UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය සත්‍යය සිහි කරමු - 02 සසර බිය දකිමු

ආර්ය සත්‍යය සිහි කරමු - 02

සසර බිය දකිමු

මේසා දීර්ඝ සසර ගමන අප ගෙවාගෙන ආවෙ ඇයි? ඒ චතුරාර්ය සත්‍යය ධර්මය නොදත් නිසා, අවබෝධ නො කළ නිසා එහෙනම් අප මේ දීර්ඝ සසර ගමනින් නිදහස් වෙන්ට නම් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය දැනගත යුතුයි. අවබෝධ කළ යුතුයි. හොඳට පෙනෙන්ට ඉන්න මිනිස්සු කලුරිය කළාට පස්සෙ සතර අපායෙ ඉපදෙනවා නම්, තිරිසන් ලෝකේ ඉපදෙනවා නම්, පේ‍්‍රත ලෝකයේ ඉපදෙනවා නම්, නිරයේ ඉපදෙනවා නම් මේ සිද්ධිය ගැන යමෙක් කල්පනා කළොත් ඒක සංවේග ජනක දෙයක්. මනුෂ්‍යාට මෙබඳු ඉරණමක් අත්වෙනවාද කියල යමෙකුට තේරෙනවා නම් එපමණකින් ම එයා මේ සසර කෙරෙහි කළකිරෙනවා. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මේ සසරේ බිය ජනක බව, සංවේග ජනක බව, අතිශය දුක් සහිත බව සිහි කරන්න

චතුරාර්ය සත්‍යය අවබෝධ කර නොගත්තොත් අපට එයින් වෙන හානිය කෙබඳු ද කියල අප දැකගන්ට ඕනෑ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී නොබෝ කලකින් ඒ භාග්‍යවතුන් වහන්සේ මුණගැහුණු බොහෝ දෙනා අරහත්වයට පත්වුණා. ඒ උතුම් ආර්ය සත්‍යය අවබෝධ කළා. ඒ මුල් කාලයේ ධර්මය අවබෝධ කළ ඒ මහ රහතන් වහන්සේලා ඇමතූ අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. “පින්වත් මහණෙනි. ඔබත් මමත් මේ සසරේ දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරෙමින් ගෙවාගෙන ආව. පින්වත් මහණෙනි, දුක කියන ආර්ය සත්‍යය නොදත් නිසා,අවබෝධ නො කළ නිසා ම ඔබත් මමත් දීර්ඝ සසර ගමනක් ඒ ගෙවාගෙන ආවෙ. පින්වත් මහණෙනි, දුකේ හටගැනීම කියන ආර්ය සත්‍යය නොදත් නිසා,අවබෝධ නො කළ නිසා ම යි ඔබත් මමත් දීර්ඝ සසර ගමනක් ගෙවාගෙන ආවෙ. පින්වත් මහණෙනි, දුකේ නැතිවීම, දුක්ඛ නිරෝධය කියන ආර්ය සත්‍යය නොදත් නිසා,අවබෝධ නො කළ නිසා මයි. ඔබත් මමත් මේ දීර්ඝ සසර ගමන ගෙවාගෙන ආවෙ.

පින්වත් මහණෙනි මේ දුක නැතිකරන මඟ කියන ආර්ය සත්‍යය නොදත් නිසාම යි.මේ සා දීර්ඝ සසර ගමනක් ගෙවාගෙන ආවෙ. නමුත් පින්වත් මහණෙනි, දැන් ඔබත් මමත් ඒ ආර්ය සත්‍යය දැනගෙන අවබෝධ කරගෙනයි තිබෙන්නෙ. සසරින් නිදහස්වෙලයි තිබෙන්නේ කියල ප්‍රකාශ කළා.

එවිට මේසා දීර්ඝ සසර ගමන අප ගෙවාගෙන ආවෙ ඇයි? ඒ චතුරාර්ය සත්‍යය ධර්මය නොදත් නිසා, අවබෝධ නො කළ නිසා එහෙනම් අප මේ දීර්ඝ සසර ගමනින් නිදහස් වෙන්ට නම් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය දැනගත යුතුයි. අවබෝධ කළ යුතුයි.

මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය දැන නො ගත්තොත්. අවබෝධ නො කළොත් අපට මේ දීර්ඝ සසර ගමන නැවත වතාවක් යන්ට සිද්ධවෙනවා. මේ දීර්ඝ සසර ගමන සැප සහිත ගමනක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මේ දීර්ඝ සසර ගමනේ මිනිස් ලොව වාසය කරනවා නම් ඒ ඉතාම ස්වල්ප කාලයක්.අතිශය කලාතුරකින් ලැබෙන වාසනාවක් කියලා. ඒ දීර්ඝ සසර ගමනේ දීර්ඝ කාලයක් නැවත නැවත ඉපදෙමින් මැරෙමින් වාසය කරන්ට සිදුවෙන්නෙ සතර අපායෙයි.

භාග්‍යවතුන් වහන්සේ එක දවසක් භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. “පින්වත් මහණෙනි, මේ දඹදිව් තලයේ තිබෙන ලී දඬුකෝටු තණකොළ ආදි දේවල් එකතු කරල ඒවයේ ලොකු ඒවා වෙනම, මධ්‍ය ප්‍රමාණයේ ඒව වෙනම, කුඩා ඒව වෙනම වෙන්කරගෙන මහා සාගරයේ ඉන්න ජීවින් ඒ එක් එක් ලී දඬු වලට අමුණනවා. ලොකු සත්තු ලොකු ලී දඬුවලට අමුණනව. මධ්‍ය ප්‍රමාණයේ සත්තු මධ්‍ය ප්‍රමාණයේ ලී දඬු වලට අමුණනවා. කුඩා සතුන් කුඩා දඬු වලට අමුණනවා.

යම් කෙනෙක් මෙහෙම කළොත් එහෙම ඒ මහා සාගරයේ ඉන්න සත්වයන් ඒ විදිහට අමුණල ඉවර කරන්ට බෑ කියනව. දඹදිව් තලයේ තිබෙන සියලුම ලී දඬු ආදි දේවල් අවසන් වුණත් මහා සාගරයේ ජීවීන් අවසන් වෙන්නෙ නෑ ම කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව.

එසේ නම්, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. අපාය අන්න ඒ වගේ විශාල සත්වයන්ගෙන් පිරිලයි තියෙන්නෙ කියල. ඒ මහා සාගරයේ සත්වයන් ගැන පමණයි ඒ විදිහට ප්‍රකාශ කරන්නෙ. සතර අපායෙ ඉන්න සත්වයන් ප්‍රමාණය ඉතා විශාලයි. මිනිස් ලොව ඉන්න මිනිසුන් ප්‍රමාණය ඉතා ස්වල්පයි. සතර අපායෙ ඉන්න සත්වයන් ප්‍රමාණය හා සසඳන විට දෙවියනුත්, බ්‍රහ්මයිනුත් ප්‍රමාණය ඉතාම ස්වල්පයයි. සතර අපායෙ තමයි ඉතා විශාල සත්වයන් ප්‍රමාණයක් වාසය කරන්නෙ. එතකොට සසරේ ගමන් කරන සත්වයන් විශාල කාලයක් දීර්ඝ කාලයක් නැවත නැවත ඉපදෙමින් මැරෙමින් වාසය කරන්නේ ඒ සතර අපායෙ,මේක අතිශයින් දුක් සහිත අතිශයින් සංවේගය උපදවන දෙයක්.

බලන්න මිනිස්සු විදිහට උපන් අය හොඳට ඇඳුම් ඇඳල, මිහිරි රස බොජුන් වළඳල, සතුටෙන් ඉන්න බවක් පේනව. නමුත් ටික කලක් වාසය කරල කලුරිය කරනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ මැරෙන මිනිසුන් අතරින් මහ පොළොවෙ පස් වගේ විශාල මිනිස්සු ප්‍රමාණයක් සතර අපායෙ උපදිනවා කියල. මේ සිද්ධිය හොඳට කල්පනා කළොත් අතිශය සංවේගය උපදවන දෙයක්. මේ හොඳට පෙනෙන්ට ඉන්න මිනිස්සු කලුරිය කළාට පස්සෙ සතර අපායෙ ඉපදෙනවා නම්, තිරිසන් ලෝකේ ඉපදෙනවා නම්, පේ‍්‍රත ලෝකයේ ඉපදෙනවා නම්, නිරයේ ඉපදෙනවා නම් මේ සිද්ධිය ගැන යමෙක් කල්පනා කළොත් ඒක සංවේග ජනක දෙයක්. මනුෂ්‍යාට මෙබඳු ඉරණමක් අත්වෙනවාද කියල යමෙකුට තේරෙනවා නම් එපමණකින් ම එයා මේ සසර කෙරෙහි කළකිරෙනවා. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මේ සසරේ බිය ජනක බව, සංවේග ජනක බව, අතිශය දුක් සහිත බව සිහිකරන්න.

ඒ විදිහට යමෙක් කල්පනා කළොත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වැදගත්කම මේ පින්වතුන් කාටත් තේරුම් ගන්ට පුළුවන්කම ලැබෙයි.

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 17 වැනි දා ඉරිදා අපරභාග 12.49 ට ලබයි.
18 වැනිදා සඳුදා අපරභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 25 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]