UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් පුරා පව් දුරලමු

පින් පුරා පව් දුරලමු

මෙලෙස සසර සිදු කරන පින් පව් අපගේ ඊළඟ භවය සඳහා හේතු වෙයි. එම පින් පව් විඤ්ඤාණය තුළ තැන්පත් වෙලා තිබේ. එබැවින් ශීල, සමාධි, ප්‍රඥා යන ශික්‍ෂා සිත තුළ ප්‍රගුණ කොට අකුසල් පක්ෂය මර්දනය කොට කුසල් පක්ෂය ඉස්මතු කොට නිවන් දැකීම සඳහා උත්සාහ දරමු

විමාන වත්ථුව මඟින් අනාවරණය කරන්නේ සසර දී කළ පින් දහම්ය. ප්‍රේත වත්ථුව මඟින් හෙළි වන්නේ සසරදී කළ පව්කම්ය. සැබැවින් මෙහිලා පළමුව බුදු දහමේ ඉගැන්වෙන කර්මය පිළිබඳ මූලිකාවබෝධයක් ලබා තිබීම වැදගත්ය. පසුව විමාන වත්ථුව හා ප්‍රේත වත්ථුවේ ඇතුළත් කථාවන් ද කිහිපයක් විමසා බලමු.

අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ නිබ්බේධික සූත්‍රයේ කර්මය මෙලෙස නිර්වචනය කරයි. ‘චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා’ මහණෙනි මම චේතනාවට කර්මය යැයි කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි යනුවෙන් එයින් අදහස් වේ. එසේම ලෝක සත්වයා කර්මයේ දාසයන් කොට ජීවත් වන්නේ කරත්ත රෝදය කඩ ඇණයකින් සිරවී පවතින ලෙසිනි. ඒ බැව් අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතයේ සංසප්පනී පරියාය සූත්‍රය මඟින් ද පැහැදිලි කරයි. මෙම සත්වයෝ කර්මයම තමා අයත් දේ කොට සිටිති. කර්මය දායාද කොට සිටිති. කර්මය උප්පත්ති ස්ථානය කොට සිටිති. කර්මය ඥාතියා කොට සිටිති. කර්මය පිළිසරණ කොට සිටිති. යහපත් හෝ අයහපත් හෝ කර්මයක් කරයි නම් ඔහුගේ දායාදය බවට පත්වන්නේ එම කර්මයයි යනුවෙන් දක්වයි. එසේ නම් සිත දුබල වූයේ නම් විඤ්ඤාණය තුළ තැන්පත් වී ඇති අකුසල කර්ම ඉස්මතු වී කාම දුගතියකට ඇද දමයි. සිත ප්‍රබල වූයේ නම් අකුසල කර්ම යටපත් වී කුසල කර්ම ඉස්මතු වී කාම සුගතියක උපතක් කරා යෑමට හැකිය. විමාන වත්ථුවට අනුව බලන කල මිනිස් ලොව දී පින් දහම් කළ අය කර්මානුරූපීව දිව්‍ය විමානවල සැප විඳින අයුරු කියාපාන තොරතුරු රාශියක් අවබෝධ කර ගත හැකි ය. පීඨ වර්ගයේ 13 වන දිව්‍ය විමානය ලෙස දක්වන්නේ සුණිසා විමානයයි. මෙහි වසන දෙව්දුව දසත බබුළුවමින් ඕෂධී තාරකාවක් මෙන් දිව්‍යලෝකයේ සැප විඳිමින් වාසය කරයි. මෙයට හේතුව මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විමසීය. එවිට දෙව්දුව පවසන්නේ මිනිස් ලොව දී මාමණ්ඩියගේ ගෙදර ලේලිය හැටියට සිටිද්දී ප්‍රසන්න, නොකැළඹුණු තෙරුන් වහන්සේ නමක් දැක පැහැදී සියතින් ම පැණි පිට්ටු භාගයක් පූජා කළාය. එම පූජා කරගත් පිනෙන් මැරී නන්දන වනයෙහි සතුටු වෙවී ඉන්නා බව කීය. සිත පහදවාගෙන සුළු දෙයක් හෝ ආර්ය මහ සඟරුවනට පූජා කර ගන්නේ නම් එයින් ලැබෙන කුසල විපාකය මහත්ඵල මහානිසංස වන බව පැහැදිලිය. එසේම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිසුදු ජලයෙන් නහවා දිව්‍ය ලෝකයේ නන්දන උයනෙහි දෙවියකු වී උපන් කතාවක් අම්බ විමානය මගින් ගෙන හැර දක්වයි. අනේක වණ්ණ විමානය මගින් පැහැදිලි වන්නේ සිත පහදවාගෙන අනිත් අයව දන් දීමෙහි සමාදන් කරවීම හා සුමේධ ශාස්තෘන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදිකළ ස්ථුපයට පහන් සිතින් යුතුව වන්දනා මාන කිරීමෙන් තව්තිසා දෙව්ලොව දෙවි පිරිස මැද සුනිම්මිත දිව්‍ය රාජයා මෙන් අනිකුත් දෙවිවරුන්ගේ වැඳුම් ලබමින් ශෝක වැළපීම් නැතිව දෙවියකු වී ඉපදීමට හේතු වූ බව පැවසීය. මණිථුන විමානය තුළින් කියවෙන්නේ පුද්ගලයෙකු දිව්‍ය ලෝකයේ ඉපදීමට සිදු කළ පින්කම්ය. මිනිස් ලොව දී මොහු වනගත මාවතක සක්මන් මළුවක් සෑදීම, ආරාමයක් සෑදීම, රුක්රෝපණය කිරීම, සිල්වතුන් වහන්සේලා කෙරෙහි සිත් පහදවා ගැනීම, පිළිවෙළට දන්පැන් සාදා දන් පූජා කිරීම යන කාරණා නිසා දිව්‍ය ලෝකයේ ඉපිද සැප සම්පත් විඳින අයුරු මොග්ගල්ලාන මහරහතන් වහන්සේට එම දෙවියා කියා සිටියේ ය. දෙවන පීඨ විමානයෙහි වසන දෙව්දුව දිව්‍ය ලෝකයෙහි සැප විඳීමට කරගත් පින හැටියට ඇය විසින්ම සිහපත් කරනුයේ මෙසේ ය. පෙර මිනිස් දුවක්ව ඉපදී සිටි කාලයේ තම ගෙදරට ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. එම ස්වාමීන් වහන්සේට වැඩ සිටීමට සියතින්ම ආසනයක් පිළියෙළ කිරීම, වන්දනා කිරීම, තමාට හැකි පරිදි දානයක් පූජා කිරීම යනාදිය සිදු කර ගැනීම නිසා බවයි. 4 වන පීඨ විමානයෙන් පහළ වී සැප විඳීමට එම දෙව්දුවට හැකි වී ඇත්තේ මිනිස් ලොවදී සියතින් ම භික්‍ෂූන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීමෙනි. විසාලක්ඛි විමානයෙහි සඳහන් පරිදි චිත්‍රලතා වනයෙහි රූසපුවෙන් බබළන දෙව්දුව දෙව්ලොව ඉපිද සැප විඳීමට පෙර කළ පින් මොනවාදැයි සක් දෙවිඳු විමසයි. එවිට එම දෙව් දුව කියන්නේ පෙර රජගහ නුවර සුනන්දා නම් උපාසිකාවක් වී සිට ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් යුතුව නිතරම දන් දීමට කැමති වී ආර්යයන් වහන්සේලාට වස්ත්‍ර ආභරණ, සේනාසන, තෙල් පහන් ආදිය පූජා කිරීම, පෝය දවස්වලට අටසිල් සමාදන් වී එය හොඳින් ආරක්‍ෂා කිරීම මල් මාලා රැගෙන ගෞතම බුදුන්ගේ ස්ථුපයට ශ්‍රද්ධාවෙන් පූජා කිරීම, සුවඳ විලවුන් පූජා කිරීම යන පින්කම් එලෙස දිව්‍යාංගනාවක් වීමට හේතු වූ බව ඇය පවසා සිටියා ය. මෙයින් ගම්‍ය වන්නේ ශ්‍රද්ධාව තම ජීවිතයට මහත් වූ ධනයක් මෙන්ම මහත් වූ ලාභයක් බවයි. එසේම එම දෙවිදුව වැඩිදුරටත් පවසා සිටියේ සකෘදාගාමී වීමට ද ඇය කැමැත්තෙන් සිටින බවයි. මෙලෙස දිව්‍ය ලෝකවල සිට මාර්ග ලාභි තත්ත්වයන්ට ද පත්විය හැකිය. එසේම කාම දුගතියකට ද පත්විය හැකිය. මෙලෙස විමාන වත්ථුව පුරාවට ම පෙර කළ පින් විපාක දී සැප විඳින ආකාරය කියා පායි.

පේත වත්ථුව

එමෙන්ම චේතනාව අපිරිසුදුව සිතින් කයින් හා වචනයෙන් කර්ම කරන්නේ නම් එම සත්වයාට කාම දුගතියක ඉපදීමට හේතු වෙනවා. ‘කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතාය’ යනුවෙන් ද අදහස් කරනුයේ කර්මය විසින් සත්වයාගේ හීන බව හා ප්‍රණීත බව බෙදා වෙන් කෙරෙන බවය. පෙර කරන ලද පව්කම් අනුව හීන උපතක් කරා සත්වයා ගෙන යන අයුරු ප්‍රේත වත්ථුව මඟින් හෙළිකරයි. ප්‍රාණඝාතය අපායගාමී අකුසල කර්මයක් නමුත් එම කර්මය කළ කෙනා සතර අපායේ උපදිනවා යැයි කියා පැවසිය නොහැකිය. ඊට හේතුව මීට පෙර කළ පින්, මරණ මොහොතේ සිතට ඇති වන පින් සිතිවිලි ආදිය බලපාන හෙයිනි. නමුත් නිතරම පව්කම්වලට සිත නැඹුරු වුවහොත් අපායේ යන ප්‍රවණතාව වැඩිය. සතර අපායෙන් තිරිසන්, අසුර, නිරය යන අපායන් තුනෙහි ඉපදෙන සත්වයා හට පින්පෙත් අනුමෝදන් කළ නොහැකිය. නමුත් ප්‍රේත ආත්මයන්හි ඉපදෙන සත්වයා හට පින් අනුමෝදන් කළ හැකිය. එයිනුත් පරදත්‍ථුපජීවී සත්ව කොට්ඨාසයේ ඉපදෙන ප්‍රේතයන් වෙනුවෙන් පින් දිය හැකිය. එසේ හෙයින් සතර අපායේ ප්‍රේත ආත්මයක ඉපදුන සත්වයන්ට පින් දී එයින් ගලවා ගත හැකිය. ප්‍රේත ආත්මවල ඉපදීමට ඔවුන් කළ පව්කම් මොනවාද යන්න ප්‍රේත වත්ථුවේ කතා අනුසාරයෙන් විමසා බැලීම වටී. රන්වන් ශරීරයක් හා ඌරු කටක් ඇති ප්‍රේතයෙකු ගැන සූකරමුඛ ප්‍රේත වත්ථුව මඟින් කියවේ. දස දිසාවම බබුළුවන රන්වන් ශරීරයක් ලැබීමටත්, ඌරු මුඛයක් ලැබීමටත් හේතුව එම ප්‍රේතයා විසින් ම නාරද හිමියන්ට මෙසේ පවසයි. එනම් මනුලොවදී මිනිසකුව සිටියදී කයෙන් සංවර වූ නිසා රන්වන් ශරීරයක් ලැබුණු නමුත් වචනයෙන් සිල්පද රැක්කේ නැති නිසා ඌරු මුඛයක් ලැබුණු බවත් කියා සිටි අතර එබැවින් වචනයෙන් සංවර වන්න. ඌරු කටක් තිබෙන කෙනෙකු නම් වෙන්න එපා යනුවෙන් එම ප්‍රේතයා විසින් ම ඉල්ලීමක් ද කර සිටියේ ය. එමෙන්ම මිය පරලොව ගිය ඇත්තන් වෙනුවෙන් හඬා දොඩා පලක් නෑ එමගින් මිය පරලොව ගිය ඥාති ප්‍රේතයින් පින් ගන්නේ නැත. එබැවින් කළ යුත්තේ ඔවුන් ගැන අනුකම්පා කොට ඥාතීන්ගේ නාමයෙන් ගුණවතුන්ට දානයක් පූජා කිරීමයි. එවිට ඥාති ප්‍රේතයෝ හොඳින් පින් අනුමෝදන් වෙති. එලෙස පින් අනුමෝදන් වී දන්දෙන ඇත්තන්ට ද එම මිය ගිය ඥාතීන්ද නැවත ආශීර්වාද කර සිටින්නේ අපේ ඥාතීහු බොහෝ කාලයක් ජීවත් වෙත්වා යනුවෙනි. එමගින් දන් දෙන අයට ද නිශ්ඵල වන්නේ නැත. ඥාති ප්‍රේතයින් පින් ගැනීමට හිටපු ගෙවල්වලට එනවා. දොර මුල්ලේ, බිත්තියෙන් එහා පැත්තේ, බිත්තිය මුල්ලේ, පාරේ මංසන්දිවලත් සිටින බව තිරෝකුඩ්ඩ් ප්‍රේත වත්ථුව මගින් කියා පායි. අම්බසක්බර ප්‍රේත වත්ථුව තුළ ප්‍රේතයෙකු වී ඉපදීමට හේතු වූ කාරණා හෙළිකරන්නේ මෙසේය. පුද්ගලයෙකු මනුලොව ඉපදී සිටිය දී යහළුවෙකු වැවට බැස නාන විට ඔහුගේ ගොඩ තිබූ වස්ත්‍ර සෙල්ලමට සැඟ වීය. එම ක්‍රියාව නිසා මොහු නිරුවත් ප්‍රේතයෙකු වී ඉපිද දුක් විඳී. කූටවිනිච්ජයික ප්‍රේත වත්ථුව මගින් පිටේ මස් කඩාගෙන කන ප්‍රේතයෙකු ගැන කියවේ. එම ප්‍රේතයා සිටින්නේ මල් මාලා පැළඳ ගෙන, ඔටුන්නක් පැළඳගෙන, සඳුන් කල්ක ඇඟ තවරා ගෙනයි. එසේ ම ප්‍රේතයාගේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබලයි. නමුත් නාරද හිමියන් විමසන්නේ ඔබගේ පිටේ මස් කඩාගෙන කන්නේ කුමන කර්මයක් කළ නිසාදැයි යනුවෙනි. එවිට ප්‍රේතයා පෙර කළ පව් කියා පායි. එනම් මිනිස් ලොව සිටිය දී කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩවලින්, වංචාවෙන් ජීවිතය ගත කළා. සත්‍ය කතා කරන අවස්ථාවල දී පිරිස් මැද අධර්මය කථා කළා. අන් අය නැති තැන ඇද කුද කිය කියා නින්දා කළා. එම පිටුමස් කෑම නිසා දැන් මම මගේම පිටේ මස් කා දුක් වේදනා විඳිනවා. එබැවින් බොරු කියන්න එපා, කේළාම් කියන්න එපා, මා කළා වගේ පිටු මස් කන්නත් එපා කියලා නාරද හිමියන් අභිමුව ඉල්ලා සිටියේ ය. එසේ ම ධාතුවිවණ්ණික ප්‍රේත වත්ථුවේ සඳහන් පරිදි මෙම ප්‍රේතයා අහසේ වාසය කරයි. හරිම ගඳයි. කුණුගඳ ගහන කටේ පණුවෝ පිරිලා කකා සිටී. එපමණක් නොව ආයුධ ගත් පිරිසක් ඔහුගේ මුඛය සැත්වලින් කප කපා, ලුණු වතුර ඉසිමින් ආය ආයමත් කපනවා. මීට පෙර කළ පව කුමක්දැයි විමසූ විට එම ප්‍රේතයා මෙලෙස පවසයි. රජගහ නුවර රම්‍ය වූ ගිරිබ්බජ කියන රාජධානියේ ධනසම්පත්වලින් යුතුව ඉපිද සිටින කාලයේ තම බිරිඳත්, දියණියත්, ලේලියත් කියන මේ අය මහනෙල් මලුත්, සුවඳ වර්ගත් රැගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපය වන්දනා කරන්න පිටත් වෙන කොට එම ගමන වළක්වා ස්ථුප පූජාවට නින්දා අපහාස කළා. එම කරගත් පාප කර්මයෙන් ප්‍රේතයෙකු ලෙස ඉපිද මෙලෙස දුක් විඳින්නේ ය. එබැවින් ප්‍රේතයා කියන්නේ, ප්‍රේතයෝනියෙන් චුත වෙලා මිනිස් ලෝකයට පැමිණ අප්‍රමාදීව නැවත නැවතත් ස්ථුප පූජාවම සිදු කර ගන්නා බවයි. මෙලෙස සසර සිදු කරන පින් පව් අපගේ ඊළඟ භවය සඳහා හේතු වෙයි. එම පින් පව් විඤ්ඤාණය තුළ තැන්පත් වෙලා තිබේ. එබැවින් ශීල, සමාධි, ප්‍රඥා යන ශික්‍ෂා සිත තුළ ප්‍රගුණ කොට අකුසල් පක්ෂය මර්දනය කොට කුසල් පක්ෂය ඉස්මතු කොට නිවන් දැකීම සඳහා උත්සාහ දරමු.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]