UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන ලබන පිළිවෙත

මේ ධර්ම අටක් වඩන ලද තැනැත්තහුට සසර දුක් තරණය කොට නිවන් සුවය ලබා ගැනීමට ද උපකාරී වන්නේය. ඒ අන් කිසිවක් නොව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම යැයි දේශනා කැර ඇත්තේ එහි පවත්නා විශිෂ්ටත්වය සලකා ගෙනය

සසර දුකට වැටී සිටින සත්ත්වයන්ට ඉන් ගැලවීමේ, නිදහස්වීමේ මඟ කියාදෙන හෙයින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ච’ නමින් මෙය හඳුන්වා ඇත. එදා බුද්ධකාලීන සමාජය තුළ දිවි ගෙවූ භාරතීයයෝ දුකින් එතෙරවීමේ බලාපොරොත්තු ඇතිව අනුගමනය කළ මාර්ග දෙකක් තිබුණි. ඒ අත්තකිලමථානුයෝගය හා කාමසුඛල්ලිකානුයෝගයයි. ඔවුහු මේ අන්ත ද්වයට වැටී සසරින් එතෙර වනු වස් දෙසැටක් මිසදිටු අදහස් අනුව කටයුතු කළහ. එහෙත් බුදුපියාණන් වහන්සේ එකී අන්තද්වය, හීන, ග්‍රාම්‍ය, පහත් අනර්ථය පිණිස පවත්නා ධර්ම වශයෙන් සලකා ඒ සියල්ල බැහැර කළ අතර, මධ්‍යම ප්‍රතිපදාව එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය විමුක්තියේ මාවත වශයෙන් පෙන්වා දුන්නහ.

දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය යනු කුමක්ද ? එනම් ආර්ය වූ අංග අටකින් යුත් මාර්ගයයි. නිවැරැදි දැකීම, නිවැරැදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ජීවිකාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය හා නිවැරැදි සමාධියයි. වසර 45 ක් මුළුල්ලේ ම බුදුරදුන් විසින් දේශනා කරන ලද සියලු දහම්හු මේ මාර්ගය මුල් කොට ම දේශිත බව පැහැදිලිය. ත්‍රිපිටකයේ දැක්වෙන සූත්‍ර දේශනාවල සාරය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමැයි. මේ අංග අටෙන් බුදු දහමේ ඉගැන්වෙන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවන් දියුණු කැරලීම අදහස් කරයි. මෙම අරි අටඟි මගින් ම නිවන පසක් කළයුතු නිසා “අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ” යනුවෙන් දේශනා කළහ. එසේ ම “ඉමස්සේව ඛෝ ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං බ්‍රහ්මයානං ඉතිපි අනුත්තරෝ සඞ්ගාම විජයෝ ඉතිපි” යනුවෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට උත්තම යානය යැයි ද, නිරුත්තර වූ සංග්‍රාම විජය යැයි ද සඳහන් කැර ඇත.

“අට්ඨිමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා අපරාපරං ගමනාය සංවත්තන්ති” මේ ධර්ම අටක් වඩන ලද තැනැත්තහුට සසර දුක් තරණය කොට නිවන් සුවය ලබා ගැනීමට ද උපකාරී වන්නේය. ඒ අන් කිසිවක් නොව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම යැයි දේශනා කැර ඇත්තේ එහි පවත්නා විශිෂ්ටත්වය සලකා ගෙනය. අරි අටඟි මඟ පිළිපදින්නහුට සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදං වීර්යය, සතර සෘද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල හා සත්ත බෝධ්‍යාංග ධර්ම දියුණු වන බව බුදුරදුන් විසින් දේශිතය. සම්මා දිට්ඨි යනු දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ වූ ඤාණයයි. සම්මා සංකප්ප, යන්නෙන් අදහස් කැරෙන්නේ නිවැරැදි සංකල්පනාවයි. එනම් නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප හා අවිහිංසා සංකප්පයන් ගෙන් යුක්තවීමයි.

පඤ්චකාම වස්තූන්ගෙන්, වස්තුකාම ක්ලේශ කාමයන්ගෙන් වෙන්වීමේ චේතනාව නෙක්ඛම්ම සංකප්පයයි. අව්‍යපාද සංකප්ප යනු ව්‍යාපාදයෙන්, තරහවෙන්, ක්‍රෝධයෙන් වෙන්වීමේ සිතිවිල්ලයි. අවිහිංසා සංකප්ප යනු සත්ත්ව හිංසාවෙන් වෙන් වී කරුණා සහගත සිතිවිලි වලින් යුක්තවීමයි. මේ අංග දෙක ප්‍රඥා ශික්‍ෂාවට ඇතුළත් වෙයි. සම්මා වාචාවට සිකපද හතරක් අන්තර්ගත වෙයි. බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, ඵරුෂ වචනයෙන් වැළකීම හා හිස් වචන කීමෙන් වැළකීම ඒ හතරයි. සත්ත්ව ඝාතනයෙන් වැළකීම, සොරකමින් වැළකීම හා කාමමිථ්‍යාචාරයෙන් වැළකීම සම්මා කම්මන්තයයි. සම්මා ආජීව යනුවෙන් අදහස් කරනුයේ වැරැදි ලෙස දිවි පැවැත්මෙන් වැළකීමයි. ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් හා චතුර්විධ වාග් දුශ්චරිතයෙනුත් මිථ්‍යා ආජීවයෙනුත් වැළකීම නිසා ශීලමය ශික්‍ෂාව සම්පූර්ණ වන බව පැහැදිලිය. එහෙයින් මේවා සීල ශික්‍ෂාවට ඇතුළත් කර ඇත.

සීලයට මෙන් ම සමාධියටත් මාර්ගාංග තුනක් ඇතුළත් වෙයි. සම්මා වායාම එනම් නූපන් අකුසල් නූපදීම පිණිසත්, උපන් අකුසල් දුරු කිරීම පිණිසත්, නූපන් කුසල් උපදවා ගැනීම පිණිසත්, උපන් කුසල් වැඩිදියුණු කැර ගැනීම පිණිසත් වෑයම් කටයුතුය. සම්මා සති යනු කායානුපස්සනා, වේධනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා යන සතර සතිපට්ඨානය වැඩි දියුණු කැර ගැනීමයි. සම්මා සමාධි යනු ප්‍රථම ද්විතීය, තෘතීය හා චතුත්ථ යන රූප ධ්‍යාන ඇතිකැර ගැනීමයි. මේවා සමාධි ශික්‍ෂාවට ඇතුළත් වෙයි. ත්‍රිශික්‍ෂාවෙහි ඇතුළත් වන අරි අටඟි මඟ විජ්ජාචරණ නාමයෙනුත් හඳුන්වනු ලබයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක විද්‍යාවෙහිත් අනෙක් කරුණු හය චරණයෙහිත් ඇතුළත් වෙයි.

සසර දුකින් එතෙරවනු කැමැත්තහු පළමුව සීලයෙහි පිහිටිය යුතුය. සීලයෙන් යුක්ත වූවහුගේ කාය වාග් පාරිශුද්ධිය ඇති වෙයි. සමාධි භාවනාවෙහි යෙදීමෙන් චිත්ත විශුද්ධිය ඇති වෙයි.

ප්‍රඥාව දියුණු වන්නේ එලෙස එකඟ වූ පිරිසුදු වූ සිතක ය. ප්‍රඥාව ලෞකික හා ලෝකෝත්තර යන අර්ථ ද්වය ම සිද්ධ කරයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අනුව ලෝක තත්ත්වය වටහා ගත හැක්කේ ප්‍රඥාව දියුණු කැර ගැනීමෙනි. ‘සබ්බේ සංඛාරා අනිච්චා’ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. ‘යදනිච්චං තං දුක්ඛං’ යමක් අනිත්‍ය නම් එහි ඇත්තේ දුකය. ‘යං දුක්ඛං තදනත්තා’ යමක් දුක් නම් එහි මමය මාගේ යැයි ගතයුතු කිසිවක් නැතැයි සලකන නුවණැති පුද්ගලයාට නිවන් සාක්‍ෂාත් කැර ගැනීම පහසුය. ‘ සෝව මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා’ ඒ නිවන ලබා ගැනීම සඳහා ඇත්තේ එකම මාර්ගයයි. මාරයාට විෂය නොවූ ඒ එකම මඟ අන් කිසිවක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයම යි.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]