UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2012.05.05

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරමු බැතියෙන්

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ඓතිහාසික ආගමික දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දවසයි.

ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවෙමින් එම අසිරිමත් දිනය තම ජීවිතයේ ද අනුස්මරණීය දිනයක් බවට පත් කර ගත යුත්තේ කෙසේදැයි බොදුනුවා කල්පනා කළ යුතුව ඇත.

බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ ගුණයෙන් යුක්තය. මහ සයුරෙන් දිය බිඳක් ගෙන මේ මහා සයුර යැයි කිව නොහැක්කේමය. මහ පොළොවෙන් පස් පිඬක් ගෙන මේ මහා පොළොව යැයි කිව නොහැක්කේ ම ය. එමෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ සම්බුදු ගුණ කියා හෝ ලියා නිම කළ නොහැක්කේම ය.

ඒ අනන්ත බුදුගුණ මෙනෙහි කරමින් ජීවමාන බුදුරුවක් තම තමන්ගේ සිත් සතන්හි තැන්පත් කර ගනිමින් ඒ බුදුගුණ මොහොතකට හෝ මෙනෙහි කළ හැකි නම් ඉන් ලබන්නේ අපමණ සැනසීමකි.

බුදුරජාණන් වහන්සේ පුදන සැබෑ බුද්ධ පූජාව නම් හැකිතාක් ප්‍රතිපත්ති පූජාවට ම යොමු වීමය.උතුම් වෙසක් පොහොයෙහි සැබෑ අරුත මෙනෙහි කළ යුතුව ඇත.අපේ ශාස්තෘන් වහන්සේ වන සම්මා සම්බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම උදෙසා අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්‍ෂයක් පූරා දානාදී දස පාරමී දම් සපිරූහ.

ඒ පාරමී ධර්මයන්හි බලය අද පවා බොදුනුවන්ට ඇස් පනාපිට දැක ගත හැකි නොවේද?දිනපතාම හිමිදිරියේත් දවල්ටත් ආහාර බුද්ධ පූජාවෙන් සහ සවසට ගිලන්පස බුද්ධ පූජාවෙන් පිදුම් ලබන්නේ අපේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ ම පමණි.

අපේ රටේ සෑම විහාරස්ථානයකම මෙන්ම බොහෝ බොදු නිවෙස්වල ද බුද්ධ පූජාව දිනපතා පවත්වනු ලබන්නේ කෙතරම් ශ්‍රද්ධා ගෞරවයකින්ද? සෑම දිනකම එකම වේලාවකට ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජාවට පාත්‍ර වන ශාස්තෘවරයකු ලොව තවත් වේද?

ඇති නැති හැම දෙනාට නොවරදවා තම ත්‍යාගශීලිත්වය ප්‍රකට කරවන උතුම් දිනය ද වෙසක් පොහොය දවස නොවේද?

අන් කවරදාකවත් දුගී මගී කිසිවකුටත් රුපියල් ශතවලින් උදව් උපකාර නොකරන කවර අයකු වුවද වෙසක් පෝදාට පන්සලට ආධාර උපකාර කිරීමට දන්සැලට ආධාර උපකාර කිරීමට, වෙසක් පින්කමට ආධාර උපකාර කිරීමට නොපෙළඹේද? සතාසිව්පාවෙකුටවත් බත් පිඬක්, දිය පොදක් නොදෙන තැනැත්තාද වෙසක් පෝදාට මසුරුකම පසෙකලා දන් දෙති.

වෙසක් පෝදාට බලන බලන තැන දන්සැල් ය. කුඩා තරුණ ආදී හැම කෙනෙක්ම දන්සැල් පිරිනමන්නේ මහත් ඕනෑකමෙනි. වෙසක් පෝදා ආහාරපානාදියෙන් අන්‍යයන් වෙත සංග්‍රහ කරන්නේ බලහත්කාරයෙන් මෙනි.

ඒ අපේ හෙළ සංස්කෘතිය පෝෂණය කළ බෞද්ධ සංස්කෘතිය නිසාමය.

සිසිල් පැන් දන්සැල, තේ කෝපි දන්සැල, සව් දන්සැල, කඩල දන්සැල, පාන් දන්සැල, බත් දන්සැල ආදී විවිධ මාදිලියේ ආහාර පානාදියෙන් වෙසක් පෝදාටම දන්සැල් දෙන්නේ ඇයිදැයි මොහොතක් මෙනෙහි කර බලන්න.

දන්සැල් දීමටම පමණක් නොවේ තමාගේ ශරීරයේ ලේ ටික රෝගීන් සුවපත් කිරීමේ අරමුණෙන් ලේ දන්දෙන්නේ ද ඒ බොදු සංස්කෘතියේ හැදියාව නිසා නොවේ ද?

ජීවතුන් අතර සිටියදී නොව මළාට පසුවත් තම ශරීරයේ නෙත් දෙක දන්දීමට පොරොන්දු පත්‍රයක් ලියා ජීවතුන් අතර සිටියදී ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රයකට අත්සන් තබන්නේ ද බොදුනුවාමය.

අභාවයෙන් පසු නෙත් දෙක පමණක් නොව තම සිරුරම වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්නැයි අවසාන ඉල්ලීම කරන්නේ ද කීයෙන් කී දෙනෙකුද?

බොදුනුවා පරිත්‍යාග කිරීමට මෙතරම් ත්‍යාගීවන්තයකු වූයේ කෙසේද? ඒ සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් බෝසත් සිරිතෙන් පෝෂණය වූ නිසාම නොවේද? එසේ නම් අදවන් උතුම් දිනයක සුදුවතින් සැරසී පන්සල වෙත ගොස් පෙහෙවස් සමාදන්ව හැකිතාක් ප්‍රතිපත්ති පූජාවෙන් දිනය ගත කිරීමට අමතක නොකළ යුතු ය.

අවුරුද්දේ අන් කවරදාටවත් පන්සලට නොයන තැනැත්තාද මේ උතුම් දවසේ පන්සල වෙත ගොස් උපාසක උපාසිකාවන් ලෙස දිවි ගෙවන්නේ ශීලාදී ගුණ දහම්හි නිරත වීමෙනි.

ගත සිත සනහන පින්බර වෙසක් පෝදා උදාව බලන දකින හැම තැනම බොදු ආගමික වතාවත් ය. වෙසක් සැරසිල්ලෙන් ගත සිත පහන් කරවයි. කලබලකාරී බවෙන්තොර වූ දකින දසුන් සන්සුන් ය. සංවරය.

බොදු සංස්කෘතිය සුරැකමින් ආගමික වතාවත්වල නිරතවී උදා වූ වෙසක් පුර පසළොස්වක පෝය දවස තම දිවි පෙවෙතේ අනුස්මරණීය ආගමික දිනයක් බවට පත්කර ගැනීමට කල්පනා කරමු. උත්සාහ කරමු. තෙරුවන් සරණින් සියලු දෙනා වෙත උතුම් සම්බුදු තෙමඟුලෙහි ආසිරි ලැබේවා.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]