UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක 2012 ජුනි 04 වැනිදා

අනුබුදු මිහිඳු හිමි වැඩිය දා....

ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ පාදස්පර්ශය තෙවරක්ම ලද අපේ රට වාසනාවන්ත පින්බිමකි.

සිරි සදහම් පණිවුඩය රැගෙන අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස සිරිලකට වැඩම කළ ඓතිහාසික දිනය සිහිපත් කැරෙන උතුම් දිනය පොසොන් පුර පසළොස්වක දවසයි.

එදා දඹදිව ධර්මාශෝක මහාධිරාජයා දවස සිරිලක දේවානම්පියතිස්ස මහරජතුමා දවස සිදුව ඒ ඓතිහාසික මහින්දාගමනයෙන් මෙරට ජනතාවගේ සිතුම් පැතුම් නව මඟකට යොමු වූහ.

හෙළ ජනතාවට ලෝකෝත්තර සුව සලසා ගැනීමට මුල් වූ එම සදහම් මග නිසාම මෙරට සම්බුදු සසුන් කෙත පිහිටුවා ශෝභාමත් වන්නට විය.

මිහින්තලා කන්දෙන් පැන නැගී දස දෙසට ගලා ගිය ඒ සදහම් අමා සුවයෙන් සැනසීම ලැබීමට මෙරට වැසියා වාසනාවන්ත පිරිසක් බවට පත් වූහ.

සම්බුදු දහමේ ආභාෂය ලද මෙරට ජනතාවගේ සංස්කෘතියද බොදු සංස්කෘතිය බවට පත් විය.

ආගමික, ශාසනික ජාතික, ආර්ථික, සංස්කෘතික හා සාමාජික ආදී කවර අංශයක් ගෙන බැලුවද ඒ උදාර බොදු හැඟුමෙන් සෑම අංශයකම පෝෂණයක් සංවර්ධනයක් වූ බව අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි.

එසේ නම් එවන් උදාර මෙහෙවරක් මෙරටට සිදු කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරට වැසියා සදා අනුස්මරණය කළ යුත්තේ ම ය.

ලාංකේය ජන සමාජය කවදත් කෘතෝපහාර දක්වන පිරිසක් ලෙස ලොව පිළිගන්නා කරුණකි.

මිහිඳු මහරහතන් වහන්සේ සිහි කැරෙන පොසොන් පුර පසළොස්වක පෝදා හිමිදිරියේ සුදුවතින් සැරසී උතුරු සළුවද පොරවාගෙන තෙල්, මල් ආදියද රැගෙන විහාරස්ථානය වෙත පිය නගන්නේ එදා දවසම ප්‍රතිපත්ති පූජාවෙන් අනුබුදු හිමියන් පුදන්නටය.

එසේ අනුබුදු හිමියන්ගේ ලංකා ගමනය මූලික කර ගනිමින් ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු හිමියන් පිදීම තමන්ට ද තම ජීවිත කාලය තුළින් වර්ධනය කර ගත හැකි කුසල සිතිවිලි සමුදායක් ඒකරාශී කරගත හැකි ය.

පවුලේ ලොකු කුඩා බාල මහලු සියලු දෙනා විහාරස්ථානයේ දී පෙහෙවස් සමාදන්ව දවස පුරා වත් පිළිවෙත් පුරමින් ආගමික කටයුතුවල නිරත වෙමින් ඓතිහාසික ආගමික දිනය තම ජීවිතයේ ද අනුස්මරණීය දිනයක් බවට පත් කර ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරති.

සැබවින්ම ජීවිතයක විය යුත්තේ ද භෞතික සැප සම්පත් සොයා යෑම ම පමණක් නොවේ. හේතුව ඒ භෞතික සැප සම්පත් කෙතෙක් ලැබුණද ඉන් සෑහීමකට සැනසීමකට පත්විය නො හැකි හෙයින්මය ඒ ලෞකික ජීවිතයේ ස්වභාවය ම නිසා ය.

බෞද්ධයා යනු නිරන්තරයෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන්නෙකි. එමෙන්ම බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන් කෙරෙහි මහත් විශ්වාසයෙන්, ගෞරවයෙන්, සැදැහැයෙන් කටයුතු කරන්නෙකි. එවැනි අයකු කිසි විටෙකත් පොහොය දිනය වැනි උතුම් දවසක් නිරර්ථකව ගත නොකරනු ඇත.

පොහොය දා නිවාඩුව බාහිර කටයුතුවලට නොවේ. සැබැවින්ම එහි අර්ථය ද ආගමික කටයුතු වලට පහසුවෙන් යොමු වීමටය. එසේ නම් පොහොය දවස බොදුනුවා තවත් එක් නිවාඩු දිනයක් පමණකැයි සිතා කටයුතු කළහොත් එහි පාඩුව සිදුවන්නේ ද කවදා හෝ තමන්ට ම ය.

වෙසක් පොහොයට පමණක් දෙවැනි වන පොසොන් පොහොය ද වෙසක් පොහොයට මෙන්ම විහාරස්ථානය වෙත ගොස් ආගමික කටයුතු වල නිරතවීමට උනන්දු විය යුතුය.

ආගමික කටයුතුවල නිරත වන අතරම වෙසක් සමයට දන්සැල් දෙන්නා සේ පොසොන් සමයේ දී දන්සැල් පිරිනැමීමට ද සැදී පැහැදී සිටිති.

එමෙන්ම වන්දනා ගමන්වලද නිරත වෙති. තමා සතුව පවතින දැඩි ලෝභකම නිසාම දනට පිනට වුවත් ඇතැම් විට යමක්දීමට සිතිවිලි ඉඩ නොදෙයි. එහෙත් තදංග වශයෙන් හෝ ලෝභය සිතිවිලි අතරට ගලා ඒමෙන් වළක්වා ගත හැකි නම් එය ඕනෑම අයකුගේ ජීවිතයේ සැනසීමට උදාර මඟක් වනු ඇත.

එබැවින් උදා වූ පොසොන් පුර පසළොස්වක පෝදා ජීවිතයේ සදා මතකයේ පවතින උතුම් පින්දහම්වල නිරතවීමට අමතක නොකරන්න. එය අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට ද කළ හැකි උදාර පූජෝපහාරයක් වනු නොඅනුමානය.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]