UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉංගී‍්‍රසි පාලකයන්ගෙන් බුහුමන් ලද ශ්‍රී දළදා වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ වම් දළදාවහන්සේ (ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය, මහාචාර්ය වල්පොල රාහුල හිමි 332 පිටුව) අප රටට වැඩම කරවීම සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්තය නොදන්නා කෙනෙකු නැති තරම් ය. ඉන්දියාවේ කාලිංග දේශයේ රජතුමා සතු රාජකීය වස්තුවක් වශයෙන් සලකන ලද දළදා වහන්සේ, එරටට එල්ල වූ සතුරු ආක්‍රමණයන් නිසා එහි ආරක්‍ෂාව සඳහා හේමමාලා, දන්තකුමාර යන රාජකීය දූතයන් අත ලංකාවට එවීය. ඉතා අනාරක්‍ෂිත දුෂ්කර ගමනකින් පසුව මේ කුමරා හා කුමරිය කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරි මෙවන්) රජතුමාගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී ලංකාවට පැමිණියහ. අතිවිශිෂ්ට මෙම පූජනීය වස්තුව ගෞරව බහුමානයෙන් පිළිගත් රජතුමා දෙවනපෑතිස් රජු විසින් කරවන ලද ධම්මචක්ක නම් විහාර මන්දිරයෙහි තැන්පත් කොට පුද පූජා කරන ලද බව මහාවංශයෙහි සඳහන් වේ.

දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන විට දී මෙහි සම්ප්‍රදාය දෙකකට අයත් භික්‍ෂු මූලස්ථාන දෙකක් පැවතුණි. ඉන් එක් භික්‍ෂු මූලස්ථානයක් වූයේ මහා විහාරයයි. අනික් භික්‍ෂු මූලස්ථානය වූයේ තරමක් ප්‍රතිසංස්කරණවාදී භික්‍ෂූන් සිටි අභයගිරියයි. කිත්සිරිමෙවන් රජතුමා දළදා වහන්සේගේ භාරකාරත්වය පවරා දුන්නේ අභයගිරි පාර්ශ්වයේ භික්‍ෂූන් වහන්සේලාටයි. එතැන් සිට රජකම් කළ රජවරුනුත්, භික්‍ෂූන් වහන්සේත් බෞද්ධ ජනතාවත් දළදා වහන්සේට අති බහුමානයෙන් පුද සිරිත් ඉටු කළ බවට ඓතිහාසික ලිපිලේඛන, සාහිත්‍ය මුලාශ්‍ර, ජනශ්‍රැති, ජනප්‍රවාද මගින් තහවුරු වේ. එදා මෙදා තුර දළදා වහන්සේ වෙනුවෙන් නිර්මාණය වූ සාහිත්‍ය කෘති, ශාස්ත්‍රීය කෘති අතිවිශාලය. මහාවංසය, දාඨාවංසය, දළදා පූජාවලිය, දළදා සිරිත, කඳවුරු සිරිත වැනි ඉතා වටිනා ඉතිහාස සාහිත්‍ය කෘතිවලින් ද, ෆාහියන් චීන භික්‍ෂූන් වහන්සේගේ දේශාටන වාර්තාවෙන් ද දළදා වහන්සේට දක්වන ලද පූජා පිළිබඳ මාහැඟි තොරතුරු සමුදායක් හෙළිදරව් වේ.

දළදා වහන්සේගේ ගමන් මග

දළදා පූජාව හා පෙරහර පැවැත්වීම රජතුමාගේ රාජ්‍ය පාලනයෙහිම කොටසක් වශයෙන් අනුරාධපුර යුගයේ සිටම පිළිගත් සම්ප්‍රදායක් වූ බැවින් කිත්සිරිමෙවන් රජුගේ සිට සිංහලයේ අවසාන රාජ්‍ය පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා සියලුම බෞද්ධයා බෞද්ධ රාජ්‍ය පාලකයෝ පිළිගත්තෝ ය.

එපමණක් ද නොව මෙම උත්තරීතර රාජකීය වස්තුව ආරක්‍ෂා කිරීම ලංකාවේ රජුගේ පරම වගකීම ද විය. ඒ බව හතරවෙනි මහින්ද රජුගේ ජේතවන සෙල්පුවරු ලිපියෙන් ද ලංකාවේ රජු හැටියට පිළිගැනෙනු කැමැති කවර රජදරුවකු හෝ මේ දන්තධාතුව හා පාත්‍රධාතුව තමන් සතු කොට ගැනීම අවශ්‍යයි සලකන ලද්දේය යනුවෙන් සඳහන් කරන කොඩිරින්ටන් හා ජී.සී. මෙන්ඩිස් යන ඉතිහාසඥයන්ගේ ප්‍රකාශවලින් ද සනාථ වේ. (ලංකාවේ බුදුසමයේ ඉතිහාසය මහාචාර්ය වල්පොල රාහුල හිමි 105 පිටුව) දළදාවේ ආරක්‍ෂාව ගැන රජවරුන් ගත් උත්සාහය ගැන මහාවංසය හා අනිකුත් සාහිත්‍යයමය මූලාශ්‍ර ඇසුරින් මතු කරගත හැකි තොරතුරු ස්වල්පයක් මෙතැන් සිට දක්වනු කැමැත්තෙමි.

ක්‍රි.ව. 338 දී රාජ්‍යත්වයට පත් සුප්‍රකට වෛද්‍ය විශේෂඥයකු වන බුද්ධදාස නරපතියා කිත්සිරිමෙවන් රජු දළදා පුදපූජා පෙරහර පිළිබඳව පැනවූ සියලු නීතිරීති ඒ වූ පරිදිම අනුගමනය කළේ ය. ඔහුගේ පුත් උපතිස්ස රජතුමා ද තමාගේ කාලයේ ඇති වූ මහා නියඟයක් පහ කිරීම සඳහා සම්බුද්ධ ධාතු, පාත්‍ර ධාතු හා ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදර්ශනය කරමින් රතන සූත්‍රය සජ්ඣායනා කරමින් මහා පෙරහරක් පැවැත් වූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් නියඟය දුරු වී මහවැසි පතිත වූ බවත් මහාවංසයේ දැක්වේ. (ම.ව. 37 පරි. 219 පිටුව)

අනුරාධපුර රාජධානියට වරින්වර එල්ල වූ චෝළ ආක්‍රමණ නිසා රජවරුන්ට රටත්, ජාතියත් ආගමත්, බේරා ගැනීමට නිරන්තරයෙන් යුද්ධ කලකෝලාහලවලට මැදිවීමට සිදුවිය. ක්‍රි.ව. 16 වන ශතවර්ෂය වන විට අනුරාධපුර රාජධානිය බිඳ වැටුණ අතර, එම රාජධානියේ අවසාන සිංහල රාජ්‍ය පාලකයා වූ පස්වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 982 – 1029) දසවන රාජ්‍ය වර්ෂයේ දී එනම් ක්‍රි.ව. 992 දී අනුරාධපුර රාජධානිය අවසන් විය.

පොළොන්නරු රාජධානියේ ආරම්භයේ එහි පාලකවරු වූවෝ චෝළයෝ ය. එකී චෝළ පාලකයන්ට එරෙහිව දීර්ඝකාලීන ව සටනක් කොට ලංකාව යළිත් සිංහල පාලනයට නතු කරවීමට සමත් වීරත්වයෙන් ගරු සැලකුම් ලැබූ 1 වැනි විජයබාහු රජතුමා පොළොන්නරුවම තමාගේ ද රාජධානිය වශයෙන් තෝරා ගත්තේ ය. මේ රජතුමා ක්‍රි.ව. 1055 සිට 1110 දක්වා දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කළේ ය. මහාවිජයබාහු නමින් ද හඳුන්වන මෙම නරපතියා බුද්ධ ශාසනයට අනූපමේය සේවයක් ඉටු කරමින් දළදා වහන්සේට ඉමහත් ගරු සත්කාර කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ මොහුගේ රාජ්‍ය කාලය තුළ ලංකාවට සෞභාග්‍ය හා ශ්‍රී සමෘද්ධිය නැවත ලැබීමයි. “සිංහලයන්ට නිදහස ලබාදුන්නේ ඒ රජතුමා බවත්, සිංහල ජාතිය ගොඩනැඟූ අය අතර ප්‍රධාන ස්ථානයක් එතුමාට ලැබෙන බවත් නිසැකය” යි ආචාර්ය නීලකණ්ඨ ශාස්ත්‍රී නම් ඉතිහාසඥයා දක්වයි (ලංකා ඉතිහාසය දෙක භාගය ලංකා විශ්වවිද්‍යාල ප්‍රකාශනය 415 පිටුව) දළදා වහන්සේට පුද පූජා කිරීම පිළිබඳ පුනරුදයක් ඇති කිරීමට මහා විජයබාහු රජතුමා උනන්දු විය. රජකමට නියම අයිතිය ලැබෙන්නේ දළදා වහන්සේ අත්පත් කරගෙන සිටි කුමාරයකුටය යන විශ්වාසය පොළොන්නරු යුගයේ දී තහවුරු විය. මේ නිසා විජයබා රජතුමා නුවරගල් දේව සෙන්පතියා ලවා මාහැඟි දළදා මැඳුරක් කරවා දළදා පූජා මහෝත්සවයක් ආරම්භ කළේ ය. මේ රජුගේ ඇවෑමෙන් එම මාලිගාවටත්, ඊට අයත් වටිනා වස්තුවලටත් හානි සිදු වූ බැවින් පොළොන්නරුවේ වැඩ සිටි දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව රෝහණ දේශයට ගෙන ගොස් ආරක්‍ෂාව සැලැස්වීමෙන් පෙනී යන්නේ දළදා වහන්සේට රාජකීයන්ට සමාන දේපොලක් රජවරුන් විසින් පූජා කර ඇති බවයි. රෝහණ දේශයේ තිබූ දළදාව යළි පොළොන්නරුවට වැඩමවා ගත්තේ රෝහණය සමඟ බිහිසුනු සටනක් කොට මහාපරාක්‍රමබාහු රජතුමා විසිනි. දළදා වහන්සේට වැඩ සිටීම සඳහා මහින්ද නැමති ඇමතියෙකු විසිතුරු දළදා මාළිගාවක් කරවන ලදී. රෝහණ දේශයේ සිට දළදා වහන්සේ මඟ වඩින බව ඇසූ රජතුමා පෙර ගමන් කොට එය හිස මත තබාගෙන මහජනතාවට ප්‍රදර්ශනය කොට, නගරයේ තාවකාලික දළදා මණ්ඩපයක් කරවා ප්‍රධාන ස්ථවිරවරුනුත් සියලු ඇමතිවරුනුත්, සේනාවත්, පිරිවරා ගෙන නෘත්‍ය ගීතවාදිතාදියෙන් පූජා පැවැත්විය. එකල වැසි කාලයක් නොවූවත් දන්තධාතුව නගරයට වැඩම කරත් ම වැසි වට බවත් එම වැස්සෙන් රැස්ව සිටි පිරිසට හෝ සැරසිලි ආදියට හානියක් නොවූ බවත් චූලවංශයෙහි දැක්වේ. දළදා වහන්සේ පෙරහරින් පිටතට වැඩම කරවන විට වැසි වසින්නේ යැයි බෞද්ධ මහජනයා අතර දැනුදු විශ්වාසයක් පවතින්නේ මේ හාස්කම නිසා විය යුතු ය. දළදා වහන්සේ උදෙසා පරාක්‍රමබාහු රජතුමා අවුරුදු පතා දළදා උළෙල පැවැත් වූ බව චූල වංශයෙහි දක්වා තිබේ. නිශ්ශංක මල්ල රජු දළදා වහන්සේ කෙරහි දැක් වූයේ මීටත් වඩා දැඩි භක්තියකි. පොළොන්නරු නටබුන් අතර තිබෙන හැටදාගේ (පැය හැටකදී තනා නිම කළ නිසා මෙම නම ව්‍යවහාර කරන බව ජනප්‍රවාදයයි.) දළදා කරඬුව තැන්පත් කිරීම සඳහා ඔහු විසින් කරවන ලද්දකි. ඔහු දළදා වහන්සේට සුවිශේෂි පූජාවක් ද කළේ ය. එනම් වීරබාහු නමැති තම පුත් කුමරාත් සර්වාංග සුර්දරී නමැති දූ කුමරියත් පූජා කිරීමයි. ඉන්පසු රජතුමා රන්මුවා දාගැබක් තම දරුවන්ගේ මිල හැටියට පූජා කොට ඔවුන් දෙදෙනා නිදහස් කරගත්තේ ය. ක්‍රි.ව.1209 – 1210 කාලයේ දී රජකම් කළ ලීලාවතී රැජින ද විශේෂ පෙරහක් කළ බව ද දාඨවංසයෙහි සඳහන් වේ.

අනුරපුර යුගයේ අවසාන භාගයේ දී මෙන්ම පොළොන්නරු යුගයේ අවසාන භාගයේ දී ද රට සතුරු උවදුරින් වියවුලින් වියවුලට පත්විය. අවසානයේ දී මේ රට ආක්‍රමණය කළ කාලිංග දේශයේ මාඝ නම් කෲර පාලකයා පොළොන්නරුවේ ශ්‍රී විභූතිය විනාශ කිරීමේ ප්‍රතිඵලය වූයේ සිංහල රජවරුන්ට සිය ආරක්‍ෂාව සඳහා නිරිත දිගට පලායෑමටයි. එහි ප්‍රතිඵලය වූයේ යාපහුව හා දඹදෙණිය යන ස්ථානවල රාජධානි ගොඩ නඟා ගැනීමයි. දඹදෙණි රාජධානිය ආරම්භ කළ විජයබාහු රජුගේ (වත්හිමි) පුත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා උගතෙක් මෙන්ම සැදැහැවත් බෞද්ධයෙක් ද වූයේ ය. රාජ්‍යයේ ආරක්‍ෂාවත්, රජතුමාගේ රාජ්‍යත්වය පිළිබඳ නීත්‍යනුකූල අයිතියත් පිළිබඳ ජනතා සම්මත සංකේතය ශ්‍රී දළදා වහන්සේ වන බැවින් සියලුම රජවරු දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමටත්, ගරු බුහුමන් කිරීමටත්, දැක් වූ උනන්දුව අප්‍රමාණය. ඒ අනුව දඹදෙණියේ රාජ්‍යත්වයට පත් තුන්වන විජයබාහු රජතුමා බෙලිගල දුර්ගයෙහි විහාරයක් කරවා දළදාව එහි තැන්පත් කොට පුද සිරිත් ඉටු කළේ ය. ඉන් පසුව දඹදෙණිය රාජ්‍යවංශයේ සුප්‍රකට නරපතියා වූ දෙවන පරාක්‍රමබාහු රජතුමා රාජවාසල තුළම විහාරයක් කරවා බෙලිගල වැඩ සිටි දළදා වහන්සේ එහි වැඩම කරවා පුද සිරිත් කළේ ය. පස්වන පරාක්‍රමබාහු රජතුමා කුරුණෑගල රාජධානිය කරගත් පසු දළදාව එහි වැඩමවා ඊට ගෞරව වශයෙන් කළ වත්පිළිවෙත් හා මහාජන පූජෝත්සව විධිමත් කරනු පිණිස ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව චූලවංශයේ හා දළදා සිරිතේ සඳහන්ව ඇත

දළදා පුදසිරිත් ව්‍යවස්ථාගත වෙයි

වර්තමාන කාලයේ දළදා වහන්සේ සඳහා පවත්වනු ලබන විධිමත් පුද සිරිත් දෙස බලන විට ඒවා කුරුණෑගල යුගයේ හතර වන පරාක්‍රමබාහු රජු පැනවූ නීතිරීති හා ව්‍යවස්ථා පදනම් කරගෙන ඇති වූ බව පැහැදිලි වේ. ලංකා ඉතිහාසය දෙක භාගය ලංකා විශ්වවිද්‍යාල ප්‍රකාශනය 714 – 718 දක්වා පිටු දඹදෙණිය රාජධානියේ බිඳ වැටීමත් කුරුණෑගල රාජධානියේ අස්ථිරත්වයත්, ගම්පොළ රාජාධානියේ තාවකාලික තත්ත්වයක් හේතුකොට ගෙන දීර්ඝ කාලයක් දළදා වහන්සේ පිළිබඳ නියම තොරතුරු අනාවරණය නොවේ. මේ අතර සිංහල රාජධානිය සීතාවක, රයිගම් හා කෝට්ටේ යන ප්‍රදේශ තුනකට බෙදීයාමත් ප්‍රාදේශීය පාලකයන්ගේ අසමගියත් බුද්ධ ශාසනයේ පරිහානියට කෙළින්ම බලපෑවේ ය. එම අස්ථාවර දේශපාලන තත්ත්වය වෙනස් කළේ හයවෙනි පරාක්‍රමබාහු නම් වන කෝට්ටේ රාජධානියේ පාලකයා විසිනි. ඔහුගේ රාජ්‍ය කාලය වන ක්‍රි.ව. 1412 – 1467 කාලය තුළ තුන් සිංහලය අවසන් වරට එක්සේසත් කොට රටත්, ජාතියත් බුද්ධ ශාසනයත් දියුණුවෙන් දියුණුවට පත්විය. මේ රජතුමා දළදා වහන්සේ සඳහා තෙමහල් දළදා මැදුරක් කරවා තිබූ බව සැළලිහිණි සංදේශයේ “වඳු දළදා හිමි තෙමහල් පහය රැඳි” (සැළලිහිණි සංදේශ 17 කවිය) යන්නෙන් සනාථ වේ. හය වන පරාක්‍රමබාහු නරපතියා පෙර රජ දරුවන් ගියමග යමින් අංග සම්පූර්ණ දළදා පෙරහරක් කරවූ බව (චූලවංශයේ 89 වන පරිච්ඡේදය) පමණක් නොව දළදා කරඬුව මහාර්ඝ මුතු මැණික් ආදී නවරත්නයෙන් විභූෂිතව සකස් කොට දළදාව එහි ස්ථාපනය කොට ආරක්‍ෂා කළේ ය. මෙම රජතුමා විසින් ගොඩනඟන ලද කෝට්ටේ රාජධානිය හා ලංකාවේ ශ්‍රී විභූතිය ක්‍රි.ව. 1505 දී ලංකාවට කඩා වැදුණු පෘතුගිසි ජාතිකයන් විසින් විනාශ කර දමන ලදී. මුහුදුබඩ ප්‍රදේශවල සියලු වෙහෙර විහාර වනසා දැමූ ඔවුහු දළදා වහන්සේ රැකගත් සංඝයා වහන්සේ ද සමුලඝාතනය කළෝ ය. මේ මහා විනාශයන්ගෙන් දළදා වහන්සේ බේරා ගැනීම එකල සිටි ශාසන මාමකයන්ගේ පරම වගකීම වූයෙන් එම දළදාව සබරගමු ප්‍රදේශයේ දුර්ගම ස්ථානයක පිහිටි දෙල්ගමු (ලබුජගාම) විහාරයේ කුරක්කන් ඇඹරීමට ගන්නා ගලක් යට තැන්පත් කොට සඟවා තබන ලදී. ඉන්පසු දළදා වහන්සේට පැවැත්විය යුතු පුද සිරිත් ඉටු කිරීමට සමත් ලංකේශ්වරයෙක් පහළ වූයේ සෙංකඩගල පුරවරයෙහි ය. සැබෑ සිංහල රාජ්‍ය පාලකයෙකු වීම සඳහා දළදා වහන්සේ තමා සතු කර ගත යුතුය යි ජනතාව තුළ වූ මතයට ගරු කළ සෙංකඩගල රාජධානියේ පාලකයා වූ පළමුවැනි විමලධර්මසූරිය රජතුමා දෙල්ගමු මහා විහාරයේ සුරක්‍ෂිතව තිබූ දළදා වහන්සේ සෙංකඩගල නගරයට වැඩම කරවාගෙන අවුත් තමාගේ රාජමාලිගාව සමීපයෙහි දෙමහල් මැදුරක් ඉදිකරවා එහි තැන්පත් කොට මහත් පුද පෙරහර පැවැත්වූවේ ය. (චූල වංශය 92 පරිච්ඡේදය 11 – 14 ගාථා) එවක් පටන් අද දක්වාත් සෙංකඩගල පුර හෙවත් මහනුවර රාජධානියේ කන්ද උඩරට රජවරු මේ අසහාය පූජ්‍ය වස්තුවට පැරැණි කාලයේ මෙන්ම පුද සිරිත්, පෙරහර පැවැත් වූ බව ඓතිහාසික තොරතුරු වලින් සනාථ වේ.

දළදා වහන්සේ ඉංගී‍්‍රසීන් භාරයට

බටහිර ආක්‍රමණිකයන් අතරින් ඉතා බලවත්ම ආක්‍රමණිකයා වූ ඉංගී‍්‍රසින් විසින් ක්‍රි.ව. 1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුම මගින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කොලනියක් බවට පත්විය. මේ වන විටත් උඩරට රාජ්‍යයේ අවසාන රාජ්‍ය පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සිරභාරයට ගෙන සිටියේ ය. ඉංගී‍්‍රසි පාලකයා වූ සර් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ග්‍රහණයෙන් දළදා වහන්සේ බේරා ගැනීමට උඩරට ප්‍රධානීන්ගේ හා භික්‍ෂූන් වහන්සේගේ පරම අපේක්‍ෂාව විය. දළදා වහන්සේ මහනුවර නගරයෙන් බැහැරට ගෙන ගොස් ආරක්‍ෂා කිරීමේ වගකීම වාරියපොළ ශ්‍රී සුමංගල මාහිමියන් හා කැප්පෙටිපොල මහදිසාව යන දෙදෙනා වෙත පැවරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ දළදා වහන්සේ ද රැගෙන දඹුලු කැලෑවට පළා ගියහ. මෙතැන් සිට කන්ද උඩරට අවුල් ජාලාවක් බවට පත්විය. දළදා වහන්සේ නොදැකීමෙන් උඩරට ජනතාවගේ සිත් සතන් තුළ බලවත් දුක්ඛ දෝමනස්සයක් ඇති විය. ඉංගී‍්‍රසි පාලකයින් උඩරට සාම්ප්‍රදායික පැවැත්මට අහිතකර ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන් නිර්දය ලෙස පීඩනයට පත් කිරීමත්, චිරාගත චාරිත්‍ර වාරිත්‍ර නොතකා හැරීමත්, දළදා වහන්සේ අවතක්සේරුවට ලක් කිරීමත් නිසා උඩරට ජනප්‍රධානීන්, භික්‍ෂූන් වහන්සේ හා සාමාන්‍ය ජනතාව ඒකාවන්ව නැගී සිට විරෝධය පළ කළෝ ය. එම විරෝධය නො සැලකීමේ අවසාන ප්‍රතිඵලය වූයේ 1818 දී උඩරට කැරැල්ල හට ගැනීමයි. මෙම කැරැල්ලේ දී කැප්පෙටිපොල මහාධිකාරම්තුමාට ජීවිතය පූජා කිරීමට සිදුවිය.

කැරැල්ලට හේතු සොයා බැලූ බ්‍රිතාන්‍ය මහරජු සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන් දළදා වහන්සේ නිසි ගරු සත්කාර නො කිරීම එක් ප්‍රබල හේතුවක් ලෙස හඳුනාගත් හෙයින්, කවර පරිශ්‍රමයක් හෝ දරා දළදා වහන්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ භාරයට ගැනීමට කටයුතු කරන ලෙස දන්වන ලදී. සිංහල බෞද්ධ චින්තනය දෙස වෙනස් දෘෂ්ටියකින් බැලූ ජෝන් ඩොයිලි නම් ඉංගී‍්‍රසි නිලධාරියා විසින් දළදා වහන්සේ තමා භාරයට පත් කරන ලෙස සංඝයා වහන්සේ ප්‍රමුඛ ජන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ ය. එහි ප්‍රතිඵලය වූයේ දළදා වහන්සේගේ රැකවරණය සලසමින් සිටි වාරියපොළ ශ්‍රී සුමංගල අනු නා හිමියන් ඉංගී‍්‍රසින් විසින් අල්ලා ගැනීමයි. 1819 ජනවාරි 08 වන දින ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයා විසින් එංගලන්තයේ බැතර්ස්ට් සාමිවරයා වෙත මෙසේ ලියා දන්වා යවා ඇත. “අහම්බෙන් මෙන්” එය අප අතට පත්වීම, මිථ්‍යා ඇදහිලි අනුගමනය කරන මේ මිනිසුන් විසින් සලකන ලද්දේ උඩරැටියන් ආණ්ඩු කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පැවරී ඇති දිව්‍යමය බලය ප්‍රදර්ශනය කිරීමක් හැටියටය.” (තෙන්නකෝන් විමලානන්ද, උඩරට මහ කැරැල්ල 2 කාණ්ඩය 255 පිටුව) මෙතෙක් කාලයක් සිංහල රාජ්‍යයත් දළදාවත් අතර පැවැති දැඩි බැඳීම ඉංගී‍්‍රසි පාලකයන්ට ද වැටහී ගිය බැවින් ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ අටියෙන් දළදා වහන්සේට පුද සත්කාර කිරිමට ඉදිරිපත් වී ඇත. ඇත්ත වශයෙන් ම ඉංගී‍්‍රසි ජාතිකයෝ දැන් රටේ පාලකයෝ වෙති. ඔවුනට දැන් දළදා වහන්සේගේ අයිතිය ඇති හෙයින් සතර රාජධානියම පාලනය කිරීමට අයිතියක් තිබේ යනුවෙන් ඩොයිල් ප්‍රකාශ කර ඇත.

ඉංගී‍්‍රසීන් ලංකාවේ රාජ්‍ය බලය හිමිකර ගෙන අවුරුදු දහයක් ඉක්ම ගිය තැන, එවකට ආණ්ඩුකාර ධූරය දැරූ සර් එඩ්වඩ් බාන්ස් බෞද්ධ ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දී වාර්ෂික දළදා පෙරහර පැවැත්වීමට අවසරය ලබා දුන්නේ 1828 මැයි මස වෙසක් පුර පසළොස්වක් පෝය දින එනම් 29 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වූ දළදා පෙරහර පිළිබඳ අගනා විස්තරයක් දළදා මාලිගාවේ ලේඛනාගාරයේ තැන්පත්ව ඇති ලියවිල්ලක අඩංගු වී තිබේ. එම ඓතිහාසික ලියවිල්ලෙහි අඩංගු කරුණු කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේත්, දඹදෙණි යුගයේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේත් පවත්වන ලද දළදා පුද සිරිත් හා පෙරහර පිළිබඳව මහාවංශය, දළදා වංශය, දළදා සිරිත, ෆාහියන්, හ්‍යුංස්‍යං ආදී දේශාටකයන්ගේ වාර්තා ආදී ලේඛන සමඟ සසඳා බැලීම විමර්ශකයකුට ඉතා වැදගත් වන හෙයින් ඉංගී‍්‍රසි පාලනාධිකාරය යටතේ 1828 පැවැත් වූ දළදා පෙරහර පිළිබඳව එම ලියවිල්ලේ කරුණු කෙටියෙන් දැක්වීම සුදුසුයයි සිතමි.

වර්තමාන දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව ඉදිරිපිට දළදා වහන්සේ වැඩ හිඳුවීමටත්, මහා සංඝරත්නයට වැඩ සිටීමටත් ශාලාවක් ඉදි කරන ලදී. එහි ඉතාම වටිනා රන්සිවි ගෙයක් තුළ දළදා ධාතු කරඬුව තැන්පත් කොට එහි ආරක්‍ෂාවට මහා සංඝරත්නය වඩා හිඳුවා ඇත. මෙම ශාලාවට අතිරේකව ගරුතර ආණ්ඩුකාර උතුමාණන් ඇතුළු ඉංගී‍්‍රසි නිලධාරීන්ට අසුන් ගැනීම සඳහා වෙනම ශාලාවක් සකස් කොට එය ද ඉතා විසිතුරු ලෙස සරසන ලදී. ඊට පසු උඩරට හා පහතරට රදලවරුන්ට අසුන් ගැනීම සඳහා එබඳු ශාලාවක් ඉදි කරවා එම ශාලා දෙකම වටා තොරණ පනස් තුනක් බැඳ ඒවා නොයෙක් සැරසිලිවලින් අලංකෘත කරන ලදී.

දළදා මාලිගා පරිශ්‍රය, මහමළුව ප්‍රදේශය, සතර කෝරළය, සත් කෝරළය, මාතලේ දිසාව හා දළදා මාලිගාව වෙනුවෙන් කොඩි කුඩා ඔසවා, ධජ පතාක නංවා සරසනු ලැබූ අතර, මහනුවර නගරයේ සියලුම වීථි සරසන ලෙස ඉංගී‍්‍රසි ආණ්ඩුව අණබෙර මගින් දැන්වීම් කිරීමෙන් පසුව සියලුම වැසියන් ඉතා පී‍්‍රතියෙන් පිනාගොස් එම සැරසිලි කරන ලදී. මෙකී සියලු කටයුතු නිම කිරීමෙන් අනතුරුව පසළොස්වක පෝය දින උදේ කාලයෙහිම කොමදොරු උන්නාන්සේ විසින් ඉංගී‍්‍රසි හේවාපන්නකාරයන් සෑම මුරපොළකටම ආරක්‍ෂාව සඳහා යොදවා ඇත. එපමණක් ද නොව මුලාදෑනියකුගේ නායකත්වයෙන් ජා හේවාපන්න කණ්ඩායම් යෙදවිය.

මෙම පෙරහර දිනයේ දී ජොර්ජ් ටර්නර් උන්නාන්සේ ද, මහ රදලවරුන් හා දිසාපතිවරු ද වෙනත් පයිංඩකාරයෝ ද ගරුතර ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් උතුමාණන් පිළිගැනීමට පොරොත්තුව සිටියහ. දළදා මාලිගාවට පැමිණි ආණ්ඩුකාර උන්නාන්සේ විසින් සියලුම රදලවරුන් දැක ගත් පසු මහ පෙරහරින් දළදා මාලිගාව තුළට කැඳවා ගෙන යනු ලැබෙුවේ ය. මෙම කණ්ඩායම කැඳවා ගෙන පැමිණි ආකාරය ගැන එම ලියවිල්ලේ තොරතුරු සවිස්තරාත්මකව දැක්වේ.

පළමුව ගජනායක නිලමේගේද දිසාවල, ලේකම්වල, දිසාවල කොඩිපිළි රැගත් අයද, ඊට පසු සිංගාරක්කාරයෝ ද, ඊළඟට බෙර සහිත නැට්ටුවෝ ද, (මේ වන විට උඩරට වෙස් නැටුම පෙරහරට එක් වී නැත) ඊළඟට හෝල්වැලක් ගත් කටුපුල්ලේ පල්ලේ ගම්පහේ නිලමේ ද රිදි පටිස්ථානයක් අතින් ගත් මාතලේ දිසා මහත්තයා ද එබඳුම රිදී පටිස්ථානයක් ගත් ගබඩා නිලමේ ද යන මේ තුන් පොළ පෙරමුණේ ගමන් කරන විට ඊට පසුපසින්, තම්බෝරු පුරම්පේත්තු සහ සක් පිඹින්නන්ද ගමන් ගන්නා අතර බිසවුන් වහන්සේ කැටුව ආණ්ඩුකාර උතුමාණන් වහන්සේ කුණම්වලින් පැමිණෙති. මෙම කුණම් දෙපස කවිකාර මඬුවේ කීරාල ඇතුළු කණ්ඩායම රිදී උඩැක්කි, රිදී පන්තේරු, රිදී තාලම්පට, වයමින් දළදා වහන්සේගේ ගුණ වර්ණනා කරමින් යති. ඔවුන් සමඟ උතුමාණන් වහන්සේගේ අමාත්‍යවරු ද කොළඹින් පැමිණි ඉංගී‍්‍රසි මුලාදෑනිවරු ද පිටත් ව ගමන් කළෝ ය. මාලිගාවේ වාහල්කඩ පාළම ළඟ දිසාපතිවරු හා පයිංඩකාරයෝ ද, පිටරට පයිංඩකාරයෝ ද, බෝර්තු උසාවියේ මහත්වරු ද පැමිණ සිටියේ ය. පාළමේ දෙපස නිලමක්කාරයන් පෙළ ගැසී සිටිද්දී උතුමාණන් වහන්සේ කුණමෙන් බැස්ස විට බෝර්තු උසාවියේ මහත්තැන් උතුමාණන් වහන්සේ පිළිගෙන ශාලාවේ එතුමාට නියමිත තැන පොරොත්තු කරන ලදී. ඊට පසු මාලිගාවේ රාජකාරිය භාර රදලවරු හේවිසි මණ්ඩපයට ගොස්, තේවා භාණ්ඩ එම රාජකාරියේ නියැලෙන්නට භාර දී උතුමාණන් වහන්සේ කැඳවාගෙන උඩු මාලයට ගියවිට එවකට දියවඩන නිලමේ තැන්පත් දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාලහාමි විසින් පේෂ ලේන්සු දෙකක් සහ රන් බෝපත් සහිත මුතු බැඳි ලේන්සුවක් ද උතුමාණන්ගේ හස්තයෙහි ඵලා දන්තධාතූන් වහන්සේ වැඩ සිටින කරඬුව උතුමාණන් හස්තයට වැඩම වනවා සමග ම ශංඛනාදාදී පංචතූර්ය නාද පැවැත්වූහ.

ඒ සමඟ ම කාලතුවක්කු වෙඩි හා කොඩිතුවක්කු වෙඩි ද තබන්නට පටන් ගත්තේ ය. එහි රැස් වී සිටි දහස් ගණන් සමූහයා සාධුනාද පවත්වන්නට වූහ. එම සාධුනාදය අතරේ මාලිගාවේ වට්ටෝරු රාලලා දෙදෙනා දෙපසින් තලාතු දෙකක් අල්ලද්දී උඩුවියන් යටින් පියවිලි පිටින් ගරුතර උතුමාණන් වහන්සේ මහත් ගෞරවයෙන් දළදා කරඬුව ඇතා ළඟට වැඩම වන දර්ශනය දුටු ත්‍රි සිංහලයේ බෞද්ධයෝ හඬමින් කඳුලු සලමින් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් සාධුකාර දෙන්නට වන්හ. මෙසේ එදා මහනුවර දළදා මාලිගාව දිව්‍ය භවනක ශ්‍රීය ඉසිලීය.

දළදා කරඬුව වඩමවන ඇත් රාජයා චිත්තාකර්ෂණීය ලෙස සරසා සිටියේ ය. ඒ කෙසේ යත්, පේෂ පට්ට වස්ත්‍රාදී නොයෙක් අනර්ඝ රෙදි පිළිවලින් සර්වාංගය වැසූ සැට්ටයක් හා කුම්භස්ථලයේ රන් බොක්තාල දෙකක් ද පෙර කුඹයට මැණික්වලින් සරසන ලද ලක්‍ෂ්මි රූප දෙකක් ද, ඉතා අලංකාර රන්නෙත්කි මාලයක් හා දළ දෙකට තොන්ඩායම් එල්ලවන ලද රන් කොපු දෙකක් ද, කර්ණ යුගලට රත්‍රං මිට සහිත සුදු පැහැති සෙමෙරවලින් කළ වල්විදුනා දෙයක් ද ඉතිරි කකුල් දෙකට ගිගිරි වළලු දෙකක් ද යන සියලු ආකාරයෙන් මෙසේ සැරසූ සියලුම හස්ති ලක්‍ෂණයෙන් පරිපූර්ණ වූ හතළිස් පහේ ඇත් නාම්බා පිටමත සිටින සේ පිටවත පුටුව බැඳ ඊපිට රංහිලි ගෙය පනවා රිදී දම්වැල්වලින් එල්ලූ තොටිල්ල මැද පේෂ ලේන්සු පහක් අතුරා ඊපිට දස දහස් ගණනින් වටිනා මැණික් බැඳි නවරත්තනයෙන් බබුලු වන ලද රන් දළදා කරඬුව වැඩමවා, එම ඇත්නාම්බා ගේ මස්තකයට විසිතුරු මල්වියනක් අල්වා ගමන් කරද්දී එම ඇතාගේ අවට දළදා මාලිගාවේ වට්ටෝරුකම් කරන අය වඩන තලාතු අරගෙන බිමින් ගමන් කළෝ ය. ඊට දකුණු පැත්තෙන් සමන් මල් තැටියක් රැගෙන මහ ගබඩා නිලමේ කරවන දුනුවිල රාජකරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත මුදියන්සේ රළහාමි ද, රන්කම් කළ රතු විල්ලොඩි සේසතක් අතින් ගත් පස්ගම දේවාලයේ බස්නායක නිලමේ කරවන වෑගඩපල නිලමේ ද, රන්පලිහයක් අතින් ගත් නානායක්කාර ලේකම් කරවන කඩිගමුවේ තිලකරත්න මුදියන්සේ රාලහාමි ද යන මේ තුන්පල රත්‍රං වැඩ ඇති කාජප සැට්ටයක් පොරවාපු කෙන්ගල්ලේ කුඩා ඇත් නාම්බා පිට ද, වම් පැත්තෙන් දෑ සමන් මල්පිරූ රන් තැටියක් අතින් ගත් උඩ ගබඩා නිලමේ කරවන දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාලහාමි ආදීන් ද කරඬුව සහිත ඇත් රාජයා පසුපස ඉතා සංවර ලීලාවෙන් ගමන් කරන අතර, සමන් පිච්ච මල් වට්ටි දහය බැගින් අතට ගත් තරුතර සංඝරත්නය විසිනමක් පිරිත් සජ්ඣායනා කරමින් දෙපස සැදී ගමන් කරති.

ඊට පසු කවිකාර මඩුවේ තීරාල ඇතුළු කණ්ඩායම රිදී උඩැක්කි, රිදී පන්තේරු, රිදී තාලම්පට සහිතව ඉතාම මිහිරි වුව බුදුගුණ සහිත කවි ගායනා කරමින් පෙරහරේ ගමන් කරති.

ඉන් පසුව මොරපේ දේවාලේ බස්නායක නිලමේ තැන්පත් මඩුගල්ලේ කරුණාතිලක ජයසුන්දර විජේසේකර රාජපක්‍ෂ වාසලනායක මුදියන්සේ රාලහාමි ද රිදී පලිසක් අතින් ගත් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ කරවන පිළිමතලාවේ පමුණුවේ විජරත්න අර්ථනායක ධර්මද්වජ පණ්ඩිත මුදියන්සේ රාලහාමි ද, ශුභ්‍ර වර්ණ සෙමර වල්විදුනාවක් අතින් ගත් කොඩිතුවක්කු ලේකම් කරවන රන්කොත් දිවෙල දිවාකර විජේකෝන් මුදියන්සේ රාලහාමි ද යන මේ තුන්පල රත්‍රං වැඩ දැමු රක්ත වර්ණ කාප්ප සැට්ටයක් පොරවන ලද කිරිඔරුවේ ඇත්නාම්බා පිට ද ගමන් කරති.

ඊට දකුණු පැත්තෙන් රිදි ධවල ඡත්‍රයක් අතින් ගත් වේගිරියේ සහ ඇම්බැක්කේ දේවාලයේ බස්නායක නිලය කරවන මාම්පිටියේ අමෘත හස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක මුදියන්සේ රාළහාමි ද රතු විල්ලොඩි සේසතක් අතින් ගත් අතපත්තු ලේකම් කරවන ඇරැව්වාවල සේනානායක බාහුනාරායන රාජගුරු වාසල පණ්ඩිත මුදියන්සේ රාලහාමි ද රිදී පලිහක් අතින් ගත් සඟරුවන්කෙත දේවාලයේ බස්නායක නිලමේ කරවන ගොලහැල සමරදිවාකර චන්ද්‍රශේකර කුරුප්පු මුදියන්සේ රාලහාමි ද යන මේ තුන්පොල රිදී වැඩ දැමූ රතු කාප්ප හැට්ටයක් පොරවන ලද වල්ලියා යන ඇත්නාම්බා පිට ගමන් කරති. ඊට වම්පැත්තෙන් රිදී ධවල ඡත්‍රයක් අතින් ගත් වඩන තුවක්කුකාර ලේකම් කරවන තල්ගහගොඩ කරුණා ජයතිලක රාජගුරු මුදියන්සේ රාළහාමිද, රතු විල්ලෝඩි සේසතක් අතින් ගත් කිරිදි ගල්ලේ දේවාලයේ නිලමේ කරවන ගෝනිගොඩ විජේකෝන් විජයරාජ මුදියන්සේ රාලහාමි ද, රිදී පලිහක් අතින් ගත් ගණේගොඩ දේවාලයේ බස්නායක නිළමේ කරවන අංගම්මන රන්පන්හිද දිවාකර මුදියන්සේ රාලහාමි ද යන මේ තුන්පොල රිදී වැඩ ඇති රතුකාප්ප හැට්ටයක් පොරවන ලද බුලත්ගමයා යන ඇත්නාම්බා පිට ද ගමන් කරති. එම දළදා පෙරහරට එකතු වූ අංගය වූයේ පැරණි රජ දවස සිට ම යොදාගත්, කඩු අතින් ගත් කඩුකාරයන් ය. (දැනට පෙරහරට මුලින් ම එන්නේ කස අතින් ගත් කසකරුවන්ය) මෙතැන් සිට දළදා කරඬුව තැන්පත් කරන ලද රන් සිවියේ සහිත හස්තියා පෙරහරේ ගමන් කරයි. දළදා කරඬුව රැගත් පූජනීය වූත්, විචිත්‍ර වූත් පෙරහර පෙරටු කොටගෙන නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර දේවාලයේ පෙරහර බස්නායක නිලමේවරු පෙරටු කොටගෙන ගමන් කරයි. මහනුවර ඇසළ මහා පෙරහර චමත්කාරජනක වන්නේ අවසාන පෙරහර පහ වන රන්දෝලි පෙරහරයි. රන්දෝලි පෙරහර යනු කුමක්ද? දෙවියන්ට ඉතා සමීප කොට්ටල්බද්දේ නිලමේ ද බඩහැල බද්දේ නිලමේ ද යන මේ දෙපොල පෙරටුව අලියා පිට නැගී, ලෝකඩ තම්මැට්ටම් වාදන සහිතව, කොඩිපිලි හා තූර්යනාද පරිවාර සහිතව රත්නින්දේ මුහන්දිරම් විසින් සතර දේවාලේ රන්දෝලි ක්‍රමයෙන් වැඩම වීමයි. මෙම රන්දෝලි පෙරහර ගමන් කරන අනුපිළිවෙලක් ද ඇති බව පැරැණි පෙරහර විස්තරය අනුව තහවුරු වේ. පළමුව දළදා වහන්සේ සඳහා වන දළදා පෙරහරත් දෙවනුවට නාථ දෙවියන්ගේ රන්දෝලි සහිත නාථ දේවාල පෙරහරත්, තුන්වනු විෂ්ණු දෙවියන්ගේ රන්දෝලි සහිත විෂ්ණු දේවාල පෙරහරත්, සිව්වැනිව කතරගම දෙවියන්ගේ රන්දෝලි සහිත කතරගම දේවාල පෙරහරත් පස්වැනි ව පත්තිනි දේවියගේ රන්දෝලි සහිත පත්තිනි දේවාල පෙරහරත් යනු ඒ ගමන් ගන්නා අනුපිළිවෙළයි. මෙම සිව් මහා දේවාලවල පෙරහරට සම්බන්ධ විය යුතු බස්නායක නිලමේවරු ද නම නියමව සිටියහ. මෙසේ අද පැවැත්වෙන දළදා පෙරහරට සම්බන්ධ විය යුතු බස්නායක නිලමේවරු ද නම නියමව සිටියහ. මෙසේ අද පැවැත්වෙන දළදා පෙරහර සෙසු දේවාල පෙරහර පරිවාර කොටගෙන ඉතා විසිතුරු සංස්කෘතික සංදර්ශයක් වශයෙන් පවත්වන බව පෙනෙයි. (වැඩි විස්තර සඳහා - සරත්චන්ද්‍ර ජයකොඩි මහතාගේ, සිරි දළදා පුවත) සතර දේවාල පෙරහර අතීත රජදරුවන් දවස දළදා පෙරහරේ දක්නට නොවූ බව ඓතිහාසික වාර්තාවලින් සනාථ වේ. හින්දු දේව ඇදහිලි වඩාත් ජනපි‍්‍රය වූ මහනුවර රාජධානියේ අවසාන භාගයේ දී නායක්කාර වංශික රජවරුන්ගේ බලපෑම අනුව දළදා පෙරහරට එම පෙරහර හතර ද එක් වූ බව සත්‍යයකි. ඊට හේතුව ලාංකික ජනතාව දේව භක්තියට නැඹුරුවීමත්, ඔවුන්ට විෂ්ණු, කතරගම, පත්තිනි ආදී හින්දු දෙවිවරුන් වන්දනාමාන කිරීමට සිදුවීමත් ය. එසේ වූව ද දළදා වහන්සේට කරනු ලබන පුද පූජා හා පෙරහරම මෙම උත්සවයේ කැපී පෙනෙන ලක්‍ෂණය ලෙස පෙනී යන කරුණකි. දැනට මෙය රාජ්‍ය අනුග්‍රහය ලබමින් වාර්ෂික ව පැවැත්වෙන ශ්‍රී ලංකා වාසීන්ගේ ජාතික හා සංස්කෘතික මහෝත්සවයක් වේ.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.55 ට ලබයි. 15 වන දා බදාදා පූර්ව භාග 1.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]