UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. බරණැස ඉසිපතනයෙහි මිගදාය නම් වූ ශාන්ත සුන්දර ප්‍රදේශයෙහි වැඩ වෙසෙමින් එදා පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු නම් මේ පරාමාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හළ යුතු කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් යන

අන්ත දෙකත් අනුගමනය කළයුතු නිවන් ලැබීමට ඒකායන මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ය

ආර්ය භාවයට පුද්ගලයන් පත් කරන සත්‍ය සතර චතුරාර්ය සත්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ. බුදු දහමෙහි එන ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර එදා සමාජයෙහි සාධුසම්මතව ද පැවැතුණි. එහෙත් මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් භවයෙන් වැසී තිබී බුදුරජාණන් වහන්සේ විසින් ම සොයාගන්නා ලදී. අන්‍ය උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින් ම සොයාගන්නා ලද නිසා උන්වහන්සේ සම්මාසම්බුද්ධ නාමයෙන් හඳුන්වති.

සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. බරණැස ඉසිපතනයෙහි මිගදාය නම් වූ ශාන්ත සුන්දර ප්‍රදේශයෙහි වැඩ වෙසෙමින් එදා පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු නම් මේ පරාමාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හළ යුතු කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් යන අන්ත දෙකත් අනුගමනය කළයුතු නිවන් ලැබීමට ඒකායන මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ය. ආර්ය සත්‍ය සතර නම්:-

දුක්ඛ - දුක
සමුදය – දුක හටගැනීම
නිරෝධ – දුකින් මිදීම
මග්ග - දුකින් මිදීමට යා යුතු මාර්ගය යන්න යි.

මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සසර ගමන නවතා පරම සුඛය නම් වූ නිර්වාණය ලබා ගත හැකිය. සත්‍යාවබෝධය නො වන තාක් සසර දිගින් දිගට ම ගමන් කිරීමට සිදුවෙයි. “ මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නො කිරීමේ හේතුවෙන් මටත් ඔබටත් සසර බොහෝ කාලයක් සැරිසරන්නට සිදුවිය.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළහ. සත්‍යයෙහි මූලික ලක්ෂණ තුනක් විද්‍යාමාන වේ.

එනම්, තථ, අවිතථ, අනඤ්ඤ නම්
තථ – ඒකාන්ත සත්‍ය බව,

අවිතථ සැමදා ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍ය බව

අනඤ්ඤතථ, අන් පරිද්දකින් නො වන බව.

බුදු, පසේ බුදු, මහරහතුන් ආර්ය තත්වයට පත් කරන හෙයින් මෙම සත්‍ය සතර ආර්ය සත්‍ය නමින් හැඳීන්වෙයි. මෙම ආර්ය සත්‍ය සතරට තව කිසිවක් එකතු කරන්නට නැත. එසේ ම සත්‍ය සතරක් නොව තුනෙකි. තැනහොත් දෙකෙකි යයි අඩු කිරීමක් ද කළ නොහැකිය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු ය. දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු ය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතු ය. දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය වැඩිය යුතුය.

දුක්ඛාර්ය සත්‍යය

සාමාන්‍යයෙන් දුක යැයි හඳුන්වනුයේ කරදරය – විපත - දොම්නස - සෝකය යන අප්‍රසන්න වේදනා අවස්ථාවන් ය. එහෙත් දුක්ඛ සත්‍යයෙන් ඊට වඩා ගැඹුරු අර්ථයක් ගෙන දෙයි. එයින් පැහැදිලි කෙරෙන්නේ අපරිපූර්ණත්වය, අනිත්‍යත්වය, හිස් බව, වසඟයෙහි නො පවතින බව යන දාර්ශනික අර්ථයන් ය. සංක්‍ෂෙපයෙන් පංච උපාදානස්ඛන්ධය ම දුක යැයි පෙන්නා දුන් අතර සැපයක් නැතැයි ද දේශනා කොට නැත. ගිහි සුඛය, පබ්බජිත සුඛය, අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය ආදී සැප පිළිබඳව ද දේශනාවේ සඳහන් වී ඇත. සත්‍ය ස්වභාවය ඒවා ද අනිත්‍යත්වයට ගොදුරු වන නිසා දුක්ඛ සංඛාවට ම වැටීමයි. ලෞකික ධ්‍යානවලින් ලැබෙන සුඛය ද වෙනස්වන නිසා දුකම බව පෙන්නා දුන්හ. කාම සම්පත් පිළිබඳව අවබෝධ කටයුතු කරුණු තුනක් බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. එනම් අස්සාද – ආස්වාදය හෙවත් රස විඳීම, ආදිනව රසවිඳීමෙන් සිදුවන අයහපත, නිස්සරණ – එයින් අත්මිදීම යන කරුණු තුනය. පියකරු දෙයක් හෝ සත්වයෙක් පුද්ගලයෙක් දුටුවිට ප්‍රිය කරයි. ඇලෙයි. නැවත නැවත ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි. ප්‍රීතියක් ලබයි. ආස්වාදනය යනු එයයි. ප්‍රිය දේවල් සත්වයන් පුද්ගලයන් වෙනස් වෙයි. අනිත්‍යත්වයට පත්වෙයි. එවිට ආස්වාදයෙන් ඇති වූ ප්‍රීතිය නැති වී දුක දොම්නස ඇතිවෙයි. එය ආස්වාදයෙන් ඇතිවන ආදීනවය යි. යම්කිසි දෙයක හෝ සත්වයෙක් පුද්ගලයෙක් පිළිබඳව හෝ බැඳීම ආශාව නැතිකර ගැනීම නිස්සරණය වශයෙන් දැක්වෙයි. මේ තත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් විට ලෝකෝත්තර සුඛය උදාකරගත හැකිය.

කාමයන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය තත් වූ පරිද්දෙන් නො දන්නා තැනැත්තා අනුන් ද, එහි යෙදවීමට අසමත් ය. තත් වූ පරිද්දෙන් දන්නා තැනැත්තා කාමයන්ගෙන් මිදෙන අතර අන්‍යයන් ද කාමයන්ගෙන් මුදා ගැනීමට සමත් වෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය ම දුක් බව බුද්ධ දේශනාවයි. විඥානස්කන්ධයේ අනිත්‍යත්වය ප්‍රකට නො වන නිසා විඥානය නො නැසී පවත්නා බවට බුද්ධ කාලයෙහි ද විශ්වාසයක් පැවැතුණි. සාති භික්ෂුව ද එම මතයේ එල්බ ගත්තෙක් විය.

බුද්ධ දේශනාව අනුව සසර මුළුල්ලේ ම ගමන් කරන්නේ මේ විංඥානය බව උන්වහන්සේගේ අදහස විය. බුදුරජාණන් වහන්සේ විංඥානය යනු කුමක්දැයි සාති භික්‍ෂුවගෙන් ඇසූ විට කථා කරන්නේ, සැප දුක් විඳින්නේ කරන ලද කර්ම විපාක විඳින්නේ විංඥානය බව පිළිතුරු දුන්නේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “ මෝඝ පුරිසය, මා මෙසේ කවුරුන්ට දේශනා කළ බවක් දන්නෙහිද ? විඥානය ද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව මවිසින් නොයෙක් අවස්ථාවල දෙසා ඇතැයි ප්‍රකාශ කළහ.

විඥානය හටගන්නා ප්‍රත්‍යයන් අනුව නම් ලබයි. ඇස ද රූපය ද නිසා ඇතිවන්නේ චක්ඛු විඤ්ඤාණය යි. කන ද ශබ්දය නිසා ඇතිවන්නේ සෝත විඤ්ඤාණය යි. නාසය ද ගන්ධය ද නිසා ඇතිවන්නේ ඝාණ විඤ්ඤාණය යි. කය ද ස්පර්ශය ද නිසා ඇතිවන්නේ කාය විඤ්ඤාණය යි. මනස ද ධර්මය ද නිසා ඇතිවන්නේ මනෝ විඤ්ඤාණය යි.

බුදුරජාණන් වහන්සේ මේ කරුණ තවදුරටත් පැහැදිලි කරමින් “ ගින්න යම් ප්‍රත්‍යයක් නිසා ඇවිලෙන්නේ ද එම ප්‍රත්‍යයේ නාමය ලබයි. දර නිසා ඇවිලෙන ගින්න දර ගින්න වෙයි. ගින්න තණකොළ නිසා ඇවිලේ නම් ඒ ගින්න තණගින්න නමින් හැඳින්වේ.

සමුදය සත්‍යය

පළමු ආර්ය සත්‍යය දුක බවත් දුක ඇතිවීමට හේතු වන තණ්හාව දෙවන ආර්ය සත්‍යය බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. “ මහණෙනි, පුනර්භවය ඇති කරන, නන්දිරාගයෙන් යුක්ත වන ඒ ඒ තන්හි ඇලෙන සුළු, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් පවතින මේ තෘෂ්ණාව දුක්ඛ සමුදයාර්ථ සත්‍යය” යි යනුවෙනි. පඤ්ච කාමය පිළිබඳව තෘෂ්ණාව කාම තණ්හා වශයෙන් ගැනේ. නැවත නැවත ඉපදීමත් පැවතීමත් පිළිබඳව තෘෂ්ණාව භව තණ්හාවයි. නැවත භවයක නො ඉපදීමත්, නො පැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව හෙවත් උච්ඡේද දෘෂ්ටිය විභව තණ්හා නමින් හඳුන්වා දී ඇත. බුදුදහමට අනුව ලොවෙහි ඇති සැම දෙයක්ම පටිච්චසමුප්පන්න ධර්මයෝ ය. දුක් ලැබීමට හේතුවන්නේ තෘෂ්ණාව යි. තෘෂ්ණාවට හේතුව වේදනාව යි.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]