UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජීවිත ශ්‍රී සද්ධර්මයෙන් ආලෝකවත් කරන්නට, සිරි සදහම් පණිවුඩය රැගෙන අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස මිහින්තලාවට වැඩම කළ ඓතිහාසික පූජනීය දවස පොසොන් පුර පසළොස්වක දවසයි.

අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රැගෙන අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩම කළ දා සිට ‘පොසොන්’ කියූ පමණින් මුවඟට නැඟෙන නාමය පූජනීය මිහින්තලා පුද බිමයි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ ස්වර්ණ ජයන්තිය යෙදී ඇත්තේ මෙම වසරටය. මිහින්තලේ පොසොන් පින්කම කියූ පමණින් මෙරට ජන හදවත් තුළ වසර 50 ක් පුරා රැඳී තිබෙන නාමය ද ලේක්හවුස් ආලෝක පූජාවයි.

පත්තර මහ ගෙදර ලෙස විරුදාවලි ලත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම අඩ සිය වසරක් පුරා පොසොන් සමයට මිහින්තලා පුද බිම ඒකාලෝක කළ බැවිනි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ මිහින්තලා පුද බිම කාලයාගේ ඇවෑමෙන් පරසතුරු උවදුරු හා සිවිල් අරගලද හේතුවෙන් කලක් මිනිස් වාසයෙන් ඈත්ව පැවැති මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීම අතිදුෂ්කර කටයුත්තක් විය. සතා සර්පයන්ගේ මෙන්ම අලිකොටි වලසුන්ගේ ද රජ දහනක් වූ මිහින්තලාව වැඳ පුදා ගැනීමට ඈත අතීතයේ දී පැමිණියේ තම දේපළ දූ දරුවන්ට පවරා ජීවිත ආශාව ද අත් හරිමිනි.

තෙරුවන් කෙරෙහි වූ අපමණ වූ ශ්‍රද්ධාවත්, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සිටි පින්කෙත සියැසින් දැක බොදු දනන් බලා ගැනීමේත් පරම ආශාවෙන් ගැල්පිට නැගී මිහින්තලයට පැමිණ තිබේ.

මිහින්තලාවට පැමිණි සැදැහැති බොදු දනන් හුළු අත්තේ පන්දම් එළියෙන් මිහින්තලා කඳු මුදුනට සැපත් වූයේ ඒ දෑතේ රඳවා ගත් හුළු අතු ආලෝකය මඟින් වන දුර්ග හා ගිරි දුර්ගද තරණය කරමිනි. එදා හුළු අත්තේ ආලෝකය ආලෝක පූජාවක් දක්වා පුණ්‍ය මහෝත්සවයක් බවට පත් වෙයි. එම ඓතිහාසික ආගමික මෙහෙවරට නොපැකිළව දායකත්වය ලබා දෙමින් අපමණ සිත් පහන් කරන අසිරිමත් මිහින්තලා පුද බිම ආලෝකවත් කරවීමේ ජාතික ආගමික මහ මෙහෙරවට එසේ උර දෙන්නේ ලේක්හවුස් ආයතනය හෙවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ය.

මිහින්තලා රාජ මහා විහාරාධිපති ව වැඩ විසූ වලවාහැංගුණ වැවේ ශ්‍රී රතනජෝති නාහිමියන් මිහින්තලාව සංරක්‍ෂණයට ක්‍රියා කරන විට ලේක්හවුස් ආදි කර්තෘ, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පය ක්‍රියාවට නැගෙමින් ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජාව ඇරැඹීමට මුල් වූහ.

පුරා පනස් වසරක් විදුලි බුබුළු ලක්‍ෂ ගණනකින් බොදු දන නෙත් සිත් පහන් කළ ඒ ස්වර්ණමය ගමන් මග කෙටියෙන් හෝ සිහිපත් කිරීමද මහත් සතුටකි.

මිහින්තලා රජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වලවා හැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් අබාන්ස් ආයතනයේ බැතිබර අනුග්‍රහයෙන් මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ ස්වර්ණ ජයන්තිය සමරනු ලැබේ.

ඩී.ආර්. විජයවර්ධන මහතාගේ සංකල්පයක් ක්‍රියාවට නැගෙමින් මෙයට අඩ සිය වසරකට පෙර මිහින්තලා පුද බිමත්, වෙහෙර විහාරත් විදුලි ජනක යන්ත්‍රයක් ආධාරයෙන් ආලෝකවත් විය. ලේක්හවුස් ආයතනය එසේ ලබා දුන් ආලෝකයෙන් මිහින්තලා පුද බිම සිත් සේ වැඳ පුදා ගනිමින් මිහින්තලාවේ රැ‍ෙඳමින් පෝදා පෙහෙවස් සමාදන්ව ආමිස හා ප්‍රතිපත්ති පූජා පිළිවෙත්හි නිරත වෙමින් බොදු ජනතාව පින් දහම් හි නිරත වූහ.

මිහින්තලා පුදබිම වෙත වාර්ෂිකව පැමිණෙන සැදැහැවතුන් වසරෙන් වසර අධික වීමට වූයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේද සහාය ලබා ගනිමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව තව තවත් පුළුල් කිරීමට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ක්‍රියාත්මක විය.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා උළෙලෙහි අර්ථවත් හා ඵලදායී බව පෙනී යාමත් සමග ඊට දායකවීමට තවත් ආයතන ඉදිරිපත් විය.

ක්‍රමවත්ව හා සංවිධානාත්මකව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීම සඳහා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් මහා භාරකාර දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ලේක්හවුස් ආයතනය සමඟ එක්ව මිහින්තලා ආලෝක භාරය ඇරැඹිණි.

මිහින්තලා ආලෝක භාරය මිහින්තලා පුදබිම ආලෝකවත් කිරීමට ම පමණක් සීමා නොවූයෙන් 1989 සිට උතුරු මැද පළාතේ පාසල් දරුවන් 125 දෙනෙකු සහභාගී කරවා ගනිමින් සීල සමාදාන පින්කමක් ඇරැඹූහ. එය ක්‍රමයෙන් වර්ධනය වී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ ස්වර්ණ ජයන්තිය අනුස්මරණය කැරෙන මේ වසරේ මිහින්තලේ ප්‍රදේශයේ දහම් පාසල් දරුවන් දහසකට පමණ මහා භාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් සිල් රෙදි පිරිනැමූ බව කෘතවේදීව සිහිපත් කරමු.

එසේ සිල් රෙදි ලබා ගත් දරුවන් දහසක් දෙනා මෙවර මිහින්තලා පුදබිමේ දී පෙහෙවස් සමාදන්වන අතර එම දහසක් දරුවන් වෙත හීල දානය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් පිරිනැමේ.

ඊට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවන දීප ව්‍යාප්ත රචනා තරගය හා උතුරු මැද පළාතේ පාසල් දහම් පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් කථික තරගය ද මෙවර ද පැවැති අතර ඊට අදාළ මුදල් ත්‍යාග වශයෙන් දීප ව්‍යාප්ත රචනා තරගයේ හා උතුරු මැද පළාතේ කථික තරග කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ දෙඅංශයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා රු. 10000, 7500, 5000 වශයෙන් ද සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රු. 1000 බැගින් ත්‍යාග ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් පිරිනමනු ලැබේ.

කථික තරග අංශ දෙකේ ප්‍රථමයන් සහ රචනා තරගයේ ප්‍රථමයා වෙනුවෙන් ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානයත් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානයත්, බුදුසරණ සම්මානයත් පිරිනැමීමට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කටයුතු යොදා ඇත.

වෙසෙසින් ම උතුරු මැද පළාතේ දූ දරුවන්ගේ අධ්‍යාපනික හා ආර්ථික තත්ත්වය සංවර්ධනය කිරීමෙහිලා අවධානය යොමු කළ මිහින්තලා ආලෝක භාරය ව්‍යාපෘතිි රැසක් ක්‍රියාත්මක කළහ. ඒ අනුව 1990 දී කම්මලක්කුලම ගමට විදුලිය ලබාදීම, කම්මලක් කුලම විදුහලට විද්‍යාගාරයක් ලබාදීම, මිහින්තලා මහ විදුහල් භූමියේ ‘බුදුසරණ – දිනමිණ’ පුස්තකාලය පිහිටුවීම ඊට අවශ්‍ය පොත පත පරිතා්‍යග කිරීම, 1992 දී මිහින්තලා රෝහලට මාතෘ නිවාසයක් ලබා දීම 1993 දී මිහින්තලා කනිටු විදුහල් භූමියේ දන්ත චිකිත්සාගාරයක් ඇරැඹීම 1994 දී කුරුන්දන්කුලම විදුහලේ වඩු කාර්මික වෘත්තීය පුහුණු වැඩ මුළුවක් ඇරැඹීම කටුපොත ග්‍රාමයට ළදරු පාසලක් ලබා දීම ආදිය සිහිපත් කළ යුතු ය.නව ලොව නව තාක්‍ෂණික දැනුම ලබාදීමේ අරමුණෙන් 1997 දී මිහින්තලා මහ විදුහලට පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ලබාදීමද 1998 දී උඩමළුවට දොළොස් මහේ පහනක් හා පහන් ගෘහයක් පිදීමද වෙසෙසින් සිහි කටයුතු ය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමාගම හෙවත් අපේ රටේ ‘පත්තර මහ ගෙදර’ මගින් පුවත් පවස සංසිඳුවමින් දැයේ නැණ පහන් දැල්වීමට සිදු කැරෙන අත්‍යුදාර මෙහෙවරට අමතරව රට, දැය, සමයෙහි පුනර්ජීවය සඳහා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමාගාමීව සිදු කළ හා දැනටත් සිදු කැරෙන උදාර මහ මෙහෙවර මෙරට සම්භාවනීය පූජනීය මහ සඟරුවනෙත් බොදු මහ ජනතාවගේ මහත් පැසසුමට ද ලක්ව පවතී.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා මිහින්තලා රාජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ දී විහාරස්ථානයේ අඩු පාඩු පිළිබඳ සොයා බලා ඇත. එහිදී විහාරස්ථානයට පොහොය ගෘහයෙහි අවශ්‍යතාවය පිළිබඳ විහාරාධිපති නාහිමියෝ දැනුම් දී ඇත. ඒ අවස්ථාවේම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුරකතනයෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අමතා පොහොය ගේ ඉදිකිරීම් කටයුතු සිදු කර දෙන ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව ලේක්හවුස් සභාපතිතුමා සීමාසහිත මැලිබන් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් එම පොහොය ගේ ඉදිකිරීම් ඇරැඹීමට පියවර ගෙන තිබීම ලේක්හවුස් ආයතනය සිදු කරන සත් ක්‍රියාවන් සඳහා සමීපම නිදසුනය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය ඉදි කරන ලදී.මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවයේ ස්වර්ණ ජයන්තිය යෙදී ඇති මෙවර ජූනි මස 3, 4, 5 තෙදින පුරා ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයෙන් ආලෝක පූජාව

පැවැත්වේ.මෙම 3 වන දා පස්වරු 3 ට මිහින්තලය කනිටු විදුහලේ ළමා උද්‍යානය විවෘත කිරීමට නියමිත අතර එම අවස්ථාවට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා ප්‍රාදේශීය සභා සභාපතිතුමා හා විදුහල්පතිතුමිය ඊට සහභාගී වෙති.පස්වරු 6 ට මිහින්තලා ආලෝක පූජාව විවෘත කිරීම නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කැරේ.පොසොන් පෝදා පෙරවරු 6 ට සීල සමාදාන වැඩසටහන ආරම්භ වේ. පෙරවරු 8.30 ට දහම් දෙසුම දොඩම්ගොඩ අස්සජි නාහිමියන් විසින් පවත්වනු ලැබේ. 10.30 දවල් පූජාවද පස්වරු 4 ට මිහින්තලා රජමහා විහාරයේ අභිනව සීමා මාලකය විවෘත කැරේ. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්වරු ඇතුළු අනුරාධපුර දිසාවේ සියලු මැති ඇමැතිවරුන් එම අවස්ථාවට සහභාගි වනු ඇත. උතුරු මැද පළාතේ ආණ්ඩුකාරතුමා, පුරාවිද්‍යා කොමසාරිස්තුමා, මහා භාරකාරතුමා, අනුරාධපුර දිසාපතිතුමා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් තුමා මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන්ද ලේක්හවුස් ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ද මැලිබන් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ඒ.ජී. සමරජීව මහතා මැලිබන් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩල නිලධාරීහුද එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. විදුලි ආලෝකය විවෘත කිරීමෙන් අනතුරුව රචනා හා කථික තරග ත්‍යාග ප්‍රදානය ද එදින සිදු කැරේ.මෙම 5 වැනි දා අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා, ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය, ප්‍රදේශයේ මැති ඇමැතිවරු මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් තුමා, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ආලෝක පූජාව විවෘත කැරේ.අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන මහ රහතන් වහන්සේලාගේ පහසින් ආලෝකය ලද සිරිලක සිරි සදහම් සුව ගලාගිය කේන්ද්‍රස්ථානය මිහින්තලා පුදබිමයි. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පූජනීය හා වන්දනීය වූ මහ පින්කමකි.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]