UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් දෙව් විමනක් ලත් දෙවඟනකගේ කථා පුවත

දුතිය නාවුකා විමාන වත්ථුව

විමාන වත්ථු කථා පුවත් 07

රහතන් වහන්සේ නමකට පැන් පිදීමෙන්

අසිරිමත් දෙව් විමනක් ලත් දෙවඟනකගේ කථා පුවත

පැන් පිදීමේ හා සංඝ උපස්ථානයේ ආනිශංස බලයෙන් මහාර්ඝ වු විසිතුරු දිව්‍ය විමානයක් පහළ වූවේය. පස් පියුමින් සුසැදි මනහර ජලාශයක්ද රන්මුවා නෞකාවක්ද, වර්ණවත් ශරීර ශෝභාවක් ද ඇයට ලැබිණ. සිතු පැතූ සම්පත්තියෙන් ආඪ්‍ය ව නැවට නැගී ක්‍රීඩා කරමින් මහත් සතුටින් කල් යැවුවාය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයක,එක්තරා රහතන් වහන්සේ නමක් වස් විසීම සඳහා ඈත පිටිසර ගම්මානයකට යාමට පිටත් වූහ.යා යුතු මාර්ගය වැටී තිබුණේ ජනශූන්‍ය ප්‍රදේශයක් හා කාන්තාර මාර්ගයක් හරහාය.

අපේක්‍ෂා කළාට වඩා ගමන දුෂ්කර වූයේය.මාර්ගය ද කටුක විය.දීර්ඝ වූ පා ගමන නිසා දැඩි වෙහෙසටත් පිපාසයටත් පත් වුණද පැන් පොදක් ලබා ගන්නට තැනක්වත්, මිනිස් වාසයක්වත් නොවීය. අධිෂ්ඨාන බලයෙන් කායික පීඩා දරා ගත්තද දැඩි පිපාසය නිසා තවදුරටත් ඉදිරියට යා නො හැකි තරමට ශරීරය දුර්වල විය. හිසට සෙවණක් ද විඩාව සංසිදුවා ගැනීමට වෘක්‍ෂ මූලයක් හෝ නොවීය. පැන් පොදක් ලබා ගත හැකි මගක් ද නොවීය.අන්තිමේදී ආයාසකර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එක්තරා කුඩා ගම්මානයකට සේන්දු වූ උන්වහන්සේ හමු වූ මුල් ම නිවසෙහි ගෙමිදුලට වැඩියහ.

ගෙහිමි කාන්තාව රත්නත්‍රය කෙරෙහි අධික භක්තියෙන් ද මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ද යුතු තැනැත්තියකි. තම ගෙමිදුලෙහි වැඩ සිටින තෙරුන් වහන්සේගේ සන්සුන් ඉඳුරන්ගෙන් ද ප්‍රසන්න ස්වභාවයෙන්ද පැහැදීමට පත් ඕ තොමෝ උන්වහන්සේට අවශ්‍ය මොනවාදැයි කල්පනා කරන්නට වූවාය.මේ පිඬු පිණිස හැසිරෙන වේලාවක් නොවේ.ඒ අනුව උන්වහන්සේගේ අවශ්‍යතාව ආහාර විය නොහේ.උන්වහන්සේගේ මුහුණින් පෙනෙන්නේ දැඩි තෙහෙට්ටු ගතියක් .කෙසේ වෙතත් උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ ‘ ස්වාමීනි කොහි සිට කුමක් සඳහා වැඩි සේක්දැ’යි ගෞරව පූර්වක ව විමසුවාය.

තම ගමනේ අරමුණත් තමා දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින බවත් දැන් වූ උන්වහන්සේ පිපාසය සන්සිඳුවා ගැනීම සඳහා පැන් ස්වල්පයක් ලබා ගැනීමේ අදහසින් මෙහි පැමිණි බව නො පැකිළ පැවසූහ.

ගෙහිමි කාන්තාවට ඇති වූයේ ඉහ වහා යන පී‍්‍රතියකි. සුපේශල ශික්‍ෂාකාමි මහතෙරනමකට ඇප උපස්ථාන කිරීමේ දුර්ලභ අවස්ථාවක් නිරායාසයෙන්ම උදාවීම ඒ පී‍්‍රතියට හේතුවයි.

ඇය නොපමාව සුදුසු අසුනක් පනවා නිවස තුළට වඩින්නැයි උන්වහන්සේට ආරාධනා කළාය. පැන් පිළිගැන්වූවාය. පා දෙවීම සඳහා දිය එළවූවාය. පයෙහි ගැල්වීම සඳහා ඖෂධීය තෙල් පිළිගැන්වූවාය. වටා පත ඉල්ලාගෙන වෙහෙසදුරුවන්නට පවන් සැලුවාය. වෙහෙස මහන්සිය සමනයවූ කල්හි ප්‍රණීත වූ ගිලන්පසක් ද පූජා කළාය.

ගෙහිමි කාන්තාවගේ ඇප උපස්ථානයෙන් විඩාවත් , ක්ලාන්ත ගතියත් දුරුවීම නිසා කායික සහනයත් චිත්ත සමාධියත් ලත් මහතෙරුන් වහන්සේ පුණ්‍යානුමෝදනා වශයෙන් දහම් දෙසා ස්වකීය ගමනාන්තය බලා පිටත් වී ගියහ.

අහම්බෙන් තමන්ට ලැබුණූ මේ අවස්ථාව නිරතුරුවම ඇයට මහත් පී‍්‍රතියක් ගෙන දුන්නේය. ඒ පිළිබඳ ව සිතන මොහොතක් පාසා ඇය සිත සනසා ගත්තාය. පිපාසිත මහරහතන් වහන්සේ නමකට පැන් පූජා කරන්නට ලැබීම තමන් ලත් මනුෂ්‍ය ආත්ම භාවයේ අපූරු වාසනාවක් ලෙස සිතා උදම් වූවාය. ඒ පින් බලෙන් ම ඇය මරණින් මතු තව්තිසා දෙව්ලොව දෙවඟනක් ව උපත ලැබුවාය.

පැන් පිදීමේ හා සංඝ උපස්ථානයේ ආනිශංස බලයෙන් මහාර්ඝ වු විසිතුරු දිව්‍ය විමානයක් පහළ වූවේය. පස් පියුමින් සුසැදි මනහර ජලාශයක්ද රන්මුවා නෞකාවක්ද, වර්ණවත් ශරීර ශෝභාවක් ද ඇයට ලැබිණ. සිතු පැතූ සම්පත්තියෙන් ආඪ්‍ය ව නැවට නැගී ක්‍රීඩා කරමින් මහත් සතුටින් කල් යැවුවාය.

දෙව්ලොව චාරිකාවේදී මේ දෙවඟනගේ මහත් සම්පත් දුටු මුගලන් මහ තෙරුන් වහන්සේ ඇය කැඳවා එවන් දෙව් සැපතක් ලැබීමට හේතු වූ කුශල කර්මයන් පිළිබඳව විමසූහ.

තමන් කළ කුශල කර්මය සිහි කිරීමෙන් පවා චිත්ත පී‍්‍රතියට පත් වන ඒ දිව්‍ය කාන්තා තොමෝ, මුගලන් මහතෙරුන් වහන්සේගේ ප්‍රශ්නයෙන් වඩාත් ප්‍රමුදිතව මේ මහත් සම්පත් ලැබීමට හේතුවු ඒ අතීත කුශල කර්මය විස්තර වශයෙන් පැවසුවාය. මහරහතන් වහන්සේ නමකට පැන් පූජා කිරීමෙන් පමණක් මේ දිව්‍ය කාන්තාව ලත් අධිකතර දිව්‍ය ඓශ්චර්ය පෙන්වා දෙමින් මුගලන් මහතෙරුන් වහන්සේ දෙව්පිරිසට දහම් දෙසූහ.

මිනිස් ලොවට පැමිණි මුගලන් තෙරුන් වහන්සේ මේ සියලු විස්තර බුදුරදුන්ට දන්වා සිටියහ. උන්වහන්සේද මේ ප්‍රවෘත්තිය අර්ථෝත්පත්ති කර ගනිමින් විහාරයට රැස් වූ පිරිසට පින්කම් කිරීමේ වටිනාකමත්,ඉන් ලැබෙන මහත් වූ ආනිශංසත් විස්තර කරමින් ධර්ම දේශනා කළ සේක.


 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]