UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධ්‍යාපනය මිනිස් ජීවිත තුළට ලබා දෙන්නේ සුවිශාල පිටුවහලකි. ‘ධම්ම චරියාව‘ යනු මංගල සූත්‍ර දේශනාවට අනුව දැහැමිව දිවි ගෙවීම මංගල කරුණක් බව බුදුරදුන් පෙන්වා දී ඇත. පන්සිල් සුරකිමින් බුද්ධ දේශනාවට අනුව ජීවත් වන පුද්ගලයා දෙවියන්ගේ පවා ප්‍රසාදයට පත් වන බව සඳහන් වේ. ‘අලීනතා ච’ යන පාලි වචනයෙන් පෙන්වා දෙන්නේ අලසකමින් තොර වීමයි. වටිනා මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට කම්මැලි නොවීම ප්‍රබල සාධකයකි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස...
ආරෝග්‍ය මිච්ඡේ පරමං ච ලාභං
සීලං ච වුද්ධානුමතං සුතං ච
ධම්මානු වත්තී ච අලීනතා ච
අත්ථස්සද්වාරා පමුඛා ජලේතේ

කාරුණික පින්වත,

අද දින ‘බුදුසරණ’ ධර්ම දේශනාව මගින් පහදා දීම සඳහා බලාපොරොත්තුවන්නේ දුර්ලභ මිනිසත් බව ආලෝකවත් කර ගැනීම සඳහා ඉතා උපකාරි වන කරුණු කිහිපයක් පැහැදිලි කර දීම පිණිසය. ඒවා දියුණුවේ දොරටු ලෙස විස්තර කැරේ.

පුද්ගලයාගේ මෙලොව දිවි මඟ සාර්ථක භාවයට පත් කර ගැනීමට බොහෝ සේ උපකාරී වන දියුණුව සඳහා අවශ්‍ය කරුණු අප තථාගත බුදුපියාණන් වහන්සේ සම්බුදු දහම පුරා අපට පෙන්වා දී ඇති බව අමතක කරන්න එපා.

දඹදිව සැවැත්නුවර එක්තරා සිටුවරයකුට සත් හැවිරිදි ඉතා බුද්ධිමත් කුමාරයෙකු විය. මොහු දිනක් තම පියාණන් වෙත පැමිණ පියතුමනි! දියුණුවේ දොරටු මොනවාද? යනුවෙන් ඉතා වැදගත් පැනයක් විමසන ලදී. මේ සඳහා පිළිතුරු සෙවීමට පෙළඹුණු සිටුතුමා ඒ ගැන සැළකිලිමත් වී අවසානයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙතට තම පුතුද සමග පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කොට දියුණුවේ දොරටු මොනවා ද යනු ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

සිටුතුමා පුතුගේ ප්‍රශ්නයට පිළිතුරු සෙව්වද එහෙත් ඒ සඳහා නිසි පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹි බව සිටුවරයා බුදුරදුන්ට පැවසූ පසු බුද්ධිමත් පුතුගේ මෙම ප්‍රශ්නය අගය කළ උන්වහන්සේ මොහු මීට පෙර ආත්මයකදී ද ඉහත ප්‍රශ්නය විමසා ඇති අතර එහෙත් මෙම දරුවාට මේ වනවිට එය අමතක වී ඇති බව පෙන්වා දෙමින් අත්ථස්සද්වාර ජාතකය දේශනා කළ සේක. පෙර බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රජු රාජ්‍ය පාලනය කරන සමයෙහි, බොහෝ සම්පත් ඇති පින්වත් සිටුවරයෙක් ඒ නුවර විසීය. ඔහුට සත් හැවිරිදි පුතෙක් ද වූ අතර දිනක් මෙම පුතු සිටුවරයා වෙත පැමිණ පියාණෙනි, දියුණුවේ දොරටු මොනවාද? යන පැනය විමසූ පසු හෙතෙම දියුණුවට අවශ්‍ය වන ප්‍රධාන කරුණු හයක් (6) පිළිබඳ පෙන්වා දෙනු ලැබී ය.

ඉහත ගාථා ධර්මයෙහි සඳහන් වන පරිදි එම කරුණු මෙසේය.

 

නිරෝගී බව
ආචාරශීලි බව
වැඩිහිටියන්ගේ උපදෙස් පැතීම
හොඳ ඉගෙනීමක් තිබීම
දැහැමිව ජීවත්වීම

අලස නොවීම යන ඒ කරුණු සයයි.

පුද්ගලයාගේ ලෞකික දිවි මග සාර්ථක කර ගැනීමෙහිලා අත්ථස්සද්වාර ජාතකය මගින් පෙන්වා දෙන කරුණු ඉතා වැදගත් ය. ‘ආරෝග්‍යා පරමා ලාභා’ යන බුදුවදනේ ද පෙන්වා දෙන්නේ නිරෝගී බවෙහි උසස් බවයි. ඒ අනුව ගිහි , පැවිදි යන සියලු දෙනාගේම ජීවිත තුළට කායික හා මානසික නිරෝගී බව ඉතා අගනේය.

එසේම සමාජයෙහි ජීවත් වන විට චාරිත්‍ර වාරිත්‍ර දැන ගෙන හිරි ඔතප් ඇතිව ආචාරශීලිව දිවි ගෙවීම මගින් හැම දෙනාගේම ප්‍රසාදයට පත් වීමට ද හැකිය. පුද්ගල ජීවිතයෙහි ආලෝකයට වැඩි හිටියන්ගේ අවවාද අනුශාසනා ඉතා වැදගත් ය. අත්දැකීම් නැමති උපාධියෙන් පිදුම් ලබන ඔවුන්ගේ වචනයට අනුව දිවි ගෙවීම මගින් එය දියුණුවට ප්‍රබල හේතු සාධකයක් වේ. විද්වාත් සවත්‍ර පූජ්‍යතේ’ යන වටිනා ප්‍රකාශයට අනුව අධ්‍යාපනය මගින් පුද්ගල දිවි මඟට ලබා දෙන්නේ සුවිශාල ආලෝකයකි. උගතා සෑම තැනම පූජනීයත්වයට පත් වන බව නූතන සමාජය මගින් ද සනාථ වන කරුණකි.

ඒ නිසා අධ්‍යාපනය මිනිස් ජීවිත තුළට ලබා දෙන්නේ සුවිශාල පිටුවහලකි. ‘ධම්ම චරියාව‘ යනු මංගල සූත්‍ර දේශනාවට අනුව දැහැමිව දිවි ගෙවීම මංගල කරුණක් බව බුදුරදුන් පෙන්වා දී ඇත. පන්සිල් සුරකිමින් බුද්ධ දේශනාවට අනුව ජීවත් වන පුද්ගලයා දෙවියන්ගේ පවා ප්‍රසාදයට පත් වන බව සඳහන් වේ. ‘අලීනතා ච’ යන පාලි වචනයෙන් පෙන්වා දෙන්නේ අලසකමින් තොර වීමයි. වටිනා මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට කම්මැලි නොවීම ප්‍රබල සාධකයකි.

‘පඤ්ඤාය මග්ගං අලසෝ න වින්දති’ යන බුදු වදනට අනුව අලසයාට ප්‍රඥව ලද නොහැකි ය.කුඩා අවධියේ පටන් අධ්‍යාපනය ආදී සෑම අංශයකටම යොමු වීමේ දී අලස නොවිය යුතුය. අලස වීම නිසා දිනෙන් දින පරිහානිය කරා පුද්ගලයා ගමන් කරන බව අප තථාගත බුදුපියාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දී මැනවින් පෙන්වා දී ඇත. මේ අනුව ජීවිතයක් ආලෝකයෙන් ආලෝකය කරා යොමු කර ගැනීමෙහිලා ඉහත සඳහන් කරුණු 6 කොතරම් දුරට දියුණුවට හේතු වන්නේ ද යන්න පැහැදිලි වේ.

අත්ථස්සද්වාර ජාතකය මගින් පෙන්වා දෙන මෙම කරුණු පුද්ගලයා තම ජීවිත තුළට ඇතුළත් කර ගනිමින් බුද්ධිමත්ව ක්‍රියා කිරීම නිසා නිසැක වශයෙන් ම දියුණුව කරා ගමන් කිරීමට හැකියාව ඇත.

මේ නිසා පින්වත් ඔබ ද ඉහත කරුණු පිළිබඳ අවධානය යොමු කොට දුර්ලභ මිනිසත් බව ආලෝකමත් කර ගැනීමට උත්සාහ කළ යුතුය.

‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ දහමට අනුව හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබන බව බුද්ධ දේශනාවයි. අවබෝධයෙන් උසස් පිරිසක් වන ඔබ සැම දෙනා ද දියුණුවේ දොරටු ජීවිත තුළට ළඟා කර ගනිමින් ක්‍රියාකරන ගමන්ම මෙම බියකරු සසර කතරින් එතෙර වී අමාමහ නිවන් සුව ලබන්නට උත්සාහ කරමු.

ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි!

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]