UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය

පිරිත බුද්ධභාෂිතයකි. ඒ නිසාම එහි සුවිශේෂත්වයක් හා පාරිශුද්ධ බවක් ජනනය වේ. එම පාරිශුද්ධිය සංකේත වත් කරනුයේ වඩාත් සුවිශේෂ වූ මණ්පයක් තුළම එම සජ්ඣායනය සිදු කිරීමෙනි. පරිත්‍රාණ දේශනාව වැදගත් ශාසනික කාර්යයකි. පැහැදිලි කරන්න.

පිළිතුර

සුමට වූ සුමිහිරි වූ, වදන් තුළින් සහනදායී සාමකාමී වටපිටාවක් නිර්මාණය කරගත හැකි ය. ගැඹුරු වූ මානසික භක්තිය තුළින් ගොඩනැගෙන සත්‍ය වූත් හරවත් වූත් වාග් මාලාවකට (වචන සමූහයකට) ඇත්තේ එයටත් වඩා අපරිමිත වූ බලයකි.

පිරිත නමින් හැඳින්වෙනුයේ ද සත්‍ය වූ ගුණ සමූහයක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීම තුළින් කරනු ලබන ආශිර්වාද දේශනයකි. මේ නිසා පිරිත තුළ ඇත්තේ අසීමිත බලයකි. ශක්තියකි. (පිරු.පොත්. පූර්විකාව) බෞද්ධයනට ශ්‍රද්ධාවෙන් භක්තියෙන් විශ්වාසයෙන් තෙරුවන් සරණයාම බුදුන්වහන්සේ අනුමත කළ ක්‍රමයයි. මෙහිදී යාඥාව හෝ ආඥාව යන දෙකම බැහැර කරයි.

ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගෙන, සිත පහන් කිරීම පදනම් කරගත් ගුණ සමුදායෙන් බියට විපතට පත්වූවන්ට ආරක්‍ෂාව සෙත ශාන්තිය ළඟා කර ගත හැකි ය. එසේ අභ්‍යන්තර ගුණ සමුදායෙන් බැඳී දේශනා කළ සූත්‍ර පිරිත් සූත්‍ර නමින් හැඳින්වේ.

පිරිත් කීම, පිරිත් ඇසීම යන අවස්ථාවන් දෙක අතර හඳුනාගත හැකි මෙම පූජා චාරිත්‍ර- විධි පෙළදහමෙහි සෛද්ධාන්තික (නියමයන්) අංශයත් ව්‍යවහාරික අංශයත් යන අංශ දෙකම නියෝජනය කරයි. සිතින් සිතාගෙන හදවතට දැනෙන අපූර්ව සංවේදනාවලියකුත් නෙත් දෙකින් දැක ගත හැකි, බුද්ධියෙන් තේරුම් ගත හැකි නිර්මාණාත්මක රටාවකුත් ඒ තුළ වෙයි. පිරිතේ ගුණ පන තරමටම නෙතට යොමුවන එම ගුණාත්මක සාධු ගුණය සිතට දැනෙන්නේ පිරිත් මණ්ඩපයෙනි. මෙම පිරිත් මණ්ඩපය පිරිතෙහි අපරිමිත බල මහිමයත් අපූර්ව සාධුගුණ මහිමයත් විදහාලන අසිරිමත් සංකේතයකි.

පිරිත් මණ්ඩපය ඉදිකරනුයේ පට්ටම් (පැති) අටක එකතුවන සේය. ඉන් ප්‍රධාන දොරටුව ඇතුළු තවත් තුන් පැත්තක කවුළු තුන තරමක් විශාල ලෙස සකස් කෙරේ. අනෙක් පට්ටම් හතරේ කවුළු කුඩාවට සකස් කෙරෙන අතර ප්‍රධාන දොරටුව උතුරට හෝ නැගෙනහිර දිසාවට මුහුණලා සකස් කෙරේ. මේ දිසා දෙක නැගෙනහිර හා උතුර සුබ දිසාවන් ලෙස පිළිගැනේ. බුද්ධත්වය නැගෙනහිර දිසාව තුළින් ද පරිනිර්වාණය උතුරු දිසාව තුළින් ද සංකේතවත් කෙරේ. පිරිත් මණ්ඩපයේ බහුල වශයෙන් දක්නට ලැබෙන නෙලුම් මල බෞද්ධයන් පූජනීය වස්තුවක් වශයෙන් බුදු සිරිතට ද සම්බන්ධ කොට තිබේ. සඳකඩ පහනේ නෙළුම් පෙති අඩ විකසිත බවින් නිවන් මඟට පිවිසීම වශයෙන්ද සලකා ඇත. කෙසේ වෙතත් මෙම නෙළුම් මල යොදා ගැනීමෙන් තමා සිදු කරන කාර්යයෙහි ප්‍රසන්න භාවය හා නිර්මලභාවය ප්‍රකට කරයි.

පිරිත් මණ්ඩපය ආශි‍්‍රත නිර්මාණයන්ගෙන් වැදගත් වන තවත් නිර්මාණ තුනකි, පුන්කලස ඉන්ද්‍රඛීලය (රාජගහ) සහ පැන් කලය. මණ්ඩපය වටා පුන්කලස් අටක් තබා පහන් දල්වයි. පුන්කලස තුළින් සෞභාග්‍යය අපේක්‍ෂා කරන බව විශ්වාසයයි. පිරිතේ ආනුභාවය හා ආරක්‍ෂාව සැබවින්ම ලබා ගැනීමට නම් පිරිත් දේශනා පිළිබඳව මනා වැටහීමක් පැවතිය යුතු ය. පිිරිත හුදු දේශනාවක් ම පමණක් නොවේ. එහි අරමුණු සාධනය සඳහා පිරිතේ ජීවමානත්වය තම සිත තුළ ගොඩනඟා ගත යුතු ය. දේශකයාණන් පමණක් නොව ශ්‍රාවකයාද තෙරුවන් පිළිබඳ සැබෑ සැදැහැයෙන් සීලයෙන් විශ්වාසයෙන් යුතුව තමා වෙත පිරිතේ ජීවය ග්‍රහණය කළ යුතු ය.

පිරිත බුද්ධ භාෂිතයෙකි. ඒ බුද්ධ දේශනාව භික්‍ෂූන් වහන්සේ දේශනා කරන්නේ සධාතුක කරඬුව පිරිත්පොත හා සම්බන්ධ වූ පිරිත් නූල (පිරිත්හුය) අතැතිවය. පිරිත්හුය පිරිත් කරන වස්තූන් හා පිරිත් අසන්නන් ද සම්බන්ධ කරයි. පිරිත් මණ්ඩපය ආශි‍්‍රත සැරසිලි හා වත් පිළිවෙත් ආගමික හා මානව විද්‍යාත්මක අගයෙන් ද පිරිපුන් බව මෙයින් පෙනී යයි. සිංහලයාගේ අද්විතීය කලා නිර්මාණ වශයෙන් සඳකඩ පහණ, මුරගල්, ලිය වැල්, තරමටම පිරිත් මණ්ඩපයද සම්භාවනාවට ලක් වෙයි. (ආචාර්ය දයා අමරසේකර, බුදු දහම හා සමාජය ග්‍රන්ථය ඇසුරෙනි.)
 


ප්‍රශ්නය

සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණෝ සුඛමාවහාති
සච්චං භවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං

මිනිසාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ උතුම් ධනයයි. ධර්මය ප්‍රඟුණ කළ විට සැප ගෙන දෙයි. රසයෙන් සතපයි. (මධුර) මිහිරි රසය වෙයි. ප්‍රඥාවෙන් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨම වන්නේ ය. (ආලවක සූත්‍ර) මේ සාධු ධර්මය මිනිසා ගතින් මෙන්ම සිතින් ද සුවපත් කරයි. පැහැදිලි කරන්න.

පිළිතුර

ගත, සිත, රෝගී වීම ජීවත්වීමේ කැමැත්ත අකමැත්තෙන් ඉවත්වීමකි. පුද්ගල ජීවිතය නිරෝගී වීම සම්පතකි. උතුම් ලාභයකි. ආරෝග්‍යා පරමාලාභා යන බුදු වදනට අනුව නිරෝගී මිනිස් සම්පතකින්, සමාජයට හිතකර (හිතානුකම්පී) සමාජානු යෝගී නීරෝගී පුද්ගල සමූහයකින් උන්නතිගාමී සමාජයක් බිහිවනු ඇත. බුදු දහමට අනුව මිනිසා සිත මූලික කොට සිත පෙරටු කොට ගෙන ශ්‍රද්ධා ධනයෙන් ධනවතෙක් මෙන්ම ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් ද වෙයි. එබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකු සමාජය තුළම විකසිත වෙයි. මනහර සුවඳවත් පියුමක් සේ ප්‍රඥාවෙන් කැපී පෙනෙයි. එබඳු සමාජයක සත්‍යය හෘදයාංගම බව, පි‍්‍රය මනාප බව, පි‍්‍රය දසුනක් ම වෙයි. පෙළ දහමට අනුව ශ්‍රද්ධාව ප්‍රසන්ත අර්ථයෙහි ශෝභන චෛතසික ධර්මයක් බව පෙනේ. භක්තිය, ශ්‍රද්ධාව, ඇදහීම, ආගමික උද්‍යෝගය අධික ප්‍රසන්න භාවය, ශ්‍රද්ධා බුද්ධිය යනාදී සමාන්තර අදහස් (පාලි, සිංහල, අකාරාදිය බුද්ධ දත්ත හිමි) දැක්විය හැකි ය. ශෝභන චෛතසික කාණ්ඩයෙහි, ශෝභන චෛතසික විසිපහ (25) අතුරෙන් දහනමයක්ම (19) ශෝභන සාධාරණ වශයෙන් දැක්වීමෙහිදී මුලින්ම සඳහන්වන්නේ සද්ධා චෛතසිකයයි.

මෙහි සද්ධා නම්, සිතෙහි යෙදෙන බුද්ධාදී තෙරුවන් අරමුණු කොට ගත් ධර්මයෙන් පහදවන ස්වභාව යයි. මෙහි ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ දෙකක් දක්වයි.

1. සම්පසාදන ලක්‍ෂණය
2. සම්පක්ඛන්ධන ලක්‍ෂණය

මිලින්ද පඤ්හයේ ද මිලිඳු රජු නාගසේන හිමියන්ගෙන් ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ, කෙසේ දැයි ඇසූ ප්‍රශ්නයට මෙම ලක්‍ෂණ ද්වයම පෙන්වා ඇත. එහි දී කමනීය නිදර්ශනයක් ද දක්වමින් පැහැදිලි කරයි. ‘චක්‍රවර්ති රජකුගේ’ උදක ප්‍රසාදක මාණික්‍යය කැලැතුණු බොර දියට දැමූ විට බොර මඬ සෙවෙල් දෑ අපිරිසුදු දේ බැහැර වී ජලය ඉතා නිර්මල බවට පත් වන්නාක් මෙන් ශ්‍රද්ධාවෙන් සිත අති ප්‍රසන්න වෙයි. “යථා උදකප්පසාදකො මණි එවං සද්ධා දට්ඨබ්බා (මිලි. පඤ්හා ලක්පඤ්හ 12 30 ) යනුවෙන් එම අදහස පෙන්වා දෙයි. එසේ ශ්‍රද්ධාව ඇතිවෙත්ම පංචනීවරණ ආදී ක්ලේශ ධර්මයන් යටපත් වී සිත මනාව ප්‍රසන්න වන්නේ ය.

සම්පක්ඛන්ධන ලක්‍ෂණයද අභිධර්මයේත් මිළින්ද ප්‍රශ්නයේත් එක හා සමාන ලෙසින්ම විස්තර කොට ඇත. මහා මේඝයක් පර්වත මුදුනින් ඇදහැලී කඳු ගල් ගස් දෑ යටකරමින් යන සැඩ ගැඹුරු ගඟදිය දැක දෙපසින් ආ ජනයා ජල ඕඝයට බියෙන් ගංතෙර රැස්ව සිටිති. එතනට අභීත බලැති පුරුෂයෙක් කැසපට ගන්වා දියට බැස කඩුවෙන් දැතිමෝරුන් කපමින් තමාද එතෙර වන අතර අන්‍යයන්ද එගොඩ කරවීමට උපකාර කරන්නේ ය.

මේ අනුව සමහරු ධෛර්ය සිත් උපදවා එතෙරට යාමට උත්සාහ කරති.

එමෙන්ම යෝගී පුද්ගලයාද අනුන්ගේ මිදුණා වූ සිත් බලා සතර ඵලයට පැමිණීමට වීර්ය කරනුයේ මේ සම්පත් ඛන්ධ ලක්‍ෂණයයි. මිනිසුන් එතෙර කරන්නාසේ ශ්‍රද්ධාව සිත කුසලයට නංවන්නේ ය. මේ ජලෝඝයන් තරණය කරන්නාක් මෙන් කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන මහෝඝයන් ශ්‍රද්ධාවෙන් තරණය කරන බව ආලවකයා ගේ මේ කථංසු තරතී ඕඝං යන ප්‍රශ්නයට සද්ධාය තරතී ඕඝං යනුවෙන් ශ්‍රද්ධාවෙන් ඕඝයන් තරණය කරන බව බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන් සේක.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]