UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුගත බුදු ගුණය

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුගතත්තා සුගත්තත්තා
සෝභනායස්සවාගති
ගතත්තා සුන්දරං ඨානං
සුගතෝ නාම තේ නමෝ


වාසනාවන්ත පින්වත්නි,

දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය දක්වාම ශාන්තව සුන්දර ගමණින් වැඩිය හෙයින්ද, ශාන්ත සුන්දර වූ නිවන් මඟට ශාන්තවම වැඩිය හෙයින්ද, සුන්දර වූ තෙපුල් ඇතිහෙයින්ද, ශාන්ත සුන්දරවූ රූපකායක් ඇති බැවින්ද බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක.

දීපංකර බුදුපියාණන් වහන්සේගෙන් විවරණ ලැබූ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධගයා බෝධි මණ්ඩලයට වඩිනතුරුම කිසිවකුටත් ඊර්ෂ්‍යා නොකළසේක. කිසිවකුටත් ක්‍රෝධ නොකළසේක. අනන්ත වූ කරුණා මෛත්‍රියෙන්ම සාරාසංඛ කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ මධ්‍යම ප්‍රතිපදාවෙන්ම සසර ගමනේ් වැඩිය සේක. ඒ සුගතයාණන් වහන්සේ සුගත නම් වන සේක.

බුදුපියාණන් වහන්සේ සුන්දර වූ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආය¸මාර්ගයේ ගමන්කර සුන්දර වූ අමාමහ නිවන් මාර්ගයට වැඩිය සේක. ඒ ආර්ය මාර්ගයේ මාර්ගෝපදේශකයාණන් වහන්සේය.සුගතයාණන් වහන්සේය.

උජුකෝනාමසෝමග්ගෝ
රථෝ අකුණනෝනාම
අභයානාම සාදිසා
ධම්මචක්කේහි සංයුතෝ
හිරිතස්ස අපාලම්බෝ
සතස්ස පරිවාරණං
ධම්මානං සාර්ථිං බ්‍රෑමි
සම්මා දිට්ඨි පූරේජනං

ඒ උතුම් මාර්ගය ඇද නැති හෙයින් උජූක නම් වේ. දිසාව අභය නම් වේ. කෙතෙක් දෙනා ගොඩ වුණත් කිසිදු අබලන් හඬක් නොමැති හෙයින් අකුජන නම් වූ එම රථය ධර්ම චක්‍රයන්ගෙන් සැදී ඇති’ හිරි ඔතප්ප සුවපහසු ආසනය සිහිය නම් අලංකාර සැරසිලි යොදා ඇත. රථය අදින්නේ සම්මා දිට්ඨියයි. චතුරාය¸සත්‍යය නමැති ධර්ම මාර්ගයේ ගමන් කරන රියදුරාවන බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.

සාරාසංඛ්‍යකල්ප ලක්‍ෂයක් මුළුල්ලේ සමතිස් පාරමි දම් පුරමින් ලොව්තුරා සම්මා සම්බෝධි මාර්ගය පුරුදු කළ ඒ බෝසතාණන් වහන්සේ ප්‍රත්‍යාන්තයෙහි උපතක් නොලදහ. දාසියක කුස පිළිසිඳ නොගත්හ. මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවූහ. පංචානංතරිය පාපකර්ම නොකළහ. නිවැරදි දැක්මම ඇත්තාහ. ලෝකාන්තරික නරකයෙහි නුපන්නහ. මාරදෙව්පුතෙක් නොවූහ.අසුරයෙක් නොවූහ.අසඤ්ඤසන්තයෙහි සුද්ධාවාසයෙහි, අරූපභවයෙහි නූපන්නහ. මෙසේ බුද්ධ රාජ්‍යයට පැමිණීමට පාරමී පිරීමට බාධක වු අභ්‍යව්‍ය ස්ථාන වල නොඉපිද බුද්ධරාජ්‍ය සඳහා ම වූ සුන්දර මඟට පැමිණි බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.

බුදුපියාණන් වහන්සේගේ ආය¸මාර්ගයේ ගමන පමණක් නොව පියවි ලෝකයේ පාගමන්ද අතිශයින්ම සුන්දරය.

ශාන්තිනායකයාණන් වහන්සේ ගමනක් වඩින විට දකුණු පය පළමුව පෙරට තබා වඩිති. ඉතා ඈතින්ද, ඉතා ලඟින්ද, ඉතාහෙමින්ද, ඉතා ඉක්මනින්ද, පියවර නොතබති. දැඩිකොට දෙපා නොතබති. පාදයන්, කය සොලවමින් නොවඩිති. වියදණ්ඩක දුර පමණක් බලති. බෙල්ල හරවා නොබලති. නිවසක් තුළට වඩින විට නොනැමෙති. පාදයක් පිට පාදයක් නොතබති. නිකට අතතබා නොහිඳිති. විවේකයෙන්ම වැඩ හිඳිති. මෙලෙස පියවි පාගමන මෙන්ම අසුනක වාඩිවී සිටීම ද අතිශයින්ම සුන්දර බැවින් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුන්දර තෙපුල් ඇති සේක.

දහම් දේශනාකරණ විට පිරිස උසස් කොට පහත්කොට කථා නොකරති. ධර්මයෙන් පිට කිසිවක් නොවදාරති. මාතෘකාවට අනුවම දහම් දෙසති. තමන්ටම දහම් දෙසන්නේයයි සිතන අන්දමට ඔවුනොවුන්ගේ සිත අනුවම දහම් දෙසති. එම දහම සැමටම ඉතා ප්‍රසන්නවෙති. එම දහම සැමටම තේරෙන මට සිළිටි දහමකි. සැමටම දැනීම අවබෝධය ඇති කරවති. කටහඬ මිහිරිය. කනට සුවගෙන දෙයි. උන්වහන්සේගේ වදන් පිරිසේ ප්‍රමාණයට ශබ්ද ඇති අතර ශබ්දය විහිදී නොයයි. සැමටම සිත් ගන්නා දහමක්ම දේශණා කරයි. බුදුපියාණන් වහන්සේගේ කටහඬ සැමගේම සිත් සතන් සනසති. සුන්දර වචන ඇති උත්තමයන් වහන්සේ සුගතනම් වන සේක.

බුදුපියාණන් වහන්සේ සිදු නොවුන අසත්‍ය අනර්ථකාරි අන්‍ය අයට පි‍්‍රය නොවන වචන ප්‍රකාශ නොකරති’ සිදුවූයේද, සත්‍යවූයේද, අනර්ථකාරි වචන අනුනට අපි‍්‍රය අමනාප වූයේද තථාගතයාණන් වහන්සේ එම වචන ප්‍රකාශ නොකරති.

සිද්ධ වුයේද සත්‍යවූයේද වැඩදායක නමුත් අනුනට අපි‍්‍රය අමනාපවේද තථාගතයාණන් වහන්සේ එම වචන ප්‍රකාශ කිරීමට සුදුසු කල් දන්නාහුය.

සිද්ධ නොවූයේද, සත්‍යනොවුයේද, වැඩදායක නොවුයේද එහෙත් අනුනට පි‍්‍රයමනාප වූයේද, තථාගතයාණන් වහන්සේ එම වචන ප්‍රකාශ නොකරති.

සිද්ධ වුයේද, සත්‍ය වූයේද, අනර්ථයෙන් යුක්තද අනුනට පි‍්‍රය මනාපවූයේද තථාගතයාණන් වහන්සේ එම වචනද ප්‍රකාශ නොකරති.

සිද්ධ වුයේද, සත්‍යවූයේද, අර්ථ සහිතද අනුනට පි‍්‍රය මනාප වූයේද එම වචන ප්‍රකාශ කිරීමට තථාගතයාණන් වහන්සේ සුදුසු කාලය දන්නාහ.

බුදු පියාණන් වහන්සේ වස්සකාර බමුණාට මෙසේ ප්‍රකාශ කළහ.

”දැනගත් හැමදෙයක්ම නොකිය යුතුයි මම කියමි. දැනගත් යමක් කියන්නහුගේ අකුසල් දහම් වැඩේ ද, කුසල් දහම් පිරිහේද එබදු දත් දෙය නොකිය යුතුය. දැනගත් යම් දෙයක් කියන්නහුගේ අකුසල් දහම් පිරිහේද කුසල් දහම් වැඩේද ඒ දෙය කිව යුතුයයි මම කියමි “ යි වදාළ බැවින් යථාවාදී, තථාකාරි ගුණයෙන් ඒ තථාගතයාණන් වහන්සේ මෙසේ සුන්දර වචන දෙසු බැවින් සුගත නම් වන සේක.

තිලොවෙහි කිසිවකුටත් සමකළ නොහැකි ශෝභාමත් බුදු සිරුර දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයෙන් ශෝභාවත්වී ඇත. එම බුද්ධකාය සැසදිය හැකි තවත් අයෙක් වේ නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණි.

මේ අයුරින් සසර දුකින් සත්වයා මුඳවාලීමට සමත් සුන්දර ගමන් ඇති, සුන්දර වචන ඇති, සුන්දරවූ නිවන් මඟට වැඩම කර අන්‍ය අයටද ඒ සුන්දර මඟපෙන්වා වදාළ අසමසම රූපකායක් ඇති ඒ අමාමෑණියන් වහන්සේ සුගත නම් වන සේක.

ඒ සුගත නම් බුදුගුණයට නමස්කාර වේවා!

ඔබ සැමට තෙරුවන් සරණයි.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]