UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විදුලකර බබළවන පහන් ටැඹ වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

විදුලකර බබළවන පහන් ටැඹ වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

කෙනෙකුගේ ජීවිතයේ දී එක් වතාවක් පමණක් වත් උදානොවන කොත් පැලැඳවීම්, විහාර මන්දිර, බෝධි ප්‍රාකාර, ධර්ම ශාලා විවෘත කිරීම් ආදී විවිධ දුර්ලභ උත්සව අවස්ථාවන් කුසලධම්ම නා හිමියන්ගේ පින්බර සුරතින් සිදු කිරීම මාසයේ වැඩි දින ගණනක් පුරා සිදු කැරේ

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශන විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ග මහා සද්ධම්මජෝතිකාධජ, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 77 වන ජන්ම දිනය නිමිත්තෙන් මෙම 17 වැනි දා සිට පින්කම් මාලාවක් පැවැත්වේ.

විදුලකර පිරිවෙන බබළවන මහ පහන් ටැඹ වන වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවන්ගේ නම කී පමණින් මෙරට බොහෝ දෙනා උන්වහන්සේ හඳුනති. දුටුවන් පහදවන අපූර්ව වූ වාසනා ගුණයකින් යුක්ත උන්වහන්සේ සමාජයේ මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටින සංඝපීතෘන්වහන්සේ නමක් ද වේ.

උන්වහන්සේගේ දිනපොතෙහි එක පිටුවක, එක දිනකදී ලද ආරාධනා අඩුම තරමින් හතරක් පහක්වත් වේ. ඒ අතර විවෘත කිරීමේ උත්සව, ත්‍යාග ප්‍රදාන උත්සව, නායක උත්සව ආදී විවිධ ආරාධනා වේ. මෙරට මෙන්ම විදේශවල පවා ආරාධනා උන්වහන්සේ වෙත ලැබේ.

කෙනෙකුගේ ජීවිතයේ දී එක් වතාවක් පමණක් වත් උදානොවන කොත් පැලැඳවීම්, විහාර මන්දිර, බෝධි ප්‍රාකාර, ධර්ම ශාලා විවෘත කිරීම් ආදී විවිධ දුර්ලභ උත්සව අවස්ථාවන් කුසලධම්ම නාහිමියන්ගේ පින්බර සුරතින් සිදු කිරීම මාසයේ වැඩි දින ගණනක් පුරා සිදු කැරේ.

දුර බැහැර මෙන්ම ළඟපාත ද කිසිදු භේදයකින් තොරව ආගමික කටයුතුවලට සහභාගිවීම උන්වහන්සේගේ ආදර්ශවත් පැවිදි දිවියේ සුවිශේෂී ගුණාංගයකි. නිහතමානිත්වයේ කැඩපතක් බඳු වූ කුසලධම්ම නායක හාමුදුරුවෝ ජාතික, ආගමික, ශාසනික, සාමාජික කවර කටයුත්තකදී වුවද එම ‘උත්සවයන්හි මුලසුන හෙබවීමට රටේ සෑම පළාතකින්ම ලැබෙන ඇරැයුම් පිළිගෙන නියමිත වේලාවට ඒවා ඉටු කරදීම ද ආදර්ශවත් වේ.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හාමුදුරුවෝ උදෑසන සිට මධ්‍යම රැය දක්වා ඉටු කළ සියලු ආගමික කටයුතු ද, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හාමුදුරුවෝ විදුලකරයේ ආරක්‍ෂාවට හා පෝෂණයට කළ සියලු කටයුතු ද, කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමි ආදී උතුමන් වහන්සේ සිදු කළ ජාතික, ආගමික, සාමාජික හා සාහිත්‍යමය සේවාව ද, නාත්තණ්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමියන් පොදු ජනතාව සමඟ කළ කටයුතු ද සමාන මෙහෙවරක් කුසලධම්ම නායක හාමුදුරුවෝ විද්‍යලංකාර පිරිවෙන වෙනුවෙන් ඉටු කිරීම රට දැයට ආශීර්වාදයකි.

විදුලකර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය අරඹා විවිධ ප්‍රදේශයන්හි ඉතා නිහඬව සිදු කරන මෙහෙවර බොහෝ ය. ඉතා අප්‍රකටව සිදු කැරෙන එම මෙහෙවර තුළින් උන්වහන්සේ ඉමහත් සතුටට ද පත් වේ.

පිහිට විය යුතු තැන නොපැකිලව පිහිට වී හැමටම මහත් ශක්තියක් ලබා දෙන කුසලධම්ම නායක හාමුදුරුවෝ අසරණ අය සඳහා නිවාස ඉදි කරදීමත්, ඉගෙනීමට දක්‍ෂ දරුවන් වෙත විවිධ පහසුකම් සලසාදීමත්, තුළින් මහත් සතුටක් ලබති.

ආබාධිත අය සඳහා රෝද පුටු, කිහිලිකරු, කෘතිම පාද ආදී ආබාධිත උපකරණ දහස් ගණනක් වෙත ලබා දී ඇති කුසලධම්ම නායක හාමුදුරුවෝ ඒ සඳහා මේ වන විට රුපියල් ලක්‍ෂ ගණනක් වැය කර ඇත.

උන්වහන්සේට නිරන්තරයෙන් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන උපකාර සියල්ල පොදු ජන යහපත උදෙසා ම වැය කිරීමද ආදර්ශවත් ක්‍රියාවකි.

මසකට වරක් පැයක් පුරා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන උන්වහන්සේ සිරිලක සසුනඹරේ කලාතුරකින් පහළවන දුර්ලභ ගණයේ ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි.

මෙවන් ආදර්ශවත් සංඝපීතෘන්වහන්සේ ගැන මෙවන් කෙටි සටහනක් කෙසේවත් ප්‍රමාණවත් නොවේ. උන්වහන්සේ පිළිබඳ සටහන් කළ යුතු සුවිශේෂී කරුණු එමට ය.

ගිහි පැවිදි උභය සමාජයේ ම මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ වෙසෙන වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවෝ දරන විවිධ තනතුරු මෙවන් කෙටි ලිපියකින් සඳහන් කළ නොහැකිමය.

රට පුරා සියලු මෙහෙවර සිදු කරන අතරතුර විදුලකර පිරිවෙන්හි ආරක්‍ෂාව හා සංවර්ධනය පිළිබඳ දිවා රෑ අපමණ වෙහෙසට පත්ව සිදු කරන සේවාව අගනේ ය.

වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවන් වහන්සේට දිගාසිරි පතා මෙම 17 වන දා විද්‍යාලංකාර ආදි ශිෂ්‍යයන්ගේ මෙහෙයවීමෙන් විද්‍යාලංකාර පිරිවෙනේ දී පිරිත් දෙසුමක් හා පසුදින සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ. 20 වන දා කිරිබත්ගොඩ රෝහලේ දී රෝගීන්ට ගිලන් සංග්‍රහයක් හා සෙත් පිරිත් දේශනාවක් කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ. වෑබොඩ හා උඩුපිල වැඩිහිටි නිවාස සඳහා දිවා ආහාරය සහ ඇඳුම් ආදිය ද පිරිනැමේ. 20 වන දා සවස 3 ට ආබාධිත අය සඳහා කෘත්‍රිම පාද ඇතුළු ආබාධිත උපකරණ පිරිනැමීමද සවස බෝධිපූජාවක්ද විද්‍යාලංකාර පිරිවෙන්හි දායක සභාවේ හා ශිෂ්‍ය හිමිවරුන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

21 වන දා කැලණිය දිප්පිටිගොඩ සුබෝධාරාමයේ දී වාර්ෂික ආශිර්වාද පින්කමද මෙම 22 වන දා සිට අනුරාධපුර මහාදාඨික මහානාග රජතුමා කරවූ ශ්‍රී නාග රාජමහා විහාරයේ දී ද එම විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් මෙම 22 වැනිදා සිට 25 වැනිදා දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ මළුවේ දී පින්කම් රැසක් ද පවත්වා වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් වෙත ආශීර්වාද පින්කම් පැවැත්වේ.

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 17 වැනි දා ඉරිදා අපරභාග 12.49 ට ලබයි.
18 වැනිදා සඳුදා අපරභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 25 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]