UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි

අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි

දශක හයක් ශ්‍රී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස අනූපමේය මෙහෙවරක් ඉටුකළ අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන්ගේ මෙහෙවර අගය කරනු වස් විශේෂ සමරු උළෙලක් 28 වනදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදි පැවැත්වීම නිමිත්තෙනි. එහිදී උන්වහන්සේගේ ධර්ම දේශනා කිහිපයක් සංයුක්ත තැටියක් ලෙසද නිකුත් විණි.

ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති ධර්මපාලවංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ති‍්‍රපිටක විශාරද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම විනයධර විචිත්‍ර ධර්මකථිකයන් වහන්සේ නමක් ලෙස මහත් ගරු සම්භාවනාවට පාත්‍රව වැඩ වසන යතීන්ද්‍රයන් වහන්සේ නමකි.

ගම්පහ දිසාවේ කොටුගොඩ ගම්මානයේදි ඇඳ විතාරණගේ හරමානිස් රුද්‍රිගු සහ ඇඳ විතාරණගේ සෙලෙන්තිනා රුද්‍රිගු දම්පතීන්ගේ පවුලේ පින්වත් කුමරුවකු ලෙස 1933 ජනවාරි 26 වනදා සත්දෙනෙකුගෙන් යුත් සහෝදර සහෝදරියන් අතර මෙලොවට බිහිවිය.

එම කුමරා පසුකලෙක ලොව දස දෙස පූජිත ජීවිතයකට හිමිකම් කියන සුපතල මහා යතිවරයන් වහන්සේ නමක් වන බැව් එදා කිසිවකුත් නොසිතන්නට ඇත.

එවකට කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව (මේ වන විට කොටුගොඩ ශ්‍රී රාහුල නවෝද්‍යා විද්‍යාලය) තුළින් මූලික අධ්‍යාපනය ලබන ලදී.

පණ්ඩිතාචාර්ය කොටුගොඩ විමලරතන මාහිමියන්ගේ මග පෙන්වීම යටතේ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපතිව වැඩ විසූ උණවටුනේ ධම්මපාල මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු 17 වනදා එම කුමරා සසුන් ගත විය.

සිය ඇදුරු හිමිපාණන් යටතේ බණ දහම් මෙන්ම වත් පිළිබඳවද පුහුණුව ලද උන්වහන්සේ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූහ.එහිදී සයවසරක් පුරා අධ්‍යාපනය ලබා 1952 දී උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූහ.

අග්ගමහා පණ්ඩිත බේරුවල, සිරිනිවාස මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1954 ජූලි මස 10 වනදා කළුගඟේ උදකුක්ඛේප සීමාමාලකයේදී සුපරිශුද්ධෝපසම්පදාව ලැබූහ.

විද්‍යෝදය පිරිවෙනේ පණ්ඩිත පළන්නොරුවේ විමලධම්ම නාහිමියන්ගේ ධර්මාචාර්යත්වයෙන් භාෂා ශාස්ත්‍ර මෙන්ම ත්‍රිපිටක ධර්මය හදාළ උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙන මගින් පවත්වන ලද ‘විනයාචාර්ය’ හා ‘සද්ධර්මාචාර්ය’ යන විභාග සාමාර්ථයන් ලැබූහ.

මරදානේ පධානඝර විහාරයෙහි වූ ධර්මදූත විද්‍යාලයෙන් හා පෙම්රොක් විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි භාෂාව හදාළ කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ තුරුණූවියේ සිට ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස කීර්තියට පත්වූහ.

තම ගුරුදේවයන් වහන්සේගේ ගිලන් බව නිසා ඉතා කුඩා අවධියේ සිට දායක නිවෙස්වල දහම් දෙසීමට සිදුවීම නිසා ධර්ම දේශනා චාතුර්යයේ වර්ධනය සිදු වූහ.

සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1967 මැයි 14 වනදා ගල්කිස්සේ ධර්මාලාරාමයේ අධිපතිධූරයට පත් වීමෙන් විහාරස්ථ සංවර්ධනයට කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මහත් මෙහෙවරක් සිදු කර ඇත. දෙලොව දියුණුවට මඟ, නිවනට මඟ, පුණ්‍යමහිමය, මෛත්‍රි බුදුපියාණෝ, කේතුමති රාජධානිය, පිරිනිවන් මංචකය, තථාගත ලක්ෂණ ආදී ග්‍රන්ථ ඒ අතර බෙහෙවින් ප්‍රසාදයට පත්වී ඇත.

කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටම ආවේණික වූ සුලලිත සුමධුර වාග් විලාශයකින් සදහම් දෙසීමෙහි මහත් ගෞරවාදරයට පාත්‍රව සිටින අතර කිසිදු භේදයකින් තොරව කවර ස්ථානයක වුවද දහම් දෙසුමට ලද ඇරැයුමෙන් එහි වැඩම කරවීම ද උන්වහන්සේගේ සිරිතය.

ඉන්දියාව ,රුසියාව, එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය, පකිස්ථානය, සිංගප්පුරුව, නේපාලය, තායිලන්තය, බුරුමය ආදී රටවල විවිධ අවස්ථාවන්හිදි සංචාරය කරමින් ආගමික කටයුතුවල නිරත වී ඇත. 1986 සිට ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සමලේඛකාධිකාරි ධුරයද, 1992 වසරේ සිට එහි මහා ලේඛකාධිකාරිධුරයද දැරූ කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති ධුරයද පස් වසරක් දැරූහ. 2008 දී බුරුම රාජ්‍ය වෙතින් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේද දිගු කලක සිට ධර්ම දේශනා පවත්වනු ලබන දේශකයන් වහන්සේ නමකි.

ආදර්ශවත් පැවිදි ජීවිතයක් ගත කරන උන්වහන්සේ මෙරට කීර්තිමත් ධර්මදේශකයන් වහන්සේ නමක් ලෙස දශක ගණනාවක් පුරා නමකී පමණින් බෞද්ධ මහ ජනතාවගේ මහත් ප්‍රසාදයට පත්ව වැඩ වසන සංඝ පීතෘන් වහන්සේ නමක් වෙති.

සදහම් පිපාසිත සමාජයට සදහම් අමා දම් බෙදමින් දැවෙන තැවෙන සිත් සතන් සුමගට යොමු කිරීමට දශක ගණනාවක් පුරා අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරනු ලබන යුග මෙහෙවර දශක ගණනාවක් පුරා මෙරට බොදු ජනතාව මහත් ගෞරවයෙන් සිහි කරනු ඇත.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියනි! ‘බුදුසරණ’ ඔබ වහන්සේට තෙරුවන් සරණින් දිගාසිරි පතමු.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]