UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක 2009-12-15

කොමිෂන් සභා නාඩගම

විශේෂ කොමිෂන් සභාවල හැසිරීම උපහාසයට ලක් කැරෙන අපූරු කතාවකින් අද දින කතු වැකිය ආරම්භ කිරීමට අදහස් කළෙමු.

පොදු වැසිකිළියක තිබිය යුතු පහසුකම් නො ලැබීම නිසා විශාල උද්ඝෝෂණයක් ඇති විය. ඒ පිළිබඳ ව සොයා බැලීමට පත් කළ කොමිසම දීර්ඝ වශයෙන් කරුණු පරීක්‍ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කළේ ය. එම වාර්තාව මෙ සේ ය.

මේ පොදු වැසිකිළිය පාවිච්චි කිරීමට අවශ්‍ය ජල පහසුකම් නොමැති වීම මහජන සෞඛ්‍යයට බලපාන ගැටලුවක් වූව ද ඊට පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කිරීම ප්‍රදේශයේ සාමයට තර්ජනයකි. එ බැවින් මහජන සාමය හා ආරක්‍ෂාව සලකා මේ වැසිකිළිය වෙනත් ප්‍රදේශයක ස්ථාපනය කිරීම වඩාත් සුදුසු ය. මේ වැසිකිළියට නළ ජල පහසුකම් අවශ්‍ය යැයි සාක්කි කරුවන් සියලු දෙනා ඉදිරිපත් කළ අදහස කෙරෙහි කොමිසමේ දැඩි අවධානය යොමු විය. නළ ජලය ලබාදීම සඳහා වැයවන අධික පිරිවැය හා ගතවන කාලය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ ව නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අපි වැළැකී සිටිමු. අලුතින් ඉදිකළ යුතු වැසිකිළිය පාවිච්චි කිරීම වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා ජලය රැගෙන යෑමට බාල්දියක් එහි තැබීම හා දියුණු සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රම අනුගමනය කිරීම පිණිස සබන් කැටයක් හා තුවායක් වැසිකිළිය තුළ තැබීම ඉතා යෝග්‍ය බව මේ කොමිසමේ නිර්දේශය යි.

මේ කතාව මඟින් කියැවෙන වැදගත් කරුණක් නම්, කොමිසමක් පත් කළ අය ගේ වුවමනාවන් අලංකාර වචන බවට පෙරැළීම කොමසාරිස්වරුන් ගේ කාර්යය බව ය. මෙය මෙහි සටහන් කිරීමට අපට සිදු වූයේ බෞද්ධයන් සදාචාර විරෝධී හා කූට උපක්‍රම මඟින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබඳ ව පරීක්‍ෂා කර බලා වාර්තා කිරීමට යැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පත් කළ (ඊනියා) කොමිසමේ හැසිරීම ය. එම ඊනියා කොමිසමේ හිටපු සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කළුබෝවිලගේ සරත් ගුණතිලක මහතා විසින් දෙසැම්බර් මස 03 වන දා ලක්බිම පුවත්පතට ලියන ලද ‘මාධ්‍යවේදීන් ගොදුරු කර ගැනීමේ මූලධර්මවාදී උපාය පිළිබඳ යථාර්ථය’ නමැති ලිපිය, මේ කතුවැකිය ලිවීම සඳහා අප පෙළඹ වූ හේතුවයි.

සරත් ගුණතිලක මහතා තම ලිපියේ මෙ සේ සඳහන් කැර තිබේ.

‘බුදුසරණ පත්‍රය ද ක්‍රිස්තියානිකරණයට හසු ව ඇති සැටියකි’ යනුවෙන් වූ අප වාර්තාවේ වැකිය කියවිය යුත්තේත් එහි අදහස අවබෝධ කර ගත යුත්තේ ත් එම වැකිය මෙන් ම එය අන්තර්ගත සම්මුඛ ඡේදයේ සඳහන් කරුණු ද සමස්තයක් වශයෙන් ගෙන මිස එහි අවසන් වැකිය පමණක් හුදකලා ව ගෙන නො වේ.’

සිය වාර්තාව අවබෝධ කැර ගත හැක්කේ එය අන්තර්ගත සම්මුඛ ඡේදයේ සඳහන් කරුණු ද සමස්තයක් වශයෙන් ගෙන මිස එහි අවසන් වැකිය පමණක් හුදකලා ව ගෙන නො වේ යැයි අපට ඔහු උපදෙස් දී තිබේ. එහෙත්, තම වාර්තාවේ සඳහන් කළ එස්.නිමල් ප්‍රනාන්දු මහතා බුදුසරණට ලියූ කේශධාතු සංකල්පය නමැති ලිපිය සම්බන්ධයෙන් එම පිටුවේ ම පළ කළ එ දින කතු වැකිය සිය අවධානයට ලක් නො වූ බව පිළිගෙන ඇත. එ පමණක් ද නො ව නිමල් ප්‍රනාන්දු මහතා ගේ ලිපියෙහි ඇතුළත් මේ ඡේදය එම වාර්තා වේ සඳහන් කැර ඇත්තේ කපා කොටා ඔහුට අභිමත ආකාරයෙනි.

‘කෙස් යනු දෙතිස් කුණප වලින් එකක් බව බුද්ධ දේශනාවේ ම සඳහන් ය. සතිපට්ඨානයේ කායගතා සති භාවනාවේ ද ඒ බව දැක් වේ. එ පමණක් නො ව බුදු දහම සිත පදනම් කැරගත්, සිතට ම ප්‍රධානත්වය දෙන දහමකි. ශරීරයට බුදු දහමේ කිසිදු වැදගත් තැනක් නැත. පිරිසුදු කළ යුතු වන්නේත්, පිරිසුදු කළ හැකි වන්නේ ත්, තම සිත මිස කුණපයක් වූ ශරීරය නො වන බව උන්වහන්සේ ගේ ඉගැන්වීම ය. එ සේ ඉගැන් වූ බුදුරජාණන් වහන්සේ තම ශරීරයෙන් ගලවා ගත් කුණප කොට්ඨාසයක් වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වස්තුවක් ලෙස තම අනුගාමිකයන් හට දුන් බව පැවසීම විශ්වාස කළ හැකි ද? එය උන්වහන්සේ ගේ ප්‍රතිරූපයට කෙතරම් කැළලක් ද?’

මෙය ඔහු සිය වාර්තාවේ සඳහන් කැර ඇත්තේ, කේශධාතු බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයෙන් ගලවා දුන් කුණප කොට්ඨාසයක් බැවින් වැදුම් පිදුම් කිරීමට සුදුසු වස්තුවක් ලෙස තම අනුගාමිකයන් ට දුන් බව විශ්වාස කළ හැකි ද යනුවෙනි. මෙය ඊනියා කොමිසමේ හැසිරීම තේරුම් ගැනීමට කදිම උදාහරණයකි.

ඔහු උදාහරණයට ගත් අනෙක් ලිපිය ගැන ඊනියා කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ මෑතක දී පළ වූ ලිපියක අභිධර්මය බුද්ධ දේශනාවක් නො වේ යනුවෙන් සඳහන් ව තිබූ බව ය. අදාළ ලිපියේ අන්තර්ගතය මෙන් ම එය ලියූ භික්‍ෂූන් වහන්සේ ගේ නම හා එය පළ වූ දිනය සඳහන් කිරීම ද ඊනියා කොමිසම පැහැර හැර ඇත. එහෙත් අනෙක් ලිපිය ලියූ ලේඛකයා ගේ නම එස්. නිමල් ප්‍රනාන්දු බව හා එය පළ වූ දිනය සඳහන් කැර තිබේ. මෙයින් මේ ඊනියා කොමිසමේ අශිෂ්ට හැසිරීම ප්‍රකට නො වේ ද?

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]