UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැබෑ බෞද්ධයා කවරෙක් ද?

සැබෑ බෞද්ධයා කවරෙක් ද?

ශිෂ්‍ය පිරිසක් සහිත ආචාර්යවරයෙකි. ශිෂ්‍යයෝ තරමක් ආචාර්යවරයාගේ ගුණ දනිති. තමනට වඩා උසස් යැයි පිළිගනිති. ඔහු දෙන උපදේශ අනුව උගනිති. උගනිත්ම ඥානයෙනුත් චරිතයෙනුත් වැඩෙනුවෝ සිය අත්දැකීම් අනුව ගුරුන් ගුණ වඩ වඩා දකිති.

ගුරුන් කෙරෙහි ඇතැයි තමන් දක්නා ගුණ රාශියත් ආචාර්යානුශාසනානුගත වීමෙන් ලත් දැනීම හා චරිත වෘද්ධියත් වඩ වඩා සලකනුවෝ ආචාර්යවරයා කෙරෙහි වඩ වඩා භක්තිමත් වෙති. ඥානානුගත භක්තිය ගෞරවය නුවණ වැඩෙන පමණට වැඩේ. සිත තුළම නතර විය නො හෙන තරමට කය, වචන දෙකින් පිට වී පැතිර යන පමණට හෙවත් කය, වචනය දෙකත් තමාට නතුකරගන්නා පමණට වැඩියේ. එසේ අභ්‍යන්තරයේ වූ ගුරු භක්තියෙන් මෙහෙයවන ලද්දා වූ ශිෂ්‍යයෝ අවස්ථාවක් පැමිණි විට මුව නොපොහොනා සේ ගුරුනට ස්තෝත්‍ර වචන කියති. කය නොපොහොනා සේ වතාවත් කෙරෙත්. ඔවුන්ට ගුරුන්ගේ පා සටහන් ලකුණූ වු දූවිලිගොඩද, ඔහු හැද පෙරවාලූ වස්ත්‍රද යටත් පිරිසෙයින් ඔහුගේ නම සටහන් වූ කඩදාසි කැබැල්ලද , ඔහු නමින් වෙන් කර තැබූ ගල් කැටයද, පූජ්‍යවස්තුන් ය. ගුරු ගුණ සලකමින් අපරිමිත භක්තියෙන් ගුරු පුදෙහි නියුක්ත වූ ඔවුහු ගුරු ගුණ එතරම් නොදත් අන්‍යයනට පිස්සෝය. නැතහොත් මෝඩයෝය. එසේ මුත් ගුරුභක්තිය දැක්වීම කෘතවේදී ගුණයෙකි. කෘතඥාතාව පිස්සුවක් හෝ මෝඩකමක් නම් ගුරු පූජාවත් පිස්සුවකි. මෝඩකමෙකි. එහෙත් කෘතඥතාව පිස්සුවක් හෝ මෝඩකමක් නොවේ. එබැවින් ගුරු පූජාවද පිස්සු,මෝඩ ක්‍රියාවක් නොවේ. ගුරු වචනානුකාරි ශිෂ්‍යයා ම විනා අනෙකකු නිසි ගුරු පූජාව කෙරේය යනු අකාරණයෙකි.

ගුරුන් අනුව යන ශිෂ්‍යයන්ගේ කීර්තියද රටේ පැතිර යයි. ඒ ගුරුන්ගේ ශිෂ්‍යභාවයට පැමිණියන් ලබන දියුණුවද මහතැයි හැඟීමෙක් රටේ ඇති වෙයි.බොහෝ දෙනා යථෝක්ත ශිෂ්‍ය පිරිසට එක් වෙති. ඇතැම් කෙනෙක් කුසීතයෝය. මේ දැ කටයුතුය මේ දැ නොකටයුතුයැ’යි ගුරුන් දෙන අවවාද අනුශාසනයන් ඉගෙනීමටද, සිත දරා ගැනීමටද, මැලිය. එපරිදි පිළිපැදීමටද උත්සාහ නොකෙරෙති. හුදෙක් ගුරුන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දැයට ඉඳුරාම විරුද්ධ දැයක් ඔවුහු කියති. කරති. එහෙත් ගුරුන් දෙස බලා ඉඳිති. නැණැසින් බැලිය යුතු ගුරුන් ඔවුහු හුදු මසැස් පමණින් බලති. ඉගෙනීමට නොව, ඉගෙන පිළිපැදීමට නොව හුදෙක් ඇසිම් මාර්ගයෙන් දියුණුව ලැබේ යැයි විශ්වාසයෙන් ගුරු වචනයට කන් නමති. එපමණෙකි. මින් දියණුව ලබමෝයි පතති. ගුරු වචනානුකාරිව ගුණ දැන භක්තිමත් වූ ශිෂ්‍යයාගේ ආචාර්ය පූජාවන් දැක අපිත් එය කරමුයි ඒ කුසීත ශිෂ්‍යයෝද නා නා පුද පෙරහර කෙරෙති. එහෙත් ගුරුන්ගෙන් ගත යුතු කිසි ප්‍රයෝජනයක් එනම් ඉගෙනීමක් ලබන්ට, ඒ අනුව ක්‍රියා කරන්නට තැත් නො කෙරෙති. දැන් ඒ පාසලෙහි ත්‍රිවිධ ශිෂ්‍ය කෙනෙකි. කෙනෙක් ගුරු වචනානුකාරිව උත්සාහයෙන් ගුරු ඔවදන් රකිති. ඉන් තමන් තුළ වන අභිවෘද්ධිය තේරුම් ගනිත් ගනිත් ම වඩ වඩා භක්තිය නැඟීම් හේතුයෙන් ගුරු හට පුද පෙරහර පවත්වන, ගුරුන්ගෙන් නිසි අර්ථයක් සිදු කරගන්නා සැබෑ ශිෂ්‍යයෝයි. කෙනෙක් ගුරු ඔවදන් නොරකින, ඒ බිඳක් පාඩම් කර ගනිතත් තමාගේ උගත්කමක් අන් හට පෙන්වා ගෞරව ලබන පිණිසම මඳක් උගත්, ඒත් එය අනුව නොපිළිපදින ‘ශිෂ්‍යයෝය’ය. තවත් කෙනෙක් ඉගෙනීමක් කොතෙකුත් නැති, උගත් පිළිපදින ශිෂ්‍යයන් කරන ගෞරව දැක අන්ධානුකරණයෙන් කළ යුත්තේ මෙ යැයි මෙය ප්‍රධාන කෘත්‍යය, ගුරු වචන පිළිපැදීම නො කළත් මේ ගෞරව පුද පෙරහර පමණකින් ගුරුන් පෙන්වා දුන් උසස් දියණුව ලබතැකි’යි සිතා ගුරු වෙත පැමිණි හැම විටම නිතරම වැඳගෙන හෝ ස්තුති ඝෝෂය කරමින් හෝ නා නා ගුරු පඬුරු ගුරුන් ඉදිරියෙහි ගොඩගසමින් ‘මෙයින් උසස් දියුණුව ලැබේවා’යි පතමින් ඉඩ ලත් හැම මොහොතෙහිම ගුරු අවවාද වලට පිටුපා අකීකරුකම් නොහික්මුණුකම් කරන ශිෂ්‍යයෝය.

මෙහි පසුව කී දෙපක්‍ෂය ස්වකීය ක්‍රියා මාර්ගයෙන් ගුරුන් නිසි ලෙස පුදන්නන් යැයි ගත හැකිද? ඇයි? අපි මෙතෙක් පුද පෙරහර පිණිස වියදම් කළ මෝ’ යි ඔවුන් කියනවා ඇත. එහෙත් ගුරුන් නොකටයුතු යැයි කී දැයින් අපි මෙපමණට වැළකුණම්හ යි කියන්නට තරම් ඔවුහු විශාරද නොවෙති. ගුරුන් ශිෂ්‍යයන්ගෙන් අපේක්‍ෂා කරනුයේ ඔවුන් ස්ව වචනකාරි වීමය.ආමිසයෙන් සංග්‍රහය ගුරු ගුණ දන්නා ශිෂ්‍යයාගේ යුතුකමකි.

බුද්ධ උත්තමයන් වහන්සේ ගුරු දේව කොට ඇත්තෝ බෞද්ධයෝය. ඔවුහු උන්වහන්සේගේ වචනය පිළිපදිති. ප්‍රතිපත්ති රැකීමෙන් බුද්ධ අවවාදයේ අගය දැන ගන්නෝය. හික්මෙන්නෝය. ඒ බුද්ධ උත්තමයන් වහන්සේගේ ගුණ දැන ආමිසයෙන්ද ඉඩ ලත් හැම තැනම අතිශයෙන් පුදන්නෝය.මේ කවුද? සැබෑ බෞද්ධයෝ නොවෙත්ද?

කෙනෙක් මඳක් බුද්ධවචනය උගනිති. අන් හටද කියති. ඒ හුදෙක් ලාභ කීර්ති, පිරිස් ඇති කර ගන්නා පිණිස නම් ඔවුහු බෞද්ධයෝද? බෞද්ධ උත්තමයන් වහන්සේ ගුරු දේව කොට සලකන සැබෑ අනුගාමිහුද?

කෙනෙක් බුද්ධ අවවාදය නොතකති. නොපිළිපදිති. පස් පව් දස අකුසලින් තොර නොවෙති. එහෙත් කිසියම් වියදමක් කොට, පහසුවෙන් මෝක්‍ෂය ලබතෑකි’යි සිතා හෝ ආමිස පූජා මාත්‍රයක් කෙරෙති. මොවුහු සැබෑ බෞද්ධයෝ ද?

මෙහි දැක්වූ ත්‍රිවිධ බෞද්ධයන්ගෙන් ආදර්ශ කර ගත යුත්තේ සැබෑ බෞද්ධයායි. පිළිගත යුත්තේ කවරෙක්දැ’යි මැදහත්ව සිතා බලත්වා! මෙහි දැක්වුණු ශිෂ්‍යන්ගෙන් සැබෑ ගුරු පුද පවත්වන්නා කවරේද? මොවුන්ගෙන් කවරකු විය යුතු දැ’යි මැදහත්ව සලකා බලා තෝරා ගෙන එපරිදි පැවැත සැබෑ බෞද්ධ උපාසකයෝ වීමට සිත් කෙරෙත්වා!

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]