UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

52 වැනි වරටත් පැවැත්වෙන හෝමාගම පොසොන් මහ පෙරහර

52 වැනි වරටත් පැවැත්වෙන හෝමාගම පොසොන් මහ පෙරහර

හෝමාගම පුරාණ විහාරස්ථානය ජාතික, ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයක් උදා කරන හේවාගම් කෝරළයේ පිහිටි පැරැණි විහාරස්ථානයකි. එහි 1960 වර්ෂයේ ආරම්භ කළ පොසොන් මහා පෙරහර මෙවරද 51 වන වරටත් ජුනි 29 දින රාත්‍රි වීථි සංචාරය කිරීමට නියමිතය.

පුරාණ විහාරාධිපති සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් ගුරු උපදේශක මාදෝවිට පඤ්ඤාකිත්ති නා හිමියන්ගේ අනුශාසනය පරිදි විහාරස්ථ මහා මහින්දෝත්සව සමිතිය සංවිධානය කරන මෙම මහ පෙරහරට විහාරස්ථ විශාකා කුලඟන සමිතිය, දායක මහ සභාව, සිරි සීවලී දහම් පාසල යන ආයතන සෘජුවම දායකත්වය සපයයි. එපමණකුදු නොව හෝමාගම ප්‍රාදේශීය සභාව විශාල අනුග්‍රහයක් දක්වන අතර බස්නාහිර පළාත් සභාව ද හේවාගම් කෝරළයේ මෙම සංස්කෘතික උදානය රැක බලා පෝෂණය කිරීමට දායකත්වය සපයයි. හෝමාගම පුරාණ විහාරස්ථානයට කවදත් අතහිත දෙන හෝමාගම ව්‍යාපාරික ප්‍රජාව, මෙම පොසොන් මහ පෙරහර සාර්ථක කර ගැනීමට දක්වන උනන්දුව අමිල වේ.

මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව වැඩම කරවන අතර මහා මහේන්ද්‍ර ප්‍රතිමාව වැඩම කරවීම ද මෙම පෙරහරේ විශේෂ අංග ලක්ෂණ වේ. එම දෙඅංශයේ පූජනීයත්වය ගරුත්වය රැක දෙනු වස් අවශේෂ විශේෂාංග රැසක් මෙවර පෙරහරට අතිරේක ආලෝකය සපයයි. උඩරට, පහතරට, සබරගමු නැටුම්, දිසා පළාත් ධජ පතාක,අලි ඇතුන් පහළොවක්, වෙනත් නර්තන අංග, දහම් පාසල් ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේ නැටුුම් ගැයුම්, භක්ති ගීත රථ, ලී කෙළි, ගිනි කෙළි, වන්නම්, බොරු කකුල්, කස ඇතුළු සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ජන නැටුම් රැසකින් හෝමාගම පොසොන් පෙරහර ආලෝකවත් වනු ඇත.

අපේ බෞද්ධ සංස්කෘතියේ හරය ඉස්මතු වන ලෙසින් අපේ ජාතික සහ ආගමික අනන්‍යතාව ඉස්මතු වන ලෙස ප්‍රෞඩ හා අභිමානවත් ලෙසින් පැවැත්වෙන මෙම පෙරහර මෙතරම් සාර්ථකව වර්ෂයක් පාසා පැවැත්වෙන්නේ නාහිමියන්ගේ නිසි අනුශාසකත්වය හා මහා මහින්දෝත්සව සමිතියේ නිසි මග පෙන්වීම සහ කැපවීම නිසාය.

පෙරහර නැරඹීමෙන් බෞද්ධ, අබෞද්ධ ජනතාවගේ සිත් සතන් සුවපත් වනු ඇත. ජාතික ආගමික සහජීවනය තහවුරු වනු ඇත. බැතිබර හැඟුම්, සද් පුරුෂ චේතනා හා ගුණ දහම් බීජ ජනතා හදවත් තුළ රෝපණය වනු ඇත. අපේ ආගම දර්ශනයක් වනවා සේම ආගමික රස වින්දනයට ද මං පාදන ජවයක් වන බව මෙම සංස්කෘතික උදානයෙන් තේරුම් ගන්නවා ඇත.

කොළඹ දිසාවේ පවත්වන මෙම පෙරහර ද අඩසිය වස සපුරන ඓතිහාසික පෙරහරක් ලෙස බෞද්ධ ජනතාව වෙත තිළිණ කිරීම සංවිධායක මණ්ඩලයේ මූලික අභිප්‍රාය වී තිබේ. එබැවින් හෝමාගම පොසොන් පෙරහර නැරඹීමෙන් බෞද්ධ ප්‍රබෝධයක් පමණක් නොව කොළඹට ආසන්න ප්‍රධාන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන හේවාගම් කෝරළයේ මහා සංස්කෘතික ප්‍රබෝධයක් ද ජනතාව තුළ ජනිත වනවා ඇත. හෝමාගම පොසොන් පෙරහරට බැතිබර දායකත්වය සපයන සෑම දෙනාටත් එය සාර්ථක කර ගැනීමට නන් අයුරින් ආධාර උපකාර කරන සියලු දෙනාටත් තෙරුවන් සරණ ලැබේවා !

අලි ඇතුන් 20 දෙනෙකු හා උඩරට පහතරට සබරගමු නැටුම් අංග 60 සමන්විත මෙම පෙරහර ජුනි 29 රාත්‍රි 8. 00 හෝමාගම පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ වී අතුරුගිරිය පාර, හෝමාගම නගරය, හයිලෙවල් පාර, වලව්ව පාර, නගර සීමා මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණේ.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]