මුලසුන මල්වතු මහා විහාරයීය අතිගරු අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය දි මු ජයරත්න මැතිතුමන්ගේ ද සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]