UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදට්ඨ කතාවෙන් 10 සත්වරක් මරණයෙන් වැළකී සිටු පදවි ලද ඝෝෂක

ධම්මපදට්ඨ කතාවෙන් 10

සත්වරක් මරණයෙන් වැළකී සිටු පදවි ලද ඝෝෂක

ඝෝෂක සිටුපුත් කෙරෙහි අවධානයෙන් සිටි තරුණ සිටු දියණිය තුළ ඝෝෂක කෙරෙහි පේ‍්‍රමයක් ජනිත වූවාය.පෙර සසර මග ඔහුට බොහෝ වාරයක් බිරිය වී සිටි මේ සිටු දියණියට ආත්මගත එම සබැඳියාව මෙහිදී ඉස්මතු විය. එබැවින් ඝෝෂක වෙතට ළං වූ සිටුදියණිය ඔහුගේ ඉනෙහි යමක් ඇති බව දුටුවාය. එය සෙමින් රැගෙන ඉහළ මාලයට නැගි සිටු දියණිය එය සෙමින් කියවා බැලුවාය. තමාගේ මරණ ලිපිය තමාගේ ඉනෙහි තබා ගෙන සිටින බව දුටු සිටු දියණිය බෙහෙවින් කම්පාවට පත්ව වෙනත් ලිපියක් ලියුවාය

මෙහි පළමු කොටස 2013 පෙබරවාරි 25 වනදා නවම් පුරපසළොස්වක පත්‍රයේ පළ විය.

සුනඛයෙකු වී පසේ බුදුවරයෙකු හට ආරක්‍ෂාව සලසන්නට පිරූ පිනෙන් ඝෝෂක ලෙස උපත ලද මොහු අනාගතයේ නගරයේ සිටු තනතුරට පත් වන බව නිමිති බලන්නන් වෙතින් දැනගත් නගරයේ සිටුවරයා ඝෝෂක මරවන්නට සත්වරක් වෑයම් කළේය. එයින් සයවාරයක් පිළිබඳ තොරතුරු පසුගිය ලිපියෙන් කියැවිණි. මේ අවසාන වාරය පිළිබඳ අසිරිමත් කතා පුවතයි.

කුඹලකු ලවා වළං උදුනේ පුළුස්සා මරන්නට කළ කුමන්ත්‍රණයට සිටුවරයාගේ පුතාම හසුවීමෙන් ඝෝෂක සිටු මැඳුරේ ඉතිරි විය.

එහෙත් සිටුතුමාට මොහු තම නිවසේ සිටිනු බලා සිටිය නොහැකි විය. ඔහු තවත් කුමන්ත්‍රණයක් කළේය. තමාගේ ගම් සියයේ අයබදු එකතු කරන්නා වෙත යවා මරවන්නට තීරණය කළේය.ඒ අනුව මේ ලිපිය රැගෙන එන්නේ තමාගේ අවජාතක පුතෙකු බවත් ඔහු මරා වැසිකිළියක දමන ලෙසත්, එය ඉටු කළ විට ඔහුට බොහෝ වස්තුව දෙන බවත් දන්වා ලිපියක් ලියා ඝෝෂක වෙත දී එය ගම් සියයේ අය බදු එකතු කරන්නාට ගෙන ගොස් දෙන්නැ’යි කීය. ඝෝෂක අකුරු නොදත් හෙයින් එය කියවිය නොහැකි විය.එය තම ඉනෙහි ගසා ගෙන අතරමඟ යාළු සිටුවරයෙකුත් හඳුන්වා දී ඔහුගේ නිවසට ගොස් ආහාරපාන ගෙන යන ලෙසද දැන්වීය.

ඝෝෂක දුර මඟ ගෙවා යද්දී කුසගිනි ඇතිවූ හෙයින් පෙර කී සිටුතුමාගේ නිවසට ගියේය. එම සිටු බිරිය ඝෝෂක හඳුනා ගෙන බොහෝ සෙයින් සංග්‍රහ කළේය. එම සිටුවරයාට දොළොස් වියැති දියණියක් වූ අතර ඇය ඉතා ප්‍රසාදජනක අභිරූපිනියක් ද වූවාය. ඇගේ මෙහෙවරට දාසියකද සිටියාය. සිටුබිරිය මෙම දාසිය ලවා ඝෝෂකගේ පා දෝවනය කරවා තෙල් ගල්වා සයනයක් සුදානම් කරවා වෙහෙස නිවන්නට නිදන්නට පැවරුවාය.

ඝෝෂක සිටුපුත් කෙරෙහි අවධානයෙන් සිටි තරුණ සිටු දියණිය තුළ ඝෝෂක කෙරෙහි පේ‍්‍රමයක් ජනිත වූවාය. පෙර සසර මග ඔහුට බොහෝ වාරයක් බිරිය වී සිටි මේ සිටු දියණියට ආත්මගත එම සබැඳියාව මෙහිදී ඉස්මතු විය. එබැවින් ඝෝෂක වෙතට ළං වූ සිටුදියණිය ඔහුගේ ඉනෙහි යමක් ඇති බව දුටුවාය. එය සෙමින් රැගෙන ඉහළ මාලයට නැගි සිටු දියණිය එය සෙමින් කියවා බැලුවාය.

තමාගේ මරණ ලිපිය තමාගේ ඉනෙහි තබා ගෙන සිටින බව දුටු සිටු දියණිය බෙහෙවින් කම්පාවට පත්ව වෙනත් ලිපියක් ලියුවාය. එහි මෙසේ විය. මිත්‍රය, මේ ලිපිය රැගෙන එන්නේ මගේ අදරැති පුතු ඝෝෂකය. ගම් සියයෙහි අය බදු එකතු කොට අසුවල් ජනපදයේ සිටුවරයාගේ දියණිය මොහුට විවාහ කර දෙන්න. දෙමහල් මැදුරක් තනා එය ප්‍රාකාරවලින් වටකොට ආරක්‍ෂක විධිවිධාන යොදන්න. ඒ සියලු දේ ඉටු කොට ඒ බව මට දන්වා ලිපියක් එවන්න”

මෙම ලිපිය ලියා මරණ ලිපිය වෙනුවට ඝෝෂගේ ඉනෙහි රැඳවීය. දෙවෙනි දින උදෑසනම ඝෝෂක පිබිදී අයබදු එකතු කරන්නා වෙත ගොස් තම පියා දුන් ලිපිය ඉදිරිපත් කළේය. ඔහු එම ලිපිය බලා මහත් සංතෝෂයට පත්ව අලංකාර මැදුරක් තනවා ජනපද සිටුවරයාගේ යටකී දියණිය ඝෝෂක වෙත විවාහ කර දී සියලු ආරක්‍ෂාවද සැලසීය. සියල්ල නිමවා ඒ බව ඝෝෂකගේ පියාටද දන්වා යැවීය. එය දැනගත් පියා එම මරණ උපක්‍රමයද වැරැදී ගිය බව දැන මහත් කම්පාවට පත්ව එය විඳ ගත නොහී අතීසාරය නමැති මාරාන්තික රෝගයට ගොදුරු විය.

මරණාසන්නයෙහි සිටියදී පුතු තමන් වෙතට කැඳවන්නට කල්පනා කළ සිටුවරයා අයකැමියා ලවා දූතයන් පිටත් කර යැවීය. ඒ දූතයන්ට එහි අවශ්‍ය ගේ දොර ආදිය ලදින් පියාගේ අසනීපය දැන්වීම වැළකුණි. අවසන පියා අසාධ්‍ය තත්ත්වයට පත් වූ විට තවත් දූතයෙකු වෙතින් ඒ බව දැන සිටුපුත්‍රයා පියා බලන්නට පැමිණියේය. සිටුවරයාගේ සතළිස් කෙළක් ධනය හා ගම්බිම් සියල්ල සිටුපුත්‍රයාට නොදෙමි’ යි කියන්නට උත්සාහ කළත් දෙමි’යි කියා කියවුණේය. එයින් වේදනාව දරුණු වී මරුමුවට පත් විය. සිටුවරයා මිය ගිය බව රජුට දැන්වූ පසු සිටුවරයාගේ අවසන් කටයුතු නිමවා තරුණ පුතුට සිටු තනතුර ප්‍රදානය කරන්නට රජ මැදුරට එන්නැ’ යි රජතුමා දැන්වීය.

එදින වැසි දිනයක් විය. රජ මිදුල පුරා තැනින් තැන ජල කඩිති විය. සිටු පුත්‍රයා රජ මැදුරට එද්දී මේ ජල කඩිති උඩින් පැන කෙළිලොල් තරුණයෙකු ලෙස එන අයුරු රජතුමා සීමැදුරු කවුළුයෙන් බලා සිටියේය.

පැමිණ රජුට ගෞරව දැක්වූ කල නගරයේ සිටු තනතුර ප්‍රදානය කළේය. එය රැගෙන ආපසු යද්දී සෑම ජලකඩිත්තකින්ම බැස ජලය පාගමින් යන අයුරු රජතුමා බලා සිටියේය. රජමැදුරට එන විට ජලකඩිති උඩින් පැන පැන ආ මේ තරුණයා ආපසු යද්දි බැස යන්නේ ඇයි දැයි කල්පනා කළ රජතුමා තරුණයා ගෙන්වා ඒ ගැන විමසීය. ඔහු කීවේ රජතුමනි, මා මෙහි එද්දී කෙළිලොල් තරුණයෙකි. යද්දි මා සිටුවරයෙකි. එබැවින් තනතුරෙන් ලද ශික්‍ෂණය නිසා එසේ ගිය බව කියා සිටියේය. එයින් රජතුමා බොහෝ පැහැදීමට පත්විය.

අනතුරුව මෙම සිටු තනතුර ලබන්නට තම බිරිඳ ඉටු කළ කාර්යභාරයද දැනගත් පසු තමා සත්වරක්ම මරා දමන්නට පියා ක්‍රියා කළ අයුරු දැන එයින් වැළකී සිටු තනතුර ලැබීමේ සතුට වෙනුවෙන් දිනපතා දහස බැගින් වියදම් කොට දන්සැලක් ද ඉදිකොට බොහෝ යහපත් ලෙස කල් ගෙවීය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]