UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසන ඉතිහාසයේ ස්වර්ණමය කතිකාවත...

ඉතිහාසයේ මින් පෙර සිදු නොවූ මෙවන් වටිනා කතිකාවතක් සෑම තෙමසකට වරක්ම පැවැත්වීමට තමන් තීරණය කළ බව ජනාධිපතිතුමා විසින් මෙහිදී ප්‍රකාශ කර සිටි අතර, ඊට මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කෙරිණි. කිසිවිටෙකත් අතිපූජනීය වූ මහාසඟරුවනේ අදහස් හා යෝජනා සම්මතයන්ට එරෙහිව හෝ ඉක්මවා හෝ යාමක් තමන් විසින් කිසිවිටෙකත් සිදු නොකරන බව මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ කර සිටි ජනාධිපතිතුමා, ආර්ථික පුනරුදයක් පතා රට යන සාර්ථක ගමන් මඟට ශක්තියක් වීමට අවශ්‍ය, සැදැහැති පොදු ජන මනස සාරධර්මයන්ගෙන් පුරවාලීම සඳහා වූ වපසරිය සකස් කර දෙන ලෙස ද මහා සංඝරත්නය විෂයෙහි ජනාධිපතිතුමා කාරුණික ආයාචනයක් ද කර සිටියේ ය

සම්මා සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්මත්, ප්‍රගමනයත් සඳහා මහත් කැපවීමකින් ක්‍රියා කළ ලෝකයේ පළමුවෙනි බෞද්ධ අධිරාජ්‍යයා වශයෙන් නම් දරන්නේ එකල භාරතයේ විසූ අශෝක අධිරාජයාය. සම්බුදු සසුනේ ආරක්‍ෂාව සඳහා රජෙකු සතු වගකීම මනාකොට අවබෝධ කර ගත් අශෝක අධිරාජ්‍යයා, සංඝ සාමගි‍්‍රය ඇති කරලීම සඳහා ලෞකික නායකත්වයක් තුළින් ගත හැකි නෛතික ක්‍රියාමාර්ගයන් නොපසුබටව ක්‍රියාවට නැංවීය. ඒ සෑම අවස්ථාවකදීම ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද අනුශාසනා මධ්‍යයේ කළයුතු නිවැරැදිම දේ කරන්නට එතුමා උත්සුක වූයේ ය. බුදුදහමේ චිරස්ථිතියත්, සඟ සසුනේ දියුණුවත් ඉත සිතින් පතා එදා ඒ උත්තමයාණන් කළ ධීර වීර ක්‍රියාවන් සියල්ලක්ම ශාසනික සුරක්‍ෂිතතාවය වෙනුවෙන් මනා පිටිවහලක් විණි.

ඒ... එදා භාරතීය සාසනික ප්‍රබෝධයයි. මේ.... මෙදා ශ්‍රී ලාංකේය සාසනික පුනරුදයයි. මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයේ කිසිඳු රාජ්‍ය නායකයෙක් තමා බලයට පත් වූවාට පසු කිසි දිනෙක සිදු නොකළ උතුම් සද්ක්‍රියාවක් කරන්නට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පසුගියදා සන්ධ්‍යාවේ දී ඉදිරිපත් වූයේ ය. තෛ‍්‍රනිකායික සියලුම පාර්ශ්වයන්හි අති ගෞරවනීය මහා නායක, අනුනායක, ලේඛකාධිකාරී හා නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ජනාධිපති කාර්යාලයට වැඩම වන මහත් ගෞරව පෙරදැරිව උන්වහන්සේලා පිළිගෙන වඩාහිඳුවා, කාලීන වශයෙන් රටටත්, ජාතියටත්, සඟ සසුනටත් අවැසි කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අතිගරු ජනාධිපතිතුමන් මුල පිරීය.

සඟ සසුනේ වගකිවයුතු අතිපූජනීය මෙම මහ සඟරුවන, එකම අරමුණක් වෙනුවෙන් එකවර එක් ස්ථානයකට ඒකරාශී කරගනිමින් රාජ්‍ය නායකත්වය සමඟ අර්ථාන්විත කතිකාවතක් පැවැත් වූ ඉතිහාසයේ එකම හා ස්වර්ණමය අවස්ථාව ද මෙයම විය. කතිකාවතට ප්‍රවේශයක් ලබා ගනිමින් මෙවන් කාර්යයක ඇති වැදගත්කම ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති ගෞරවාර්හ නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්‍ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ විසින් පෙන්වා දුන් අතර, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අති ගෞරවාර්හ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන අනුනායක ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අති ගෞරවාර්හ දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහා නායක ස්වාමීන්වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති ගෞරවාර්හ නාපාන පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් අදහස් දක්වනු ලැබූහ.

තිස් වසරක කුරිරු යුදමය වාතාවරණය අතිගරු ජනාධිපතිතුමන්ගේ ශ්‍රේෂ්ඨ සේනාධිනායකත්වය තුළින් මෙරටින් සහමුලින්ම තුරන් කර දමා සියල්ලන්ටම නිදහස්ව, නිවහල්ව, එකම ධජයක් යටතේ සාමකාමීව ජීවත්වීමට සුදුසු වාතාවරණය රට තුළ උදාකර දී ඇති මෙවන් මොහොතක රටත්, ජාතියත්, ආගමත් පුබුදුවාලීම සඳහා කාලය උදාවී ඇති බව මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන්නේ අතීතාවර්ජනයක් ද සමඟිනි.

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ රටටත්, සිංහල ජාතියටත්, සම්බුදු සසුන් කෙතටත් විවිධාකාරයෙන් වූ උපද්‍රව ඇති වූ අවස්ථාවන් වලදී එවන් විපත් වලින් රට දැය බේරා ගත් දුටුගැමුණු, විජයබා, ගජබා, පැරකුම් වැනි උදාර නරපතියන් සේම අනගාරික ධර්මපාලතුමන් වැනි ශ්‍රේෂ්ඨ යුගපුරුෂයන්ද මෙන් වත්මන් ජනාධිපතිතුමා සිදු කරන මෙහෙවර මහා සංඝරත්නයේ පැසසුමට ලක්විණි. ත්‍රස්තවාදයක් වපුරමින් ලංකාව අල්ලා ගැනීමට නොහැකි වූ ඇතැම් විදේශීය බලවේගයන් තමන්ගේ පටු අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා මෙරට ජාතීන් අතරත්, ආගම් අතරත් ඝට්ටන ඇති කරලීම සඳහා සූක්‍ෂම ක්‍රමෝපායන් රැසක් දියත් කරමින් සිටින බවත්, ඒවා පිළිබඳව වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානය යොමු කරන ලෙසත් මහ නායක ස්වාමීන් වහන්සේලා මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. සංවර්ධනයේ පැහැදිලි ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගනිමින් රට ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරන මේ සුවිශේෂී අවස්ථාවේ දී කිසිම ආකාරයකින් රට අස්ථාවර කරන්නටවත්, අරාජික කරන්නටවත් කිසිඳු පාර්ශවයකට ඉඩ නොතැබිය යුතුය යන්න මහා සංඝරත්නයේ තිර අදිටන විණි.

කතිකාවත තවත් එක් සංදිස්ථානයකට රැගෙන යමින්, බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේ විසින් බෙහෙවින් වැදගත් වූ යෝජනාවන් රැසක්ම ඉදිරිපත් කළ සේක. රාජ්‍ය නායකත්වයට මෙන්ම ජාතික අවශ්‍යතාවයන් වලදී උපදෙස් ලබාදීමට මහා සඟරුවනේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් උත්තරීතර උපදේශක සභාවක් පත් කරගැනීමට උන්වහන්සේ යෝජනා කළහ. තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ ද අවධානය ඒ වෙනුවෙන් යොමු වූ අතර, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු යොදනු ලැබුවේ එය කාලීන වශයෙන් බෙහෙවින් වැදගත්කමක් උසුලන බැවිනි.

ගෞරවනීය මහා සංඝරත්නය හමුවේ පවතින ගැටලු සහ ඒ වෙනුවෙන් ගන්නා වූ සාර්ථක පියවර වෙනුවෙන් අදහස් දැක්වීමට අදාළ රාජ්‍ය පාර්ශවයන් ද මෙම හමුව සඳහා ජනාධිපතිතුමන් විසින් කැඳවා තිබීම බුද්ධිගෝචර විණි. ඒ අනුව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාත්, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ, බන්දුල ගුණවර්ධන, එම්.කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්, නීතිපති, පොලිස්පති, මහාභාරකාරතුමන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී කරවාගෙන තිබිණි. බෞද්ධ ධර්මාචාර්ය සමත් 1000 ක් ගුරු සහායකින් ලෙස කඩිනමින් බඳවා ගැනීමටත් මෙහිදී එළැඹි තවත් එක් වැදගත් තීරණයකි.

තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ අසූ හාරදහසක් වූ උතුම් ශ්‍රී සද්ධර්මය එදා ඉසිපතන මිගදායෙන් ලොව සතර අත විහිදුවා ගියාසේ, සම්බුදු දහම ජාත්‍යන්තර මට්ටමින් බෙදාහැරීම සඳහා විදේශීය ධර්ම දූත සේවාව ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම මෙහි දී මහාසංඝරත්නය විසින් පෙන්වා දුන් අතර, එය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පුහුණු ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය ලැබිය යුතු බැවින් ඒ සඳහා රජයේ මැදිහත්වීමක් කරන ලෙසට වූ ඉල්ලීමක් ද ඉදිරිපත් විය.

එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි ද අවධානයක් යොමු කර මීට වඩා ක්‍රමවත් වූ පිරිවෙන් අධ්‍යාපනයක් රට තුළ ස්ථාපිත කරලීම සඳහා ගත හැකි පියවර වෙනුවෙන් ද සාකච්ඡාවට බඳුන් කෙරිණි.

අන්තර් ආගමික සහජීවනයක් තුළින් ආගම් අතර පවතිනා සහසම්බන්ධතාවය වඩාත් සමීප කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී ස්වාමීන් වහන්සේලාගේ කතාබහට ලක්වුණු කාරණයක් විය. ගෞරවනීය මහා සංඝරත්නයේ අදහස් දැක්වීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් සිය හඬ අවදි කළේ ය. “බුදු සසුනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛස්ථානය තහවුරු කිරීමට අවශ්‍ය විධි විධාන යොදන බවට” තමන් මීට වසර 08 කට පෙරාතුව ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති මාලාව ඔස්සේ ලිඛිතවත්, වාචිකවත් මේ රටේ මහා සඟරුවන හා පොදු මහජනයා ඉදිරියේ වූ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමට ඇප කැපවී සිටින බව පසක් කළ ජනාධිපතිතුමා, ඒ වෙනුවෙන් මහා සඟරුවනේ අවවාද හා අනුශාසනා නිරන්තරයෙන් අපේක්‍ෂා කරන බවත් පැවසීය. රට අරාජික වෙන්නට ගිය සෑම අවස්ථාවකදීම මෙරට මහා සංඝරත්නය පෙරට විත්, රටත්, ජාතියත්, ආගමත් බේරා ගැනීමට කටයුතු කළ ආකාරය ජනාධිපතිතුමා විසින් මහත් කාරුණිකව මෙහිදී සිහිපත් කර සිටියේ ය. සම්බුදු ශාසනය සම්බන්ධයෙන් ඇති විවිධ පනත් කෙටුම්පත් පිළිබඳ දීර්ඝ විස්තරයක්ද මෙහිදී ජනාධිපතිතුමා විසින් මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත කරුණු ගෙනහැර දක්වනු ලැබීය.

ඒ අනුව බෞද්ධ විහාර දේවාලගම් පනත් කෙටුම්පත සංශෝධන සහිතව මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත්, බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත් කෙටුම්පත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නීති කෙටුම්පත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති බවත්, දස සිල් මාතාවන් හා දස සිල් මාතා ආරාම පිළිබඳව පනත් කෙටුම්පත් සංශෝධන තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය ලැබී ඇති බවත් ජනාධිපතිතුමා විසින් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය. එමෙන්ම බුද්ධ ශාසන පනත් කෙටුම්පත සහ කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද අදහස් දැක්වීම සිදු කරන ලදී.

ඉතිහාසයේ මින් පෙර සිදු නොවූ මෙවන් වටිනා කතිකාවතක් සෑම තෙමසකට වරක්ම පැවැත්වීමට තමන් තීරණය කළ බව ජනාධිපතිතුමා විසින් මෙහිදී ප්‍රකාශ කර සිටි අතර, ඊට මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කෙරිණි. කිසිවිටෙකත් අතිපූජනීය වූ මහාසඟරුවනේ අදහස් හා යෝජනා සම්මතයන්ට එරෙහිව හෝ ඉක්මවා හෝ යාමක් තමන් විසින් කිසිවිටෙකත් සිදු නොකරන බව මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ කර සිටි ජනාධිපතිතුමා, ආර්ථික පුනරුදයක් පතා රට යන සාර්ථක ගමන් මඟට ශක්තියක් වීමට අවශ්‍ය, සැදැහැති පොදු ජන මනස සාරධර්මයන්ගෙන් පුරවාලීම සඳහා වූ වපසරිය සකස් කර දෙන ලෙස ද මහා සංඝරත්නය විෂයෙහි ජනාධිපතිතුමා කාරුණික ආයාචනයක් ද කර සිටියේ ය.

සියල්ලක්ම ඉතාමත් සාර්ථකව සාකච්ඡාවකට බඳුන් වූ මේ වටිනා කතිකාවේ අවසානය සනිටුහන් වූයේ රටේ දැවැන්ත සංවර්ධන සංග්‍රාමයටත්, ඒ වෙනුවෙන් නිවැරැදි නායකත්වයක් සපයන අතිගරු ජනාධිපතිතුමන්ටත් ආශිර්වාද පතා මහා සඟරුවන එක්ව සජ්ඣායනා කළ සෙත් පිරිත් සජ්ඣායනයකින් අනතුරුවය.

තෛ‍්‍රනිකායික හා සෙසු නිකායන්ට අදාළ සියලුම පාර්ශවයන්හි අති ගෞරවනීය මහා නායක, අනු නායක, ලේඛකාධිකාරී හා නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ මුවින් පිට වූ ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, මෙත් සිත් පෙරටුව සිතන පතන, දැහැමි, ශික්‍ෂාකාමී පුරවැසියන් වෙසෙන දහම් දිවයිනක සැබෑම වූ අරුණාලෝකය වනු නියතය.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]