UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 මිහිඳු මහ රහතන් වහන්සේගේ මෙහෙවර ගෞරවයෙන් අගයමු

උදෑසන පිබිදීමේ සිට රාත්‍රි නින්දට යනතුරා දෛනික චර්යා පද්ධතියට අයත් සියලු දේ අප ලබා ගන්නේ මිහිඳු මාහිමියන් ලබාදුන් බුදු දහමෙනි. වැසිකිළිවත පවා ශික්ෂා පද ලෙසින් (සේඛියා) බුදු දහමේ දක්වා තිබෙනවා

බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළට කාවැද්දුවේ මිහිඳු මහ රහතන් වහන්සේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ තවත් එක් ධර්ම දේශකයාණන් වහන්සේ නමක් පමණක්ම නොවේ. උන්වහන්සේගේ බුද්ධ මහිමය පළමු වරට මෙරට ජනතාවට හඳුනා ගත හැකි වන්නේ දේවානම්පියතිස්ස රජුගෙන් ප්‍රශ්න විමසූ අවස්ථාවේදීය.

මිහිඳු හිමියන් මෙහිදී විමසූ අඹ පැනය දෙස බැලූ විට පෙනී යන්නේ උන්වහන්සේ අන්‍යයන්ගේ සිත් ඇදගන්නා අයුරින් හා ඔවුන්ගේ මනස තේරුම් ගන්නා අයුරින් කටයුතු කර ඇති බවයි.

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාගමනය කරන විටදී මෙහි ජනතාව පස්පව් දස අකුසල් ගැන කිසිදු තැකීමක් නොකළ බව පෙනේ. ‘දඩකෙළිය’ විනෝදය උදෙසා සිදු කරන ලද්දක් බව පෙනේ. රටේ පාලකයා වූ දේවානම්පියතිස්ස රජුද මිහිඳු හිමියන්ට හමුවූයේ මුවකු ලුහුබැඳ යද්දී ය.

සබ්බං රට්ඨං සුඛං සේති
රාජාවෙ හෝති ධම්මිකෝ

පාලකයා ධාර්මික වන්නේ නම් රට වැසියාද සැපවත් වන බව මෙයින් කියැවෙනවා.

එමෙන්ම පාලකයා සතුන් දඩයම් කරමින් යන්නකු නම් රටවැසියාද සත්ත්ව ඝාතනයේ යෙදීම වළක්වන්නට අසීරුය .

මිහිඳු හිමියන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ලක් වැසියාට අවශ්‍ය වූ ජීවන මාර්ගයක් වූවා මිස ඇදහිය නොහැකි ගැඹුරු ධර්මයක් නොවීය. දෛනික ජීවිතයේ අවශ්‍යතා මතින් යමින් අනන්‍යයන්ට හිරිහැරයක් නොවන ලෙසින් දිවි ගෙවීමට හැකි වන ජීවන මාර්ගයක් මිහිඳු හිමියන් විසින් හඳුන්වා දෙනු ලැබුවා.

රාජා භවතු ධම්මිකො පාලකයා යහපත් වූ විට ජනතාවද නිරන්තරයෙන්ම යහපත් බවට පත්වන බව මෙයින් පැහැදිලිය.

ජන ජීවිතයට බුදුදහම කාවැදීමෙන් පසු මෙරට වෙළෙඳ සබඳතා පවා තවත් දියුණූ තත්තවයට පත්වුණා. විශේෂයෙන්ම ගෝකණ්ණ, මහාතිත්ථ වගේ වෙළෙඳ නගර බිහිවුණේ සමුද්‍ර තොටුපල ලෙසින්.

මහින්දාගමනයට පෙර වෙළෙඳාම් කිරීමේදි වුණත් අප ශිෂ්ට සම්පන්න බවින් උසස්ම තත්ත්වයක සිටියා යැයි කියන්නට බැහැ. බුදු දහමින් පෝෂණය ලැබූ පසුය. ඒ සියල්ල යහපත් තත්ත්වයකට පත්වූයේ. විශේෂයෙන්ම පංචශීලය අගයන සමාජයක් බිහිවූයේ මහින්දාගමනයෙන් පසුවයි. කිසිදු ආගමකට එසේත් නැත්නම් ජන කොටසකට පමණක් සීමා නොවන ජීවන ප්‍රතිපදාවක් වන පංචශීල ප්‍රතිපදාව මගින් අපට අනන්‍යයන් හා සමඟිව සමාජයේ දිවිගෙවීමට ඉඩ සලසා දෙනවා.

තමන් උපමා කරගෙන අනන්‍යයන් හා සමඟි සම්පන්නව විසීමටයි. මෙමඟින් ආදර්ශය ලබා දෙන්නේ.

‘අත්තානං උපමං කත්වා’ තමන් ඇකැමැති කිසිඳු කාර්යයක් තවත් අයකු උදෙසා නොකරන්නේ නම් කිසිදු ගැටලුවක් සමාජය තුළ මතු වන්නේ නැහැ.

මෙරට යක්ෂ, නාග ආදී වශයෙන් තිබූ සියලු කුලගොත් මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනා වලින් පසු එකට මුසුවුණා. සියලු දෙනා එකම ශාසනයක් යටතට ගෙන සසුන්ගත කිරීමත් සමඟ ඒ සියලු කුලගොත් අවසන් වූවා. ඉන්දියාවෙ සිට විවිධ කුල 16 ක ශිල්පීන් මෙරටට පැමිණියද ඔවුන් සියලු දෙනාම එකම ශාසන කුලයකට අයත් බව මිහිඳු හිමියන්ගේ දේශනාව වුණා. කිසිදු විටක මෙරට ජනතාවට කුල ගෝත්‍ර මත හෝ ආගම දහම මත භේදයක් ඇතිවීමට මිහිඳු හිමියෝ ඉඩ ලබා නොදුන්හ. අද දක්වාම මෙරට බුද්ධ ශාසනය මුල් බුදු දහමේ ශික්ෂාපද යන්ද සමග එලෙසින්ම රදා පවත්වා ගනිමින් රැක ගැනීමට හැකිවී ඇත්තේ මිහිඳු හිමියන් එදා ඇති කළ පුනරුදය නිසයි. දානය, පි‍්‍රයවචනය, සමානාත්මතවාය, අර්ථචර්යාව යන සතර සංග්‍රහවස්තු තම ජීවිතයට එකතුකර ගැනීමට ජනතාවට හැකිවූයේ මිහිඳු හිමිගේ එම මඟ පෙන්වීම යටතේය?

එමෙන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන සතර බ්‍රහ්ම විහරණද මහජන සුඛ සිද්ධියට අදාළ සියලු දහම් කරුණු ජනතාවට ලැබුණේ මිහිඳු හිමිගේ ආගමනයන් සමගය.

එපමණක් නොව සක්විති වත් දස රාජ ධර්ම වැනි රාජ පාලනයද හා සම්බන්ධ සියල්ලම අපට මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමෙන් පසු ලැබූ දායාදයන්ද

සතුන් දඩයම් කරමින් සිටි ජනතාව දාන, සීල, භාවනා වැනි ගුණාංගයන් හඳුනා ගන්නේ බුදුදහමෙ අනුසාරයෙනි. වැඩිහිටියන්ට සැලකීම ප්‍රමුඛතම සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සදිසා නමස්කාරයේ පරිදි තම යුතුකම් හා වගකීම් හඳුනගෙන අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය වූයේද මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසුවය.

උදෑසන පිබිදීමේ සිට රාත්‍රි නින්දට යනතුරා දෛනික චර්යා පද්ධතියට අයත් සියලු දේ අප ලබා ගන්නේ මිහිඳු මාහිමියන් ලබාදුන් බුදු දහමෙනි. වැසිකිළිවත පවා ශික්ෂා පද ලෙසින් (සේඛියා) බුදු දහමේ දක්වා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්බිමට වැඩම කළත් ඉහත අප දැක්වු සියලු ප්‍රතිපදා ගුණධර්ම සියල්ල ලක්වාසින්ට ලැබුණේ මිහිඳු හිමියන් හඳුන්වන්නේ බුදු දහමේ ආභාසයෙනි .විශේෂයෙන්ම යහපත් මිනිසකු ලෙස ජීවත්වීම උදෙසා මිහිඳු හිමියන් ලබා දුන් අවවාද උපදෙස් නිසා බුදු දහම අද දක්වා මෙරට සියුල චාරිත්‍ර සමඟින් රැකී තිබෙනවා.

කඨින පින්කමේ සිට සියලු පුද පිළිවෙත් අදත් බෞදධයන් හිස් මුදුනින් පිළිගෙන ඇත්තේ එදා ලැබුණ ඒ බෞද්ධ ආභාසය නිසයි.

එමෙන්ම අපටම ආවේනික සංස්කෘතියක් මෙන්ම කලා ශිල්පද අපට හිමිවුණේ මහින්දාගමනයෙන් බව අප අමතක කළ යුතු නැහැ. අද අප දිවිගෙවන ගෘහයන්ද ස්ථාවර ලෙසින් ඉදිවීමට පටන් ගත්තේද මිහිඳු හිමියන්ගේ මඟපෙන්වීම නිසා බව අපි සිහි තබා ගත යුතු වෙමු. වසර 2600ක් ලොව පුරා බුදුදහම ස්ථාපිතව ඇති අතර එයින් ථෙරවාද බුදු දහම ස්ථාපිතව ඇති මෙරට බුදුදහම ස්ථාපනවීමේ ප්‍රධාන අවස්ථාව මහින්දාමනයයි. විශේෂයෙන්ම තම නැගණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය මෙරටට වැඩම කරවා ගෙන මෙහෙණී සසුන පිහිටුවීමට මිහිඳු හිමියන්ගේ උදාර කැපවීම අපි විශේෂ ගෞරවයෙන් අගය කළ යුතු වෙමු.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]