UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව – 17 කර්මයට අනුව උපත ලබන්නේ කෙසේ ද?

පුනරුප්පත්ති ලිපි මාලාව – 17

කර්මයට අනුව උපත ලබන්නේ කෙසේ ද?

පසුගිය ලිපියෙන් අපගේ අවධානය යොමු වූයේ මජ්ඣිම නිකායේ ඇතුළත් චුල්ලකම්ම විහංග සූත්‍රයේ සඳහන් කර්මය, පුනර්භවය සඳහා බලපාන අයුරු විමසා බැලීමට ය. මෙවර ද අපගේ අවධානය යොමුවන්නේ එම සූත්‍රයේ සඳහන් ඉතිරි දහම් කොටස් විමසා බැලීමට ය.

ප්‍රශ්නය – කර්මය, පුනර්භවය සඳහා බලපාන අයුරු චුල්ලකම්ම විහංග සූත්‍රයේ සඳහන්වන්නේ කෙසේද?

අඩු සම්පත් ඇතිව ඉපදීමට (අල්පේශාක්‍ය වීමට) හේතු

ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා ඉස්සාමනකො හොති, පරලාහසක් කාර ගරුකාරමානනවන් දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පෙසක්ඛො හොති. අප්පෙසක්ඛසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - ඉස්සාමනකො හොති, පරලාභසක්කාර ගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අන් අයට ලැබෙන ලාබ සත්කාර ගරුකිරීම් දන්දීම් පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා කරයිද, සිත දූෂිත කරගනියි ද, වෛර බැඳ ගනියිද මෙසේ ඔහු හෝ ඇය අන් සැපතට ගැරහීම හේතුවෙන් සිදුකර ගන්නා වූ අකුසල විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අල්පේශාක්‍ය වෙයි. මෙය අල්පේශාක්‍ය වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

මහා සම්පත් ඇතිව ඉපදීමට (මහේශාක්‍ය වීමට) හේතු

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අනිස්සාමනකො හොති, පරලාහසක් කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහෙසක්ඛො හොති. මහෙසක්ඛසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - අනිස්සාමනකො හොති, පරලාභසක් කාර ගරු කාරමානනවන්දන පූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අන් අයට ලැබෙන ලාබ සත්කාර කරගැනීම් දන්දීම් පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයි ද, සිත දූෂිත නො කරගනියි ද, වෛර නො බැඳ ගනියි ද මෙසේ ඔහු හෝ ඇය අන් සැපතට නොගැරහීම හේතුවෙන් සිදුකර ගන්නා වූ කුසල විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් මහේශාඛ්‍ය වෙයි. මෙය මහේශාක්‍ය වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

අඩු භවභෝග සම්පත් ඇතිව ඉපදීමට හේතු

ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා න දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරමං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පභොගො හොති. අප්පභොගසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - න දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට ආහාර පාන, යාන – වාහන (ගමන් පහසුකම්) වස්ත්‍ර, ආවාස, පහන් ආදිය නොපුදයි ද, නොදෙයි ද මෙසේ ඔහු හෝ ඇය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිසි අයුරින් පුදසත්කාර නොකිරීම හේතුවෙන් සිදුකර ගන්නා වූ අකුසල විපාක නිසා ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අඩු භවභෝග සම්පත් ඇත්තෙක් වෙයි. මෙය අල්පභෝග ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

මහත් වූ භවභෝග සම්පත් ඇතිව ඉපදීමට හේතු

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහාභොගො හොති. මහාභොගසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට ආහාර පාන, යාන – වාහන (ගමන් පහසුකම්) වස්ත්‍ර, ආවාස, පහන් ආදිය පුදයි ද, දෙයි ද මෙසේ ඔහු හෝ ඇය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිසි අයුරින් පුදසත්කාර කිරීම හේතුවෙන් සිදුකර ගන්නා වූ කුසල විපාක නිසා ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් මහා භවභෝග සම්පත් ඇත්තෙක් වෙයි. මෙය මහත් වූ භවභෝග ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

හීන කුලවල ඉපදීමට හේතු

ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා ථද්ධො හොති අතිමානී – අහිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්සන ආසනං දෙති. මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති නීචකුලීනො හොති. නීචකුලීනසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - ථද්ධො හොති අතිමානී, අභිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට් ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති, මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධික මාන ඇතිව වැඳිය යුත්තාට නොවඳියි ද දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට හුනස්නෙන් නැගිට ආචාර නොකරයි ද, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයිද, මාර්ග දිය යුත්තාට මාර්ගය නොදෙයි ද, සත්කාර කළ යුත්තාට සත්කාර නොකරයි ද, ගෞරව කළ යුත්තාට ගෞරව නොකරයි ද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකරයි ද, පිදිය යුත්තාට නො පුදයි ද මෙසේ ඔහු හෝ ඇය සුදුසු අයට සුදුසු අයුරින් ගරු බුහුමන් නොකිරීම හේතුවෙන් සිදුකර ගන්නා වූ අකුසල විපාක නිසා ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් හීන කුලයක උපදියි. මෙය හීන කුලිකයෙක් වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

උසස් කුලවල ඉපදීමට හේතු

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අත්ථද්ධො හොති අනතිමානී, අභිවාදෙතබ්බං අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං පච්චුට්ඨෙති, ආසනාරහස්ස ආසනං දෙති, මග්ගාරහස්ස මග්ගං දෙති, සක් කාතබ්බං සක්කරොති, ගරුකාතබ්බං ගරුකරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති උච්චාකුලීනො හොති. උච්චාකුලීනසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං අත්ථද්ධො හොති අනතිමානී, අභිවාදෙතබ්බං අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං පච්චුඨෙති, ආසනාරහස්ස ආසනං දෙති, මග්ගාරහස්ස මග්ගං දෙති, සක්කාතබ්බං සක්කරොති, ගරුකාතබ්බං ගරුකරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධික මානයෙන් තොරව වැඳිය යුත්තාට වඳියි ද දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට හුනස්නෙන් නැගිට ආචාර කරයි ද, ආසනය දිය යුත්තාට ආසනය දෙයි ද, මාර්ගය දිය යුත්තාට මාර්ගය දෙයිද, සත්කාර කළ යුත්තාට සත්කාර කරයි ද, ගෞරව කළ යුත්තාට ගෞරව කරයි ද, බුහුමන් කළ යුත්තාට බුහුමන් කරයි ද, පිදිය යුත්තාට නො පුදයි ද මෙසේ ඔහු හෝ ඇය සුදුසු අයට සුදුසු අයුරින් ගරුබුහුමන් කිරීම හේතුවෙන් සිදුකර ගන්නා වූ කුසල විපාක නිසා ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි.

එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් උසස් කුලයක උපදියි. මෙය උච්ච කුලිකයෙක් වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

අඥානයෙකු වී ඉපදීමට හේතු

ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා න පරිපුච්ඡිතා හොති ‘කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං, කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතී ති? සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දුප්පඤ්ඤො හොති. දුප්පඤ්ඤසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං, සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා න පරිපුච්ඡිතා හොති ‘කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං, කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති. කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතී’තී?

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් කවරේද? අකුසල් කවරේද? වරද සහිත දෙය කුමක්ද? වරද රහිත දෙය කුමක්ද? සේවනය කළ යුත්ත කුමක්ද? සේවනය නොකළ යුත්ත කුමක්ද? කරනු ලබන කුමන දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස පවතී ද ආදි වශයෙන් නොවිමසයි ද, මෙසේ ඔහු හෝ ඇය ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් වෙත පැමිණ හොඳ, නරක නො විමසීම හේතුවෙන් සිදුකර ගන්නා වූ අකුසල විපාක නිසා ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අඥානව උපදියි. මෙය අඥානයෙක් වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

නුවණැත්තෙකු වී ඉපදීමට හේතු

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා පරිපුච්ඡිතා හොති ‘කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං, කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති? සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහාපඤ්ඤො හොති. මහාපඤ්ඤසංවත්තනිකා ඵසා, මානව, පටිපදා යදිදං - සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා පරිපුච්ඡිතා හොති – ‘කිං, භන් තෙ, කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං, කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති. කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතී’ති?

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් කවරේ ද?, අකුසල් කවරේ ද?, වරද සහිත දෙය කුමක්ද? වරද රහිත දෙය කුමක්ද? සේවනය කළ යුත්ත කුමක්ද? සේවනය නොකළ යුත්ත කුමක්ද? කරනු ලබන කුමන දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස පවතී ද ආදි වශයෙන් විමසයි ද, ඒ අනුව කටයුතු කරයිද, මෙසේ ඔහු හෝ ඇය ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් වෙත පැමිණ හොඳ නරක විමසීම හේතුවෙන් සිදුකර ගන්නා වූ කුසල විපාක නිසා ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් නුවණැතිව උපදියි. මෙය නුවණැත්තෙක් වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.


පුනරුප්පත්ති ලිපි මාලා අංක – 16 කර්මය, පුනර්භවය සඳහා බලපාන අයුරු

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]