UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය

අ.පො.ස. උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය

බුද්ධ කාලීන භාරතයේ නාගරීකරණය කවර හේතු සාධක මත සිදු වූවක් දැයි පිරික්සන්න

බුදුරදුන් පහළ වූ ක්‍රි.පූ. 06 වන සියවස වන විට භාරතීය දේශපාලන බෙදීම් අතර එක් ක්‍රමයක් වූයේ ලෞකික දියුණුව ගැන සළකා කරන ලද බෙදීමයි. ඒ අනුව ප්‍රධාන කොටස් දෙකක් දැක්වෙයි. එනම්,

1. ග්‍රාමීය ප්‍රදේශ
2.නාගරික ප්‍රදේශ වශයෙනි

නාගරීකරණය පිළිබඳ විමසීමේදී ඒ සඳහා මූලික වශයෙන් ඉවහල් වී ඇත්තේ ඒක පුද්ගල ආදායම් තත්වය මෙන්ම පුද්ගලයකු විසින් පරිහරණය කරනු ලබන භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණයයි. එහි වටිනාකමයි. භාරතීය නාගරීකරණය ඇසුරින්ම දෙස් විදෙස් වශයෙන් සුපතල කීර්ති නාමයක් ඇති කරගත් නගර රැසක් උත්තර භාරතයේ මධ්‍ය මණ්ඩලයෙන් දක්නට ලැබෙයි. සැවැත්නුවර, රජගහනුවර,බරණැස් නුවර, උදේනිය,කොසඹෑ නුවර ආදි නගර නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

මෙම වෙළෙඳ නගර වල පැවති ලක්‍ෂණ අතර ජනාකීර්ණ බව, විශේෂත්වයක් ගනු ලබයි. අධිගහණයකින් යුක්ත නගර වෙයි. ඒ නිසාම විශාල වශයෙන් භාණ්ඩ අලෙවි කළ හැකි විය. වෙළඳාමේදී මූලික වශයෙන් බලපානු ලබන කරුණු 3 ක් ඇත. එනම්

1.භාණ්ඩ නිෂ්පාදනය
2. ප්‍රවාහන පහසුකම්
3. වෙළෙඳ පොළ යනාදියයි

අධි ජනගහනයකින් යුක්ත වූ නගරවල වෙළෙඳපොළ පහසුව පැවතිණ. නාගරිකව ප්‍රවාහන පහසුකම සුලභ විය.

බෙහෙවින් භාණ්ඩ නිෂ්පාදනය සිදුවූයේද නගරාශි‍්‍රතව ය. එයට හේතුව වූයේ නිෂ්පාදනය සඳහා විශාල ප්‍රාග්ධනයක් අත්‍යවශ්‍ය වෙයි. ධනවත් බලවත් පිරිස් වාසය කරන ලද්දේ නාගරිකව වීම බෙහෙවින් දක්නට ලැබෙන ලක්‍ෂණයකි. මේ අනුව නාගරීකරණය සඳහා බලපාන ලද දියුණු වෙළෙඳ රටාවක් නගර ඇසුරින් දැකිය හැකි විය.

කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, සත්ව පාලනය, ගෘහස්ථ, කර්මාන්ත ආදි විවිධ ධනෝපායන ක්‍රම අනුගමනය කිරීම තුළින් වෛශ්‍ය වංශිකයන් අතර ඇතැමෙක් විශාල ධනයක් උපදවා ගැනීමට සමත් වූහ. ඒ අනුව ඇතැමෙක් සිටු තනතුරු ලබා ගැනීමටද සමත් වූහ. එබඳු සිටුවරුන් අතර ජෝතිය සිටුතුමා , මෙණ්ඩක සිටුතුමා, පූර්ණවර්ධන සිටුතුමා, මිගාර සිටුතුමා , අනේපිඬු සිටුතුමා, බිළාල පාදකසිටුතුමා, අදින්නපුබ්බක සිටුතුමා, මහධන සිටුතුමා ආදි බොහෝ සිටුවරු පිරිසක් පහල වී ඇති බව පෙනේ. මෙබඳු සිටුවරු අතර ඇතැමෙක් මහා පරිමාණයෙන් තම ධනය වැය කරමින් කර්මාන්ත ඇරඹූහ.

ඒ නිසා විශාල පිරිසකට රැකියා අවස්ථා උදාවිය. විරැකියාවෙන් පසුවූ තරුණ තරුණියන් එබඳු කර්මාන්ත ශාලාවෙත ඇදී යාම තුළින් අධි ජනගහණයකින් යුක්ත ප්‍රදේශ බවට නගර පත්විය.

තාක්‍ෂණ දියුණුව,සන්නිවේදන පහසුකම්, ප්‍රවාහන පහසුකම්,දියුණූ මාර්ග පද්ධතිය, ආදි ලක්‍ෂණ වලින් යුක්ත වූ ප්‍රදේශ නාගරික තත්වයට පත්වූ බව පැහැදිලි වෙයි.

මත්වතුර භාවිතය පුද්ගලයා හා සමාජය පරිහානියට පත්කරන ආකාරය විස්තර කරන්න

සමාජය යනු පුද්ගලයන් සමූහයකගේ එකතුවකි. ඒ අනුව පුද්ගලයාගේ දියුණුව තුළින් සමාජ දියුණුව තීරණය වෙයි. පුද්ගල සංවර්ධනය ඇසුරින් සමාජ සංවර්ධනය සිදුවෙයි. පුද්ගල ප්‍රගතිය අනුව සමාජ ප්‍රගතිය තීරණය වෙයි. එපරිද්දෙන් පුද්ගල පරිහානිය කෙරෙන් සමාජ පරිහානිය සිදුවෙයි. මේ අනුව පුද්ගලයාත් සමාජයත් පරිහාණියට පමුණුවන ඉතා භයානක පිළිවෙතක් වශයෙන් මත්වතුර භාවිතය දැක්විය හැකිය.

පුද්ගලයාගේ දියුණුව පිණිස ඉවහල් වන කරුණු අතර ඉතා වැදගත් කරුණු දෙකක් ඇත. එනම්

1. මනා සිහි බුද්ධියකින් යුක්ත වීම
2. අප්‍රමාදීව ක්‍රියා කිරීම යන්නයි.

ඕනෑම පුද්ගලයෙක්, ආයතනයක්, රටක්, රාජ්‍යයක් දියුණුවන්නේ එහි ප්‍රධානියා හොඳ සිහි කල්පනාවකින්, දුර දිග දක්නා නුවණින් හා තීක්‍ෂණ බුද්ධියකින් යුක්ත වුවහොත් පමණි. අප්‍රමාදි බව හෙවත් කළ යුතු කටයුතු සොයා බලා අලස නොවී ඒ ඒ අවස්ථාවල දීම ඉටු කළයුතුය.අප්‍රමාද වීම දියුණුවට මාර්ගයයි.

මත්වතුර භාවිතා කරන පුද්ගලයා මෙම අංශ දෙකෙන්ම පිරිහීමට පත්වූවෙකි. මත්වතුර මගින් ඇති කරවන මූලික අනිටු විපාක දෙක වනුයේ සිහි විකල් කරවීම හා ප්‍රමාදයයි. “මජ්ඡ පමා දට්ඨානා”යන්නෙන් එය උගන්වයි. යමෙක් මනා සිහියෙන් තොරව අව සිහියෙන්, මන්දබුද්ධිකව,අදුරදර්ශීව ක්‍රියා කරයිද ඒ පුද්ගලයා දවසින් දවස පිරිහෙයි. එමෙන්ම යමෙක් අප්‍රමාදව ක්‍රියාකිරීමේ ශ්‍රේෂ්ඨ පිළිවෙතින් බැහැරව ප්‍රමාදව, අලසව, මන්දෝත්සාහීව ක්‍රියා කරයිද, ඔහු අව පක්‍ෂයේ සඳ මෙනි. දිනෙන් දින ප්‍රපාතයටම ඇද වැටෙයි.මත්වතුර පානය කරන පුද්ගලයා මෙසේ තම පරිහාණිය සලසා ගනු ලබන්නෙකි.

මතට ලොල්වූ පුද්ගලයාගේ ධනසම්පත පමණක් නොව ඥාන සම්පත්, ඥාති සම්පත්, කල්‍යාණ මිත්‍ර සම්පත්, දරු සම්පත්, ගුණ සම්පත් ආදි සියලුම සම්පත් පිරිහීමට පත්වෙයි. තම නිවැසියන් සමග මෙන්ම අසල්වාසීන් සමග නිතර නිතර කලකෝලාහල වල නිරත වෙයි. එමගින් සමගිය, සමාදානය, සුහදතාවය, නැතිවයයි. අනෙක් විවිධ රෝබාධයන්ට ගොදුරු වෙයි. ඔහු සතුව පැවති සම්භාවණීයත්වය, උසස් බව හා සමාජ පිළිගැනීම ඔහුට අහිමිවෙයි. නින්දා අපහාස ලබන්නෙක් වෙයි.

මෙබඳු ගති ලක්‍ෂණ ඇති පුද්ගලයා තම නිවස මිහිපිට අපායක් බවට පත් කර ගනියි. ඔහු නිසා ඔහුගේ අඹුදරුවන් මෙන්ම ඥාතීන්ද අසල්වාසීන්ද බලවත් පීඩාකාරි තත්වයට පත්වෙති. මත්වතුර හෝ මත්ද්‍රව්‍ය වලට වහලෙකු වූ පසු මහ ධනවතුන් දිළිදු යාචකයන් බවට පත් කරන බැවින් හොර මැරකම් කිරීමෙන් මංකොල්ල කෑමෙන් හෝ සාහසික ක්‍රියා වලින් අවශ්‍ය මුදල් උපයා ගැනීමට පෙළඹෙයි.

මේ අනුව සුරා ලෝලි පුද්ගලයා යනු මිනිස් වෙසින් සිටින යක්‍ෂයෙකි. මුළුමහත් සමාජයම පීඩාවට පමුණුවන්නෙකි.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]