UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රෛ නිකායික මහ නාහිමිවරුන්ගේ වෙසක් සුබ පැතුම්

නිමල දහම නිවැරැදිව සංනිවේදනය කළ යුතු ය

සසර පැවැත්ම නවතා, සකල ක්ලේශයන් ප්‍රහීණ කොට, ලෝකස්වභාවය ස්වකීය ඤාණචක්‍ෂුසයෙන් අවබෝධ කොටගත් තථාගත බුදුපියාණන් වහන්සේ මින් වසර 2600 ට පෙර සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

ඒ ලෝක සත්වයා කෙරෙහි වූ අපිරිමිත හිතානුකම්පී භාවය නිසාය. පුරා පන්සාළිස් වසක් අසහාය කරුණාදිගුණෝපලක්‍ෂිතව ලෝක සත්වයා ඝෝර සසරින් එතර කිරීම සඳහා ලෝකාර්ථචර්යාවෙහි නිරතව, බුදුකිස නිම කළ ද ස්වක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඕපනයිකාදී ගුණෝපේත ශ්‍රී සද්ධර්මය අදත් එලෙසම ජීවමානව තිබීම අප කාගේත් භාග්‍යයට හේතුවක් ය. මේ එළඹ ඇත්තේ ඒ සද්ධර්මය භාවිතයට ගතයුතු කාලයයි. අප නිවැරදිව සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිළිවෙත් පුරන්නේ එවිටය.

සම්බුදු දහම පිළිබඳ දැඩි ඇල්මක් පවතින මෙවන් වකවානුවක අපේ මහා සංඝරත්නය ඒ නිමල දහම නිවැරදි අයුරින් මහජනයාට සංනිවේදනය කිරීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ධර්මය කියවිය යුතුය. ධර්මය ප්‍රගුණ කළ යුතුය. ධර්මයෙහි හැසිරිය යුතුය.

එවිට තමන් ධර්මයෙන් පොහොසත් වන අතර අන් අයට ද එය බෙදා දීමට ශක්තියක් උදාවෙයි. එසේ නොවුන කළ සිදුවන්නේ හුදෙක් නිර්මල සද්ධර්මය වෙනුවට ස්වකීය මතයන් ඉස්මතු කොට දක්වන පිරිසක් ඇතිවීමත් ඒ පිරිස පිටුපස යන අන්ධ අනුගාමිකයින් පිරිසක් බිහිවීමත් ය. වර්තමානයේ මේ තත්වය ඉස්මතු වන අවස්ථාවන් බහුලව පවතී. එබැවින් මේ තත්ත්වය තේරුම් ගෙන නිර්මල සම්බුදු දහම නිවැරදිව සන්නිවේදනය කිරීම සඳහා ධර්ම විනය දෙකින් පොහොසත් ව්‍යක්ත – පටිබල භික්‍ෂු පිරිසක් අප ඇතිකළ යුතුය. ඒ සඳහා අප මේ එළඹ ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය.

සම්බුදු දහම අකාලික ගුණයෙන් පිරිපුන් නිසාත් උසස් මනසකින් යුත් පිරිසක් උදෙසා දේශික වූවක් නිසාත්, එම දහම අවබෝධ කොට ගත යුත්තේ ද මිනිසුන් වන අපමය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නුවණ සහ උත්සාහය යි.

අපගේ සිත් තුළ පවතින ළාමක අකුසලයන්ට යටත් නොවී, වසඟ නොවී, වහල් නොවී, සම්බුදු දහම නුවණින් විමසා බලා උත්සාහය තුළින් එහි යෙදෙන්නේ නම් එය අවබෝධ කොට ගැනීම එතරම් අපහසු වන්නේ නැත. ඒ තුළින් අර්ථවත් මිනිසෙක්, සදාචාර සම්පන්න සමාජයක් දැහැමි රටක්, යහපත් ලොවක් බිහිකර ගැනීමට මග පාදයි.

නිර්මල සද්ධර්මය ජනතාව අතරට ගෙන යෑමට බුදුසරණ පුවත්පත ගෙනයනු ලබන ප්‍රයත්නය අප අගය කරන අතර තව ඉදිරියටත් මෙම ධර්ම සන්නිවේදන කාර්ය ඉටුකරගෙන යෑමට ප්‍රධාන කර්තෘතුමා ඇතුළු ඒ හා සම්බන්ධ සියලු භවතුන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා යි ප්‍රාර්ථනා කරම්හ.


ජීවිතයට සද්ධර්මාලෝකය ලබා ගනිමු

ශ්‍රී බුද්ධ වර්ෂ 2555 හෙවත් 2011 වසරේ වෙසක් පුණු පොහොයෙන් ආරම්භ වූ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන වසරක් පුරාම බෞද්ධ ජනතාව අනේකවිධ වූ පුණ්‍ය කටයුතුවල නියැලෙමින් සම්බුද්ධෝපහාරයන් දැක්වූහ. එසේ ආරම්භ වූ සම්බුද්ධත්ව ජයන්ති වසර 2012 වෙසක් පුණු පොහෝ දිනයෙන් අවසන් වූවද දෙලොව අභිවෘද්ධිය සලසා ගනු පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ආලෝකය අප ජීවන පැවැත්ම තුළ නිරන්තරයෙන් ප්‍රායෝගිකත්වයට පත් කර ගනිමින් අවදිමත් බවකින් යුතුව අනලස්ව කටයුතු කර ගැනීමට සෑම බෞද්ධයෙකුම උත්සාහවත් විය යුතු වේ.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ජනතාව බුදු තෙමඟුල අනුස්මරණය කරනු පිණිස සීල භාවනාදී ප්‍රතිපත්තිමය ආගමික වැඩසටහන් සහ දන්සැල් පැවැත්වීම, වෙසක් සැරසිලි සිදුකිරීම් ආදී විවිධ කාර්යන්හි යෙදුණු අතර මෑතක සිට එම වෙසක් සැරසිලි ආදිය වඩාත් සංවිධානාත්මක ලෙස සිදුවනු දැක්ම මහත් සතුටට හේතුවකි. එසේ වුවද එහිලා පැරැන්නන් වෙසක් සැරසිලි වලින් අපේක්‍ෂා කළ දෑ ඉටු නොවීම කනගාටුවටද කරුණකි. බුද්ධචරිතය හෝ ජාතක කතා වස්තුවක් තේමා කරගත් වෙසක් සැරසිලි වලින් එදා පැරැන්නන් බලාපොරොත්තු වූයේ බොදුනුවන්ගේ සිත් තුළ වඩාත් සංවේදී අයුරින් දැහැමි සංකල්පනාවන් වර්ධනය කිරීමය. එහෙත් වර්තමානයේ වාණිජත්වය පදනම් කරගත් වෙසක් සැරසිලිවලින් සිදුවන්නේ බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කර ලීමට වඩා තාවකාලික විනෝදාස්වාදයක් ලබාදීමය. එහෙයින් වර්තමානයේ ද අපේ මතු පරපුරට වඩාත් අර්ථවත් වූ දැහැමි සංකල්පනාවන් ගොඩනගාගන්නට හැකි වන අයුරින් මෙම වෙසක් සැරසිලි ආදිය නිර්මාණය කරන්නේ නම් හෝ ඒ සඳහා සන්නිවේදන මාධ්‍යයන් මගින් යහපත් ප්‍රචාරයක්ද ලබා දෙන්නේ නම් එය වෙසෙසින් පැසසිය යුතු කරුණකි.

පරමාය පුජාය පටිපත්ති පූජාය යන බුදු වදනට අනුව බුදුරජාණන් වහන්සේට කරනු ලබන නියම පූජාව නම් උන්වහන්සේ නිවන් මඟ පසක් කරගන්නට පෙන්වා වදාළ ප්‍රතිපත්තින්හි අවංකව නියැලීමයි. සම්බුද්ධධත්ව ජයන්තියේ තේමාව ද පිළිවෙතින් පෙළ ගැසෙමු යන්න වේ. ගෙවී ගිය වකවානුව පිළිබඳව සිතා බලන විට ලංකාවාසී බෞද්ධ ජනතාව කෙතරම් දුරට මේ ආදර්ශය සිය පැවැත්මෙන් ප්‍රකට කළේ ද යන්න නැවත නැවතත් විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය මඟින් විකාශනය වන සමහර වැඩසටහන් නිසා සිදුවන ජාතික, ආගමික සහ සංස්කෘතික පරිහානිය අවම කර ගැනීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් වී ඇත.

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වසරකට සීමා නොකොට ප්‍රතිපත්ති ගරුකවීමෙන් සහ එයට අදාළ ආමිස පූජාවන්හිද නියුක්ත වීමෙන් යහපත් පූර්වාදර්ශයක් මෙරට පරපුරට ලබාදීම කෙරෙහි ගිහි පැවිදි උභය පක්‍ෂයෙහිම විශේෂ අවධානයක් යොමු විය යුතු වේ. එදා අපගේ මෙම මාතෘභූමිය, ධර්මද්වීපය යනුවෙන් හැඳින්වූයේ ද බුදු දහමින් ලද ආචාරාත්මක ශික්‍ෂණයෙන් පෝෂිත උදාර සිංහල ජනතාවක් මෙරටෙහි වාසය කළ බැවිනි. එම උදාරතර ජාතික ආගමික වාතාවරණය මෙරටෙහි යළිත් ඇතිකරලීම බුදුරජාණන් වහන්සේට කළ හැකි උතුම්ම උපහාරයද වෙයි. නිරර්ථක, ආත්මාර්ථකාමී සිතිවිලි වලින් බැහැරව එක්සත්ව එක්සිත්ව එම උදාර පරමාර්ථය ඉටු කරගන්නට තෙරුවන් සරණින් සියලු දෙනාටම දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය හිමි වේවා. තෙරුවන් සරණයි.


පවෙන් වැළකී සුචරිතයෙහි හැසිරෙමු

ශාන්තිනායක භාග්‍යවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ පරම වූ ඒකායන මාර්ගයම වූ සම්මාදිට්ඨිය මුල්කොට ගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව දෙදහස් හයසිය වසරක් සම්පූර්ණවීම අද සිදුවේ. මේ සා දීර්ඝ කාලයක් ගතවීත් අපි සසර මෙලෙස සැරිසැරීම ගැන විවේකීව සිතීමට හොඳම හෝරාව දැන් අපි පසුකරමින් සිටිමු.

බුද්ධෝත්තමයකු අවුරුදු අසංඛෙය්‍ය කල්ප ගණනාවකට පසු ලොව පහළ වන්නේම සසර වසන සත්ත්වයාට ජරා - ව්‍යාධි – මරණා දි ධර්මතාවයන් පහදා දී සසරෙන් එගොඩ කරවාලීමට මය. නැතහොත් නැවත සැප ඇති සුගති උත්පත්ති සලසා ගැනීමට නම් නොවේ. එවැනි යම් දේශනාවක් ඇත්තේ නම් එවැනි ප්‍රාර්ථනා ඇත්තන් සඳහා මිස සියලු දෙනාට නොවේ.

අරහත්වය ලබන තුරා අපි කෙලෙස් ඇත්තෝ වෙමු. අවම වශයෙන් සෝතාපන්න තත්ත්වයේ කෙනෙක් වනතුරු ද අපායාදී උත්පත්තීන් ගෙන් මිදිය හැකිය යනු සහතිකයක් අපට නැත. එනිසා මාර්ගඵල අවබෝධයක් ලබාගන්නා තුරු අපෙන් පව් සිදුවිය හැක.

එහෙත් සෝවාන් වනතුරු පවෙහි හැසිරිය හැකි හෝ පවෙන් වැළකී සිටිය නො හැකිය යන පණිවිඩයක් මෙයින් ගම්‍ය නොවන බව අදවන් දිනෙක අපි තරයේ සිතට ගතයුතු වෙමු ය.

එහෙයින් මේ අදහස් තදින් සිතට ගෙන පළමුකොට පවෙන් වැළකෙමින් සුචරිතයෙහි හැසිරීමට අපි අද සිට හෝ අධිෂ්ඨාන කරගමු. ධර්මයෙහි හැසිරීම යනු මෙයයි. තෙරුවන් සරණ යාම නම් ද මෙයම වේ.

බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය අනුගමනය කොට සියලු කෙලෙස් ප්‍රහීණය කොටගත් උතුම් වූ නිවන අපි ද ලබාගමු. පෘථග්ජන අපි කල්‍යාණ පෘථග්ජන භාවයට පත්ව ධම්මානුසාරීව වෙසෙමින් අඩුම වශයෙන් මේ බුදු සෙවනැල්ල යටටවත් යාමට සම්බුද්ධත්ව ජයන්තිය සිහි කෙරෙන මේ කාලයෙහි දී උත්සාහ කරමු.

සියලු සත්ත්වයෝ සසර දුකින් මිදෙත්වා - නිවන් ලබත්වා.


පිළිවෙතින් සරු දහම් දීපයක් වෙත

සකලවිධ බෞද්ධ මහජනතාවටම වෙසක් දිනය අතිශය සම්භාවනීය වූ උත්සව දිනයක්ව ඇත්තේ ආගමික හේතු ගණනාවක් නිසාවෙනි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් මෙවර වෙසක් දිනය සමරන්නේ සම්බුද්ධත්ව ජයන්තියෙන් වසර 2600 ද සිහිපත් කරවමිනි. පසුගිය වසරෙහි ඒ පිළිබඳව අනුස්මරණය කොට ඇරඹි සියලු ආගමික ක්‍රියාදාමයනට දැනට වසරකුදු ගත වී ඇත.

පිළිවෙතින් පෙළ ගැසෙමු යන තේමාව මුල්කොට ගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ප්‍රඥප්තීන් කෙතෙක් දුරට සාර්ථකවී ඇත්දැයි සිහිපත් කරන්නේ නම් අගනේ ය.

ස්වභාවයෙන්ම බෞද්ධ ජීවිතය පිළිවෙතින් සරුවිය යුතුමය. අවමයෙන් පංචශීලය හෝ සුරකින්නේ නම් සියලු දනන්හට ඉන් අත්වන සුවය අපමණය. කෙතරම් කාර්මික, තාක්‍ෂණික හා විද්‍යාත්මක දියුණුවක් ලද ද ආධ්‍යාත්මික සංවරය, සදාචාරය, ඒ හා සමඟින් නොවන්නේ නම් අප ලබන්නේ කවර ජයග්‍රහණයක්ද? සියල්ල සැබැවින්ම නිශ්ඵලය.

වත්මනෙහි අප තරුණ පිරිස් බුද්ධිමත්ය, පෙරකවරදාටත් වඩා ඔවුහු දැනුම් පිපාසයෙන් පිපාසිතයහ. නව දැනුම සොයා යන ඔවුනට බුදුදහමේ විදුහුරු බව ප්‍රඥාගෝචර බව පසක්වී ඇති ආකාරය අපූරුය.

එසේ හෙයින් බොහෝ තරුණ පිරිස් භාවනා ක්‍රමයන්ට හා ප්‍රඥාගෝචර දේශනයන්ට සවන් යොමුකරවන ආකාරයක් දැකිය හැකිය. එවන් පසුබිමක් තුළ අපගේ ද කාර්යභාරය වන්නේ දැයේ පෙරගමන්කරුවන් බවට පත්වන තරුණ පිරිස් වෙත ද බුදු දහමෙහි හරය තේරුම්කරදීමට උත්සුකවීමයි.

එහිලා සුවිශාල කාර්යභාරයක් අප තරුණ භික්‍ෂු පිරිස් වෙතින්ද ඉටුවනු දැකීම මහත් අස්වැසිල්ලකි. මෙවර වෙසක් දිනයෙහි අපගේ තේමාව විය යුත්තේ වත්මන් ලොවෙහි තරුණ පිරිස් ද වඩවඩාත් දහමට නැඹුරු කොට ගනිමින් පිළිවෙතින් සරු දහම් දිවයිනක් ලොවට විවෘත කිරීම යයි මම පෞද්ගලිකව විශ්වාස කරමි.

ඒ හැරත් නව ලොවට දීමට අපට වෙනත් යමක් ඇද්දැයි විමසනු වටී. සැමට සුබ වෙසක් සමයක් උදාවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]