UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රායෝගිකවම බෞද්ධ ජීවන මාර්ගයට පිවිසෙමු

මුළු ලොවටම නැති ලෙසින් ලෝකයේ ප්‍රඥා සම්පන්න දහමක් වන බුදු දහමේ සැබෑ උරුමක්කරුවන් අපි බව යළි යළිත් නිහතමානීව සිහිකළයුතු වෙමු. ඉන් නොනැවතී ඒ ශ්‍රේෂ්ඨ දහමේ උතුම් හරයන් අපේ ජීවිතවලට ප්‍රායෝගිකවම ළඟා කර ගත යුතු වෙමු. එය වෙන කවරදාකටත් වඩා අපේ ජීවිතවලට අවශ්‍යම කාලය දැන් උදා වී තිබේ

පසුගිය වෙසක් පුන් පොහෝ දිනයට ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් සම්පූර්ණ විය. අද උදා වූ පොසොන් පුන් පොහෝ දිනයට අරහත් මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්වීපයට එකී නිර්මල ථෙරවාදී බුදු දහම නිල වශයෙන් හඳුන්වා දී වසර 2248 ක් ලබයි.

ගෙවී ගිය සියවස් 22 කට වැඩි කාලය පුරා නිර්මල බුදු දහම මේ රටේ ප්‍රධාන ආගම බවට පත් විය. එබැවින්ම බුදු දහම මෙරට ජනතාවගේ චින්තනය සහ ජීවන මාර්ගය හැසිර වූ මහා බලවේගය ද විය. සමානාත්මතාව, අහිංසාව, මානව හිතවාදය මෙන්ම අල්පේච්ඡතාව වැනි උතුම් ගුණාංග ලෝකයේ වෙන කොතැනක හෝ නැති පරිදි අපේ ජීවිත තුළට කිඳා බැස ඇත්තේ එබැවිනි. ඔවුන් කළ කී සියලු දෙයෙහි එහි ගුණරුව මැනවින් දැක ගත හැකි විය.

පුරා වසර 30 ක් තිස්සේ මෙරට වටිනා ජීවිත දස දහස් ගණනක් බිලි ගනිමින් මිලේච්ඡ භීෂණයේ යෙදුණු කුරිරු කොටි ත්‍රස්තවාදියා පවා රණබිමේ දී අසරණ වූ විට මහත් දයාවෙන් ආහාරපාන, වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම රැකවරණය ද දීමට තරම් අපේ රණ විරුවන් මානුෂික වූයේ එබැවිනි. කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකමින් සිටිය දී 2004 සුනාමියෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවට සිය ඇඳි වත පමණක් නොව අතට ගත් බත් පත පවා දෙවරක් නොසිතා තිළිණ කිරීමට මෙරට ජනතාව පෙරමුණ ගත්තේ එබැවිනි. එහි අරුත නම්, පසුගිය වසර 500 කට සමීප කාලයක් පුරා මෙරට ජනතාවට බුදු දහම හුරු කළ උතුම් ගුණාංග විනාශ කිරීමට විවිධ බලවේග ගත් සියලු උත්සාහයන් ගඟට කැපූ ඉණි මෙන් නිරර්ථක වී ඇති බවයි.

එහෙත් අතීතය සැමවිටම එකම ලෙස නොපවතින බව බෞද්ධයන් වන අපි මැනවින් වටහාගත යුතු වෙමු. මුළු ලොවටම නැති ලෙසින් ලෝකයේ ප්‍රඥා සම්පන්න දහමක් වන බුදු දහමේ සැබෑ උරුමක්කරුවන් අපි බව යළි යළිත් නිහතමානීව සිහිකළයුතු වෙමු. ඉන් නොනැවතී ඒ ශ්‍රේෂ්ඨ දහමේ උතුම් හරයන් අපේ ජීවිතවලට ප්‍රායෝගිකවම ළඟා කර ගත යුතු වෙමු. එය වෙන කවරදාකටත් වඩා අපේ ජීවිතවලට අවශ්‍යම කාලය දැන් උදා වී තිබේ.

නූතන ලෝක යථාර්ථයන් හමුවේ අපගේ මාතෘ භූමිය මෙන්ම ශ්‍රී ලාංකීක ජනතාව ද මේ තරම් අභියෝග සහ අතුරු අන්තරාවලට මුහුණ දෙන යුගයක් ඉතිහාසයේ තවත් නොවන බැවිනි.

එබැවින් මෙරට මහා සංඝයා වහන්සේලා ඉතාම නැණ නුවණින් යුක්තව බුදුන් වහන්සේ වදාළ පරිදිම බහුජන හිත සුව පිණිස, බුදු දහමේ හරය නිවැරදිව ජනතාවට වටහා දීමට ක්‍රියා කළ යුතුව තිබේ. එය කළ යුතු වන්නේ ජනතාවට ප්‍රායෝගික වශයෙන් ක්‍රියා කළ හැකි පරිදි වීම ඉතා වැදගත් වේ.

ජනතාව ද සිය උප්පැන්න සහතිකයේ බෞද්ධකම වෙනුවට සිහි නුවණ මෙහෙයවා ප්‍රායෝගිකවම බෞද්ධ ජීවන මාර්ගයට පිවිසීමට කටයුතු කළ යුතු ය.

මේ නිසා මෙවර උදා වී ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් උදා වූ ඉතා වැදගත්ම පොසොන් පුන් පොහොය බව අප සිහි කළ යුතු ය. එලෙස සිතා ක්‍රියා කිරීම රටේත්, ජනතාවගේත්, පුද්ගලයාගේත් යහපත පිණිස හේතු වන්නේ ය.

ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි!

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]