UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැදැහැවත් කුල පුත්‍රයෙකු සදහම් අසා පැහැද ගිහිගෙය හැරදමා සසුන් ගතවී ආර්ය කාන්ත වූ, සීල, සමාධි, ප්‍රඥා, යන ත්‍රිශික්ෂා පූරණයෙන් නිවන් අවබෝධ කරගන්නා ආකාරය චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ පැහැදිලි කෙරෙයි

ශ්‍රීලාංකික ජනතාව බොදු සව්වන් බවට පත්කළ සම්බුදු දහම පිළිබඳව සිහිපත් කිරීම, එහි අන්තර්ගතය විමසීම, අප හැමගේ බෞද්ධත්වය යාවත්කාලීන කර ගැනීමකි. දර්ශනය හා ආගම, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව යන අංශ යටතේ සලකා බැලීමේ දී ශ්‍රී සද්ධර්මය සර්වකාලීන අගයකින් යුත් ධර්මාවලියකි. සිරිලක සංවර්ධනය වූයේ මේ සද්ධර්මය පදනම මත පිහිටීම නිසාය. දහම වූ කලී රටක අධ්‍යාත්මික වූ ද, භෞතික වූ ද, සංවර්ධනයේ පදනමයි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරය සඳහා උපයෝගී කරගත් ත්‍රිපිටකාගත සූත්‍රධර්මාවලිය දෙස අප බැලිය යුත්තේ වඩාත් හරවත් අයුරින් ය.

මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනපෑතිස් රජතුමා ඇතුළු පිරිස මිහින්තලේ දී හමු වූ පළමු දින උන්වහන්සේ එවකට ලංකාවේ රාජ්‍ය පාලකයාව සිටි දේවානම්පියතිස්ස මහ රජතුමාගේ බුද්ධිමත් භාවය පිළිබඳව විමසා බලා ධර්ම දේශනයක් ලෙසට මුල්වරට පැවැත්වූයේ සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ හත්වන සූත්‍රය වශයෙන් එන චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි.

(තෙරුවන් ගුණ පහදා ලන)
ප්‍රථම ධර්මදේශනය – චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

ඇත් පා සටහන උපමා වශයෙන් ගෙන මේ සූත්‍රයේ පැහැදිලි කෙරෙන්නේ නියම බෞද්ධයකු වන ආකාරයයි. අලි ඇතුන්ගේ තරාතිරම් හා ඔවුන්ගේ හැසිරීම් රටා හොඳීන් දන්නා හඳුනන ලාංකික ජනතාවට එම සංකල්පය මත පිහිටා අනුපිළිවෙළින් බෞද්ධයකු බවට පත්වන ආකාරයත්, කෙළවර විමුක්තිය උදාකර ගන්නා ආකාරයත්, ‘චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් පැහැදිලි කෙරේ.

ප්‍රධාන කොටස් දෙකකින් හෙබි මේ සූත්‍රයේ මුල් කොටස සංවාදයකි. එහි දෙවන කොටස ද එසේ මැයි. සූත්‍රය ආරම්භ වන්නේ බුදුරදුන් බැහැ දැක තෙරුවන් සරණ ගිය “ පිලෝතික” පරිබ්‍රාජකයා හා ඔහුට මහමග දී හමුවන “ජානුස්සෝනි” බමුණා අතර ඇතිවන සංවාදයකිනි. පිලෝතික තමා බුදුරදුන් තුළ දුටු ‘ඤාණ පද හතරක් ‘ විස්තර කරයි. එය නම් බුදුරදුන් හා වාදාරෝපණයට පැමිණෙන 1.ක්ෂත්‍රිය පඬිවරු. 2. බ්‍රාහ්මණ පඬිවරු 3. ගෘහපති පඬිවරු 4. ශ්‍රමණ පඬිවරු යන අය බුදුරදුන් සමඟ වාදය කිරීමට ගොස් උන්වහන්සේ සමඟ සතුටු සාමිචීයේ යෙදී දහම් ඇසූ සැනින් ම, කිසිදු වාද කිරීමක් නොමැති ව බුදු සව්වෝ බවට පත් වෙති’යි යන අසිරිමත් සිදුවීම ගැන ඇසූ තමා තෙරුවන කෙරෙහි පැහැදුණු බව, පිලෝතික ම පැහැදිලි කිරීමයි.මේ බුදුගුණ ශ්‍රවණය කළ ජානුස්සෝනි ද තමා එතෙක් නැඟී සිටි අස් රියෙන් බිමට බැස, සිය උතුරු සළුව සකසා තබා, බුදුරදුන් වැඩසිටි දිශාවට නමස්කාර කර උන්වහන්සේ බැහැ දැකීමට යයි.

සූත්‍රයේ දෙවන කොටසේ දැක්වෙන්නේ බුදුරදුන් හා ‘ජානුස්සෝනි’ බමුණා අතර ඇති වූ සංවාදයයි. ජානුස්සෝනි බුදුරදුන් අභියස සිට තමා පිලෝතිකගෙන් අසා දැනගත් තෙරුවන් ගුණ ප්‍රකාශ කරයි.

මෙහිදී ජානුස්සෝනි බමුණා ඇමතූ බුදුරදුන් යම් පුද්ගලයෙක් ගැන හෝ යම් ධර්මයක් ගැන හෝ තමා දුටු පමණින් ඇසූ පමණින්, නිශ්චයකට එළඹීම අනුවණ කමක් බව ද වනාන්තරයේ විවිධ වර්ගවලට අයත් අලි ඇතුන් වාසය කරන බවත්, එහිදී එක් ඇත් පදයක් දුටු පමණින් තමාට අපේක්‍ෂිත කරන හත්ථි රාජයා යැයි තීරණය කිරීම සාවද්‍ය බවත්, ඇත්පිය, ඇත්වසුරු, ඇතු පිට ඉලූ ස්ථාන, ළැගි ස්ථාන දුටු පමණින්ම හත්ථි රාජයා පිළිබඳ නිගමනයකට නොබැස තම දෑසින්ම බලා ‘හත්ථි රාජයා ‘ පිළිබඳව නිශ්චය කරගත යුතු බවත් පැහැදිලි කෙරෙයි. තෙරුවන්සරණ යා යුත්තේ ද එබඳුම වූ ප්‍රත්‍යක්ෂය පෙරදැරිව යි.

සැදැහැවත් කුල පුත්‍රයෙකු සදහම් අසා පැහැද ගිහිගෙය හැරදමා සසුන් ගතවී ආර්ය කාන්ත වූ, සීල, සමාධි, ප්‍රඥා, යන ත්‍රිශික්ෂා පූරණයෙන් නිවන් අවබෝධ කරගන්නා ආකාරය චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ පැහැදිලි කෙරෙයි. මේ සූත්‍ර දේශනාව අවසානයේ ඊට සවන්දුන් දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස තුළ සිදුවූ විපර්යාසය සමන්ත පාසාදිකා අටුවාවේ එන්නේ “කථ පරියොසානෙ රාජා තීස්‍ර සරණෙසු පතිට්ඨහි සද්ධිං චත්තා ලීසාය පාණ සහස්සේහි” යනුවෙන් රජතුමා ඇතුළු හතළිස් දහසක් දෙනා තිසරණ සරණ ගිය බවය.

“පින්කම්වල විපාක දක්වන) (චතුරාර්ය සත්‍ය විවරණය කළ )
පේතවත්ථු විමානවත්ථු, සච්ච සංයුත්ත දේශනා

මහින්දාගමනයෙන් තුන්වන දින මිහිඳු මහ රහතන් වහන්සේ අනුලා බිසොව ඇතුළු පන්සියයක් කාන්තාවන් උදෙසා පේතවත්ථු, විමානවත්ථු, හා සච්ච සංයුත්තය යන ධර්ම දේශනා සිදු කළ බව මහාවංසය වාර්තා කරයි. ප්‍රධාන සූත්‍රවලින් බැහැරව විමාන වත්ථූ හා පේතවත්ථුව ඇසුරින් ධර්මය දේනා කළේ එවකට ලංකාවේ මුල් බැසගෙන තිබූ ඇදහිලි හා විශ්වාසවලට අනුකූලව බුදු දහමේ ධර්මකොට්ඨාස ඔවුන්ට සමීප කරවීම පහසු නිසාය.

විමාන වත්ථු හා පේතවත්ථු කථා පුවත්වලින් සත්ත්වයා සසර යළි ඇතිවීම පිළිබඳ සංකල්පය පහසුවෙන් ඉස්මතු කළ හැකිය. ඒ වන විට නොදැහැමි යයි සම්මත ඇදහිලි පසුපස යමින් සිටි ලාංකික ජනතාවට කුසල් අකුසල් පිළිබඳ සංකල්පලය ලබාදීමට මේ කථා පුවත් අතිශයින්ම ඉවහල් කරගත හැකිය. මේ කථා පුවත් හරහා පරලොව පිළිබඳ විශ්වාසය පහළ වෙයි. මරණින් මතු ජීවිතයක් ඇති බැවින් පේ‍්‍රත ආත්මවල නො ඉපිද, දේව ආත්මවල උපත ලැබීම සඳහා පින් දහම් කළ යුතු බව ඉහත දේශනාවලින් ඉස්මතු කෙරෙයි. ලාංකික ජන සමාජය පවෙන් මුදාගෙන, පිනෙන් බර වු සමාජයක් ස්ථාපිත කිරීමට අතිශයින්ම යෝග්‍ය නිසා මිහිඳු හිමි අනුපිළිවෙළින් මේ සූත්‍ර දේශනා දෙක තෝරාගත් සේක.

දේවානම්පියතිස්ස මහ රජතුමාගේ මලනු මහානාග යුවරජ තුමාගේ බිසොව වූ අනුලා දේවිය ඇතුළු කුලකාන්තාවන් 500 ක් ප්‍රමුඛ පිරිස සඳහා සච්ච සංයුක්ත දේශනාව පවත්වා තිබේ. මේ සූත්‍රධර්මය සංයුත්ත නිකායේ මහාවග්ග සංයුත්තයේ 12 වන සංයුත්තයයි.මේ කොටසේ ඇතුළත් වන්නේ. ‘චතුරාර්ය සත්‍යය’ පිළිබඳව බුදුහිමි, වරින්වර, විවිධ ස්ථානවල දී දේශනා කළ සූත්‍ර ධර්මයන්ය. සච්ච සංයුත්තය, සමාධි සූත්‍රයෙන් ආරම්භ වී පෙත්තිබූති සූත්‍රයෙන් අවසන්වෙයි. ඒ අතරතුර දැක්වෙන අනෙක් සියලුම සූත්‍රවලින් විවරණය කෙරෙනේනේ දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන සිව්සස් පිළිබඳවය.

තෙරුවන් සරණ යාමෙන් බොදු සව්වකු බවට පත්වන්නා පින්පව් විශ්වාසයෙන්, අකුසලයෙන් මිදී’ කුසලයට නැඹුරුවන ආකාය පැහැදිලි කරදීමට ඉවහල් කරගත්තේ මෙම චතුරාර්ය සත්‍ය පිළිබඳ විවරණයයි.

(සමචිත්තාධ්‍යාශය විවරණය කෙරෙන)
සමචිත්ත පරියාය සූත්‍රය

ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රචාරය කිරීමේ මුල් දින කිහිපය තුළ දී. දඹදිව සිට ධර්මදූත කණ්ඩායම සමඟ මිහින්තලාවට පැමිණ භණ්ඩුක උපාසකතුමා මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් පැවිදි වී අර්හත්වයට පත් විය. ඉන් අනතුරුව ධර්මදූත පිරිසේ සිටි සුමන සාමණේරයන් වහන්සේ ඇමතූ මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා ‘කාලඝෝෂා’ කරන ලෙසට නියම කළේය. ඒ අනුව උන්වහන්සේ ‘ධම්මස්සවණ කාලො අයං භදන්තා’ යනුවෙන් ‘පින්වත්නි, මේ බණ ඇසීමට කාලයයි’ යනුවෙන් තෙවරක්ම කාල ඝෝෂා කළ සේක. එය සවන් දුන් අසංඛ්‍ය,අසංඛ්‍ය දෙවිවරු ධර්ම ශ්‍රවණයට රැස්වූහ. මේ රටේ ධර්ම ශ්‍රවණයට පෙර දේවතාරාධනය හා කාලඝෝෂා කිරීමේ චාරිත්‍රය හඳුන්වා දෙන ලද්දේ එතැන් සිටය. එසේ කාල ඝෝෂාවෙන් අනතුරුව මිහිඳු මාහිමි ධර්ම දේශනය සඳහා තෝරා ගන්නේ ‘සමචිත්තපරියාය’ සූත්‍රයයි.

සමවිත්ත පරියාය සූත්‍රය සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සිවුවෙනි සමචිත්ත වර්ගයේ පස්වන සූත්‍රයයි. අටුවා විස්තරවලට අනුව මෙම සූත්‍රය ධම්මචක්ක, මංගල, පරාභව, මහා සමය, වැනි සූත්‍ර මෙන් විශේෂ වැදගත් කමකින් යුක්ත වේ. ඊට හේතුව මේ සූත්‍රය බුදුහිමි දෙවියන් උදෙසා දේශනා කළ, ඔවුන් හොඳින් ශ්‍රවණය කළ, මාර්ගඵල පවා අවබෝධ කරගැනීමට උපකාරී වූ සූත්‍ර දේශනාවක් වීමය.

මේ සූත්‍රය බුදුහිමි සමචිත්තාධ්‍යාශයන් ඇති දෙවිවරුන්ට දේශනා කළ නිසා සමචිත්ත පරියාය යනුවෙන් නම් කෙරේ. දේවතාරාධනය, සාධුකාර දෙමින් ධර්මය ශ්‍රවණය කිරීම යන උතුම් චාරිත්‍ර පැහැදිලි වන සූත්‍රයක් නිසා එම චාරිත්‍රය හුරුපුරුදු කිරීමේ අටියෙන් මිහිඳු නාහිමියන් මේ සූත්‍රය ශ්‍රී ලංකාවේදී දේශනා කිරීමට තෝරාගත් බව පෙනේ.

සමචිත්ත පරියාය සූත්‍රයේ පළමු කොටස සැරියුත් තෙරුන් වහන්සේ විසින් පූර්වාරාම මිගාර මාතු ප්‍රාසාදයේදී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ අප්‍රමාණ දෙවිබඹුන්ට දේශනා කරන ලද්දකි. ඉන් පැහැදිලි කෙරෙන්නේ අධ්‍යාත්ම හා බාහිර සංයෝජන ඇති පුද්ගලයා පිළිබඳ විවරණයකි. එහි දෙවන කොටස දේවතාරාධනාවට අනුව බුදුහිමි සැරියුත් හිමියන්ට දෙවිවරුන්ගේ සන්සුන් චිත්ත ස්වභාවය පිළිබඳව උදාහරණ සහිතව පැහැදිලි කරදී, භික්ෂුවක් සන්සුන් ඉදුරන් සිත් හා කාය කර්ම ඇතිව බ්‍රහ්මචාරීන් කෙරෙහි සාන්ත වූ උපකාරයක් කරමුයි හික්මිය යුතු බව ය.

(ඉතිරි කොටස 2012.06.11 පත්‍රයේ පළවේ)

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]