UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධ්‍යාත්මික දියුණුවට ගමන් කළ හැක්කේ කෙසේද ?

හත්තක ආලවක අල්පේච්ඡ ගුණ ඇත්තෙක්. අපිස් ගුණ ඇත්තෙක්. එනම් අල්පවූ දෙයින් යැපෙන අල්ප වූ අපේක්‍ෂාවන් සහිත වූ පුද්ගලයෙක් බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නට යෙදුනා. මේ අසිරිමත් වූ අල්පේච්ඡ වූ ගුණධර්ම ඔහු තුළ ගොඩනැගීම නිසා ඔහු සංසාරික ගමන කෙටි කරගන්නවා.

(පසුගිය සතියෙන් ඉතිරි)

බුදු දහම අනුව පව් කිරීමට පමණයි, ඔබ ලැජ්ජා විය යුත්තේ. පවට පවතින ලැජ්ජාව ලෝක පාලක ධර්මයක්. කොතරම් නීති රීති සමාජ සම්ප්‍රදායන් තිබුණත්, කිසිම පුද්ගලයකු දිගුකාලීන පවින් වළක්වාලන්න තම නීතිරීති වලට එම සම්ප්‍රදායන් වලට ශක්තියක් නැහැ.

නමුත් යම්කිසි කෙනකු තුළ ගැඹුරින් ගොඩනැගුණහොත් පව්කරන්නට ලැජ්ජාව, ඔහු සැම මොහොතකම කෙනෙකු ඇති තැනත්, කෙනෙකු නැති තැනක් හුදකලාව තම කුටිය තුළම ඉදිද්දීත් පව් කරන්නට ලැජ්ජාවේවි. එම පව් කිරීමට ඇති ලැජ්ජාවම ඔහු මහරහත් උතුමකු බවට පත්කිරීමට අවශ්‍ය මග සලසවන බව නම් අනිවාර්ය කාරණයක්. ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරණව ඉධම්පි භික්ඛවේ

හත්තකෝ ආලවකෝ “

මහණෙනි, හත්තක ආලවක පවට බිය ඇත්තෙක්. සැබවින්ම පව් කිරීමට ඇති බිය දෙවන ලෝක පාලක ධර්මයයි. පව් වල ආදීනව වලට බිය වෙනවා. මෙලොව නින්දා අපහාස විදින්නට වෙන එක පිළිබඳව බියක් දැනෙනවා. පරලොව අපායගාමී වෙන එක පිළිබඳව බියක් දැනෙනවා. ඒ බිය සසරට ඇති කෙනා සසර දිගින් දිගටම ගමන් කරන්න බිය පුද්ගලයා අනිවාර්යෙන්ම පව්කිරීමෙන් වැළකෙනවා. පව අප සසර ගමනේ දිගින් දිගටම රැගෙන යන ප්‍රබල සාධකය වෙයි. පව් කරපු පුද්ගලයෝ මෙලොවත් පරලොවත් දෙකේහිම පසුතැවිල්ලට පත්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “පාපකාරී උභයත්ථ තප්පති “ පව්කළ තැනැත්තා මෙලොව සහ පරළොවදීත් පශ්චාත්තාපයට පත්වන බව. පවට ඔබ බිය විය යුතුයි. පව්කරන්නට ඔබ තුළ පවතින බිය ඔබ මේ සංසාරික ගමනේ වඩාත් යහපත් පුද්ගලයකු බවට පත්කරාවි.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ හත්තක ආලවක තුළ පවතින තවත් අසිරිමත් ධර්මයක් පෙන්වා දෙනවා. “බහුස්සුතෝ භික්ඛවේ හත්තකෝ ආලවකෝ”

මහණෙනි, හත්තක ආලවක බහුශ්‍රැතයෙක් කියලා මෙහිදී බුදුරජාණන් වහන්සේ හත්තක ආලවක තුළ පවතින ශ්‍රී සද්ධර්මය පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති බව නම් වූ ධර්මාවබෝධය පස්වන කරුණ ලෙස අවධාරණය කළා. ධර්මය පිළිබඳ අවබෝධය වැඩිවන තරමටයි අප තව තවත් පවට ලැජ්ජා බිය වන්නේ කුසල් කිරීමෙහි අප සිත ඇලෙන්නේ. කුසලයට නිරන්තරයෙන් අපගේ මනස යොමුවන්නේ අපට ධර්මය පිළිබඳව පවතින බහුශ්‍රැත බවත් සමගමයි. එනිසා ඔබ ශ්‍රී සද්ධර්මයෙහි නිරන්තරව ඇහුම්කන් දෙන එම ඇහුම්කන් දීම තුළින් ඔබේ ජීවිතය නිරන්තරයෙන්ම ඒ ධර්මය තුළින් තේරුම් ගන්නට උත්සාහ ගන්න පුද්ගලයකු බවට පත්විය යුතුයි කියලා. එවැනි පුද්ගලයකු බවට ඔබ පත්වුවහොත් ඔබ සෑම දෙයක්ම ජීවිතයේදී මුහුණ දෙන්නට වන සෑම සිද්ධියක්ම ධර්මානුකූලව විවරණය කරාවි. ධර්මානුකූලව සෑම දෙයකටම ඔබ ප්‍රතිචාර දක්වයි. එම ප්‍රතිචාර දැක්වීම සිදුකරද්දී පව් පිරෙන අවස්ථා ප්‍රමාණය අනිවාර්යෙන්ම ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යාවි. එනිසා “හත්තක ආලවක” තුළ පවතින බහුශ්‍රැත භාවය ඔබ තුළ ඇති කර ගත යුතුයි.

හත්තක ආළවක තුළ පැවතුන පස්වන කරුණ “චාගවා භික්ඛවේ හත්තකෝ ආලවකෝ”

මහණෙනි ,හත්තක ආලවක ත්‍යාග ඇත්තෙකි. එනම් අත්හැරීම පුරුදු වූවෙකි. නිවන් මග පුරුදුවන්නෙක් නිවන් මග පුහුණු වන කෙනෙක් දානය හෙවත් අත්හැරීම ත්‍යාගශීලි බවට දක්‍ෂ වෙන්නම ඕනෙ. අතහැරීමේ අසමත් පුද්ගලයා දන් දීමෙහි සමත් නැති පුද්ගලයා කවදාවත් මේ සසරින් ගැලවෙන්නේ නැහැ. ඔහු තව තවත් සසරටම ඇළෙනවා. ඔබ දේවල් අස්කිරීමට දේවල් අත්හැරීමට හැම වෙලාවකම උද්‍යෝගිමත් වියයුතුයි. අස්කිරීමක් සිද්ධ කරන්නට අපහසුයි. මුලින්ම තමන් පැහැදුණු අයට දෙන්න. මූලිකවම තමන් විශ්වාස කරන අයට දෙන්න. ඉන් පසුව ඔබට අතහැරීම සඳහා පුද්ගලයෝ තෝරා බේරා ගැනීමට අවශ්‍ය වන එකක් නැහැ. ඔබ කළ යුත්තේ අත් හරින එකයි. එය අපේක්‍ෂා නොමැති විය යුතුයි. ප්‍රථමයෙන්ම සිල්වතුන්, ගුණවතුන්, සොය සොයා දෙන කොට ඔබට ඒ පිළිබඳව පුරුදු පුහුණුවක් ලැබේවි. ඉක්බිතිව ප්‍රතිග්‍රාහකයා කවුද කියන දෙය පිළිබඳව ඔබට එතරම් වැදගත් දැණුමක් අවශ්‍ය වෙන එකක් නැහැ. නිර්වාණාවබෝධය සලසා ගැනීමට අත්හැරීම පුරුදු විය යුතුම නිසා බුදුරජාණන් වහන්සේ හත්තක ආලවක තුළ පැවතුන එම අත්හැරීමේ ශක්තිය ඉතාමත් ප්‍රබල ලෙස අවධාරණය කරනු ලැබූ කරුණක්.

හයවන අසිරිමත් දහම ලෙස “හත්තක ආලවක” තුළ පැවතුන කරුණු බුදු හාමුදුරුවෝ මෙලෙස දේශනා කළා. “පඤ්ඤවා භික්ඛවේ හත්තකෝ ආලවකෝ”

මහණෙනි, හත්තක ආලවක යනු ප්‍රඥාව ඇත්තෙක් කියලා. එනම් ත්‍රි ලක්‍ෂණය පිළිබඳව හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සමස්තය දෙසම දැකීමේ නුවණක් ඔහු සතු බව මෙහිදී දේශනා කරනු ලැබුවා. මේ ලෝකයේ ප්‍රඥාවන්තයකු බිහිවන්නේ ඉතාම කලාතුරකිනි. ප්‍රඥාවන්තයකුට පමණ මයි දෙයක පවතින සත්‍යය සත්‍යය ලෙස අවබෝධ කරගන්නට පුළුවන්. සත්‍යය සත්‍යය ලෙස දකින්න පුළුවන් කෙනෙක් අනිවාර්යෙන්ම ඉතාම ණුවනින් අවබෝධ කරගන්නට ඇළීමට තරම් දෙයක් මේ ලෝකයේ නැති බව. ගැටීමට තරම් දෙයක් මේ ලෝකයේ නැති බව. ඔබටත් තවමත් අවස්ථාව තියෙනවා මේ මිනිස් ආත්මයේ කෙටි ආයුෂ ප්‍රමාණයක්. තව අපට තිබෙන නිසා හත්තක ආලවක වගේ ප්‍රඥාවන්ත පුද්ගලයකු බවට පත්වන්න. ඔබට ඒ දහම අවබෝධ කරගතහොත් ප්‍රඥාව කරා යන ගමන ආරම්භ කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. අප්පිචිණේ භික්ඛවේ හත්තකෝ ආලවකෝ “

මහණෙනි, හත්තක ආලවක අල්පේච්ඡ ගුණ ඇත්තෙක්. අපිස් ගුණ ඇත්තෙක් . එනම් අල්පවූ දෙයින් යැපෙන අල්ප වූ අපේක්‍ෂාවන් සහිත වූ පුද්ගලයෙක් බව බුදුරජාණන් වහනසේ මෙහිදී දේශනා කරන්නට යෙදුනා. මේ අසිරිමත් වූ අල්පේච්ඡ වූ ගුණධර්ම ඔහු තුළ ගොඩනැගීම නිසා ඔහු සංසාරික ගමන කෙටි කරගන්නවා. අපේක්‍ෂා බහුලකම ප්‍රඥාව අඩු ඇත්තන්ගේ ලක්‍ෂණයක්. බලාපොරොත්තු අඩුකම, අල්පේච්ඡ දෙයින් යැපෙන කම, ප්‍රඥාව ඇත්තවුන්ගේ උතුම් වූ චර්යාවේ ලක්‍ෂණයක්. මෙම හත්තක ආලවක තුළ තිබූ එම අසිරිමත් වූ අද්භූ®ත ධර්මයන් මත ඔබ තුළත් ගොඩනගා ගන්නට හැකි සෑම අවස්ථාවකම උත්සාහ දැරිය යුතු බවත. එවැනි උත්සාහයකින් ඔබටත් හත්තක ආලවක වගේම උතුම් වූ නිවන් මග ගමන් කරන සත්පුරුෂ බෞද්ධයකු වීමේ අවකාශය උදාවෙනවා. අද සමාජයට අවශ්‍ය කරන්නේ අනෙකා පිළිබඳව සොයමින් තමන්ගේ දවසම ගෙවා දමන්නා වූ පුද්ගලයින් නොව සැබවින්ම නිවන් මග පුහුණූ වන පුද්ගලයන්ය. තව කී දවසක් අප අනෙකා පිළිබඳව විමසිලිමත් වෙමින් කාලය ගෙවා දමන්නද මේ ජීවිතයේ අප දන්නෙම නැතිව වයසට යාවි. ලෙඩවෙවී. මැරිලයාවි. අපි ලෙඩවෙද්දී අපි වයසට යද්දී අපි මැරිල යද්දී අපට මහා සහනයක් දැනේවි. අපි මේ කොහෙද යන්නේ අපි මොනවද කරල තියෙන්නේ කියල. අනෙක් අය පිළිබඳව සොයමින් අනෙක් අය පිළිබඳව තොරතුරු එක්රැස් කරමින් තමන්ගේ වටිනා දවස ගතකරන එකේ තේරුමක් නැහැ. ඔබ සොයා ගත්තත්, නැතත් සෑම පෘතග්ජන පුද්ගලයකු තුළම කුමක් හෝ දුර්ගුණයක් තිබෙනවා. අඩුපාඩුකමක් තියෙනවා . ඒක ගිහියන් තුළත් නිවන් මග පුහුණු වන පැවිද්දන් තුළත් තිබිය හැකි. කෙනෙකුගේ දුර්ගුණ සොයා ගත්තට අපට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. අපට පුළුවන් එම දුර්ගුණ ලෝකයට කියලා එය හෙළිකලා කියලා සතුටක් ලබන්න පුළුවන්. ඒත් ඒ පුද්ගලයාගේ සියලු දේවල් නවත්වන්න ඔබට පුළුවන් කමක් නැහැ. ඔහු සමාජයේ ඉදිරියට එන එක නැවතීමට පමණක් හැකිවෙයි. ඔහු ඒ ගමන නැවැත්වුවා කියලා අපට ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. අප කළ යුතු වන්නේ අපේ අධ්‍යාත්මික ගමන අප ගමන්කළ යුතු වීම..අපේ මනස සන්හිදියාව වෙත අප උනන්දු වන එක. අපිව සොයන එක හත්ථක ආලවක බෞද්ධයෙක් වුනේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිපත්ති සමග ජීවත්වෙලා .ඔබට බෞද්ධයකු වෙන්න එම ප්‍රතිපත්ති උදව් කරනවා. සෑම මොහොතකම එම ප්‍රතිපත්ති සමග පුහුණු විය යුතු බව අපි විශ්වාස කරනවා.

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]