UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර 2320ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 260ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව

වසර 2320ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 260ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව

වර්තමාන ස්‍යාමෝපසම්පදාව පිහිටුවා වසර 260ක් සපිරීම නිමිත්තෙන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හා අස්ගිරි පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන ගරුතර කාරක මහා සංඝ සභා දෙකේ අනුශාසනා පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, සංස්කෘතික අමාත්‍යාංශයත් මුල්වී අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන ස්‍යාමෝපසම්පදා මහෝත්සවය නිමිත්තෙනි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි වස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීමෙන් සිරිලක්දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේ යැයි දීපවංශ, මහාවංශ ජිනකාලමාලි ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවී වසර 218 කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ නීග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත් වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වීය.

ධර්මාශෝක මහරජතුමන්ගේ පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත්ව වස් 12ක් සම්පූර්ණ වූයේ රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු.ව. 237 දී මිහිඳු මාහිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන් ද භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට වැඩම වූහ.

දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්ව සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාම සීමාවක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දී අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨකුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරය යි. මෙම විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. ශීලයෙහි උපරිම ශීල යැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ. පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත. බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව බුද්ධත්වය සමගම බෝධිමූලයේ සිදු වූයේ යැයි මිලින්ද ප්‍රශ්නයේ දැක්වේ. මෙහි උපසම්පදා ශීලය වශයෙන් සැලකෙන ශීලය නම් චතුපාරිශුද්ධි ශීලයයි. නවදහස් එකසිය අසූකෙළ පන්ලක්‍ෂ තිස් හයක් ශික්‍ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය පළමුවැනි වෙයි. ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිශි‍්‍රත ශීලය යන ශීල හතර අධි ශීල වෙයි. පංච ශීලය, අටසීලය, ආජීව අට්ඨමක ශීලය, සාමණේර ශීල යන හැමටම වඩා මේ චතුර්විධ ශීලය අධිශීලයයි. මෙම අධි ශීලය ලැබීම උපසම්පදා ශීලයයි. දම්සක් පැවැතුම් සූත්‍රය අසා පළමුවරට සෝවාන් වූ කොණ්ඩඤ්ඤ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබීමට කැමති බව කියා සිටියි. එවිට බුදුරජාණන් වහන්සේ “මහණ මෙහි එව මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව“ යන්නයි. එම වාක්‍යය අවසාන වත්ම හෙතෙම සෘධිමය පාත්‍ර සිවුරු දරා පැවිද්ද හා උපසම්පදාව ලබයි. බුදුරදුන් බුදු වූ මුල් කාලයෙහි බොහෝ දෙන මහණකම හා උපසම්පදාව ලබා ඇත්තේ මේ ආකාරයෙනි. එතැන්පටන් උපසම්පදා වන ක්‍රම 8ක් දක්නට ලැබේ.

1. ඒහි භික්‍ෂු උපසම්පදා, මෙහි බුදුරදුන් “මහණ මෙහි එව බඹසර හැසිරෙවයි” ශ්‍රී හස්ථය දිගු කළ පමණකින් සිදු කළ උපසම්පදාව,

2. සරණා ගමන උපසම්පදා, තෙරුවන් සරණ යෑමෙන් සිදු වෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මෙය උපසම්පදාව බුද්ධ කාලයේදීම ප්‍රතික්‍ෂේප කරන ලදී.

3. ඕවාද පටිග්ගහණ උපසම්පදාව, අවවාද පිළිගැනීමෙන් සිදුවෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපසම්පදාව මෙම ක්‍රමයෙන් සිදු විය.

4. පඤ්හව්‍යාකරණ උපසම්පදාව, ඒක, නාමකිං, ආදී වශයෙන් ප්‍රශ්න කළ විට ඒවාට දුන් පිළිතුරුවලින් අනුදැන වදාළ උපසම්පදාවයි. මෙයින් හත් හැවිරිදි සෝපාක සාමණේරයන් වහන්සේගේ උපසම්පදාව සිදු විය.

5. ගරුධම්ම පටිග්ගහන උපසම්පදා ගරු ධර්ම අටක් පිළිගැනීමෙන් අනුදැන වදාළ උපසම්පදාවයි. එය ප්‍රජාපතී ගෝතමී මෙහෙණිය කෙරෙහි පමණක් බලපැවැත්විය. සෙසු කුමාරිකාවෝ ගරුධම්ම අට පිළිගෙන භික්‍ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.

6. දූතේන උපසම්පදාව, දූතයෙකු යවා කරන උපසම්පදාවයි. මෙය අඩ්ඪකේෂී මෙහෙණ සඳහා පමණක් වදාරන ලදී.

7. අට්ඨවාචික උපසම්පදාව, උභතෝ සංඝයා කෙරෙන් මෙහෙණනට අනුදැන වදාළ උපසම්පදාවයි.

8. ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි, රාධ බ්‍රාහ්මණයා උපසම්පදා කිරීමට අනුදැන වදාළේ මෙම උපසම්පදාවයි. එතැන් සිට සරණාගමන ආදී උපසම්පදා ප්‍රතික්‍ෂේප කොට ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව නියම කිරීමෙන් පසු අද දක්වාම පවත්නේ එම ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි.

සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහාවිහාරයත් සමගම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාමය. එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරාමයත් සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරවමින් වැඩිදියුණු කිරීමට පටන් ගති.

ධර්මාශෝක මහරජතුමාගේ දියණිය වන සංඝමිත්තා ථෙරණිය ද ශ්‍රී මහා බෝධි අංකුරයක් රැගෙන වැඩමවා අනුලාදේවිය ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට භික්‍ෂුණී ශාසනය පිහිටුවීය. මේ අයුරින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට පත්වන මොහොතේ රජකම පිළිබඳ ඇති වූ අර්බුධ තත්ත්වය නිසා මහා නාග කුමාරයා භික්‍ෂූන් වහන්සේ සහිත සිය පිරිවර සමඟ මහවැලි ගඟෙන් එගොඩ රෝහණයට පිටත්ව ගියහ.

රුහුණු රටට ඇතුල් වූ මොහොතේ මහවැලි ගඟ අසබඩ සිය නමින්ම නාගාරාමය (වර්තමාන සෝමවති විහාරය) නමින් විහාරයක් සාදා එහි භික්‍ෂූන් පදිංචි කොට යටාලතිස්ස ප්‍රදේශයට ගිය මහානාග රජතුමා එහි දී ලැබුණු ස්වකීය පුත්‍ර යටාලතිස්ස කුමාරයාද හදාවඩා ගනිමින් රෝහණ රාජ්‍ය ස්ථාපිත කරගත්තේ ය. එකී යටාලතිස්ස රජුගෙන් පසු ඔහු පුත් ගෝඨාභය රජතුමා ද ඔහුගේ පුත් කාවන්තිස්ස කුමාරයා ද රාජ්‍යයට පත් වූයේ රෝහණ ප්‍රදේශයේ නාගාරාමය (සෝමවතී විහාරය) සේරුවිල, මහියංගණ, තිස්සමහාරාම ආදී චෛත්‍යස්ථාන ඉදිවෙමින් සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට පත්විය.

ඒ වන විට සූරතිස්ස රජුගෙන් පසු සේන ගුත්තික ද්‍රවිඩ අස්වෙළඳුන් පැමිණ වසර 17 ක් රාජ්‍ය කරමින් පසු අසේල රජතුමා රජකමට පත්විය. එළාරයන් අසේළ රජතුමා නසා වසර 44ක පාලන කාලයක් ගෙන ගියේ මුළු උතුරුකරයේම සිංහලයන් සහිත සම්බුද්ධ ශාසනය විනාශයට පත්විය.

මහ මුහුද ගොඩගැලිණි, කැලණිය රාජධානිය ජලයෙන් යටවිණි. කැලණිතිස්ස රජතුමාගේ දියණිය විහාරමහා දේවිය මුහුදට බිලි කරන ලදී. කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්විය. දුටුගැමුණු කෙනෙක් බිහිවිය. එකී දුටුගැමුණු රජතුමා නැවතත් අනුරාධපුර රාජ්‍ය වැඩිදියුණු තත්ත්වයට පත්කරලමින් රුවන්වැලිසෑය, මිරිසවැටිය, ලෝවාමහාප්‍රාසාදය ආදිය ඉදිකරමින් සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් වැඩිදියුණු තත්ත්වයට පත් කරන ලදී.

දේවානම්පියතිස්ස රජු දවස ආරම්භ වූ සම්බුද්ධ ශාසනය හා මහා විහාරයත් නැවතත් දුටුගැමුණු රාජ්‍ය කාලයේ දී ඉතාමත් දියුණුවකට පත් වූයේ නමුත් වළගම්බා රජ දවස ඇති වූ සොලී ආක්‍රමණ නිසා නැවතත් රාජ්‍ය හා ශාසනික පරිහානිය සිදු වූ අතර මහා විහාරයෙන් වෙන් වූ භික්‍ෂු පිරිසක් අභයගිරිය නමින් වෙන් වීය.

නැවතත් වංකනාසිකතිස්ස රජු කල සොළීන් පැමිණ සිංහල රාජ්‍යයත් ශාසනයත් විනාශයට පත්කරමින් පාත්‍රාධාතුවත්, දේවාභරණත්, සිංහලයන් 12000ක් ද සොළීරටට රැගෙන ගිය බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

ගජබා රජතුමා එම සොලී රටට ගොස් පැහැරගෙන ගිය 12000 ක් හා සොළීන් 12000 යන 24000 ක් සෙනඟ හා පාත්‍රාධාතුවත්, දේවාභාරණත් ගෙනා බව සඳහන් වන අතර, එම රජතුමාට සෝමවතී රජමහ විහාරයේ භික්‍ෂූන් ගාමිණී අභය යුදජි ‘යුද්ධ ජයාග්‍රාහක ගාමිණි අභය’ යන ගෞරව නාමය පිරිනැමූ හැටි ක්‍රි.ව. 112 සෝමවතී මීන්විලු ශිලා ලේඛනයෙහි සඳහන් වේ. විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික, ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්වී උපසම්පදා විනය කර්මයට ප්‍රමාණවත් භික්‍ෂූන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහළු විජයබා රජතුමා රක්‍ඛංග දේශයෙන් භික්‍ෂූන් ගෙන්වා උපසම්පදා විනය කර්මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරන ලදී. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමඟි කරවා කතිකාවතක් ද ඇති කොට දහස්ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය.

දඹදෙණි නුවර දෙවැනි පැරකුම්බා රජතුමා ශාසනයේ චිරපැවැත්ම සඳහා කතිකාවතක් ද කරවා මහවැලි ගඟ දාස්තොට දී උපසම්පදා විනය කර්මයක් ද කරවීය. යාපහුනුවර රජ පැමිණි පළමු බුවනෙකබා රජතුමා ද කුරුණෑගල 2 බුවනෙකබා රජතුමා ද උපසම්පදා විනයකර්මයන් කරවූ බවත්, ගම්පල රාජ්‍ය කරවූ 3 වන විජයබාහු රජතුමා රයිගම්පුර ආසන්නයේ විහාරාරාම කරවා ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්මයක් ද ගම්පොල වීරබාහු රජතුමා 4 වැනි ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී වීදාගම මෛත්‍රී, තොටගමුවේ ශ්‍රී රාහුල ආදී භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ දී ද සෙංකඩගල විසූ වීරවික්‍රම රජතුමා බු.ව. 2085 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් සර්වඥ ධාතු නිදන්කොට (පාත්‍රාධාතූන් වහන්සේ ද නිදන්කොට ඇතැයි සැලකේ) දාගැබැක් බැඳ දෙමහල් පෝයගෙයක් සාදවා පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන් හි විහාර 86 ක් කරවූ අතර, ධර්මකීර්ති හිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පින්කම් සිදු කළහ. ඉන් අනතුරුව පීතෘ ඝාතක සීතාවක රාජසිංහයන් භික්‍ෂූන් වහන්සේ සහිත වෙහෙර විහාරත් සම්බුද්ධ ශාසනයත් වනසමින් ධර්ම පොත්පත් සියල්ලම ගිනිබත් කොට සුවිශාල විනාශයක් කළ අතර, උපසම්පදා භික්‍ෂූන් වහන්සේද සම්පූර්ණයෙන්ම විනාශයට පත් කළ බව සඳහන් වේ.

රාජ්‍ය වර්ෂ 1592 දී 1 වන විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගල යට සුරක්‍ෂිතව තිබූ වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත් කොට පුද පූජා පැවැත් වූ අතර, රක්‍ඛංග දේශයෙන් භික්‍ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වීය. සෙනරත් රජු කල පරංගීන් පැමිණ දළදා මාලිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදී නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්‍ෂිත කරගනිමින් නැවතත් 2 වන විමලධර්මසූරිය රජතුමා දළදා මාලිගාව තුන් මහල් සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්‍ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස්වූහ. ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කරනුයේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය දියුණු කරලමින් සාරාර්ථසංග්‍රහය, මහාබෝධි වංශය, භෛෂජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරී විය.

ඉතිරි කොටස මැයි මස 02 වන දා පත්‍රයේ

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]