UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
“පංචිමා භික්ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණීයා” ( උපාසක ) බෞද්ධයා නොකටයුතු වෙළෙඳාම් මොනවාද ?

පිළිතුර
බෞද්ධයකු නොකළ යුතු වෙළෙඳාම් පසෙකි. එනම්,

( 1 ) සත්ථ වණිජ්ජා - අවි වෙළෙඳාම
( 2 ) සත්ත වණිජ්ජා - සතුන් හෝ මිනිසුන් වෙළෙඳාම
( 3 ) මංස වණිජ්ජා - මස් පිණිස සතුන් වෙළෙඳාම
( 4 ) මජ්ජ වණිජ්ජා - මත්පැන් මත් ද්‍රව්‍ය වෙළෙඳාම
( 5 ) විස වණිජ්ජා - වස විස වෙළෙඳාම

අහිංසාව සහ මෛත්‍රිය යන සංකල්පය වණිජ්ජා’ සූත්‍රයෙහි සඳහන් මෙම බුද්ධ දේශනාවෙන් අවධාරණය කර ඇත.


ප්‍රශ්නය
අංගුත්තර නිකාය තික නිපාතෙය් ‘ පච්චෙක’ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පැවිදි වත හා ගිහි වත එක්තැන් කළ දේශනාවකි. එසේම දහම් සභාගත ශ්‍රාවක පිරිස ද දැනුවත් කරන සුහද ආකල්පයක් මෙම සූත්‍ර දේශනාවෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
අංගුත්තර නිකාය පච්චේක සූත්‍ර දේශනාව මෙසේය. ‘මහණෙනි, යම් පරිදි ගොවිතැන් කරන ගිහියෙකුගේ ඇල් කෙතෙක් වේද ඒ ගොවියා වහ වහා ඒ කෙත වපුරන්නේ වේද ? වහ වහා වපුරවා වහ වහා ගොයම් හකුළුවන්නේ වේද ? වහ වහා හකුළුවා වහ වහා කළවිටට එළවා ලවන්නේ වේද වහ වහා එළවා ලවා වහ වහා පිඬු කරවන්නේ වේද? වහ වහා පිඬු කරවා වහ වහා මඩවන්නේ වේද ? වහ වහා මඩවා වහ වහා පිදුරු උදුරවන්නේ වේද වහ වහා බොල් උදුරවා වහ වහා සුළඟෙහි පොළවා වහ වහා කොටන්නේ නංවන්නේ වේද වහ වහා කොටවා නංවා වහ වහා කොටන්නේ වේද වහ වහා කොටවා වහ වහා දහසිව් උදුරවන්නේ වේද? මහණෙනි, මෙසේ කරත්ම ගොවිතැන් කරන ගිහියාගේ ඒ ධාන්‍යයෝ සහලින් අගතැන් පැමිණියාහු වෙති. සාර බවට පැමිණියාහු වෙති. ශුද්ධ වුවාහු වෙති. සාරයෙහි පිහිටියාහු වෙති.

බුදු හිමියන් හා ශ්‍රාවකයන් ගොවි ජීවිතය කෙතරම් සුහදත්වයෙන් අගය කළාදැයි යන්න මෙම දේශනා වෙන් දැනගත හැකිය.


ප්‍රශ්නය
‘ධම්මෙන භොගෙ පරියෙසති අසාහසේන’ භෝග රැස් කිරීම ධාර්මිකවත් අසාහසික වත් කළයුතුය. ගෘහස්ථ සදාචාරය සහ නිෂ්පාදන කාර්යයෙහි බෞද්ධ ආකල්පය කුමක්ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
අංගුත්තර නිකාය පත්තකම්ම සූත්‍ර දේශනාවට අනුව ‘ භොගා මෙ උප්පජ්න්තු සහ ධම්මෙනාති අයං පඨමො - ඉට්ඨො කන්තො - මනාපො දුල්ලභො ලොකස්මිං” ලොව දුර්ලභ – ඉෂ්ට – කාන්ත – මනාප කරුණු හතරින් පළමුවැන්නා ධාර්මිකව භෝග ලබා ගැනීමයි. නිෂ්පාදන කාර්යයෙහිලා ධාර්මික වීම මෙසේ අවධාරණය කරයි. තමා නිසා හෝ අනුන් නිසා පුතුන් ධනය, රටක් හෝ සමෘද්ධිය අධාර්මිකව නොපතන තැනැත්තා සිල්වතා ද නුවණැත්තා ද ධාර්මිකයා ද වන බව ධම්මපදය කියයි.


ප්‍රශ්නය
පංච ආදීනවා බහුභාණිස්ස පුග්ගලො” යන දේශනා පාඨයට අනුව “ බොහෝ සේ කථා කරන්න – වාචාල - දොඩමලු ආදී දුර්ගුණයන් සිදුවන නිසා ‘ බහුභාණී’ යන සුවිශේෂ නාමයෙන් සලකනු ලබයි. බොහෝ සේ කථා කරන ‘බහුභාණී පුද්ගලයා වෙතින් වැරැදි ගණනාවක් සිදුවෙයි. එයින් කිහිපයක වැරැදි ගණනාවක් නාමිකව සඳහන් කරන්න

පිළිතුර
මුසා භණති - බොරු කීම
පිසුනා - කේළම් කීම
ඵරුසා - නපුරු වචන කීම
සම්පප්පලාපා - හිස් වචන කීම
පරම්මරණ නිරයං - උප්පජ්ජති – අපාගත වෙයි


ප්‍රශ්නය
මෙම සූත්‍රපාඨය සිඟාලෝවාද සූත්‍රාගත පාඨයකි.

“තස්ස යසො ආපුරති
සුක්ක පක්ඛෙව චන්දිමා”
නිහීයතී තස්ස යසො
කාල පක්ඛෙව චන්දිමා “

චන්ද්‍රයාගේ ගමන් මග උපමා උපමේය වශයෙන් ගෙන පුද්ගල ගමන් මඟද ඒ අනුව සකස් කරගත යුතු බව බුදුහු වදාළහ. ඒ ගමන් මඟ ධර්මානුගතව පැහැදිලි කරන්න.

පිළිතුර
යම් තැනැත්තෙක් ඡන්දයෙන්, ද්වේශයෙන්, භයින්, මෝහයෙන් අගතියට නොගොස් පාප කර්ම නොකරන්නේ ද ඔහුගේ කීර්තිය පිරිවර සම්පත් ආදි සියල්ලම පුර පක්‍ෂයෙහි චන්ද්‍රය මෙන් අභිවෘද්ධියම වනු ඇත. එසේම සතර අගතියෙන් අගතියට ගොස් ධර්මය ඉක්මවා අගතියට යන්නේ ද ඔහුගේ යසස හා පරිවාර සම්පත් අව පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහෙන්නේය.


ප්‍රශ්නය
අංගුත්තර නිකාය (අට්ඨකනිපාත හත්ථාළවක සූත්‍ර)

බෞද්ධ ශ්‍රාවක පිළිවෙතෙහි විශිෂ්ට අවස්ථාවකි මේ. සාධූ, සාධු, භික්ඛු අප්පිච්ඡො සො භික්ඛූ කුල පුත්තො සන්තෙනව අත්තනි කුසල ධම්මෙ න ඉච්ඡති .පරෙහි ක්‍රයාමානො. තෙන හි ත්වංභික ඉමනාපි අට්ඨමෙන අච්ඡරියෙන අබ්තෙන ධම්මෙන සමන්නාගතං හත්ථකං ආළවකං ධාරෙහි යද්දං අප්පිච්ඡතාය කරති.

සිංහල අනුවාදයට අනුව යහපත් මහණ ‘අල්පේච්ඡ වූ ඒ කුලපුත්‍ර තෙමේ තමා තුළ කුසලධර්ම තිබියදීත් වෙනත් අයෙකු දැනගනු නොකැමැති වෙයි. ඒ නිසා හත්ථක ආලවක තෙමේ “අල්පේච්ඡතාව යන අට වැනි ආශ්චර්ය අද්භූ®ත ධර්මයෙන්ද යුක්ත බව සිතන්න.

මෙම බුදු වදනට අනුව බෞද්ධ ශ්‍රාවකයෙකුගේ තුළ පවතින ගුණ දහම් සතකුත් අටවැන්න සුවිශේෂ අවස්ථාවක දීම පැහැදිලි වූ බව සඳහන් වෙයි. මෙම ආශ්චර්ය ධර්ම සත මොනවාද?

පිළිතුර
බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයෙහි හි හත්ථාලවක උපාසක වෙත පවතින ගුණ සතක් ඇති බව මෙසේ වදාළහ.

මහණෙනි, හත්ථාලවක සැදැහැවත්ය. සිල්වත්ය. ලජ්ජා බිය දෙකින් යුතුය. බහුශ්‍රැතය ,ත්‍යාගශීලිය, ගුණවත්ය. පසු සාකච්ඡාවෙහිදී අටවන විශිෂ්ට ගුණය වනඅල්පෙච්ඡතාවයද හත්ථාලවක උපාසක සතු බව බුදුහු වදාළහ. උන්වහන්සේ විසින්ම දේශනාවෙහිදි අත්තනි කුසලෙ ධම්මේ න ඉච්ඡති.” පරෙහි ක්‍රයා මානෙ” යනුවෙන් තමන් සතු විශිෂ්ට ගුණයන් අනුන් දැන ගැනීම ඉඩ නොතැබීම බෞද්ධ සදාචාර ගුණයක් බව පැහැදිලි වෙයි.


ප්‍රශ්නය
පිළිවෙත් ගරුක බෞද්ධයෙකු ‘උපාසක’ යන සුවිශේෂ ගෞරව නාමයකින් හැදින්වීම සිරිතකි. උපාසක යන නාමය ඔහුට අන්වර්ථ නාමයක් වූයේ කෙසේද? උපාසක ශීලය යනු කුමක්ද?

පිළිතුර
(අංගුත්තර නිකාය මහානාම සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි නිග්‍රෝධාරාම විහාරයෙහි වැඩවාසය කරන අවස්ථාවක මහානාම ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කරයි.

“කිත්තානු ඛො භන්තෙ උපාසකො ගෝනීති

වහන්ස උපාසක වන්නේ කුමන අර්ථයකින්ද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙමින්.

යම් දිනක පටන් බුදුරදුන්, දහම්, සඟුන් සරණ ගිය තැනැත්තා උපාසක බවට පත්වන අතර උපාසක ශීලය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වෙතින් මහානාම ශාක්‍යයාම මෙසේ වදාළහ.

යම් දිනක පටන් උපාසක ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාම මිථ්‍යාචාරයෙන් මුසාවාදයෙන් මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, උපාසක ශීලයෙන් ඒ තැනැත්තා යුක්ත වෙයි.


ප්‍රශ්නය
බුද්ධ ඝෝෂ අටුවාචාරීන් වහන්සේ කර්මය පිළිබඳ කළ විවරණයකි මේ.

කම්මස්ස කාරකො නත්ථි
විපාකස්ස ච වේදකො
සුද්ධ ධම්මා - පවත්තන්ති
එවෙතං සම්ම දස්සනං
පැහැදිලි කරන්න.

පිළිතුර
කර්මය කරන්නේ කවරෙක්ද? විපාක විඳින්නෙක් සිටීද, ආත්මයක් වටා එකතුවන ක්‍රියාවලියක් තිබේද? මේ සියලු ගැටලු වලට පිළිතුර වශයෙන් බුද්ධ ඝෝෂ අටුවාචාරින් වහන්සේ කාරක වෙදක (කරන්නෙක් හෝ විදින්නෙක්) වශයෙන් කිසිවෙක් නැත. කර්මය ස්වයං ක්‍රිය නියාමයකි. නිවැරැදි අවබෝධය නම් මෙයයි.


ප්‍රශ්නය
උතුම් හැසිරීම සාධු චර්යා, දිව්‍යමය ගුණාංග යන විවිධ අරුතින් ද පාලිරීතියට අනුව බ්‍රහ්ම විහාර (බඹ විහරණ) යනුවෙන් ද හඳුන්වන යහපත් ගුණවත් මිනිසෙකු නිර්මාණය කිරීමට හේතු කාරක වු සිවිගුණයන් මොනවාද?

පිළිතුර
ද්වේෂය නමැති දුර්ගුණය පරදවන සද්ගුණය මෙත්තා විහාර ගුණයයි. හිංසාව දුර්ගුණය පිටුදකින සද් ගුණය කරුණාවයි. ඊර්ෂ්‍යාව නම් දුර්ගුණය පරදවන සද්ගුණය මුදිතා ගුණයයි. අභිරතියත්, ව්‍යාපාද දුර්ගුණයත් පරදවන සද්ගුණය උපේක්‍ෂාවයි.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]