UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගඩොලෙන් ගඩොල තැනෙන ජීවිත මැඳුර

පෞරුෂ සංවර්ධනය සිදුවන අකාරය පිළිබඳ විවිධ න්‍යායන් ඉදිරිපත් කළ මනෝවිද්‍යාඥයන් අතර සිග්මන් ෆෙ‍්‍රායිඩ්, එරික් එරික්සන්, කාල් රොජර්ස්, ඒබ්‍රහම් මස්ලොව් හා රොබටෝ අසජූලි වැන්නවුන් ද වැදගත් තැනක් ගනී. එහෙත් විශ්වයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම මනෝවිද්‍යාඥයා වන්නේ මීට වසර දෙදහස් පන්සියයකටත් පෙරාතුව ලොව පහළ වූ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේය.පෞරුෂත්ව සංවර්ධනය පිළිබඳ බෞද්ධ ආකල්පය නූතන මනෝ විද්‍යා හා සමාජ විද්‍යා සංකල්පවලට වඩා මුළුමනින්ම වෙනස් වන අතර බෞද්ධ දර්ශනය පෞරුෂත්ව සංවර්ධනයේ පූර්ණත්වයට පුද්ගලයා යොමු කරයි.

නූතනයෙහි ව්‍යවහාර කරන පෞරුෂය පිළිබඳ සංකල්පය සමාජ හා මනෝවිද්‍යාත්මක න්‍යායන් ඔස්සේ පෝෂණය වූවකි. එම මතයට අනුව පුද්ගලයකුගේ පෞරුෂය ගොඩනැඟීම සඳහා දායක වන ප්‍රධාන සාධක දෙකකි. එහි පළමුවැන්න ආරය හෙවත් ආවේණියයි. දෙවැන්න පරිසරයයි.

ආරය යනුවෙන් මෙහිදී හඳුන්වන්නේ පුද්ගලයකුට සිය මව්පිය පරම්පරාවෙන් උරුම වන ජෛව විද්‍යාත්මක සාධකයන්ය. නූතන විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව ඕනෑම පුද්ගලයකුගේ සෑම සෛලයකම න්‍යෂ්ටියෙහි මෙම ජෛව විද්‍යාත්මක සාධක හෙවත් ජාන තැන්පත්ව පවතී. සාමාන්‍ය මානව සෛලවල වර්ණ දේහ යුගල විසි තුනක් ලෙස මෙම ජානයන් සැකසී ඇත. එහෙත් පුද්ගලයකුගේ ගතිලක්‍ෂණ ඊළඟ පරම්පරාව වෙත ගෙන යන ජන්මානු සෛල හෙවත් ස්ත්‍රීන්ගේ ඩිම්බ සෛල හා පුරුෂයන්ගේ ශුක්‍රාණු සෛලවල වර්ණ දේහ අඩංගු වන්නේ යුගල වශයෙන් නොව තනි වශයෙන් සැකසුණූ වර්ණ දේහ විසි තුනක් ලෙස ය. මව් පාර්ශවයෙන් ලැබෙන ජන්මාණු සෛලයක් පිය පාර්ශවයෙන් ලැබෙන ජන්මාණු සෛලයක් හා එකතු වීමෙන් සෑදෙන යුක්තානුව නම් වූ තනි සෛලය තුළ වර්ණ දේහ යුගල වශයෙන් නැවත සැකසේ. එය මුල් කරගෙන නව ජීවියකු නිර්මාණය වේ. මෙසේ නව ජීවියා නිර්මාණය වන්නේ මව් පරම්පරාවේ හා පිය පරම්පරාවේ ජානවල සිදුවන සම්මිශ්‍රණයක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම මිශ්‍රවීම අහඹුව සිදුවන නිසා නව ජීවියෙකුගේ ජෛව විද්‍යාත්මක ලක්‍ෂණ බාහිරින් තීරණය කිරීම අපහසුය. පුද්ගලයාගේ ශාරීරික ලක්‍ෂණ හෙවත් දේහමය විවිධතා ආදියට මවගේ හා පියාගේ ජානයන් දැඩිසේ බලපාන බව කායික විද්‍යාඥයන්ගේ අදහසයි. එසේම පුද්ගලයාට මව්පිය පරපුරින් හිමිවන ගති ගුණ, හැකියාවන් හා පුරුදු ඇබ්බැහිකම් ආදිය ද මේ සමඟම උපත ලබමින් ඔවුන්ගේ ජෛවීය ආවේණිය තහවුරු කරන බව ද විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙසේ පුද්ගලයකු උපතත් සමඟ රැගෙන එන ආරිය හෙවත් ආවේණික ලක්‍ෂණ ඉන්පසු මුළුමනින් වෙනස් කළ නොහැකිය. එහෙත් මෙකී ආවේණික කායික හා මානසික ගති ලක්‍ෂණ හා ආකල්ප රටා වර්ධනය වීම හෝ නිෂ්ප්‍රභාවීම හෝ නැතහොත් පරිවර්තනයකට බඳුන්වීම සිදුවනුයේ සමාජ සංස්කෘතික පරිසරය එම පුද්ගලයාට බලපාන ආකාරය අනුවය. එනම් පුද්ගලයාගේ පෞරුෂත්වය විෂයෙහි බලපාන අරීය සාධකවල සංවර්ධනය වීම එක් එක් පුද්ගලයා ඉපදී හැදී වැඩෙන සමාජ වටපිටාව අනුව තීරණය වේ. නූතන සමාජ මනෝවිද්‍යාව පෞරුෂ සංවර්ධනය යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයකු උපතින් රැගෙන එන අරීය සාධක ඔහු හැදී වැඩෙන පරිසරය තුළ සංවර්ධනය වන ආකාරයයි.

පුද්ගල වයසට සමාන්තරව පෞරුෂ සංවර්ධනය සිදුවන ආකාරය පිළිබඳ විවිධ න්‍යායන් ඉදිරිපත් කළ මනෝවිද්‍යාඥයන් අතර සිග්මන් ෆෙ‍්‍රායිඩ් , එරික් එරික්සන්, කාල් රොජර්ස්, ඒබ්‍රහම් මස්ලොව් හා රොබටෝ අසජූලි වැන්නවුන් වැදගත් තැනක් ගනී. එහෙත් විශ්වයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම මනෝවිද්‍යාඥයා වන්නේ මීට වසර දෙදහස් පන්සීයයකටත් පෙරාතුව ලොව පහළ වූ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේය.පෞරුෂත්ව සංවර්ධනය පිළිබඳ බෞද්ධ ආකල්පය නූතන මනෝ විද්‍යා හා සමාජ විද්‍යා සංකල්පවලට වඩා මුළුමනින්ම වෙනස් වන අතර, බෞද්ධ දර්ශනය පෞරුෂත්ව සංවර්ධනයේ පූර්ණත්වයට පුද්ගලයා යොමු කරයි.බුද්ධකාලීනව මෙන්ම ඉන් අනතුරුවත් පුරුෂයන් මෙන්ම කාන්තාවන් ද මෙම පූර්ණත්වය අත්කර ගැනීම තුළින් මහා සමාජය වෙත ප්‍රබල බලපෑමක් කිරීමට සමත් විය.

බුදුසමය පෞරුෂ සංවර්ධනය ලෙසින් හඳුන්වන්නේ ආර්යභාවය හෙවත් විමුක්තිය සාක්ෂාත් කර ගැනීමයි. බුදුසමය හඳුන්වා දෙන පෞරුෂ සංවර්ධනය පිළිබඳ බුදුන් වහන්සේ සිය ප්‍රථම ධර්මදේශනය හෙවත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි මෙසේ සඳහන් කොට ඇත.

“මහණෙනි, ලාමක වූ, ගැමි දහමක් වූ, පුහුදුන්නවුන් විසින් සෙවුනු, ආර්යයන් සතු නොවූ, අවැඩ ඇසුරු කළ කාමවස්තුන් කෙරෙහි යම් මේ ක්ලේශකාමයෙහි පුන පුනා යෙදීමකුත් වේද දුක් වූ,ආර්යයන් සතු නොවූ, අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුන පුනා යෙදීමකුත් වේද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක නොසෙවිය යුතුය. මහණෙනි, තථාගතයන් විසින් මේ අන්ත දෙකට නොපැමිණ පැණැස ඇති කරන, නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ එම ප්‍රතිපදාව කෙලෙස් සන්සිදුවීම පිණිස, වෙසෙස් දැනුම පිණිස, සිව්සස් දැනුම පිණිස, නිවන පිණිස පවතී”

පුද්ගලයකුට තමා ගත කරන සෑම මොහොතක්ම සතුටින් ගත කළ හැකි නම් එම තැනැත්තා පෞරුෂ සංවර්ධනය ලබා ඇති බව බුදුසමයෙහි අදහසයි. එහෙත් පුද්ගලයනට එසේ තමා ගත කරන සෑම මොහොතක්ම සතුටින් ගත කළ නොහැකි වන්නේ ඔහු අපේක්ෂා කරන ආකාරයෙන් සියලු දේ සිදු නොවීම නිසා ය.මෙසේ අපේක්ෂා භංගත්වයට පත් වීම එම පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට බාධාවක් ව සිටී. අපේක්ෂා භංගත්වයට පත් නොවී පෞරුෂ සංවර්ධනයෙහි උපරිම තත්ත්වය හෙවත් ආර්යත්වය අත්කර ගැනීමට නම් ඕනෑම පුද්ගලයකු එම ආර්යත්වයට මඟ පෙන්වන සත්‍ය සතර හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත යුතුය.

දුක්ඛාර්ය සත්‍ය

ආර්ය සත්‍ය සතරෙන් පුද්ගලයෙකු පළමුවෙන් වටහාගත යුතු සත්‍ය මෙයයි. එනම්.

ඉපදීම – උපත ලැබීමට සිදුවීම
ජරාව – තමන් දිරාපත් වීම හෙවත් ජරා ජීර්ණ වීම
ව්‍යාධිය – ලෙඩ රෝගයනට ගොදුරුවීම
මරණය – මරණයට පත් වීමට සිදුවීම
අපි‍්‍රයයන් හා එක් වීම – තමන් අකැමැති පුද්ගලයන් ඇසුරු කිරීමට සිදුවීම
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම – තමන් කැමැති පුද්ගලයන්ගෙන් දුරස් වීමට සිදුවීම
කැමැති දේ නොලැබීම – තමන් කැමැති දේ ලබා ගැනීමට නොහැකි වීම

මෙබඳු වැළැක්විය නොහැකි කරුණු නිසා පුද්ගලයා දුකට පත් වේ.මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ සංක්‍ෂිප්තව දක්වතොත් රූප,වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පංච උපදානස්ඛන්ධයම දුකක් බව පවසති.

රූපෝපාදානස්කන්ධය – පඨවි,ආපෝ, තේජෝ, වායො යන සතර මහා භූතයන් ද එය ඇසුරින් නිර්මාණය වූ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් හෙවත් ආයතනද රූපස්කන්ධයට අයත්වේ. රූපස්කන්ධය ඇසුරින් ජනිත වන උපාදානයන් රූපෝපාදානස්කන්ධය යටතට ගැනේ.

වේදනෝපාදානස්කන්ධය – ඉන්ද්‍රියයන් බාහිර අරමුණූ සමඟ ගැටීමේදී (එනම් ඇසට රූපය, කනට ශබ්දය ආදි වශයෙන්) පහළවන වේදනා තුන් ආකාරවේ. මෙසේ සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ දුක්ඛ සුඛ වේදනා යනුවෙන් ත්‍රිවිධාකාර වූ වේදනාවන් ඇසුරින් ඇතිවන උපදානයන් වේදනෝපාදානස්කන්ධය නම් වේ.

සංඥෝපාදානස්කන්ධය – ෂඩ් ඉන්ද්‍රියන් හා ගැටෙන අරමුණූ ඇසුරින් ඇතිවන සයාකාර වූ සංඥා ස්කන්ධයන් මඟින් අරමුණූ වෙන් වෙන්ව හඳුනා ගැනීම සිදු වේ.මෙම සංඥා ස්කන්ධ ඇසුරින් සංඥෝපාදානස්කන්ධය ඇති වේ.

සංඛාරෝපාදානස්කන්ධය –පුද්ගලයාගේ කය, වචනය, සිත යන ත්‍රිවිධ ද්වාරයෙන් ප්‍රකට වන චේතනා පූර්වක සියලු ක්‍රියා සංස්ඛාරස්ඛන්ධය යටතට ගැනේ. ඒ ඇසුරින් ජනිතවන උපාදානයන් සංඛාරෝපාදානස්කන්ධය නම් වේ.

විඥානෝපාදානස්කන්ධය – ඇස ආදි ආයතන රූපාදි අරමුණූ හා ගැටීමෙන් ඇතිවන සිහිය විඥානයයි. එය චක්ඛු ,සෝත ඝාන,ජිව්හා, කාය, මනෝ යනුවෙන් සවැදෑරුම් වේ. ඒ ඇසුරින් ඇතිවන උපදානයන් විඥානෝපාදානස්ඛන්ධය නම්වේ.

දුක්ඛ සමුදයාර්ය සත්‍ය

දුකක් වන පංචෝපාදානස්කන්ධයන්,තණ්හාව මුල් කොටගෙන ඇතිවේ. එනම් දුක ඇතිවීම හෙවත් දුක්ඛ සමුදය සඳහා මුල්වන්නේ තණ්හාවයි. තණ්හාව යනු කුමක්දැයි පැහැදිලි කරන බුදුන් වහන්සේ පුනර්භවය ඇති කරන නන්දිරාගය හා එක් වූ ඒ ඒ භවයන් හි ඇලෙන්නා වූ යමක් වේද එය තණ්හාව යැයි සඳහන් කරති.

තණ්හාව කාම තණ්හා , භවතණ්හා සහ විභව තණ්හා යනුවෙන් ආකාර තුනකි. කාම සහගත තණ්හාව යනු කාම වස්තු කෙරෙහි ඇතිවන තණ්හාවයි. ශාස්වත දෘෂ්ටි සහගත තණ්හාව භව තණ්හාව වන අතර විභවතණ්හා යනුවෙන් හැදින්වෙන්නේ උච්ඡේද දෘෂ්ටි සහගත තණ්හාවයි.

දුක්ඛ නිරෝධාර්ය සත්‍ය

දුක නැති කර ගැනීම හෙවත් දුක්ඛ නිරෝධය සඳහා ඕනෑම පුද්ගලයකු කළ යුතු වන්නේ ඉහතින් විස්තර කරන ලද තණ්හාව මුළුමනින්ම නැසීමයි. අත්හැරීමයි. ඉන් මිදීමයි. දුරැලීම හා ඇල්මක් ඇති කර නොගැනීමයි.

දුක ඇති වීමට හේතුවන පංච උපාදානස්කන්ධයන් ජනනය වන්නේ පුද්ගලයා ලොව පවතින සියල්ලෙහි යථාස්වභාව වටහා නොගැනීම නිසාය. රූප,වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධයන් තමා පතන ආකාරයට නොපවතින බව ධම්ම චක්කප්පවත්තන සූත්‍රයෙහි බුදුරදහු පැහැදිලි කරති. පංචස්කන්ධය තමා බලාපොරොත්තු වන ආකාරයට නොපවතින්නේ නම් ඒ හේතුවෙන් ඒවා එම පුද්ගලයාට පීඩා පිණිස පවතී. මෙසේ පංචස්කන්ධයන් පුද්ගලයා පතන ආකාරයට නොපවතින්නේ ඒවා වෙනස් වන නිසා ය. වෙනස් වන ස්වභාවයෙන් යුක්තවීම හෙවත් නිත්‍ය නොවන බව පුද්ගලයාගේ දුකට හේතුවේ. දුක් සහිත වූ පෙරැළෙන සුළු වූ පංචස්කන්ධය තමා හෙවත් ආත්ම වශයෙන් දැකීම නුසුදුසු වන්නේ ඒ නිසා ය. මෙසේ අනිත්‍ය, දුක් සහිත, අනාත්ම වූ පංචස්කන්ධය එහි යථා ස්වරූපයෙන් දැකීම ඒ පිළිබඳ තණ්හාව නැති කර ගැනීමට උපකාරී වේ.

දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය

දුක නැති කර ගැනීම හෙවත් දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය බව බුදුරදහු සිය ප්‍රථම ධර්ම දේශනයේදීම පැහැදිලි කරති. සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනු එම අර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය මාර්ගයට අයත් අංග අටෙහි මුල් අංග ආශ්‍රව සහිත වූ කුසලයන්ට අයත් වූ විපාක දෙන ස්වභාව අනුවත් ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගයට යොමු වූ වශයෙනුත් දෙආකාර වේ.

දැන් අපි මේ මාර්ගාංග අට එකිනෙක ගෙන විමසා බලමු.

1. සම්මා දිට්ඨි – සම්‍යක් දෘෂ්ඨිය හෙවත් නිවැරැදි දැක්ම අංග අටෙන් පෙරටුව යන අංගයයි.ආශ්‍රව සහිත වූ කුසලයන්ට අයත් වූ විපාක දෙන සම්‍යක් දෘෂ්ටිය මෙසේ ගොනුකර දැක්විය හැකිය.

* දුන් දෙයෙහි විපාක ඇත.
* මහාදානයෙහි විපාක ඇත
* පුද පඬුරු යැවීමෙහි විපාක ඇත.
* කුසලාකුසල විපාක ඇත.
* මෙලෝ පරලෝ ඇත.
* මවට පියාට කරන යහපත් අයහපත් කටයුතුවල විපාක ඇත.
* ඕපපාතික උපදින සත්වයන් ඇත.
* මෙලොවද, පරලොවද තමන්ම ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත.

ආර්ය වූ චිත්තයෙන්, ආශ්‍රව රහිත චිත්තයෙන් ආර්ය මාර්ගය වඩන පුද්ගලයනගේ පවතින ප්‍රඥාව, පඤ්ඥේන්ද්‍රිය, ප්‍රඥා බලය ආදිය ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගයට යොමු වූ සම්‍යක් දෘෂ්ටිය යනුවෙන් හැඳින්වේ.චතුරාර්ය සත්‍යාවබෝධය එහිලා අදහස් වෙයි.

2. සම්මා සංකප්ප – නිවැරැදි දැක්ම හෙවත් සම්‍යක් සංකල්පය යනු ආර්ය මාර්ගයෙහි දෙවැනි අංගයයි.

නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, සහ අවිහිංසා සංකල්පය යනු ආශ්‍රව සහිත වූ කුසලයන්ට අයත් වූ විපාක දෙන සම්‍යක් සංකල්පයයි. ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගයට යොමු වු සම්‍යක් දෘෂ්ටිය යනු නිදොස්,ආශ්‍රව රහිත,ආර්ය මාර්ගයෙහි යුක්ත ආර්ය මාර්ගය වඩන පුද්ගලයාගේ කල්පනා විතර්ක සංකල්ප ආදියයි.

3. සම්මා වාචා - ආර්ය අටමඟෙහි තෙවැනි අංගය වන්නේ සම්‍යක් වචනය හෙවත් නිවැරැදි වචන භාවිතයයි. ආශ්‍රව සහිත වූ කුසලයන්ට අයත් වූ විපාක දෙන සම්‍යක් වචනය යනු මුසාවාදාය හෙවත් බොරු කීමෙන් වැළැකීම, පිසුණාවාචයෙන් හෙවත් කේලම් කීමෙන් වැළැකීම, පරුෂවචනයෙන් වෙන්වීම සහ සම්පපලාපයෙන් හෙවත් හිස් වචනයෙන් වැළැකීම යන වාචික හික්මීමයි.

4. සම්මා කම්මන්ත – නිවැරැදි ක්‍රියාවන් හෙවත් සම්‍යක් කර්මාන්තය අරිය අටමඟෙහි සිව්වන අංගයයි. ආශ්‍රව සහිත වූ කුසලයන්ට අයත් වූ විපාක දෙන සම්‍යක් කර්මාන්තය යනු ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම සහ කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීම තුළින් ලබන කායික සංවරයයි. නිදොස් ආශ්‍රව රහිත ආර්ය මාර්ගයෙහි යුක්ත, ආර්ය මාර්ගය වඩන පුද්ගලයා ත්‍රිවිධ කාය දුෂ්චරිතයෙන් වෙන්වීම, වැඩියක් වෙන්වීම, ප්‍රතිපක්‍ෂ ලෙස වෙන්වීම, සම්පූර්ණයෙන් ඈත්වීම යනු ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගයට යොමු වූ සම්‍යක් කර්මාන්තයයි.

5. සම්මා ආජීව – නිවැරැදි දිවි පැවැත්ම හෙවත් සම්‍යක් ආජීවය අරිය අටමඟෙහි පස්වැනි අංගයයි. ආශ්‍රව සහිත වූ කුසලයන්ට අයත් වූ විපාක දෙන සම්‍යක් ආජීවය යනු ලාභ සත්කාර ලබා ගැනීමේ අරමුණින් ලෝකයා මවිත කරවීම, ලාභ ලබා ගැනීමේ අරමුණින් ගරු නම්බු දී කතා කිරීම, ලාභ සත්කාර ලබා ගැනීමේ අරමුණින් ඒවා දෙන ලෙස නොකියා ඇඟවීම, ලාභාදිය කැමැත්තෙන් අනුන්ගේ ගුණ මැකීම සහ ලාභයෙන් ලාභය ගැනීම ආදියෙන් වැළැකීමය. නිදොස්, ආශ්‍රව රහිත, ආර්ය මාර්ගයෙහි යුක්ත, ආර්ය මාර්ගය වඩන පුද්ගලයා මිථ්‍යා ආජීවයෙන් වෙන්වීම, වැඩියක් වෙන්වීම, ප්‍රතිපක්‍ෂ ලෙස වෙන්වීම, සම්පූර්ණයෙන් ඈත්වීම යනු ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගයට යොමු වූ සම්‍යක් ආජීවයයි.

6. සම්මා වායාම -සම්‍යක් ව්‍යායාමය යනු අරිය අටමඟෙහි හය වැනි අංගයයි .යම් පුද්ගලයකු සම්මා ආජීවයට පැමිණ විසීමට කරන වෑයම හෙවත් උත්සාහය සම්‍යක් ව්‍යායාමය වේ.

7. සම්මා සති – අරිය අටමඟෙහි හත්වැනි අංගය වන සම්‍යක් ස්මෘතිය යනු යම් පුද්ගලයකු මනා සිහියෙන් යුතුව සම්මා ආජීවයට පැමිණ විසීමයි.

8. සම්මා සමාධි –ආරිය මාර්ගයෙහි අටවැනි අංගය හෙවත් අවසන් අංගය වන සම්‍යක් සමාධිය යනු නිවැරැදි සමාධියට පැමිණීමයි. එය මුල් අංග හත පිරිවරා සිටින බව මහා චත්තාරිසක සූත්‍රයෙහි දැක්වේ.

මෙම අංග අට විමුක්තිය හා සම්බන්ධ වන ආකාරය චත්තාරිසක සූත්‍රයෙහි බුදුන් වහන්සේ මෙසේ පැහැදිලි කරති. සම්‍යක්දෘෂ්ටිය ඇති තැනැත්තා සම්‍යක්සංකල්පය සහිත වේ. සම්මා සංකල්පය ඇති තැනැත්තා සම්‍යක් වචනය සහිත වේ.සම්‍යක් වචනය ඇති තැනැත්තා සම්‍යක් කර්මාන්තය සහිත වේ. සම්‍යක් කර්මාන්තය ඇති තැනැත්තා සම්‍යක් ආජීවය සහිත වේ.සම්‍යක් ආජීවය ඇති තැනැත්තා සම්‍යක් වායාමය සහිත වේ.සම්‍යක් වායාමය ඇති තැනැත්තාට සම්‍යක් ස්මෘතිය ඇතිවේ. සම්‍යක් ස්මෘතිය ඇති තැනැත්තා සම්‍යක් සමාධිය සහිත වේ. සම්‍යක් සමාධිය ඇති තැනැත්තා සම්‍යක් ඥානය සහිත වේ. සම්‍යක් ඥානය ඇති තැනැත්තා සම්‍යක් විමුක්තිය සහිත වේ.මෙය රහත් පුද්ගලයා හෙවත් පූර්ණ පෞරුෂ සංවර්ධනය අත්කර ගත් තැනැත්තා සතු දස අංගයයි.

බුදුසමය ඉදිරිපත් කරන විමුක්තිය හෙවත් පූර්ණ පෞරුෂ සංවර්ධනය අත්කර ගැනීමට වැදගත් වනුයේ එය ලබා ගැනීමට යම් පුද්ගලයකු තුළ පවතින උනන්දුවයි.

” මේ නිවන ජරා රහිතය, මරණ රහිතය, අජරාමර බවට හේතුªවේ. ශෝක රහිතය, සප්ත ධර්ම රහිත ය. ක්ලේශ සම්බාධ රහිතය, දුශ්චරිත කිලුටු රහිතය, නිර්භයය, තැවුල් රහිතය.

මේ අමා මහ නිවන බොහෝ බුද්ධාදී ආර්යයන් විසින් ප්‍රත්‍යක්‍ෂ කරන ලදී. දැනුදු යමකු ඒ මාර්ගයෙහි උත්සාහ කිරීමෙන් නිවන් අවබෝධ කළ හැකි වෙයි. උත්සාහ නොකරන්නාට ලැබිය නොහැකි වෙයි”

මෙසේ සුමේධා තෙරණිය සිය උදානයෙහි දක්වන්නේ එහෙයිනි. මෙම භවය තුළ දී මව මැරිම, පියා මැරිම, රහතුන් මැරිම, බුදුන්ගේ ලේ සෙළවීම හා සංඝභේදය යන ආනන්තරීය පාප කර්මයන් සිදු කළ තැනැත්තකුට හැර වෙනත් ඕනෑම පුද්ගලයකුට මේ භවය තුළදීම නිවන පසක් කළ හැකිය. සංඝ සමාජයෙහි සාමාජිකත්වය ලබා නිවන් පසක් කළ වුන් අතර පුද්ගලයන් සිය ගණනක් මැරූ අංගුලිමාලයන්ද, මං පහරන්නන්ද විමලා, අම්බපාලි වැනි ගණිකාවන්ද පහත් කුලීනයන්, රජ සිටු පරපුරින් පැවත ආ සියලු සැප සම්පතින් යුතුව සිටියවුන්, සත්‍ය ගවේෂණයෙහි යෙදුණු අය ආදි සමාජයක දැකිය හැකි සෑම ආකාරයකම පුද්ගලයන් දක්නට ලැබෙනුයේ එහෙයිනි.

බුදු සමය ඉදිරිපත් කරන පෞරුෂ සංවර්ධනය පිළිබඳ අදහස නූතනයේ භාවිත වන සියලුම සමාජ මනෝ විද්‍යාත්මක සංකල්පවලට වඩා වෙනස් මඟක් ගන්නා බව ඉහත සඳහන් විස්තරයෙන් පැහැදිලි වේ. එසේම නූතන සමාජ මනෝ විද්‍යාඥයන් මේ වනතුරුත් ගවේෂණයෙහි යෙදෙන’ස්වයං යථාර්ථකරණය ‘ පිළිබඳ පූර්ණ අර්ථකථනයක් එයින් ඉදිරිපත් වේ. බුදුසමය ඉදිරිපත් කරන පෞරුෂ සංවර්ධනය පිළිබඳ අදහස් පහත සඳහන් ලක්‍ෂණ නිසා නූතන මනෝ විද්‍යාත්මක සංකල්ප වලින් මුළුමනින්ම ස්වායත්ත වේ.

නූතන සමාජ මනෝ විද්‍යාත්මක සංකල්ප ගොඩනැඟීම සඳහා දායක වූ අධ්‍යයන සඳහා යොදා ගෙන ඇත්තේ තමාගෙන් පරිබාහිර ප්‍රත්‍යෙකයන්ය. එහෙත් බුදුසමය ඉදිරිපත් කරන පෞරුෂ සංවර්ධනය පිළිබඳ අදහස ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යයනය කිරීමට එහි ගවේෂකයා එනම් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යෙක වශයෙන් යොදාගෙන ඇත්තේ ස්වකීය අභ්‍යන්තරයයි.අරිය පරියේසන, ධම්මචක්කප්පවත්තන වැනි සූත්‍රවල තමන් වහන්සේ ස්වකීය අභ්‍යන්තර ගවේෂණයෙහි යෙදුණූ ආකාරය මෙන්ම ඒ අනුව පූර්ණපෞරුෂයක් තමන් වහන්සේ අත්කරගත් ආකාරය සවිස්තරාත්මකව දක්වා ඇත. ඒ නිසාම බුදුසමය පෞරුෂ සංවර්ධනය සඳහා ස්වඅභ්‍යන්තරීය අධ්‍යයනයකට පුද්ගලයා යොමුකරයි.

බුදු සමයෙහි පෞරුෂ සංවර්ධන සංකල්පය පුද්ගල වයසෙන් මුළුමනින්ම ස්වායත්ත වේ. ස්ත්‍රි - පුරුෂ මෙන්ම වයස් භේදයකින්ද තොරව පුර්ණ පෞරුෂ සංවර්ධනය අත්කරගත හැකි බව ඒ පිළිබඳ බුදුදහමෙහි පෙන්වා දීමයි. හත්වැනි වියෙහිදී නිවන පසක් කරගත් රාහුල හිමියන්, දබ්බමල්ල පුත්ත හිමියන්, සෝපාක හිමියන්, ආලවිකා නම් වූ සේලා භික්ෂුණිය වැන්නවුන් ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය.

පෞරුෂ සංවර්ධනය සඳහා බුදුසමය ඉදිරිපත් කරන මාර්ගය අනුගමනය කරන ඕනෑම පුද්ගලයෙකුට ඒ තුළින් තමාගේ පෞරුෂ සංවර්ධනය සිදුවන බව තමාට ම අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබේ.

තමන් ඒ මඟෙහි කිනම් ස්ථානයක සිටින්නේ ද යන්න ඒ පුද්ගලයාම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන දැක අවබෝධ කර ගනී.

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 17 වැනි දා ඉරිදා අපරභාග 12.49 ට ලබයි.
18 වැනිදා සඳුදා අපරභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 25 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]