UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රටට ආශිර්වාදය සලසන බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවය

රටට ආශිර්වාදය සලසන බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවය

ඇසළ උත්සවයේ අතීතය බුද්ධකාලයටත් පෙර දවස තෙක් දිවයන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙවැනි උත්සවයක් පැවැති බවට නොයෙක් සාක්‍ෂි දක්නට ලැබේ. ඉන්දියාවේ පැවැති බොහෝ දෑ ලංකාව කෙරෙහි බලපාන ලද ආකාරය ද ඉතා ප්‍රකටය. අනුරාධපුර යුගයේ දී ඇසළ උළෙල සාමාන්‍ය සැණකෙළියක ස්වරූපයෙන් පැවැති බවට ද තොරතුරු දක්නට ලැබේ. පසු කාලීනව බුදුදහමේ බලපෑම මත එය ආගමික ස්වරූපයක් ගන්නා අයුරු දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මුල් කරගෙන දළදා පූජෝත්සවයක් ලෙස මුළුමනින්ම ආගමික ස්වරූපයකින් මෙය සිදු කොට ඇත.

කාලයාගේ ඇවෑමෙන් තත්කාලීන රජවරුන්ගේ මැදිහත්වීම නිසා දෙවියන් උදෙසා කෙරෙන උපහාර පූජාවක් වශයෙන් දේවාල පෙරහරද මෙයට සම්බන්ධ වන්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ නමුත් හිංසා සහගත ස්වරූපයත් හුදු විනෝදාත්මක ස්වරූපයත් මුළුමනින්ම ඉවත්ව බුදුදහමේ බලපෑම මත ඇසළ උත්සවය ඇසළ පෙරහර බවට පත්වූ බව කිව හැකි ය. ශ්‍රී ලාංකික ජනතාව මෙයින් අවිහිංසක වින්දනයක් හා ආගමික ආස්වාදයක් ලබා ගත්හ. මුළු වසර පුරා දෛනික කටයුතුවලින් ඔද්දල්වුණු සිත් සතන් පී‍්‍රනනය තුළින් ඇසළ උත්සවය බෞද්ධ ජනජීවිතයට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නාට සැකයක් නැත.

පුරාණයේ පටන් ශ්‍රී ලංකාවේ පැවැත එන ඇසළ උත්සව, ඇසළ පෙරහර රාශියකි. මහනුවර, දෙවිනුවර, කතරගම, රත්නපුර යනාදී ඓතිහාසික සිද්ධස්ථානවල පැවැත්වෙන ඇසළ උත්සව ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ හැරෙන්නට බෙල්ලන්විල ආදි කොට දිවයිනේ නොයෙක් ප්‍රදේශවල විවිධ තරාතිරම්වලින් ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන ඇසළ පෙරහර රාශියක් ඇති බව ප්‍රකටය.

මෙම පෙරහර පුණ්‍යොත්සවය එහි පැරැණි සම්ප්‍රදායන් නොඉක්මවමින් පවත්වාගෙන යෑම ඉතා වැදගත් කාර්යයකි. පුද සිරිත් ඉටු කිරීම වශයෙන් පවත්වනු ලබන මෙම පෙරහර උත්සව තුළින් පොදු ජනතාව ලබනුයේ මහත් මානසික ශාන්තියකි. එකට එක්ව සාමූහික ක්‍රියාදාමයක් වශයෙන් සිදු කරන මෙම පූජෝත්සව නිසා ගොඩනැඟෙන මානව හිතවාදී ස්වරූපය ඉතා වැදගත් ය. අඛණ්ඩව රැකගන්නා සිරිත් විරිත් නිසා අපගේ ජාතික අනන්‍යතාවටද මහත් පිටිවහලක් ලැබේ. විශේෂයෙන්ම පෙරහර පූජෝත්සව සඳහා මූලික දායකත්වයදෙන පාරම්පරික දේශීය නැටුම් කලාව සුරක්‍ෂිත වීමට හා පෝෂණයට ද මහත් පිටිවහලක් මෙයින් ලබා දේ. අපේ සංස්කෘතිය, කලාව, කෙතරම් උසස් වුවද ඒවා ප්‍රදර්ශනය සඳහා වේදිකාවක් නොලැබේ නම් කලාකරුවා දිරිමත් නොවේ. ඒ සඳහා මෙබඳු ඇසළ පෙරහර උත්සව හොඳ වේදිකාවක් බව සඳහන් කළ යුතු ය.

මෙම උදාර පරමාර්ථ රාශියක් මුදුන් පැමිණවීම බෙල්ලන්විල ඇසළ පූජෝත්සවයෙන් සිදු කෙරේ. වසර 63 ක් පුරා මෙම ඓතිහාසික පෙරහර ශ්‍රී ලාංකේය ජන හදවත් අමන්දානන්දයට පත් කොට ඇති බව නොරහසකි. බෙල්ලන්විල රාජමහා විහාරය ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිද්ධස්ථාන අතර ප්‍රමුඛස්ථානය ගන්නා පුණ්‍ය භූමියකි. පෞරාණික දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගේත් එම බෝ සෙවනේ පිහිටි ශ්‍රී විෂ්ණු මහා දේවාලය ප්‍රධාන දේවාල සමූහයත් නිසා ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ට බෙල්ලන්විල, පුණ්‍යභූමියක් මෙන්ම අභය භූමියක් බවට ද පත්ව ඇති බව කිව යුතු ය. විහාරස්ථානය ජනතාවට ලෞකික හා ලොව්තුරා සැප සලසන කේන්ද්‍රස්ථානය විය යුතු බව දුරාතීතයේ සිටම භික්‍ෂූන් වහන්සේගේ පිළිගැනීමයි. ඒ අනුව පන්සල ආගම දහමටත්, අධ්‍යාපනයටත්, කලාවටත්, සංස්කෘතියටත්, කේන්ද්‍රිය වූ මධ්‍යස්ථානය වේ. මෙම මතයෙහි පිහිටා කටයුතු කළ බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩ සිටි මින් 29 වසරකට පෙර අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1950 වසරේ දී බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ආරම්භ කරන ලදී. ඒ වන විටත් සාමාන්‍ය දුරුතු පෙරහරක් වශයෙන් කාලාන්තරයක් මුළුල්ලේ මෙම පෙරහර පැවැති බව පැරැන්නන්ගෙන් අපි අසා ඇත්තෙමු. බෙල්ලන්විල විහාරස්ථානය මනා සේ දියුණු කළ අප නාහිමිපාණන් වහන්සේ ඇසළ පෙරහරෙහි නිර්මාතෘවරයා වශයෙන් සිදු කළ සේවය ඉමහත් ය. නිර්මාණ කුසලතාවයෙන් හා බහුජන හිතකාමී බවෙන් යුතු අසාමාන්‍ය ක්‍රියාවලියක නිරත වූ ශ්‍රී සෝමරතන නාහිමිපාණෝ විහාරස්ථානය සමාජ අවශ්‍යතා සපුරාලන ආයතනයක් විය යුතු බව තරයේම පිළිගත්තහ. එනිසා එයට සරිලන අධ්‍යාපනික හා සංස්කෘතික සේවා රාශියක් උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදී බෙල්ලන්විල ඇසළ පෙරහරද එවැන්නකි. මෙම පෙරහර නින්දගම් හා රාජකාරි ක්‍රමය මත සිදුවන්නක් නොවේ. වත්මන් සමාජ ආර්ථික රටාව දෙස බලන විට බෙල්ලන්විල පෙරහර පුරා 63 වසක් කල් පවත්වාගෙන ඒමට හැකිවීම ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ උදාර අධ්‍යාශයෙහිම ප්‍රතිඵලයක් වූවාට සැකයක් නැත.

පුරා 63 වසක් මුළුල්ලේ පවත්වාගෙන එනු ලබන බෙල්ලන්විල ඇසළ උළෙල, ආරක්‍ෂාව පිළිබඳ අවිනිශ්චිත වකවානුවලදී පවා අඛණ්ඩව පවත්වාගෙන එන ලදී. මෙවර පවත්වනු ලබන්නේ 63 වන පෙරහර පූජෝත්සවයයි. එය කිසිදු අඩුවකින් තොරව පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු සංවිධානය කොට ඇත. දශක හයක් ඉක්මවූ අඛණ්ඩ ඉතිහාසයක් ඇති මෙම මහා ඇසළ උත්සවයෙහි අප දක්නා සුවිශේෂීතාවක් ඇත. එනම් පෞරාණික චාරිත්‍රවිධීන් නොඉක්මවා ඒ සඳහා ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කිරීමයි. ඒ නිසා මෙය සාමාන්‍ය පෙරහර සන්දර්ශනයක් නොව පෙරහර පූජෝත්සවයක් බවට පත්ව ඇති බව කිව යුතු ය. ඒ අනුව මෙහි ප්‍රමුඛත්වය හිමිවන්නේ බුද්ධවන්දනාව සඳහාය. ප්‍රථමයෙන්ම තෙරුවනට උපහාරපුද කරමින්, ඇසළ පෙරහර පූජෝත්සවයේ නිර්මාතෘ වන අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේට කෘතවේදීභාවය පළකිරීම සඳහා ගුණානුස්මරණ පින්කමකින් මෙහි කටයුතු ඇරැඹීම 1985 වර්ෂයේ සිට සිදු කෙරිණි. වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේත්, විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේත් පූර්ණ අධීක්‍ෂණය යටතේ වසරින් වසර බෙල්ලන්විල ඇසළ පෙරහර උළෙල නව මුහුණුවරකින් යුතුව සංවිධානය කෙරේ. ගුණානුස්මරණ පින්කම්මාලාව අවසානයේ දී ආරම්භ කරනු ලබන්නේ සති පිරිත් දේශනයයි. එය සැබැවින්ම ධර්මයේ ආශිර්වාදය හා ආරක්‍ෂාව රට දැය වෙනුවෙන් ලබාදීමකි. එම සති පිරිත් දේශනාව පැවැත්වෙන අතර සුබ මොහොතින් කප් සිටුවීම සිදු කරන අතර සතිපිරිත් දේශනයේ දේවදූත පෙරහර පැවැත්වෙන්නේ ඉන් පසුවය. කුඹල් පෙරහර ගෙවැදීම සිදු වන්නේ ද මෙදිනමය. ඉන් අනතුරුව විහාර භූමිය තුළ ගමන් ගන්නා මල් පෙරහර දින හතරක් මුළුල්ලේ පවත්වමින් රත්නත්‍රය සඳහා පූජා පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරනු ලැබේ. මේ අනුව සමස්ත පෙරහරම තෙරුවන් වන්දනාවට ප්‍රමුඛත්වය දී සැකසී ඇති අයුරු විශිෂ්ටය. ඉන් අනතුරුව පාවාඩ පෙරහරේ සිට මාලිගාව පෙරහර හෙවත් සර්වඥධාතූන් වහන්සේ වැඩ හිඳීන සධාතුක කරඬුව පෙරටු කොටගත් සර්වඥ ධාතු පෙරහර ඉදිරියෙන් ගමන් ගනී. දේවාභරණ රැගත්, සතර මහා දේවාලවලට අයත් පෙරහර සතරකින්ද යුතුව පංච මහා පෙරහරකින් බෙල්ලන්විල ඇසළ පෙරහර සමන්විත වේ. එසේම අවසාන රන්දෝලි මහා පෙරහරින් පසුව දහවල් පෙරහර හෙවත් දියකපන පෙරහර පවත්වා දිය කැපීමේ චාරිත්‍රය සිදු කොට ගරායක් නැටුමෙන් හා දේව දානයෙන් පසු ඇසළ පෙරහර පූජෝත්සවය නිමාවට පත් කරනු ලැබේ. මෙසේ සුපුරුදු පිළිවෙළකට අනුව චාරිත්‍ර මූලික කොටගෙන ක්‍රමික ස්වරූපයකට අනුව බෙල්ලන්විල ඇසළ උළෙල මෙවරද සංවිධානය කොට තිබේ. මේ අනුව දළදා පෙරහරට සමාන අයුරින් සංවිධිත වූ මෙම මහා පෙරහර මෙරට පමණක් නොව විදේශයන්හි ද කීර්තියට පත්ව ඇති අතර ලංකාවේ සිව් දිගින් පැමිණෙන සැදැහැවතුන්ගෙන් බෙල්ලන්විල පුද බිම ඇසළ උත්සව සමයෙහි පිරී ඉතිරී යන අයුරු දක්නට ලැබේ.

අපවත් වී වදාළ ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණය සඳහා සිදු කරනු ලබන ප්‍රාප්ති දානමය පින්කම මෙවර සිදු කරනු ලැබුවේ බෙල්ලන්විල රාජමහා විහාරයේදී ය. අගෝස්තු මස 10, 11 දෙදින තුළ එය පැවැත්වුණු අතර අගෝස්තු 15 වැනි දින ඇරැඹු ධර්ම දේශනා මාලාවකින් අනතුරුව 18 වැනිදා සති පිරිත් දේශනය ආරම්භ කරන්නට යෙදුණි. එය 24 වැනිදායින් අවසන් වේ. 24 වන දින දිවා කාලයේ දී පැවැත්වෙන කුඹල් පෙරහරෙන් පසු මෙවර පෙරහර පූජෝත්සවයෙහි මල් පෙරහර අගෝස්තු මස 25, 26, 27 සහ 28 යන දිනවලදී පැවැත්වෙන අතර 29 වන දින පාවාඩ පෙරහර ද, 30 වැනි දා රන්සිවිලි පෙරහර ද පවත්වනු ලැබේ. අගෝස්තු මස 31 වැනි දින රන්දෝලි මහා පෙරහර පවත්වා සැප්තැම්බර් 01 වැනි දින දහවල් පෙරහරෙන් පසු දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබේ. එදිනම පස්වරුවේ පැවැත්වෙන ගරා යක් නැටුමෙන් හා මහා දේවදානයෙන් පසු මෙවර ද බෙල්ලන්විල ඇසළ පෙරහර රටට හා දැයට ආශිර්වාද කරමින් නිමාවට පත් කෙරෙනු ඇත.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]