UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපතේ සිට වෙනස්වන ජීවිතයේ සැබෑ අරුත

උපතේ සිට වෙනස්වන ජීවිතයේ සැබෑ අරුත

දරුවකු කුස දරා සිටින මවකට ඇතැම්විට තමන් බලාපොරොත්තු වන සැනසිලිදායක බව බාහිර පරිසරයෙන් නොලැබී යන්නට ද ඉඩ තිබේ. සැමියාගේ ඇවැතුම් පැවැතුම් අයහපත් වන්නේ නම් බිරිඳගේ චිත්ත සන්තානයේ සතුට, ප්‍රීතිය නැතිවන්නේය. ස්වාමියා නිරතුරු බීමත්කමින් සැඩපරුෂ භාවයෙන් යුතුව හැසිරෙන විට ඇයට එය බලපාන්නේය

සියලු සත්වයෝ සැපයට කැමැත්තෝ වන්නාහ. එහෙත් නිවන හැර, සදාකාලික වූ සැපයක් තුන් ලෝක ධාතුවෙහිම නැත. එම නිසා සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ නමක් ලොවට හෙළි කරන පරම සත්‍ය වන්නේ ත්‍රිලක්ෂණයයි. එය ලොව සනාතන ධර්මය වේ.

සාමාන්‍ය පුහුදුන් ජනයා සිතන්නේ මවුකුස ඔත් සත්වයා නව මසෙකින් ඉක්බිතිව ලොවට බිහිවන විට නිත්‍ය වූ සුඛ වු දරුවකු බිහිවූ ලෙසටයි. අවිද්‍යා සහගතව සිතීමේ ස්වභාව එයයි. අද අප විස්තර කරදීමට බලාපොරොත්තු වන්නේ නව මසක කාලයක් තුළ දරුවකු මවුකුස විඳින දුක් සහගත ස්වභාව කෙබඳු වේද යන්නයි. ඒ පිළිබඳ ‘ අනිච්ච’ දහමට අනුව සිතා බැලීමෙන්, විමසා බැලීමෙන් ජීවිතයේ යථා තත්ත්වය වටහා ගැනීමට ඔබට අවකාශ සැලසෙනු ඇත.

මරණය සමඟචුති, උප්පත්ති වශයෙන් මවුකුසක පිළිසිඳ ගන්නා සත්වයා සොයනුයේ ද සැපයයි. එහෙත් සියල්ල වෙනස්වීමේ ස්වභාවට, ‘ අනිච්ච’ දහමට මුහුණ දීමට සිදුවේ. මවුකුස යනු සුව යහනක් නොවේ. හාත්පස දුර්ගන්ධය පිරුණු අශූචි වළක් මෙනි. අශූචි වළකින් නික්මෙන දුර්ගන්ධය ඔබට ඉවසා දරා ගැනීමට හැකිද ? ඉන් ඔබ මහත් සේ දුකට පත්වනවා නේද ? ඇතැම්විට තාවකාලිකව දුර්ගන්ධය නොදැනීම පිණිස නාසය වසා ගැනීමට උත්සාහවත් වේ. එහෙත් මවුකුස සිටින දරුවාට එසේ කිරීමට හැකියාවක් නැත. කියන්නට කෙනකු නැත. ඉවත්වීමට හැකියාවක් ද නැත. මහත් වූ අඳුරු ගුහාවක වාසය කරන්නාක් මෙන් ද පහසුවෙන් අත්පා දිග හැරීමට හැකියාවක් ද නොමැතිව ශීත උෂ්ණයෙන් මිරිකී දුක් විඳින්නේය. අපවිත්‍ර දෑ එකතු වූ තැනක මොන තරම් උෂ්ණයක් පවතිනවාද ? පිදුරු ගොඩක් ගසා දින කිහිපයකට පසුව ඇතුළට අත දිගු කොට පරික්ෂා කළවිට අධික උෂ්ණයක් ඔබට දැනෙන්නේය. එලෙස ශීත, උෂ්ණයෙන් නිරතුරු පිඩාවට පත්වන්නේය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා ධාතුන්ගේ වෙනස්වීමේ ස්වභාව කරණකොට ගෙන නිතරම පීඩාකාරී වේ. කිපීම්, තදවීම්, වැගිරීම්, තෙරපීම්වලින් මේ පීඩනය කුස ඔත් ළදරු කලලයට දැනේ. මව සහ දරුවා යන දෙදෙනාටම සැපයට වඩා දුක්ඛදායක ස්වභාව වැඩි වන්නේය.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ දෙදෙනා තුළින්ම විද්‍යමාන වන බව නුවණෙන් විමසා බලන ( යෝනිසෝමනසිකාරයෙන් ) යෝගාවචරයාට ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට අවස්ථාව උදාවන්නේය. කාමයන් කෙරෙහි ඇලුණා වූ නුවණ මඳ ජනයාට තමාගේ ශරීර කූඩුව තුළ සිදුවන විපරිණාමය අවබෝධ කරගෙන ‘අනිච්ච’ දහම තුළින් සැනසිල්ල ළඟා කර ගැනීමට හැකියාව නැත්තේය. එයට හේතු වන්නේ අවිද්‍යාවෙන් වැසී ජීවත්වීමයි.

මවගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගන්නා විට ඇයගේ ශරීරයේ කෙතෙක් නම් වෙනස්වීම් සිදුවනවාද ? ඇයගේ විඤ්ඤාණ ධාරාවෙහි මොන තරම් වෙනස්කම් සිද්ධවනවාද ? කාන්තාවකට ආවේණික වූ දුක් මේ අවස්ථාවේ ඇයට දරා ගැනීමට සිදුවේ. ස්ත්‍රියක හා පුරුෂයකු විවාහ වූ විට මේ අඹුසැමි යුවළ විවාහ සැපත භුක්ති වින්ද ද ඔවුන් මවුපිය පදවි ලබන්නට සූදානම් බව දැනගත් විට කාමභෝගි ස්වභාව ක්‍රමයෙන් අහෝසි වන්නේය. දාරක ස්නේහයෙන් යුතු මවත් පියාත් තම නූපන් සිඟිත්තා වෙනුවෙන් සුවදායක වටපිටාවක් ගොඩනැගීමට වෙහෙසෙති. මෛත්‍රී සිත් ඇති ස්වාමියා මෙවන් අවස්ථාවක සිය ස්වාමි දියණියට කාරුණිකව, ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරමින් ද ගේදොර කටයුතු ආදියෙහි පහසුකම් සලසමින් ද ක්‍රියා කරන්නේ නම් වැඩදායකය. එහෙත් සත්‍ය වශයෙන්ම මේ සියල්ලෙහි වන යථාර්ථය කුමක්ද ? දරුවකුගේ පිළිසිඳ ගැනීමත්, ඒ ආශ්‍රිත සිදුවන සෙසු සියල්ලෙහිත් පවතින්නේ සියලු සංස්කාරයන්ට පොදු ‘අනිච්ච’ ස්වභාවයයි.

දරුවකු පිළිසිඳ ගත් විට වමනය, කෑම අරුචිය, දොළදුක් හටගැනීම, ක්ලාන්තය වැනි නොයෙක් වෙනස්කම් මව කෙරෙහි ඇතිවේ. ස්වාමි දියණියගේ වෙනස්වීම ඇයට පමණක් නොව ස්වාමියාට ද ශෝකයක් ගෙන දෙයි. පීඩාකාරී ස්වරූපයක් ඔහු සිත තුළ ද හටගනිමින් මුලින් පැවැති සැහැල්ලුව නැති වී යයි. වෙනස්වීමේ ස්වභාවයට එනම් අනිත්‍යතාවට දෙදෙනාටම මුහුණ දීමට සිදුවෙයි.

ක්‍රමයෙන් දරු ගැබ මෝරා වැඩෙන විට කුස සිටින දරුවාගේ ක්‍රියාකාරිත්වය ද වෙනස් වන්නේය. මේ වෙනස්වීම දරුවා පිළිසිඳගත් මොහොතේ සිටම ක්‍රමිකව සිදුවෙයි. මව සහ දරුවා යන දෙදෙනා සැලකුවහොත් ඔවුන් දෙදෙනාගේ වේදනා ද මොහොතෙන් මොහොත සැප, දුක්ඛාදීි වේදනා බවට පත්වෙමින් වෙනස් වන්නේය. මව වමනය කරන විට දරුවාට ද බඩ පපුව ගැස්මෙන් දරුවා ද චලනය, තෙරපීම ඇති වන්නේය. එයින් මහත් අපහසුතාවක් දරුවාට හටගනී. මවට ඒ පිළිබඳ වැටහීම මඳ වුවත් දරුවාට හාත්පසින්ම දුක්ඛ වේදනා දැනෙන්නේය. මවගේ ඉරියව් පැවැත්ම වෙනස් වන සෑම අවස්ථාවකම දරුවාට ද වේදනා දැනේ. මව හිඳ ගත්විට දරුවා තෙරපීමට පත්වන්නේ ය. නැඟිට යනවිට නැවත චලනය වීමට පටන් ගනී. මොහොතකට සුඛ වේදනාවක් දැනෙමින් ඊළඟ මොහොතේ යළිත් දුක් වේදනාවක් බවට පරිවර්තනය වේ. මෙලෙස දෙදෙනාගේම නාම රූපයන් වෙනස්වීමට පත් වන්නේය.

මව ශීතල ජලය පානය කරන්නී නම් දරුවාට එය මහත්, පීඩාවක් දුකක් වන්නේය. ශීත කළ පානයක් කෙරෙහි වන මවගේ ආශාව දරුවාට දුකකි. අධික ශීතල යමක් පානය කරන විට දරුවා සීත නරකයේ වැටුණාක් මෙන් ද උණුසුම් කිසිවක් පානය කරන විට දරුවා අපා ගින්නේ දැවෙන සත්වයකු මෙන්ද අධික සැර ආහාර අනුභව කරන විට ඔසුපත් නිරයේ තියුණු කටුක වේදනා විඳින්නකු මෙන් ද දුකට පත්වන්නේය. මව ඒ මේ අතට හැරෙන විට, ගොදුරක් ගිල දැමූ සර්පයකු ටික වේලාවක් ගොදුර නිසාම මහත් වූ පීඩාවට, දුකට පත්වන්නේ යම් සේද එසේම දරුවාට හුස්ම ගැනීමට පවා අපහසුතා ඇතිවන්නේය. මවගේ වේගවත් ක්‍රියාකාරකම් දරුවාට දුක් පිණිස වන්නේය.

දරුවකු කුස දරා සිටින මාතාවකට සිය ස්වාමිපුරුෂයාගෙන් පවා උපස්ථාන ලබා ගැනීමට සිදුවේ. මුලින් සැමියාට සේවය කළත් දරු ගැබ මෝරන විට සැමියාගේ උපකාරය ඇයට බෙහෙවින් අවැසි වේ. ආහාර සකස් කරදීම, බෙහෙත් සපයා දීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත කැටුව යෑම, ආරක්ෂාව සැලැසීම, රැකියාවක් කරන්නේ නම් ඇයට හිතකර සේවිකාවක සෙවීම, නොඑසේනම් මවුපියන්ගේ නිවෙසට හැරලීම ආදී කටයුතු රාශියක් වගකීමෙන් යුතුව ඉටුකිරීමට ස්වාමියාට සිදු වන්නේය. දිවා රාත්‍රි වෙහෙස නොබලා මවගේත් දරුවාගේත් ආරක්ෂාව, සුවපහසුව වෙනුවෙන් කටයුතු කිරීමට වෙහෙසවත් විය යුතුය. මේ කරුණුවලින් ඔබට මනාව වැටහෙන්නේ කුමක් ද ? ජීවිතය තුළ බලාපොරොත්තු වන ආකාරයෙන් අඛණ්ඩ සුවයක් නැති බව නොවේද ? එය තමයි බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සත්‍ය දහම වන්නේ. ‘අනිච්ච’ නමැති සනාතන ධර්මතාව එයයි.

දරුවකු කුස දරා සිටින මවකට ඇතැම්විට තමන් බලාපොරොත්තු වන සැනසිලිදායක බව බාහිර පරිසරයෙන් නොලැබී යන්නට ද ඉඩ තිබේ. සැමියාගේ ඇවැතුම් පැවැතුම් අයහපත් වන්නේ නම් බිරිඳගේ චිත්ත සන්තානයේ සතුට, ප්‍රීතිය නැතිවන්නේය. ස්වාමියා නිරතුරු බීමත්කමින් සැඩපරුෂ භාවයෙන් යුතුව හැසිරෙන විට ඇයට එය බලපාන්නේය. මවගේ හදවතේ දුක් වේදනා දරුවාට ද බලපායි. මෙලෙස පුහුදුන් සන්තානයේ සිතුවිලිවල රළුභාවයන් මවට දරා ගැනීමට සිදුවන්නේය. සැමියාගේ කරුණාව, රැකවරණය නිසි පරිදි නොලැබෙන්නේ නම් බිරිඳගේ සිතේ නොරිස්සීම, තරහ, තද කෝපය ආදී සිතුවිලි ජනිත වනු ඇත. නිරතුරු එවැනි ද්වේශසහගත හැසිරීම් දරුවාගේ සැපයට අන්තරාකාරි වේ. ලේ ධාතුව කිපීම, නිසි පෝෂණය අහිමිවීම, නිදහස සීමාවීම, අවිවේකය හා මානසික පීඩාව වැඩිවීම මවගේත් දරුවාගේත් සෞඛ්‍යයට හානිකර ලෙස බලපෑම් ඇති කරයි. ගැබ්ගත් මාතාවකගේ සිතේ නිරතුරු දුක් වේදනා බහුල වීමෙන් දරුවාගේ ජීවිත කාලයටම බලපාන ආබාධ හටගැනීමට ඉඩ ඇත. ඇතැම් මවුවරු බොහෝ වේලාවක් සිට ගෙන වැඩ කරති. අවුවේ පින්නේ නිදිවරති. දිළිඳුකම හා අසහනකාරිත්වය ද ජීවිතයේ බලාපොරොත්තු වූ සැපත වසා දුක උරුමකර දෙයි. මෙසේ සියලු සත්වයන්ටම පොදු අෂ්ටලෝක ධර්මතාවට මුහුණදීමට ශක්තියක් නොමැතිව කම්පාවට පත්වෙයි.

විපරිණාමය හෙවත් වෙනස්වීම තවදුරටත් වටහාගනිමු. අඹු සැමියන් වශයෙන් ජීවිතය සතුටින් ගත කරන්නට සිතා සිටියත් අනපේක්ෂිත අයුරින් රෝග ව්‍යසන ආදිය ජීවිතය කරා පැමිණේ. උදේ වරුවේ නීරෝගීභාවය සවස් කාලය වනවිට නැතිවන්නේය. හිසේ රුදාව, දත් කැක්කුම, ආහාර අරුචිය ආදියෙන් පටන් ගත්විට උණසන්නිපාතය, මාරාන්තික ඩෙංගු වැනි රෝග සහ හදිසි අනතුරු ආදිය නිසා පවුල් සංස්ථාවේ සුඛය නැතිවී දුක උරුම වන්නේය. ඥාති ව්‍යසන, භෝග ව්‍යසන හා ධන හානි ආදිය හේතුවෙන් ද හටගන්නේ තියුණු දුක් වේදනාවන්ය. ඇතැම්විට තම පවුලට ඇප උපකාර කරන කිසිවකුගේ ස්වල්ප වෙනස්වීමකින් පවා දෛනික ජීවිතයේ මහත් පෙරැළිම් ඇතිවන්නේය.

හොඳීන් සිතා බලන්න. වෙනස්වීම් ස්වභාව කොටගත් ජීවිතය තුළ සැබැවින්ම පවතින්නේ දුකම නොවේද ? එය තුළ මමය, මගේය කියා අල්වා ගැනීමට, ග්‍රහණය කර ගැනීමට කිසිවක් තිබේද ? එවැන්නක් නොමැති බව විදර්ශනා නුවණ මෙහෙයවන යෝගාවචරයකුට පසක් වන්නේය. දරුවකු මවු කුස පිළිසිඳ ගත් තැන් පටන් සිදුවන දේ යෝනිසෝමනසිකාරයෙන් දකින ප්‍රඥාවන්තයකුට ජීවිතයේ යථා ස්වභාව අවබෝධ කරගත හැකිය.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]