UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවැරැදි පිළිවෙතට පිවිසීමේ අගය

ස්වභාවයෙන්ම හැඟීම්, ආවේග ආතතීන් මිනිස් මනස තුළ හටගැන්වීම සඳහා ඇති පෙළඹවීම අධික ය. එහෙයින් මිනිසා පාලනයකින් කටයුතු කරනු නො ලැබුවහොත්, එයින් තමාට පමණක් නොව අන්‍යයන්හටත් හානිදායක තත්ත්වයක් කරා එකී හැසිරීම අයහපත් වන තරමට සාරධර්ම වලට ප්‍රතිපාක්ෂික චිත්ත සංකල්පවල ක්‍රියාකාරීත්වය ඉහළ අගයක පවතී.  

පුරා විද්‍යාත්මක සාධක මඟින් නිසැක ලෙසම තහවුරු කරගෙන ඇති පරිදි සිද්ධාර්ථ ගෞතම නමින් හඳුන්වනු ලැබූ ඓතිහාසික උතුමා විසින් ස්වකීය දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් වීර්යෙන් දුෂ්කර ක්‍රියා මහත් රාශියක් දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රායෝගිකවම සිදු කළහ. එහි අවසන ප්‍රතිඵලය ලෙස බුද්ධත්වය නම් පරිපූර්ණ බුද්ධිමය විකසිත බව ලබාගැනීම මේ විශ්වය තුළ සිදු වූ අසිරිමත් ම සිදුවීම බැව් පෙන්වා දිය හැකිය. උන් වහන්සේ ලොව්තුරා සම්මා සම්බුද්ධ නමින් අර්ථකථනය කර තිබේ. මේ අවස්ථාව ලොව ජීවමාන කිසිදු මනුෂ්‍යයකු හෝ අමනුෂ්‍යයකු ශාක්ෂාත් නොකළ පරම උත්තරීතර වූ පිවිතුරු වූ නික්ලේශී ශාන්ත අධිගම තත්ත්වයකි. එම නිසාම තමන්ට සමාන වෙනත් අයකු නොමැති හෙයින් අසම නම් වේ. බුද්ධත්වය ශාක්ෂාත් කරනු ලැබූ උතුමන් අසම සම ලෙස හඳුන්වනු ලබන අතර මේ නිසාම උන්වහන්සේ ගේ ඉගැන්වීම් සමස්ත විශ්වයටම පොදු සදාතනික සත්‍යයන් ලෙස දැක්විය හැකිය.

ස්වභාවයෙන්ම හැඟීම්, ආවේග ආතතීන් මිනිස් මනස තුළ හටගැන්වීම සඳහා ඇති පෙළඹවීම අධික ය. එහෙයින් මිනිසා පාලනයකින් කටයුතු කරනු නො ලැබුවහොත්, එයින් තමාට පමණක් නොව අන්‍යයන්හටත් හානිදායක තත්ත්වයක් කරා එකී හැසිරීම අයහපත් වන තරමට සාරධර්ම වලට ප්‍රතිපාක්ෂික චිත්ත සංකල්පවල ක්‍රියාකාරීත්වය ඉහළ අගයක පවතී. සාරධර්මවලට ප්‍රතිපාක්ෂික චිත්ත සංකල්පයන්හි විද්‍යමාන වන ප්‍රබල ලක්ෂණයක් වන්නේ් ඒවා නිරන්තරයෙන්ම කිසියම් අන්තවාදී දෘෂ්ඨියක් සේවනය කරනු ලබන බවයි. මෙකී දෘෂ්ඨි පාක්ෂික ස්වභාවය සාරධර්මවල විද්‍යාමාන නොවන සාධනීය ලක්ෂණයක් ලෙස ද දැක්විය හැකිය. සාරධර්මයන්හි කිසිදු අන්තගාමී දෘෂ්ඨියක් අන්තර්ගත නොවේ. මනුෂ්‍ය චිත්ත සන්තානය ස්වභාවිකව පවතින දෘෂ්ඨිවල එල්බෙන ස්වභාවය අනුක්‍රමයෙන් බැහැර කරමින් ගොස් අවසානයෙහි සියලු දෘෂ්ඨින්ගෙන් මනස විනිර්මුක්ත කර ගැනීම ඉහළම සාරධර්ම තලයයි. සාරධර්මවල ඉහළම පරමාදර්ශී අවස්ථාව වන මෙහි දී සාරධර්ම විසින් එහි අවසාන නිෂ්ඨාව ශාක්ෂාත් කරගනු ලබයි. එමෙන්ම සාරධර්ම නොවන චිත්ත සංකල්ප සේවනය කරනු ලබන අන්තවාදී දෘෂ්ඨි සෑම එකක්ම පාහේ ප්‍රායෝගික ද නොවන බව ද දැකගත හැකිය. ප්‍රායෝගික දේ ක්‍රියාත්මක කර තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි ඒවා වන අතර එහි කිසිදු දෘෂ්ඨි පාක්ෂික ස්වභාවයක් නොතිබිය හැක්කේ ය.

අන්තයක් යනු එක් කොණකි. අන්තයක් යනු එක් පැත්තකට පක්ෂව කරුණු සඳහන් කිරීමකි. එක් අදහසකට, න්‍යායකට, සිද්ධාන්තයකට පක්ෂවීම යනු තවත් අතකින් තවත් එබඳුම අදහසකට, න්‍යායකට, සිද්ධාන්තයකට විරුද්ධවීමක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. එවිට අන්තවාදයක් සේවනය කරන්නාහට තමන්ගේ් අදහසට පක්ෂ හා විපක්ෂ යන කොටස් දෙකක් නිසර්ගයෙන් ම ඇති වේ. මෙබඳු පක්ෂ විපක්ෂ අන්ත දෙකක් පැවතීම කිසියම් දෙයක් පිළිබඳව විචාර පූර්වකවීමේ දී හා ප්‍රායෝගිකව එය කි‍්‍රයාත්මක කිරීමේදී ඇතිවන අනවශ්‍ය බාධාවකි. තමන්ට අභිමත පක්ෂය පිළිබඳව රුචිකත්වයකින් බැඳෙන නිසාත් විපක්ෂ මතයෙහි ගැටීමෙන් නොකමැත්ත ජනිත කරගන්නා නිසාත් ඇලීම හා ගැටීම යන දෙකින්ම හටගන්නා චිත්ත ආතතිමය තත්ත්වය මානසික සංසිඳීම ඇතිකර ගැනීමෙහිලා විශාල බාධාවක් ලෙස පැහැදිලි කළ හැකිය. අන්තවාදී බව නියම ප්‍රායෝගික ක්‍රමවේදය නොවන්නේ නම් නියමාකාර විධික්‍රමය වන්නේ කුමක්දැයි යන ගැටළුව මෙහි දී නිරාසයෙන්ම මතු වේ. එහි දී පෙන්වා දිය හැක්කේ නියමාකාර විසඳුම අන්තර්ගත වන්නේ අන්තවාද සේවනයෙන් මිදීම හෙවත් මධ්‍යස්තාවය තුළ බවයි. මෙයින් අදහස් කරනු ලබන මධ්‍යස්ථානය නම් දාර්ශනික ස්ථාවරයක් වශයෙන් සිත තුළ පහළ කරගනු ලබන මධ්‍යස්ථවීමක් විනා සෑම දෙයක් පිළිබඳවම සිතෙහි ඇති කරගන්නා උදාසීන ස්වභාවය නියමාකාර මධ්‍යස්තාවය නොවන බවයි.

‘බුදු දහම ස්වකීය දහමෙහි කේන්ද්‍රීය හරය ලෙස මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කරනු ලබන්නේ එය ඉදිරිපත් කිරීමට පෙර භාරතය පුරා මුල් බැසගෙන පැවති ශාස්වත හා උච්ඡේදවාදී යන නම්වලින් හඳුන්වනු ලැබූ අන්තවාදී බල කඳවුරු දෙකක් වටා රොඳ බැඳ ගනු ලැබූ තවත් දෘෂ්ඨිවාදි චින්තන සැට දෙකකට (62) පිළිතුරු වශයෙනි. මෙම දෘෂ්ඨිමය චින්තන සැට දෙකෙහිම තිබූ විශේෂ ලක්ෂණයක් වනුයේ තිබූ ද්වි අන්තයන් අතුරෙන් ඒවා කිසියම් එක් අන්තයක් සේවනය කරමින් ගොඩනැඟී ඇති බවයි. මේ හේතුව නිසාම කොපමණ ඉහළ තරාතිරමේ දාර්ශනික වැදගත්බවක් ගැබ් වුවත්, ඒවා ප්‍රායෝගික වශයෙන් අවම අගයක පැවතිනි. බුදු දහම මඟින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපදාව මේ නිසා කිසියම් මධ්‍යස්ථ තලයක් ඇසුරු කරමින් පැවතිනි. මේ හේතුව නිසා බුදු දහමෙහි ප්‍රතිපත්ති සෑම එකක්ම පාහේ සකස්ව ඇත්තේ මධ්‍යස්ථතාවය එහි මූලික පදනම කර ගනිමිනි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව ලෙස අර්ථ දැක්වෙන්නේ එහි සඳහන් අංග අට තුළ සෑම විටක දීම මධ්‍යස්ථ පැවැත්ම විද්‍යමාන හෙයිනි. නොඉපිලී එමෙන්ම නොගිලී සිටිමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු බවට දෙනු ලැබූ බුද්ධානුවවාදය මඟින්ද පැහැදිලි වනුයේ එහි ගැබ්වන මෙකී මධ්‍යස්ථතා ගුණයයි.

චර්යාව සකස් කරනු ලබන ශීල ශික්ෂාව සැලකූ කල ද ආවේදන පැතිකඩ සකස් කරනු ලබන සමාධි ශික්ෂාව සැලකූ® කල ද සංජානන පැතිකඩ සකස් කරනු ලබන ප්‍රඥා ශික්ෂාව සැලකූ® කල ද මේ මධ්‍යස්ථතාවය පැහැදිලිවම දැකගත හැකිය. ශීල, සමාධි හෝ ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවන්හි අන්තර්ගත මධ්‍යස්ථතාවය එහි විද්‍යමාන නොවන්නේ නම් හෝ එලෙස මධ්‍යස්ථතාවයක් රහිත ශීල, සමාධි, ප්‍රඥා ශික්ෂාවන් කිසියම් පුද්ගලයකු හඳුන්වා දෙන්නට උත්සාහ කරන්නේ නම් එවැනි දේ තවදුරටත් මූලික බෞද්ධ ඉගැන්වීම්වලට ගැලපෙන්නේදැයි විමසා බැලීම එය එක්වරම අවිචාරයෙන් යුක්තව පිළිපැදීමට වඩා කාලෝචිතය. බුදුන් වහන්සේ පවා තමන් වහන්සේ ඉගැන්වීම් සොයා විමසා නොබලා බාර නොගත යුතු බව පැහැදිලි කර ඇත්තේ පුහුදුන් මිනිසා පහසුවෙන් නොමඟ යාමට ඉඩකඩ ඇති බව උන්වහන්සේගේ බුද්ධ ඤාණයෙන් වටහාගෙන බැව් අනුමාන කළ හැකිය. නමුත් ආර්ය ඥානය නොමැති පුහුදුන් පුද්ගලයා තවමත් ස්වකීය ප්‍රත්‍යක්ෂය තුළින් ප්‍රායෝගිකව ත්‍රි ශික්ෂාවෙන් පැහැදිලි කෙරෙන ප්‍රතිපදාව අත්විඳ නොමැති නිසාම වරින්වර නියම මඟ යැයි නොමඟෙහි යමින් අතරමං වීම සාමාන්‍ය ස්වභාවයකි.

සාමාන්‍ය තත්ත්වය එබඳු ආකාරවන හෙයින් පුහුදුන් පුද්ගලයා නිතරම ස්වකීය පරමාදර්ශ වශයෙන් සලකා ක්‍රි‍්‍රයාකරනු ලබන සෑම දෙයක්ම ප්‍රායෝගික විධික්‍රම හා සත්‍යය වටිනාකම් ලෙස පිළිගත නොහැකිය. බුදුදහමේ කුමන සංකල්පයක් ගත් කළ වුවත් එම සංකල්පය ක්‍රියාවට නැගිය යුතු වන්නේ මධ්‍යස්ථතාවය මූලික කරගෙනය. අවිහිංසාව, නෛස්ක්‍රමණය වැනි කේන්ද්‍රිය හරයන්හි ස්වභාවය වුවත් එපරිදිය. නෛෂ්ක්‍රමණය යන්නෙන් අදහස් වන්නේ කාමයන්ගෙන් නික්මීමයි. ස්වකීය ගිහි ජීවිතයෙහි පළිබෝධය සළකා තමා සන්තක සියලුම දේ හැර දමා ඉන් වෙන් ව ප්‍රවෘජිත දිවියට පත්වීම මෙයින් අදහස් වුවද, ජීවිතය පවත්වා ගැනීමේ දී උපකාරී වන මූලික සම්පත් ලෙස චීවරය, අට පිරිකර ආදි දේ පරිහරණය කිරීමට මෙයින් බාධාවක් නොමැත්තේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පයෙහි මධ්‍යස්ථතාවය හා ප්‍රයෝගිකත්වය සලකා ගෙනය. චීවර, අට පිරිකර වලින් පවා මිදීම නියමනෛෂ්කම්‍ය බව අන්තවාදී බව සේවනය කරන්නා වූ ඇතැමෙකු විසින් පැවසිය හැකි වුවද කිසිදු වස්ත්‍රයක් නොඇඳ, නොපළඳා, මුළුමනින්ම නිරුවත්ව, වනචාරියෙකු සේ සමාජයෙහි හැසිරීම, දිවි ගෙවීම ආචාර විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව නොගැළපෙන හෙයින් ස්වකීය චිත්ත සන්තානයෙහි කෙළෙස් මුළුමනින්ම විනිර්මුක්ත වූ රහතන් වහන්සේ නමකට වුවද ස්වකීය ජීවිතය පවත්වා ගැනීමේ මූලික අවශ්‍යතාවයක් සේ සළකා අට පිරිකර පරිහරණ කිරීම අකැප නොවේ.

එලෙසින් ම අවිහිංසා සංකල්පය පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවත්, එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේදය ලෙස සඳහන් වන්නේ කිසියම් මධ්‍යස්ථ ඇවතුම් පැවතුම් වලින් යුක්තව කටයුතු කිරීමයි. ඉතාමත්ම අන්තවාදී ලෙස අවිහිංසාව සංකල්පය ක්‍රියාත්මක කරන්නට වෑයම් කළහොත්, ඒ අනුව ජීවත්වීම ප්‍රායෝගිකව අපහසු වන ඉතාමත්ම කරදරකාරී දෙයක් වන හෙයන්, එය ප්‍රායෝගිකව අසාර්ථක ද වනු ඇත. අප ආහාර පාන ගන්නා කළ පියවි ඇසට නොපෙනෙන කොපමණ ක්ෂුද්‍ර ජීවින් ප්‍රමාණයක් එකී ආහාර, පානවල සිට අප නොදැනුවත්වම ජීවිතක්ෂයට පත්වේද? ඒ ගැන සිතා ආහාරපාන නොගෙන සිටියහොත් අප මිය යනු ඇත. එය ද හිංසාවකි. තමන්ගේ ජීවිතය වුව ද නිරපරාදයේ විනාශ කර දැමීම පිණිස හෝ තමන්ට තමන් විසින්ම හිංසා සිදු කර ගැනීම පිණිස කිසිවෙකුහට හෝ කිසිදු අයිතිවාසිකමක් නොමැත. දැඩි අත්තකිලමථානුයෝගී ඇවතුම් පැවතුම් මඟින් ප්‍රකට කරනුයේ තමන්හට හිංසාවන් සිදුකර ගැනීම නොවේද? මහපාරේ ඇවිදින විටක, කොපමණ කුරා කුහුඹුවන් ප්‍රමාණයක් නොදැනුවත්වම අපගේ දෙපයට යට වී මරණයට පත්වනු ඇතිද? ඒ ගැන සිතමින් යන එන කළ හැම විටම, ඉදලක් හෝ කොස්සක් ගෙන පාර අමදිමින් ගමන් කරන්නට උත්සාහ කිරීම ප්‍රයෝගික ක්‍රියාවක් නොවේ.

එහෙත් බුදුන් වහන්සේ භාරතයෙහි පහළ වන විට පැවතියේ ඉහත සඳහන් කළ පමණටම අවිහිංසාවේ අවසාන කෙළවරටම ගිය ජෛන ධර්මය නමින් හඳුන්වනු ලැබූ අන්තවාදී දෘෂ්ඨියක් හා ඉගැන්වීමකි.

අන්තවාදී සංකල්පවලින් වැඩි හොඳක් සිදුවෙතැයි ඇතැම් දෙනෙකු අපේක්ෂා කළත්, බුදුදහමේ මූලික හරයට පිටු පා ක්‍රියා කිරීමෙන් ඇතිවන අවසන් ප්‍රතිඵලය වන්නේ බුදුදහමෙහි ප්‍රායෝගිකත්වය කෙළසීමට පත්වීමයි. ගිහි බෞද්ධ බෙහෝ දෙනා දැන හෝ නොදැන මේ කාර්යයට දායක වනු දක්නට ලැබෙන විට හැඟෙනුයේ වැළ යන අතට මැස්ස ගැසීම පිණිස බොහෝ දෙනා සිටියත්, ඉතාමත් අවංකව මෙත් සිතින් මෙවැනි තැන් පෙන්වා දී නිවැරැදි කරන්නට සමත් ප්‍රබල පුද්ගලයන්ගේ් හිඟය යි. තමන්හට පාඩුවක් සිදුවෙතැයි සලකා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ද දහම අනුව සාවද්‍යය. තමන්හට පෞද්ගලික වශයෙන් පාඩුවක් වුවත්, අනුගමනය කරනු ලබන පිළිවෙතෙහි අඩුපාඩු මෙත් සිතින් පෙන්වා දීම දහමයි. වසර දහස් ගණනක් තිස්සේ බුදුදහමේ නිර්මල බව එලෙසින්ම සුරක්ෂිතව රැගෙන පැමිණීමේ ගෞරවය බෞද්ධ පූජ්‍ය පක්ෂය වෙත අනිවාර්යයෙන්ම හිමිවන අතර, උන්වහන්සේලා විසින් එහි ඓතිහාසික ස්වරූපය වර්තමානය දක්වා එලෙසින්ම අවිච්ඡින්නව පවත්වාගෙන ඒම පිණිස එදා සිට අද දක්වා සිදුකළ අනුපමේය කැපවීමට නිසි සාධාරණත්වය ඉටු වන්නේ අද දවසෙහි එහි පැවැත්මට අප විසින් දක්වනු ලබන දායකත්වය කුමක්ද යන්න මත පමණක් බව සිහිතබා ගැනීම වැදගත්ය.

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]