UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක

අමුණුගොඩ ශ්‍රී සෝමානන්ද නාහිමි

අසූවන ජන්මෝත්සවය සමරන අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සිරිපැරකුම්බා සාමණේර ආයතනයේ උපාධ්‍යාය අමුණුගොඩ ශ්‍රී සෝමානන්ද නාහිමි. ජනවාරි 21 වනදා සතිපිරිත් දේශනාව ඇරැඹුණු අතර 28 වනදා ශතාධික සංඝගත දක්ක්‍ෂිණාවද 29 වනදා මහා පෙරහර ද පැවැත්වීමට නියමිතව තිබිණි.


නිවැරැදි භික්‍ෂු ආකල්පයෙන් උපලක්‍ෂිත මහ තෙර නමක්

ඉධ භික්‍ඛවෙ භික්‍ඛු සීලවා හෝති,
සමාදාය සික්ඛති
සික්ඛාපදේසු බහුස්සුතො හොති.
සම්මා දිට්ඨිකො හෝථ........
සො භික්‍ඛු අහෙන්‍යොති

ඉඹුල්ගොඩ – අමුණූගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරාධිපති අමුණුගොඩ ‘සද්ධම්වාගීශ්වර විනය කීර්ති ශ්‍රී’ සෝමානන්දාභිධාන සියනෑ කොරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උක්ත දේශනා පාඨයට ගැළපෙන භික්‍ඛු සීලවා හෝති, සමාදාය සික්ඛති සික්ඛාපදේසු බහුස්සුතො හෝති, ශික්‍ෂාකාමී බහුශ්‍රැත, නිවැරැදි භික්‍ෂු ආකල්පයෙන් උපලක්‍ෂිත මහ තෙරුන් වහන්සේ නමකි.

ශ්‍රී සෝමානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතා වටිනා ලෝක ශාසන සේවාවක් සිදු කරති. උන්වහන්සේගේ ආදර්ශය, අවවාදය, අනුශාසනය ගිහි පැවිදි දෙපාර්ශවයටම බෙහෙවින් අර්ථදායී වන්නේ ය. විශේෂයෙන් හැදෙන වැඩෙන දහර භික්‍ෂූන් වහන්සේට ශ්‍රී සෝමානන්ද නාහිමියන්ගේ ඇසුර යහපතටම හේතු වන්නේ ය.

ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද, ශාස්ත්‍රපති ගෝනවල පියනන්ද, ශාස්ත්‍රවේදී කන්දෙයායේ විමලානන්ද, ආචාර්ය කන්දෙයායේ දේවානන්ද ඇතුළු දැන උගත් ශාසනමාමක, ක්‍රියාශීලි ශිෂ්‍ය පිරිසක් ශාසනයට දායාද කරලීමට හැකිවූයේ ඒ නිසා ය. විහාරස්ථ සාමණේර ආයතනය බොහෝ කැපවීමෙන් පවත්වාගෙන යනු ලබන නාහිමියන්ගේ එම වටිනා සේවා කටයුතු සදා අනුස්මරණීය වන්නේ ය.

ස්වකීය ආචාර්ය ප්‍රාචාය්‍යයන් වහන්සේගේ ආකල්පයෙන් ශෝභමත්ව අපේ මල්වතු මහා විහාර සම්ප්‍රදායන් කෙරෙහි අකලංක ගෞරවයෙන් කටයුතු කරන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිරතුරුව දළදා සමිඳු වැඳ පුදා ගැනීමද සිදු කරති.

උපතින් අසූ වන විය සපුරාලන ගෞරවාර්හ අමුණුගොඩ “සද්ධම්මවාගීස්වර විනය කීර්ති ශ්‍රී “ සෝමානන්දාභිධාන සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණින්, සියලු දෙවි පිහිටෙන් හා සිරි දළදා පිහිටෙන් ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධ වේවායි මෙත් සිතින් ආශිංසනය කරම්හ.


අමුණුගොඩ නායක හාමුදුරුවෝ

අමුණුගොඩ, කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරාධිපති, සද්ධර්මවාගීශ්වර විනයකීර්ති ශ්‍රී අතිගරු අමුණුගොඩ ශ්‍රී සෝමානන්දාභිධාන සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් දශක හතකට ආසන්න කාලයක් පුරා අප්‍රමාණ කාර්යභාරයක් ඉටුකළ සංඝපීතෲවරයාණන් වහන්සේ නමක ලෙස කාගේත් ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

1932 ජනවාරි 28 දින ගම්පහ දිස්ත්‍රික්කයට අයත් අමුණුගොඩ දී උපත ලැබූ උන්වහන්සේ ගමේ විහාරස්ථානයෙන් සහ අමුණුගොඩ කුමාරදාස කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කළහ. 1946 නොවැම්බර් 11 දින එවකට අමුණුගොඩ විහාරාධිපති ව වැඩ විසූ අමුණුගොඩ මේධානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අමුණුගොඩ සෝමානන්ද නමින් පැවිදි බිමට පත්විය. අනතුරු ව මෙරට කීර්තිමත් විද්‍යාස්ථානයක් වන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් ව බඹරැන්දේ සිරි සීවලී හිමි, දෙගම්මැද ශ්‍රී සුමනජෝති නාහිමි වැනි ධර්මවිනයධර යතිවරයන් වහන්සේලා ඇසුරින් දැනඋගත්කම් ලබාගත්හ. 1955 දී මහනුවර මල්වතු මහාවිහාරයෙන් උපසම්පදාව ලද සෝමානන්ද නාහිමියන්ගේ ජීවිතයේ වැදගත් ම කාලපරිච්ඡේදය ඇරඹෙන්නේ අමුණුගොඩ විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත්වීමෙන් අනතුරුවය.

එකල උන්වහන්සේට මුහුණපාන්නට වූ සාමාජික, ආර්ථික ආදී සියලු අභියෝගයන් හමුවේ නොසැලෙමින් විහාරස්ථානයේත්, ප්‍රදේශයේත් දියුණුව වෙනුවෙන් සිදුකළ සේවාවන් රැසකි. ඒ අතර විහාරස්ථ දායක සභාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීම, රාහුල මාතා කුළඟන සමිතිය ආරම්භ කිරීම, විහාරස්ථ ශ්‍රී පරාක්‍රම ධර්ම විද්‍යාලය දියුණු කිරීම, විහාර මන්දිරය, සංඝාවාසය සහ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීම, සිය ගුරුදේවයන් වහන්සේ අනුස්මරණය කරනු පිණිස අර්ධශතවර්ෂාධික කාලයක් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන පින්කම් මාලාව, සාමණේර පුහුණු ආයතනය ආදිය විශේෂයෙන් සඳහන් කළ හැකි ය. එසේම සිය ශාසනික කාර්යයන් වඩාත් සාර්ථකව කරගෙන යාමට සමත් දැනඋගත්, ශික්‍ෂාකාමී ශිෂ්‍යවරයන් වහන්සේලා පිරිසක් සසුනට දායාද කිරීම උන්වහන්සේගේ සේවාවන් අතර කැපී පෙනෙයි. වර්තමානයේ අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරය අංගසම්පූර්ණ, දර්ශනීය විහාරස්ථානයක් බවට පත් වී ඇත්තේ නාහිමියන්ගේ නිවැරදි නායකත්වයේත්, අප්‍රතිහත ධෛර්යයේත් ජීවමාන සාධකයක් ලෙසිනි. අපේ සෝමානන්ද නාහිමියන්ගේ ලෝකශාසනික සේවාව අගය කරනු පිණිස මහනුවර මල්වතු මහා විහාරය මඟින් සද්ධර්මවාගීශ්වර විනය කීර්ති ශ්‍රී යන ගෞරව නාමය ද සහිතව සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමනු ලැබීය.

අමුණගොඩ ශ්‍රී සෝමානන්ද නාහිමියන්ගේ ඇවතුම් පැවතුම් ඉතා සරලය. උන්වහන්සේ අතිශයින්ම ශ්‍රද්ධාසම්පන්නය. දුටුවන් පහදවන ගුණ දහමින් හා පෙනුමින් ද යුක්තයහ. දෛනිකව මළු පෙත්මං ඇමදීම, වතාවත් සිදුකිරීම, තෙරුවන් වන්දනාව, පිරිත් සජ්ඣායනා කිරීම, දායක දායිකාවන්ගේ ආගමික කටයුතු ඉතා සැළකිල්ලෙන් ඉටුකර දීම, අල්පේච්ඡභාවය වැනි ආදර්ශමත් ගුණාංගවලින් හෙබි උන්වහන්සේ සිය දිවියේ 80 වන කඩඉම පසුකරද්දීත් නිරෝගී සම්පත්තියෙන් යුතුව වැඩ වාසය කිරීම සම්බුද්ධ ශාසනයේ මෙන් ම ශිෂ්‍ය - දායකකාරකාදීන්ගේ ද ඉමහත් වාසනාවකි. අමුණුගොඩ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය දරුවන් සේ ඇති දැඩිකරගත් ප්‍රතිබල සම්පන්න ශිෂ්‍යවරයන් වහන්සේලා රැසකගේ ආචාර්යවරයාණ කෙනෙකි.

වසර හටපහකට ආසන්න සිය පැවිදි දිවිය සම්බුද්ධ ශාසනයේත්, රටේත්, ජාතියේත් අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරමින් 80 වන වියට පා තබන සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුණුගොඩ ශ්‍රී සෝමානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැඩ සිටීමට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායි භක්ත්‍යාදර පූර්වකව ආශිංසනය කරමු.


සසුන් ලැදි මහ තෙරනමක්

භික්‍ෂූන් වහන්සේ නමකගෙන් පොදු ජනතාව බලාපොරොත්තු වන්නේ ශාසනික වූත් සමාජ සේවාමය වූ නොවක් සේවාවකි. එවන් සේවාවක යෙදුණ දැන උගත් පරාර්ථචාරී ආදර්ශවත් භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් අමුණුගොඩ, කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරාධිපති, සද්ධර්ම වාගීශ්වර විනය කීර්ති ශ්‍රී අමුණුගොඩ සෝමානන්ද සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දක්වාලිය හැකි ය.

අතිදක්‍ෂ පරිත්‍රාණ ධර්ම දේශකයාණ කෙනකුන් වූ මුන්වහන්සේ, සාමණේර භික්‍ෂු ආයතනයක් ද ආරම්භ කොට ශාසන චිරස්ථිතියට මහඟු සේවාවක් ද ඉටුකරති. එසේම තම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, අමුණුගොඩ කුමාරදාස විදුහලේ ආචාර්ය, ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද ස්ථවිර, ශාස්ත්‍රපති, ගෝනවල පියනන්ද ස්ථවිර ආදී ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිසක් බිහිකොට ඇත.

අමුණුගොඩ ශ්‍රී සෝමානන්ද අධිකරණ නාහිමිපාණන් වහන්සේට තව බොහෝ කාලයක් ලෝ සසුන් වැඩ වඩනු පිණිස නිදුක් නීරෝගී සම්පත් ලැබේවා! යි ප්‍රාර්ථනා කරම්හ.


ධෛර්ය අගය කළ හැකිය

අනුනට පීඩා නොදෙන තමනට වැඩ ඇති සන්සුන් වූ තැන්පත්කමෙන් යුතු කයක් ඇති, අනුනගේ සිත් මෘදු මොලොක් බවට පත්වන පි‍්‍රය වචන ඇති මෛත්‍රී සිතුවිලි වලින් යුතු භික්‍ෂුව ඉතා අගනේ ය.

ඉහත බුදු වදනට අනුගත ගුණයෙන් පරිපූර්ණ වූ මහා ස්ථවිරපාදයන් වහන්සේ නමක ලෙස අමුණුගොඩ කුඩුමිරිස ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරාධිපති සද්ධර්ම වාගීශ්වර විනය කීර්ති ශ්‍රී සෝමානන්දාභිධාන සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන් හැඳින්විය හැකි ය.

තම පැවිදි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේ දී භික්‍ෂුවක ලෙස තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමේ සතුට භුක්ති විඳීමට උන්වහන්සේට හැකියාව ලැබී ඇත.

ප්‍රදේශයේ සැදැහැති උවසු උවැසියනට විහාරාරාංගයන්ගෙන් සමන්විත අංගසම්පූර්ණ විහාරස්ථාන පරිශ්‍රයක් ඉදිකිරීම පිණිස ස්වකීය කාලය, බුද්ධිය, ශ්‍රමය කැප කරමින් ක්‍රියා කිරීම, අනාගත දරු පරම්පරාවට දහම් දැනුම ලබා දීම සඳහා කීර්තිමත් දහම් පාසලක් පවත්වාගෙන යාම, පැරණි සිරි විරිත් සුරක්‍ෂිත කරමින් ත්‍රිවිධරත්නය කෙරෙහි ගෞරවාදර භක්තිය වැඩිදියුණු කරවමින් වාර්ෂික පෙරහර හා පින්කම් පැවැත්වීම ආදිය උන්වහන්සේගෙන් ඉටුවන ප්‍රබල සේවාවන් ය.

ප්‍රාදේශීය සංඝයා සමඟ සුහදව මිත්‍රශීලීව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විහාරස්ථානයට අනුබද්ධිතව පරාක්‍රම සාමණේර ආයතනය බිහි වී ඇත. අනාගත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා අවශ්‍ය සිල්වත් විනයධර උගත් ශික්‍ෂාකාමී සඟ පරපුරක් සකසා ගැනීමට දරන අප්‍රතිහත ධෛර්යය අගය කළ හැකි ය.

ශිෂ්‍ය සාමණේරයන් සකසා ගැනීමේ දී සාමණේරවරුන් පිළිබඳ ප්‍රත්‍රස්නේහය උපදවා ගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශානා කොට ඇත.

එවිට සාමණේරවරු තම ගුරුවරයා පිළිබඳ පිය සෙනෙහස උපදවාගෙන ක්‍රියා කරති. මෙසේ ශාසනික පිය පුතු සබඳතාව ප්‍රබලව පවතින විහාරස්ථානයක් ලෙස අමුණුගොඩ පරාක්‍රමබාහු රාජමහා විහාරස්ථානය ප්‍රසිද්ධියක් උසුලයි. එහි අග්‍රඵලය ලෙස අමුණුගොඩ කුමාරදාස මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තත් විහාරයීය විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පරකන්දෙනියේ ධීරානන්ද ස්ථවිරයන් හඳුන්වා දිය හැකි ය.

අසූ වස් සමරන යථොක්ත මහා ස්ථවිරයන් වහන්සේට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ලබමින් තව තවත් ලෝ සසුන් වැඩ විසීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


සැමට මහත් ආදර්ශයක්

ඉඹුල්ගොඩ අමුණුගොඩ, කුඩුමිරිස ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරාධිපති, සද්ධර්ම වාගීශ්වර, විනය කීර්ති ශ්‍රී, සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ගෞරවාර්හ අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ අතිශයින් සතුටට පත් වෙමි.

වසර 65 ක් තරම් දිගු කාලයක් සම්බුදු සසුනේ බුදු සව්වෙකු ලෙස ගත කිරීමට තරම් පුණ්‍යවන්ත වීම අප ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ ලද වාසනා ගුණයකි.

ධර්ම දේශනා වලට මෙන්ම පරිත්‍රාණ ධර්මය දේශනා කිරීමට දැක් වූ හැකියාව හා විශාරද භාවයත් ඒවායේ පවතින චාරිත්‍ර වාරිත්‍ර විධි අකුරටම ඉටුකිරීමත් උන්වහන්සේ තුළ තිබූ සුවිශේෂී ලක්‍ෂණයකි.

භික්‍ෂු ආකල්ප වලින් පරිපූර්ණ ආදර්ශවත් භික්‍ෂු ජීවිතයක් ගත කරන නායක ස්වාමීන් වහන්සේ සැමට මහත් ආදර්ශයකි.

තම විහාරස්ථානය සකලාංගයන්ගෙන් පරිපූර්ණ කිරීම තුළින් පැහැදිලි වන්නේ උන්වහන්සේ තෙරුවනටත් සම්බුදු සසුනටත් දක්වන මහත් ආදරය හා භක්තියයි.

80 වැනි ජන්ම දිනය සමරන ගෞරවාර්හ අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


සේවය අතිමහත්

අමුණුගොඩ, කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරාධිපති පූජ්‍ය අමුණුගොඩ සද්ධර්මවාගීශ්වර විනය කීර්ති ශ්‍රී සෝමානන්දාභිධාන සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 2012 ජනවාරි 28 වන දිනට යෙදෙන අසූ වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන පිරිනමන්නේ ඉමහත් සතුටිනි.

1932 ජනවාරි මස 28 දින උපත ලද අප නායක ස්වාමීන් වහන්සේ 1946 දී උතුම් වූ පැවිදි බවට පත්ව රට, දැය, සමය වෙනුවෙන් සිය පැවිදි ජීවිතයම කැප කළ මහා තෙරනමකි. උන්වහන්සේ අමුණුගොඩ, කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉටු කරන ආගමික සාමාජීය සේවය අතිමහත් ය.

ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය සඳහා වෙහෙසී කටයුතු කළ උන්වහන්සේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා රැසක්ම ශාසනයට දායාද කිරීම තුළින් බුද්ධ ශාසනයේ තිර පැවැත්ම සඳහා විශාල ශාසනික සේවාවක් ඉටු කිරීම අගය කළ යුතු කාර්යයකි. විශේෂයෙන්ම 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කාලසීමාව තුළ දී රට තුළ මහා බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීම උදෙසා පූජ්‍යපාද අමුණුගොඩ, සෝමානන්දාභිධාන නායක හිමිපාණන් වහන්සේ ලබා දී ඇති දායකත්වය ඉතාම ප්‍රශංසනීයයි.

කුළුණුබර හදවතකින් යුත්, සුපේශල ශික්‍ෂාකාමී, විශාරදත්වයෙන්, බහුශ්‍රැතභාවයෙන්, ධර්මධරභාවයෙන් අනූන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය පාද අමුණුගොඩ සෝමානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිදු කරන ආගමික හා සාමාජීය සේවාව ඉදිරියට පවත්වාගෙන යාමට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය, නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.

 

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]