UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුද්ගල විවිධත්වයට සහ සමාජ විෂමතාවයට හේතු කවරේ ද ?

පුද්ගල විවිධත්වයට සහ සමාජ විෂමතාවයට හේතු කවරේ ද ?

අතේ ඇඟිලි මෙන් සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ ස්වභාවය ද එකිනෙකාට සපුරාම වෙනස් වේ. නිලයෙන්, ධනයෙන් පමණක් නොව නිරෝගීකමෙන්, උගත්කමෙන්, සමාජ පිළිගැනීමෙන්,  ජනප්‍රියත්වයෙන් සහ ප්‍රියමනාප පෞරෂත්වය අතින් ද මේ වෙනස කැපී පෙනෙයි. මෙලෙස එකම රටක, එකම ගමක හා එකම පවුලක වුවද එක ලෙස උපත ලබන පුද්ගලයන් තුළ පවා පැහැදිලි විවිධත්වයක් පවතී. පහසුවෙන් බැහැර කළ නොහැකි මේ ගැටලු සක්වළ සක්මන – 37 වෙනි දැක්මෙන් නිරාකරණය කෙරේ

මහානායක හාමුදුරුවනේ, මේ මහා සක්වළේ වෙසෙන ජීවීන්ගේ වෙනස්කම් ඇතිවීමට හේතුව කුමක් ද ?

කම්මං සත්තේ විභජති
යදිදං භීනප්පණීතතා ය ...

යනුවෙන් සෑම සත්වයෙකු තුළම විවිධ වෙනස්කම් පැවතීමට කර්මය හේතුවන බව බුද්ධ දේශනාවේ දැක්වෙනවා. මෙලෙස වර්තමානයේ මේ සත්වයන් විවිධ ආත්මභාව ලැබ ඉපදීමට පෙරත්, නොයෙක් ස්වරූපයෙන් ජීවිත ගතකොට කර්ම විපාක රැස්කර තිබෙනවා.

ඒවගේම ඉදිරියටත් මේ සසර ගමනේදී කරන කියන හොඳ නරක කර්ම ශක්තීන් අනුව තවත් අනන්ත අප්‍රමාණ ආත්මභාව ලබනවා. ආත්මභවය, පුනර්භවය හා පුනරුප්පත්තිය ආදි නම්වලින් මෙය හඳුන්වනවා.

එකම ජීවියෙකුගේ වුණත් මෙලෙස සසරින් සසර ලබන ජීවන ස්වරූපයන් වෙනස් වීමට කර්ම ශක්තීන් බලපානවා. එහෙම නැතිව, අපේ මේ සමාජයේ තිබෙන පුද්ගල - සමාජ වෙනසට හේතුව දේව කැමැත්ත හෝ වෙනයම් මැවීමක් නිසා නොවෙයි.

තෝදෙය්ය සූත්‍ර ප්‍රශ්න

මේ විෂම වෙනසට හේතුව බුද්ධ දේශනාවේ විස්තර වන හේතු සාධක මොනවා ද ?

ඔබ විමසා සිටියා වගේ මීට වසර 2600 කට පෙරත් තෝදෙය්ය නම් තරුණයෙක් අපේ ගෞතම සම්මා සම්බුදු රදුන් සමීපයට පැමිණ ඒ ගැන සෘජුවම හේතු විමසුවා. මජ්ඣිම නිකායේ චුල්ල කම්ම විභංග සූත්‍රයෙහි තෝදෙය්ය පුත්‍ර තරුණයා විමසූ පුද්ගලයන්ගේ විවිධ ලක්‍ෂණ 14 ක් පිළිබඳ හේතු සාධක දැක්වෙනවා. ඒවා සැකෙවින් මෙසේයි.

(1) ඇතැම් අය අඩු වයසින් මිය යන්නේ මන්දැයි ?

විමසූ විට බුදුරදුන් දුන් පිළිතුර වූයේ, ඒ අය සෙසු ජීවීන් කෙරෙහි දයාවක් නැතිව අතේ ලේ තවරාගෙන ජීවිත විනාශ කළ හෙයින් මිනිස් ජීවිත ලැබූව ද අඩු වයසින් එම විපාකයන් නිසා ඔවුන්ට මිය යාමට සිදුවන බවයි.

(2) සමහර මිනිසුන් වැඩි කාලයක් ජීවත් වන්නේ කුමක් නිසාදැයි ? විමසුවිට උන්වහන්සේ වදාළේ,

වෙනත් ජීවීන්ගේ ජීවිත විනාශ නොකර සියලු සත්වයන් කෙරෙහි කරුණාව දයාව දක්වමින් ප්‍රතිපත්ති ගරුකව ගුණධර්ම වැඩීම හේතුවෙන් මිනිස් ලොව උපත ලැබූ විට එහි නියමිත කාලය (ආයුෂ) ගෙවමින් අඩු වයසින් නොමැරී ජීවත් වන බවයි.

( 3 ) ඇතැමුන් ලෙඩ රෝග වැළඳී දුක් විඳීමටත්,

(4) තවත් කෙනෙකු එසේ නොවී නිරෝගීව යහපත් සෞඛ්‍යයෙන් යුක්තව සුවසේ ජීවත් වීමටත් හේතු කුමක්දැයි විමසූ කළ බුදු රජාණන් වහන්සේ ඊට මෙසේ පිළිතුරු දුන්හ. සත්වයන්ට හිරිහැර කරමින් ජීවත් වූ අය මිනිස් ලොව උපන් කල දුර්වල සෞඛ්‍යය තත්ත්වයන් ඇති වෙන බවත් ප්‍රතිපත්තියක් ලෙස සත්ව හිංසාව අතහැර ජීවත් වන අය මෙලොව උපන් කල මනා සෞඛ්‍යයෙන් යුක්තව නිරෝගීව වෙසෙන්නට භාග්‍යය උදා වෙනවා.

(5) කෙනෙකුට අවලස්සන හෝ විරූපී රූපයක් ලැබීමටත්

(6 ) තව කෙනෙකුට ඉතා ලස්සන සුරූපී ප්‍රියජනක රූපයක් හිමි වීමටත් හේතු කුමක්දැයි තෝදෙය්ය පුත්‍ර තරුණයා විමසූවිට බුදුරදුන්ගේ පිළිතුර වූයේ, පෙර ජාති (ආත්ම) වලදී නිතර තරහ, ක්‍රෝධ හා කිපෙන වෛරී සිතින් ක්‍රියා කළ අය අප්‍රසන්න රූපයක් ඇතිව ඉපදීමටත්, නිතර සිනාමුසුව මෛත්‍රී සහගතව ජීවත් වූ අය ප්‍රසන්නව හා ප්‍රිය ජනකව උපත ලබන බවයි.

(7 ) පුද්ගලයන්ගේ හීන දීන හා නිවට නියාලුකමටත්

(8) තවත් අයෙකුගේ අදීන අභීත හා මනා පෞර්ෂයටත් බලපෑ හේතු සාධක වන්නේ, අනුනගේ දක්‍ෂතා හැකියාවන් හා දියුණුව දැක ඊර්ෂ්‍යා සහගතවීම මගින් නිවට නියාලු බවද එසේ නොවී සතුටු සිත් ඇතිව ඊට නිසි ඇගයීම් කිරීම් මගින් අනුභාව සම්පන්නකම ද ලැබෙයි.

(9) සමහරුන්ට බොහෝ මහන්සි වුණත් සැපත සතුට දියුණුව නොලැබීමටත්

(10) තව සමහරෙකුට අඩු වෙහෙස මහන්සියකින් පවා සැප සම්පත් සතුට දියුණුව ලැබීමටත් හේතු වන්නේ,

පෙර ආත්මවලදී අත්හැරීම්, දන්දීම් හා උපකාර කිරීම් සිදු කර ඇති අනුවයි.

(11 ) ඇතැමුන් කුලහීන පහත් දිළිඳු පවුල්වල උපත ලබන්නත්

(12) තවත් පිරිසක් උසස් කුලවත් ධනවත් ප්‍රභූ පවුල්වල උපත ලබන්නත් හේතුව කුමක් ද ? යන පැනයට බුදුරදුන් මෙලෙස පිළිතුරු දී තිබේ.

එනම්, පෙර ජාති (පූර්ව ආත්මභාව) වලදී උද්දච්ච, උඩගු අහංකාරකමින් ගරු කළ යුත්තන්ට ගරු නොකිරීමත් නිසා දුබල පවුල්වල උපත ලැබීමට හේතුවයි. ඊගාවට සුදුස්සන්ට ගරු කරමින් නිරහංකාර ලෙස නිහතමානීව පෙර ජාතිවලදී විසීම නිසා බලගතු උසස් පවුල්වල උපත ලැබීමට හැකියාව ලැබී තිබෙයි.

(13) ඇතමෙක් උගතුන් බුද්ධිමතුන් නොවීමටත්

(14) තවකෙක් උගත් බුද්ධිමත් බහුශ්‍රැතයෙකු වීමටත් පෙර ජාතිවලදී විවිධ දේ උගනිමින් දැනුම දියුණු කර නොගැනීමත් සහ උගතුන් ඇසුරු කරමින් ගුරු උපදෙස් පිළිපදිමින් දැනුම දියුණු කර ගැනීමට හුරුවීමත් යන කරුණු සෘජුවම ඒ සඳහා ඉවහල් වන බව අප බුදුරදුන් දේශනා කොට වදාරා තිබේ.

යළි ප්‍රශ්න මතුවීම

ඔබ වහන්සේ පැහැදිලි කළ ඉහත තෝදෙය්ය පුත්‍ර ප්‍රශ්න 14 තුළ 1 සිට 6 දක්වා වූ හේතු අතර ඇතැමෙකුට පිළිගැනීමට අපහසු කාරණා තිබෙන්නට බැරි ද ?

ඔව්, 1 සිට 4 දක්වා වූ පිළිතුරු සතරෙහි හමුවන “ සමත්තේන” “ සමාදින්නේන” යන පාලි වචනවල විශේෂ වැදගත්කමක් තියෙනවා. “ ප්‍රතිපත්තියක් ලෙස භාරගත් එසේ සිදු කරන යන අදහස එහි ගැබ් වෙනවා. ඒ නිසා දඩයම් කිරීම, සත්ව හිංසාව හෝ මිනී මැරීම සිය ජීවිත කාලයෙන් සියයට අනූ පහකටත් වඩා අඩු කාලයක් යෙදී සිටියත් අඩු ආයුෂ ඇති කිරීමට හේතු වෙනවා.

ඊගාවට (5, 6) ප්‍රසන්න ප්‍රිය මනාප ශරීරයක් ලැබීමට සුදුසු දේශයක හා පවුලක උපත ලැබීමටත් කර්මය හේතු වන බව පෙනෙනවා. ඒ නැතත් ශරීරයක පැහැය කෙරෙහි ජානවල වෙනස හා උපදින රටෙහි දේශගුණය කෙතරම්ම හිතකර වුවද ඒ අතර දකින්නන්ට ප්‍රිය නූපදන රූප ස්වභාවයන් පිහිටනවා. එනම් ශරීර පැහැය, වර්ණ කුමක් වුවත් බලන්නන්ගේ රුචිය වඩවීමට මූලිකව ම කර්මයේ සාධක ප්‍රබල බලපෑමක් ඇති කරනවා.


 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]