UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වමින් රජරට අහිංසක ජනතාවගේ හදගැස්ම අවබෝධ කරගත් එකී ජනතාව වෙනුවෙන් තම කැබිනට් ඇමැති පදවිය පවා අතහැර රජරට ජනතාවට නායකත්වය දෙන උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පින්බර සංකල්පයක් මත පවත්වාගෙන එනු ලබන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දහසය වෙනි (16) වතාවටත් මහත් අභිමානයෙන් හා අතිමහත් පූජනීයත්වයෙන් ජූලි මස දෙවන හා තුන්වන (02 –03) යන දිනයන්යහි අනුරාධපුර පූජනීය පින්කෙතේ දී පැවැත්වේ.

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත ශ්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමිවරුන් ප්‍රධාන අටමස්ථානයට අයත් නා හිමිවරුන්ගේ හා තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය මත මෙම පෙරහර පැවැත්වේ.

එදා අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජු දවස (ක්‍රි.ව. 301-308 ) දඹදිව කළිඟුරට රජකළ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්තකුමරු දඹකොළ පටුනෙන් බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.

අනුරාධපුර වයඹ දිග පිහිටි මේඝ විහාරයට දළදා වහන්සේ වැඩම කළ බව දැනගත් කිත්සිරි මෙවන් රජු එහි ගොස් දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක සුදුඅසුන් යෙදූ විශේෂ පූජනීය රථයකින් දළදා වහන්සේ ඇතුලුනුවර වඩා හිඳුවා , එහි භාරකාරත්වය අභයගිරි විහාරයෙහි උත්තර මූලයට බාරදී වාර්ෂිකව පෙරහර පැවැත්වූ බව, ජිනකාලමාලී, පූජාවලිය යන ග්‍රන්ථවලින් මෙන්ම මහාවංශයෙන්ද පෙන්නුම් කරයි.

කිත්සිරි මෙවන් රජ දවසින් පසුව ශ්‍රී දළදා පෙරහර වංශ කථාවේ නව පිටුවක් සරසමින් අනුරාධපුර ඓතිහාසික ශුද්ධ නගරයේ ප්‍රථම පෙරහර 1997 ජූලි මස දහ අට (18 ) වෙනි දින පැවැත්විණි. මෙම පෙරහරේ නිර්මාතෘවරයා වූයේ එවකට කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරයත් පසුව සමාජසේවා අමාත්‍ය ධූරයත් දරන ලද උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාය.

මෙම පෙරහරට ප්‍රථම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය මගින් පොසොන් පුන් පොහෝ දින දිවා පෙරහරක් පවත්වා ඇත. අනතුරුව දිවා පෙරහර වෙනුවට රාත්‍රි පෙරහරක අවශ්‍යතාවය අවබෝධ කරගත් අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඒ සඳහා පෙරහර කමිටුවක් පත්කර ගන්නා ලදී.

එහි කමිටුවේ අනුශාසක ධූරයට පත්වූයේ හිටපු අටමස්ථානාධිපති, පල්ලේගම සිරිසුමන රේවත ඤාණරතන නා හිමියන්ය. එසේම පෙරමග ගමන්කරුවන් වූ හිටපු අනුරාධපුර මහ දිසාපති ජයම්පති හෙට්ටිආරච්චි මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා පෙරහර කමිටුවේ ආරම්භක ප්‍රධාන ලේකම් වත්මන් අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති, ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි යන මහත්වරු මෙහිලා ස්තුති පූර්වකව සඳහන් කළ යුතුය.

මෙවරද පෙරහර කමිටුවේ මාධ්‍ය සම්බන්ධිකරණය, ප්‍රධාන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ඉන්දික රංගජීව මහතා විසින් දරනු ඇත. පෙරහර ආරම්භයේදී එක් දින රාත්‍රි පෙරහරකට සීමා වූ අතර අද එය රාත්‍රි දෙකක් පුරා දෙදින පෙරහරක් බවට පත්ව ඇත්තේ බැතිමතුන්ගේ ශුභවාදී ප්‍රතිචාර නිසාවෙනි.

පෞරාණික සම්ප්‍රදායන්ට සහ අපටම ආවේණික වූ සංස්කෘතික ලක්‍ෂණයන්ට හැකිතරම් සමීපව පෙරහර පැවැත්වීම සුවිශේෂ ලක්‍ෂණයක් වී ඇත.

එදා අලි ඇතුන් කොඩිසේසත්, පංචතූ®ර්ය නාද, උඩරට පහත රට නැටුම්, සබරගමු සම්ප්‍රදායික නැටුම්, හේවිසි පන්තේරු, වෙස් නැටුම්, සවරන්, කසකරුවන්, ගිනිපන්දම් හා ගිනිබෝල කරකවන්නන්, කෝල්මුර කණ්ඩායම් ,තම්මැට්ටම් දවුල්, මල් බයිසිකල්කරුවන් ඇතුළු කලායතන ,පාසැල් නාට්‍ය කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් පෙරහැරේ ගමන් කරවයි.

මේ සමග දේවාල පෙරහර වලද ගමන් කරන අතර, නිලමේවරු, පෙරමුණේ රාළ ඇතුළු ඉතිහාසයේ සඳහන් කරන පරිදි පෙරහැර මධ්‍යයේ ඉතා අලංකාරවත් අයුරින් සකසන ලද රන්සිවිගෙය තුළ තැන්පත් කළ සධාතුක කරඬුව හස්තිරාජයකු පිට තැන්පත් කර මහත් සාඩම්බර ලීලාවෙන් පෙරහර මධ්‍යයේ ගමන් කරවනු ලබයි.

ප්‍රථම දින (ජූලි 02 ) පෙරහර ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ අභියසින් රාත්‍රි 7.00 ට ආරම්භ කරනුයේ මහා සංඝරත්නයේ පිරිත් දේශනා මධ්‍යයේ සධාතුක කරඬුව හස්තිරාජයා පිටට තැන්පත් කිරීමෙන් අනතුරුවය.

එම අති උතුම් පූජනීය අවස්ථාවට උතුරු මැදපළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ පෙරහරේ නිර්මාතෘ බර්ටි පේ‍්‍රමලාල් දිසානායක , නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු ඇමැති දුමින්ද දිසානායක යන මහත්වරු සහභාගි වනු ඇත.

ප්‍රථම දින පෙරහර ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ අභියසින් ආරම්භ කර බෝ සමිඳු වටා ඇති පෙරහර මාර්ගයේ ගමන් කර පෙත් මග ඔස්සේ රුවන්මැලි මහ සෑ රදුන් අභියසින් ගමන්කර පැරණි රෝහල් හන්දියට පැමිණ, කරඬුව රැගත් හස්තිරාජයා ඇතුල්නුවර සංඝමිත්තා මාවතේ පිහිටි ප්‍රථම දළදා මාළිගාව වෙතට ගොස් පුද පූජා පවත්වා ආපසු පැමිණ ථූපාරාම චෛත්‍යය අභියසින් අනුලා මාවත, වයිහන්දිය පසුකර අභයගිරි ව්‍යාප්ති කාර්යාලය අභියසින් ගමන් කර අභයගිරි විහාරස්ථානයට ගෙවැදීමෙන් ප්‍රථම දින පෙරහර අවසන් වේ.

දෙවන දින (ජූලි 03 ) පෙරහර සුපුරුදු පරිදි මහ බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ දොරටුව අභියසින් ආරම්භ කර, ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ සිංහ කණුව හන්දිය, දුම්රිය නගරය හරහා මාර්කට් පෙදෙසෙන් මෛත්‍රිපාල සේනානායක මාවත (මහවීදිය) ඔස්සේ ගමන් කර, පොලිස් වටරවුමෙන් දකුණට හරවා, ජයන්ති වට රවුම දක්වා ගමන්කර නැවත දකුණට හරවා, ජයන්ති මාවත ඔස්සේ ගමන් කර නැවත සිංහ කණුව හන්දියෙන් වමට හරවා ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ මහ බෝ මළුවට ගෙවැදීමෙන් 2012 වසරේ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර අවසන් වේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]