UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරුර තිස් දෙකකින් සමන්විත කුණපයන් ගෙන් යුතු බව දේශනාවේ පැහැදිළිව ඇත. එම තිස්දෙක පිළිබඳව නිතරම හිතන්න ඕනෑ නිතරම ජීවිතයෙහි අස්ථිර තත්ත්වය පිළිබඳ සිතිය යුතුයි. ජීවිතයක ඇති අස්ථිර ස්වභාවය තේරුම් ගැනීම නිර්වාන ගාමී ප්‍රතිපදාවට යොමුවීමට උපකාරයක් වන බව කල්පනා කරන්න ඊට අලසකම දුරු කොට උට්ඨාන වීර‍්ය්‍යයෙන් කටයුතු කළ යුතු වන්නේය.

නමෝ තස්ස
භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පඤ්චිමානි භික්ඛේ ඨානානි
අභිණ්හං
පච්චවෙක්ඛි තබ්බාති,
ඉත්ථියාවා පුරිසේනවා
ගහඨෙනවා
පබ්බ ජිතේනවා කථමානි
පඤ්ච ජරාධම්මොම්හි ජරං
අනතිතෝති අභිණ්හං පච්ච
වෙක්ඛි තබ්බං
ඉත්ථියාවා පුරිසේනවා
ගහඨෙනවා
පබ්බජිතේනවා
ව්‍යාධි ධම්මෝම්හි
ව්‍යධිං අනත්තෝති
අභිණ්හං
පච්චවෙක්කිතබ්බං
ඉත්ථියාවා පුරිසේනවා
ගහඨෙනවා පබ්බජිතේ
නවා මරණ ධම්මෝම්හි
මරණං
අනතිතෝති අභිණ්හං
පච්චවෙක්ඛිතබ්බං
ඉත්ථියාවා පුරිසේනවා
ගහඨෙනවා
පබ්බජිතෙනවාති.

පින්වතුනි

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉතාමත් වැදගත් වූ සූත්‍ර ධර්මයකට ඇතුලත් සුළු කොටසකි ඉහත පාඨය . එම ධර්ම පාඨයට ඇතුලත් වන සූත්‍රධර්මයට ඨාන සූත්‍රය කියලත් එසේම අභිණ්හ පච්ච වෙක්ඛි තබ්බ සූත්‍රය කියලත් කියනු ලබනවා. මේ සූත්‍රයෙන් කාරණා පහක් ගැන නිතරම සිහි කළ යුතුබව ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් ගිහියන්ටත් පැවිද්දන්ටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

මේ ජීවිතය ජරාවට පත්වනවා. එසේම රෝග හට ගන්නවා. පි‍්‍රය මනාප අයගෙන් වෙන්වීමට සිද්ධ වනවා. එසේම මරණයට පත්වීමටත් සිදුවෙනවා යැයි සිතන්න ඒ උදාර කරුණ ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් ගිහියන්ටත් පැවිද්දන්ටත් නිතරම සිහියේ තබාගෙන මරණානුස්මෘති භාවනාව වැඩීමට මේ තුළින් බුදුරජාණන් වහන්සේ මතක් කිරීමක් සිදුකිරීමයි මේ සූත්‍රදේශනාවෙන් සිදුකොට තිබෙන්නෙ.

එම නිසා පින්වතුනි, ගතෙඨිතෙ නිසින්නේ සුතෙත ජාගරීතෙ යනුවෙන්. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කර තිබෙන පරිදි යන කොට සිටගෙන ඉන්න කොට, හිඳගෙන ඉන්න කොට, නිදාගෙන සිටින විට කියන මේ සතර ඉරියවුවෙන්ම සිහි කල්පනාව ඇතිව සිටිය යුතු බව සම්‍යජානෙ කාරි හොති යන්නෙන් වඩාත් පැහැදිලි කොට ඇත.

සිරුර තිස්දෙකකින් සමන්විත කුණපයන් ගෙන් යුතු බව දේශනාවේ පැහැදිළිව ඇත. එම තිස්දෙක පිළිබඳව නිතරම හිතන්න ඕනෑ බවයි .මේ තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ. පින්වතුනි මේ ජීවිතය රෝගවලට ගොදුරු වන බවත් මේ ආකාරයෙන්ම සිතිය යුතු බව පැහැදිළි කොට තිබෙනවා. එසේම මරණය ගැනත් මේ අයුරින්ම මෙනෙහි කිරීම ට දේශනා කරනසේක් මය. පි‍්‍රය අයගෙන් වෙන වන බව ගැනත් මේ ආකාරයෙන්ම සිහි කිරීමට සැම කෙනෙකුටමත් පැහැදිලි කොට ඇත්තේමය.

ඤාණවන්ත අය මේ බුදුවදන් පිළිගෙන හැකි පමණින් තමන්ගේ ජීවිතය මෙලොවත් පරලොවත් සාර්ථක කරගෙන නිවන් දකින්න උත්සාහ කරන්නෝ වෙති.

රූපයට වහල් වන අය ජීවිතය ජරාවට පත්වන ජීවිතයක් බවට නොසලකති. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේදී රූපනන්දා යන නමින් කාන්තාවක් සිටියා . එම කාන්තාව තමාගේ ජීවිතය ගැන ජරාවට පත්වන ජීවිතයක් කියා වෙන කෙනෙක් කියනවාටවත් අකැමැතියි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නවත් යන්න කැමැති නෑ. උන් වහන්සේ ජිවිත ගැන බණ දේශනා කරණ විට ජරාවට පත්වන ජීවිතය වෙනස් වෙමින් පවතින එකක් අන්තිමේදි මැරිලා යනවා යනුවෙන් දේශනා කරනවා යැයි කියා බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යෑමට පවා අකමැති වූවාය. දිනක් බණ ඇසීමට යාම සඳහා අදහසක් පහළ වූවාය. රූපනන්දාව ගියා බණ අහන්න. පින්වතුනි , රූපනන්දාව බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට එන බව බුදු ඇසින් දැක රූපනන්දාවට වඩා ලක්‍ෂණ රූපයෙන් ලස්සනම කාන්තාවක් මවා බුදුරජාණන් වහන්සේට පවන් සලන අයුරෙන් පේන්න සලසා තැබුවා.

රූපනන්දා බණ ශාලාවට නෑවිත් හැංගීගෙන බැලුවා. ධර්මශාලාව දෙස මේ රූපය දෙස ඇගේ නෙත් යුවල විහිදී ගියා. ඒ දෙසම බලමින් සිටින විට රූපය ක්‍රමයෙන් වෙනස් වෙවී යන බව රූපනන්දාවට පෙනුණා. දැන් ඇයට සිතෙනවා කොයි තරම් ලක්‍ෂණ රූපයක්ද මුලින් තිබුනේ ක්‍රමයෙන් වෙනස් වෙලා ඇදගෙන බිම වැටුනානේ. මගේ ජීවිතය මම සිතාගෙන සිටියේ වෙනස් නොවෙන එකක් කියා නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටම ඇදගෙන වැටුණ රූපයෙන් ලක්‍ෂිත වූ එම කාන්තාව ට එසේ සිදු වුනා මටත් ඒ ටිකම සිදුවෙනවාමයි ආදී වශයෙන් ඇයගේ සිත් පහළ වී ඇගේ රූපය කෙරෙහි කලකිරී මෙහෙණි සසුනේ පැවිදි වී බවුන් වඩා රහත් වූවාය. පින්වතුනි, මේ කාරණා ගැන සිත් යොදා නිතරම ජීවිතයෙහි අස්ථිර තත්ත්වය පිළිබඳ සිතිය යුතුයි. ජීවිතයක ඇති අස්ථිර ස්වභාවය තේරුම් ගැනීම නිර්වාන ගාමී ප්‍රතිපදාවට යොමුවීමට උපකාරයක් වන බව කල්පනා කරන්න ඊට අලසකම දුරු කොට උට්ඨාන වීර්ය්‍යයෙන් කටයුතු කළ යුතු වන්නේය. බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් දස පෙරුම්දම් පුරා බුද්ධ රාජ්‍යයට පත්වී වදාළ සේක.

එබඳු උතුම් තත්වයට පත්වී උන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි මා විසින් දේශනා කරන ලද ධර්මය දේශනා කළසේක.

පින්වතුනි සියලු දෙනාම හොඳින් කියවා බලා හිතට ගෙන පිළිපැඳ උතුම් නිර්වාණයට පත්වීමට උත්සාහ කළ යුතුවේ. ඔබ සැමට නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 11 වනදා පූර්ව භාග 3.25 ට ලබයි. 12 වනදා සඳුදා පූර්ව භාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]