UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මා ලද දෙනෙතින් ලොවම දකින්නෙමි

භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිළි කරන ලද මෙම උතුම් වූ දහම් පෙළ අපගේ ජීවිතයට ගළපා බලන්නට උත්සාහ දරමු. අන්ධ හෙවත් දෑසම නොපෙනෙන පුද්ගලයාගේ ගති ලක්‍ෂණ, දේශනාවට අනුව අපට මතකය. එම පුද්ගලයා, ගෘහස්ථ ජීවිතයේ යහපත පිණිස උපකාරී වන භෝග හෙවත් ධනය ඉපයීමට හා දියුණුකර ගැනීමට තරම් මනා නුවණක් නැත්තෙකි. එමෙන්ම අධ්‍යාත්මික දියුණුව පිළිබඳව ද නුවණක් නැත්තෙකි.

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම් වූ මනුෂ්‍ය රත්නය, භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, දේශනා කරන ලද පිරිසුදු දහම ඔබ අප හැම කෙනෙකුටම මහත් වූ සුවයකි. නුවණැස පිළිබඳව කියාදෙන මෙම දහම් පෙළ තම ජීවිතයට ගළපා බලන්නට යයි ඔබට ආරාධනා කරමි.

අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් නමවැනි සූත්‍ර දේශනාවේ හැබෑ දෙනෙත් ඇත්තා කවුරුන්දැයි පැහැදිළි කරනු ඇත. ‘ ‘මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයො තුන් දෙනෙක් විද්‍යමාන වෙති. ඔවුන් කවර තුන්දෙනෙක්ද? අන්ධයාය. එක ඇසක් ඇත්තාය. ඇස්දෙකම ඇත්තාය” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම පුද්ගලයන් තුන්දෙනා පිළිබඳව කරන ලද විවරණය පළමුව විමසා බලමු.” මහණෙනි, මේ ලෝකයෙහි කිසියම් පුද්ගලයෙකුට යම් ප්‍රඥාවකින් නොලත් භෝග සම්පත් ලබන්නටද ලැබූ භෝග වර්ධනය කරගන්නටද එබඳු ප්‍රඥාවක් නොවෙයි. සම්බුදු නුවණකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, හරි වැරදි දේ දැනගන්නේ නම්, හීන ප්‍රණීත දහම් දැනගන්නේ නම් එකිනෙකට වෙනස් ගැඹුරු, මෘදු හෝ යහපත් අයහපත් ධර්මයන් දැන ගන්නේ නම් එබඳු ප්‍රඥාවක් ඔහුට නැත.” මේ පුද්ගලයා අන්ධයා යයි කියනු ලැබේ.”

“ මහණෙනි, එක් ඇසක් ඇති පුද්ගලයා කවුද? මේ ලෝකයෙහි කිසියම් පුද්ගලයෙකුට යම් ප්‍රඥාවකින් ලබා නොගත් භෝග ලබාගන්නේ නම්, ලබාගත් භෝග සම්පත් වර්ධනය කර ගන්නටත් අවශ්‍ය එබඳු නුවණක් වෙයි. යම්කිසි නුවණකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, හරි වැරදි දහම් දැනගන්නේ නම්, හීන ප්‍රණීත දහම් දැනගන්නේ නම්, එකිනෙකට වෙනස් ගැඹුරු හෝ මෘදු, යහපත් අයහපත් දහම් දැනගන්නේ නම්, එබඳු වූ නුවණක් ඔහුට හෝ ඇයට නැත. මහණෙනි, මේ පුද්ගලයා එක ඇසක් ඇති පුද්ගලයා යයි කියනු ලැබේ.”

“මහණෙනි , දෑස් ඇති පුද්ගලයා කවරෙක්ද? මේ ලෝකයෙහි කිසියම් පුද්ගලයෙකුට යම් නුවණකින් නොලත් භෝග සම්පත් ලබාගන්නේ නම්, ලබාගත් භෝග සම්පත් වර්ධනය කරගන්නේ නම්, එබඳු නුවණක් ඔහුට වෙයි. සම්බුදු නුවණකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, හරි වැරදි දහම් දැනගන්නේ නම්, හීන ප්‍රණීත දහම් දැනගන්නේ නම්, එකිනෙකට වෙනස් වූ ගම්භීර වූ හෝ මෘදු වූ දහම් දැන ගන්නේ නම්, එබඳු වූ ප්‍රඥාවක් හෙවත් නුවණැසක් ඔහු හෝ ඇයට වෙයි. මහණෙනි, මේ දෑස් ඇති හෙවත් ඇස් දෙකම ඇති පුද්ගලයා යයි කියනු ලැබේ. “ මහණෙනි, මෙබඳු පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයෙහි දකින්නට ලැබෙති.”

භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිළි කරන ලද මෙම උතුම් වූ දහම් පෙළ අපගේ ජීවිතයට ගළපා බලන්නට උත්සාහ දරමු.අන්ධ හෙවත් දෑසම නොපෙනෙන පුද්ගලයාගේ ගති ලක්‍ෂණ ,දේශනාවට අනුව අපට මතකය. එම පුද්ගලයා,ගෘහස්ථ ජීවිතයේ යහපත පිණිස උපකාරී වන භෝග හෙවත් ධනය ඉපයීමට හා දියුණුකර ගැනීමට තරම් මනා නුවණක් නැත්තෙකි. එමෙන්ම අධ්‍යාත්මික දියුණුව පිළිබඳව ද නුවණක් නැත්තෙකි. යමෙක් තම ලෞකික ජීවිතයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම අත්‍යවශ්‍යය. එනමුත් එම මාර්ගය සීලයෙහි පිහිටා ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයේම සකස් වූ එකක්ම විය යුතුය. මේ සඳහා බුදුදහමින් ලබාදෙන උපදෙස්, මූලික වශයෙන් සිඟාලෝවාද ,ව්‍යග්ඝපජ්ජ, මංගල, පරාභව, ධම්මික, සාළෙයයක, ධනඤ්ජානි, පත්තකම්ම ආදී සූත්‍රවල සඳහන් වෙයි.

එහිදී මෙලොව, පරලොව දෙලොව දියුණුව උදෙසා ,එනම් ලෞකික ,ලෝකෝත්තර අභිවෘද්ධිය පිණිස හේතුවන දහම් දැකිය හැකිය. සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් එම කරුණු කීපයක් සැකෙවින් මෙනෙහි කරන්න. සතර කර්ම ක්ලේස වලින් වළකින්න. එනම්, ප්‍රාණඝාත ,සොරකම , කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, එම සතරයි. එමෙන්ම සතර අගතියන්ට පත් නොවන්න. එනම්, ඡන්ද (කැමැත්ත) දෝස (තරහව) භය (බිය) මෝහ (මුලාව) යන සතරයි. එමෙන්ම භෝග විනාශ මුඛයන්ට හසුවෙන්නට එපා. එනම් මත්වතුර හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම, අවේලාවන්හි වීථි සංචාරය, නිතර නැටුම්, ගැයුම්, වැයුම් බලන්නට යාම, සූදුව, පාපමිත්‍ර සේවනය, සහ අලසකමයි. අලසකමට පුරුදුවූ පුද්ගලයා ,දැන් උදෑසනය. සවස්ය. සීතලය, උෂ්ණය, කුස පිරිලාය, බඩගිනිය ආදී වශයෙන් කටයුතු ද කර්මාන්තද, රැකියාද කල්දමයි. ඒවා රැකියාවක් නොමැති නම් ප්‍රයෝජනවත් ලෙස නොකරයි. ඒවා රැකියාවක් හෝ වේවා යම් කර්මාන්තයක් හො වේවා පිරිහීමට හේතුවන ලක්‍ෂණයෝය. හරිහම්බකරගත් ධනය, කොටස් හතරකට බෙදා එක් කොටසක් පමණක් පරිභෝජනය සඳහා යෙදවිය යුතු අතර කොටස් දෙකක් අනාගත අභිවෘද්ධිය හෙවත් නැවත ධනය උපයන ආකාරයකට ආයෝජනය කිරීම මැනවයි දක්වා තිබේ. එමෙන්ම අනාගතයේ ආපදාවක් හෝ ලෙඩක් දුකක් පැමිණි විට ප්‍රයෝජනය ගැනීම පිණිස ද එක් කොටසක් තැන්පත් කිරීම සුදුසු බව එහි දක්වා තිබේ. සරලම ධර්ම කරුණු කීපයකින් ඉදිරිපත් කරනු ලැබුවේ නොලත් ධනය ලැබීම පිණිසත්, ලැබූ ධනය වැඩි දියුණු කර ගැනීම පිණිසත් නුවණැස ඇතිකර ගැනීමටය. මේ බව නොදන්නා හෝ දැනගත්තත්, එම දැනගත් දෙයෙහි සිහිය පිහිටුවා ධර්මානුකූල ධනෝපායන ක්‍රමයක නොයෙදෙන්නා අන්ධයෙකි.

එමෙන්ම, මොහු කුසල් අකුසල් පිළිබඳව හෝ හරි වැරැද්ද පිළිබඳව හෝ යහපත අයහපත පිළිබඳව හෝ අවබෝධයක් නැති අයෙකි.

ඉන් අදහස් කරන්නේ මොහු හො මැය, දහමට එකතුවීමේදී අවශ්‍ය පළමු පියවර වන සිල්වත් බව හෝ කායික වාචසික සංවරය පිළිබඳව දැනුවත් නැති බවය. එනම් අසංවර, අවිනීත ,දුසිල්වත් අයෙක්ය යන අරුතය. කායික, වාචසික, සංවරය නොමැත්තා පස්පව්වලට පහසුවෙන් යොමුවෙන්නෙක් බවට පත්වේ.

මේ නිසාම ඔහුට සමාධියක් ඇතිවන්නේද නැත.එනම්,ඇස,කන,නාසය,දිව,ශරීරය, මන නම් වූ ඉන්ද්‍රියන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදී අරමුණු ගන්නා විට රාග (ඇලීම) ද්වේෂ (තරහව) මෝහ (මුලාව) ආදි කෙලෙස් නිසා කායික හෝ මානසික දොම්නසකට සිහිමුළාවීමකට, පරිදාහය හෙවත් තැවීමකට, ඇවිලීමකට හෝ පස්පව්, දස අකුසල් මාර්ගයට යොමුවීමට අවස්ථා සැලසීමය.

එම ගන්නා හෝ ගැනෙන රූපාදි අරමුණ “මගේය, මම වෙමි, ස්ථර වූ ආත්මයක්ය හෝ පැවත්මක්ය” යන අදහසින් උපාදානය කරගනී. මෙය නැවතත් රාග,දෝෂ, මෝහ, මාන දිට්ඨි,විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප නම් දස විධ ක්ලේෂයන් පහළවීමට ද අවස්ථාව සැළසෙයි. මෙය සාමාන්‍ය වචනයෙන් සඳහන් කරන්නේ නම් ‘අසිහියෙන්’ හැසිරෙන, ක්‍රියාකරන පුද්ගලයකු වීමයි. රාග නමැති ගින්නට හසුවී ඔහු හෝ ඇයද තැවෙමින් අන් අයටද විපත් ළඟා කරදෙයි. තරහවෙන් කිපී හොඳ නරක අවබෝධයෙන් තොරව ක්‍රියා කරයි. මුලාවට හසුව තෘෂ්ණාවෙන් පීඩිතවෙයි.

මෙවැනි පුද්ගලයෙකුට යහපත් අයහපත කුසල අකුසල් අවබෝධ කරගන්නට තරම් නුවණක් පහළවන්නේ කෙසේද? එවැනි අවස්ථාවකට ඇති ඉඩකඩ ඉතාම අඩුය. මේ නිසා මොහු ධර්ම මාර්ගයේද අන්ධය. භාග්‍යවතුන් වහන්සේ මොහු හඳුන්වනු ලැබුවේ අස් දෙකම නොපෙනෙන අන්ධයෙක් ලෙසයි.දැන් ඊළඟ කරුණු දෙක තේරුම් ගැනීම ඔබට පහසු වනු ඇත. එනම් ඒක චක්ඛු සහ ද්විචක්ඛු නම් වූ කරුණු දෙකය. ඒක චක්ඛු හෙවත් එක් ඇසක් ඇති තැනැත්තා නම්, අප ඉහත සඳහන් කළ අයුරින්, නොලැබූ ධනය ලැබීමටත් ලැබූ ධනය වඩා වර්ධනය කරගැනීමටත් නුවණැසක් ඔහුට හෝ ඇයට තිබේ.

එනමුත් කුසල් අකුසල් ආදි ලෙසින් ධර්ම මාර්ගය පිළිබඳ අවබෝධය ඔහුට නැත. එසේ නොමැතිනම්, ධර්මය අමතක කොට ,හොඳ නරක අමතක කොට ධනය ඉපයීමට මුදල්, රැස්කර ගැනීමට,බාහිර වස්තු ඉපයීමට පමණක්ම සිතන සහ ක්‍රියාකරන පුද්ගලයාය. මොහු විටෙක, උච්ඡේදවාදියෙකි. එනම්,සසරක් ,පරලොවක් ගැන අමතක කොට, ධර්ම මාර්ගය අමතක කොට ලෞකික පැවැත්ම පමණක් සිතන සහ ක්‍රියාකරන පුද්ගලයාය.

ද්විචක්ඛු හෙවත් ඇස් දෙකම ඇති පුද්ගලයා නම් නොලැබූ ධනය, භෝග සම්පත් උපයා ගැනීමටත්, උපයාගත් භෝග සම්පත් වර්ධනය කරගැනීමටත් නුවණැස ඇති දක්‍ෂයෙකි. එමෙන්ම කුසල්අකුසල්, හොද නරක, හීන ප්‍රණීත,යහපත අයහපත දක්වා ද කුසල් හා නිවැරැදි මාර්ගයෙහි ගමන් කරන්නෙකි. මේ නිසා මොහුට නුවණැස හෙවත් දහම් ඇසද පිහිටා තිබේ.මොහු නිවැරැදි ලෙස භෝග සම්පාදනය කර ගන්නවා පමණක් නොව ඒවා දියුණූ කරගෙන පවත්වා ගැනීමටද දනී. එමෙන්ම, මොහු ධර්මයෙන් පිබිදුනු අයෙකි. භාග්‍යවතුන් වහන්සේ දේසනා කළ ඒ අමා දම් පෙළ මෙහි අවසන් ලෙසින් සඳහන් කරමි “ මනා නුවණක් නැති අන්ධයාට භෝගයෝ නැත. පින්ද නොකරයි දෙලොවෙහි පරාජය වෙයි.”

“කපටිව සිටිනා යමෙක් පින්පව් දෙකෙන්ම භෝග රැස්කරන්නේද එබඳු වූ එක් ඇසක් ඇති පුද්ගලයෙක්ද දක්වන ලද්දේය. කාමභෝගීව ඒ මිනිස් තෙමේ සොර රැවටිලි හා” මුසාවාද යන දෙකෙන්ම භෝග රැස්කරන්නට දක්‍ෂයෙක් වේ. එක් ඇසක් ඇති හෙතෙම මෙලොවින් නිරයට ගොස් වැනසෙයි”“දෑසම ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද වදාරණ ලද්දේය. ශ්‍රේෂ්ඨ සංකල්පනා ඇති, විචිකිච්ඡා නැති ඒ මනුෂ්‍යයා දැහමින් ලත් භෝගයෙන් යුක්ත වූයේ, උට්ඨාන වීර්යෙන් ලැබූ ධනය අන් අයටද දෙයි.

යම් තැනකට ගොස් ශෝක නොකරන්නේ, එබඳු සොඳුරු තැනට පැමිණෙයි.”“අන්ධයාද එකැස් ඇති පුද්ගලයාද දුරින් දුරු කරන්නේය. ශ්‍රේෂ්ඨ වූ දෑස් ඇති පුද්ගලයා සේවනය කරන්නේය.”

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]