UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි රජමහා විහාරයේ රන් වැට පුජෝත්සවය

‘කල්‍යාණි’ යනු භාරත නාමයකි. විජයාගමනයට පෙරාතුව සිටම ඉන්දියාවේ කල්‍යාණි ප්‍රදේශයෙන් පැමිණි ආර්ය ජනයාගෙන් කැලණිය ජනාවාස වන්නට ඇතැයි සිතිය හැකිය. බටහිර ඉන්දියාවේ ‘සුප්පාරක’ නම් නැව් තොටට දකුණින් කළ්‍යාණි නම් වෙළඳ නගරයක් තිබුණු බවට ‘පෙරිප්ලස් ඔප් ද එරිත්‍රියන් සී ‘ නම් ග්‍රන්ථයේ සඳහන් ය. ලංකාවේ බටහිර වෙරළේ කල්‍යාණි නමින් වාණිජ නගරයක් තිබුණු බවට වලාහස්ස ජාතකය සාක්ෂි දරයි. කැලණි විහාර අභිනව මන්දිරය ඇතුළත් පැරැණි ප්‍රතිමා ශාලාවක් ඇතුළත් වන පරිදි දිගින් අඩි 160 ක්ද, පළලින් අඩි 90 ක්ද,උසින් අඩි 3ක්ද සහිත පදනමක් ඉදිකරන ලද බවද ඉතිහාසයේ සඳහන් ය. මහාවංශයේ සඳහන් වන ආකාරයට කැලණියේ විශාල හතරැස් මහමළුව ගල් අතුරා, සමතලා කරවා ඒ ඉදිරියේ මහමඩුවක්ද යටාලතිස්ස රජතුමා විසින් කරවා ඇත. කැලණි රාජධානිය එදා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණු බවට වංශකතාවල සාක්ෂි ඇත. කැලණි පුරවරය මුහුදට හත් ගව්වක් දුරින් පිහිටි බවද සඳහන් වේ. කැලණි රාජධානිය මුහුදට යටවීමේ පුවත අතිශයින් ශෝචනීය වේ.

තථාගත සම්බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ නො සිටින සඳ එහි එන සැදැහැවතුන්ට වන්දනා මාන සඳහා ජය ශ්‍රී මහබෝධීන් වහන්සේගේ ඵලරුහ බෝධියක් ‘ආනන්ද බෝධි’ නමින් රෝපණය කරන ලදහ. එය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. එසේම වන්දනා කළ යුතු සතර ස්ථානයන්ගෙන් එකක් ලෙස ශ්‍රී මහ බෝධීන් වහන්සේ සඳහන් කළ සේක. ත්‍රිවිධ චෛත්‍යය අතරද පාරිභෝගික චෛත්‍යය බෝධීන් වහන්සේය.

ලොව පැරැණිම වෘක්ෂ රාජයෝ ශ්‍රී මහාබෝධීන් වහන්සේය. දඹදිව ධර්මාශෝක නිරිඳුන්ගේ දියණි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් බු.ව. 236 දී ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රී මහබෝධීන් වහන්සේ දැනට වසර 2315ක් ආයු වළඳා ඇත. බුදුරජාණන් වහන්සේ සත් සතියෙන් දෙවැනි සතිය අනිමිසලෝචන පූජාව සිදු කරමින් කෘත ගුණ සැළකීමේ මහා ගුණය ලොවට පළ කළ සේක. එය ප්‍රථම බෝධි පූජාවයි. බෝධිය යනු චතුරාය¸ සත්‍ය අවබෝධයයි. සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කර ගැනීමට මහෝපකාරීවූ වනස්පති අස්වත්ථ වෘක්ෂ රාජයාද බෝධිය යනුවෙන් හඳුන්වනු ලැබේ.

කැලණි විහාර බෝධීන් වහන්සේ

කීර්ති ශ්‍රී මේඝවර්ණ කල්‍යාණි විහාරාධිපතිව වැඩ විසූ විල්ගම්මුල සංඝරාජයාණන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද කැලණි ශිලා ලිපියෙහි සඳහන් වන ආකාරයට කැලණි මහ බෝධීන් වහන්සේ කුරුණෑගල රාජධානි සමය වනවිටත් ප්‍රාකාර ගෝපුරාදියෙන් සමන්විතව පැවති බව සඳහන් වේ. කෝට්ටේ රාජධානියේ අග භාගය වනවිට පෘතුගීසි සතුරෝ බලවත් වූහ. කැලණි විහාරස්ථානය ආක්‍රමණය කරමින් නොනැවතී ඓතිහාසික බෝධීන් වහන්සේ ද කපා හෙළූහ. මෙම සිද්ධිය කැලණි විහාර බිතු සිතුවමක මනාව දැක්වේ. බෝධිය කැපුවත් අපවත් කිරීමට නොහැකි විය. මව් වෘක්ෂයෙන් පැන නැඟුණු ශෝභා සම්පන්න දළුවක් වැඩෙමින් ප්‍රභාෂ්වරව දසත විසිරිණ. අද අප වන්දනා මාන පවත්වන්නේ එම බෝධීන් වහන්සේ වෙතය.

බෝධි මළුව අළලා ලියැවුණු පැරැණිම ග්‍රන්ථය වූ කලී පාළි බෝධි වංශයයි. සිංහල බෝධි වංශය සහ චූල බෝධි වංශය බෝධීන් වහන්සේ වටා ගෙතුණු සාහිත්‍ය කෘතීන් බඳුය. සංදේශ කාව්‍ය අතරද බෝධි වැණුම් දැකිය හැකිය. ජය ශ්‍රී මහබෝධීන් වහන්සේ පිළිබඳව ගෙතුණු ප්‍රශස්ති ගීත රචනා වත්මන එමටය. ඉන් එකක අවසන් පද්‍ය විචිත්‍රවත්ය.

රන්වැට පාමුල

රන් වැට පාමුල සාදු කියනකොට
ලෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදුහාමුදුරුවො දුටුවා වාගේ
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි

අනාදිමත් කාලයක සිට කැලණි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා රන් ආලේපිත වැටක් ඉදිකර තිබිණ. එසේම බෝධීන් වහන්සේට පැන් පුජාවන් සඳහා එවැනිම ලෝහමය නෙළුම් පුෂ්පයක්ද විය. නමුත් ලෝ දහම අනුව කාලයාගේ අවෑමෙන් රන්වැට සහ නෙළුම් පුෂ්පය පරිහාණියට පත්විය. කැලණි රජමහා විහාරාධිපතීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම නෙළුම් පුෂ්පය වෙනුවට ශෛලමය නෙළුම් පුෂ්පයක් ඉදිකරවා වර්ෂ 1995 ක් වූ දුරුතු මහේ 27 දින සවස 5.47 ශුභ හෝරාවෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. මෙම අවස්ථාවේදී විශ්මය ජනක සිද්ධියක් සිදුවිය. යොදාගත් ශෛලමය කුට්ටිය අති විශාලය. අඩි 31/2 ය 4 ය 4 ප්‍රමාණයේය. දක්ෂ ගල්වඩුවෙකු විසින් වෙනත් ස්ථානයක නෙලා එය උඩමළුවට රැගෙන ආවත්, නියමිත ස්ථානයේ ප්‍රතිෂ්ඨාපනය කිරීම දොඹකරයකටත් නොහැකි විය. නැකත් වේලාව එළඹිණ. අප විහාරාධිපතීන් වහන්සේ ප්‍රමුඛ මහ සඟ රුවන බෝධි උඩමළුවේ පිරිත් සජ්ඣායනා ආරම්භ කළ සේක. තරුණයන් කිහිප දෙනෙකු විසින් එය ඔසවා හරියටම ස්ථානගත කරන ලද්දේ නෙළුමක් මල් ආසනය මත පූජා කරන්නාක් මෙනි. එය ඇත්ත වශයෙන්ම කැලණි බෝධීන් වහන්සේගේ හාස්කමක් වශයෙන් දකිමි.

රන්වැට පූජෝත්සවය

අබලන් රන්වැට පිළිබඳව නොයෙක් වර කතිකා සිදුවිය. පසුගිය දෙවසර තුළ මේ සම්බන්ධයෙන් සුවිශේෂ අවධානය යොමු කළ විශේෂිත පුද්ගලයෙකු විය. හේ නමින් ජී.එස්.සී.පොන්සේකා නම් විය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාපති, ලුතිනන් ජනරාල් සරත් පොන්සේකා මැතිතුමාය. අවධානය නොනැවතී පැවතිණ. ඵල දරන තුරුම පැවතිණ.

බු.ව. 2552 නිකිණි මස අව සතවක ලත් 23 දිනය ශනිදාව උදාවිය. අහස පැහැබර විය. උවැසි උවැසියෝ කැලණි විහාර බෝධිමළුව පුරා විශේෂ අපේක්ෂාවකින් පසුවෙති. රන්වන් බෝපත් සිළි සිළි නදින් සාදුකාර පවත්වති. නිලඹර සොම්නසින් මදවැසි, මල්වැසි ඉසින ලදී. පරිසරය සිසිල් විය. මේ අතර අහස් කුස විසෙස් දසුනකි. නිල්වන් අහසේ ගුවන් යානයකි. එය කැලණි පුරවරයට සම්ප්‍රාප්ත විය. එයින් බට ශ්‍රී ලංකා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් මහත් හරසරින් පිළිගන්නා ලදී. මංගල භේරි නද සහිතව එතුමා සහ පිරිවරින් මනහර පෙරහරකින් කැලණි වෙහෙර වෙත ළඟාවූහ. එහිදී වන්දනාමාන කිරීමෙන් අනතුරුව සිහිවටන ඵලක ය සවස 05.10 ට ශුභ හෝරාවෙන් එතුමාගේ සුරතින් විවෘත විය. මෙම අවස්ථාවට කැලණි විහාර දායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය, කරූ ජයසූරිය මැතිතුමා, කැලණි විහාර ප්‍රධාන බස්නායක නිළමේ තැන්පත්, ධම්මික ආටිගල මැතිතුමා දායිකා අමරි විජේවර්ධන මැතිණිය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, ජගත් සුමතිපාල මැතිතුමා ඇතුළු සම්භාවනීය දායක පිරිසක් සහභාගි වූහ. කැලණි පුරවරයටත්, කැලණි රජමහා විහාරස්ථානයටත් අති සුවිශේෂ දිනයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පූර්ණ අනුග්‍රහකත්වයෙන්, හමුදාපතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් රන්වැට සහිත ගෝපුර පූජෝත්සවය ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. එතුමා විසින් නිකුත් කරන ලද පණිවිඩයේ මෙසේ සඳහන් විය.

“අද බෞද්ධ ජනතාව වෙත කරන මෙම පරිත්‍යාගය පෙන්නුම් කරන්නේ ඔබ සැබවින්ම අප යුගයේ විරුවන් බවයි.” එතුමා රණවිරුවන් පිළිබඳව මෙසේද සඳහන් කරයි.”මේ හැම කටයුත්තකම අප රණවිරුවන් කැපවී සිටින්නේ එකම රටක එකම පුරවැසියන් පිරිසකගේ උරුමය රැකදීම පිණිසය.”

රන් අකුරින් ලියැවෙන ස්වර්ණමය පූජාව

කැලණි විහාර රන්වැට කණු 205 කින් සමන්විතය. මේ සඳහා රන්පවුම් 520ක් වැයවී ඇත. ශෛලමය බෝධිගෝපුරය සඳහා රුපියල් දහඅට ලක්ෂ පනස් දහසක්ද වැයවී ඇත. බෝධි මළුවට අවශ්‍ය විදුලි ආලෝක පද්ධතිය, ශෛලමය කොරවක් ගල් සහ සිංහ රූප බෝධිප්‍රාකාරය වටා ස්ථාපනය කිරීම, උඩ මළුවේ වැසි ජලවාහක පද්ධතිය සකස් කිරීම සහ බෝධි ප්‍රාකාරය වටා පිත්තල වඩිම්බු බෝපත්‍ර යෙදීම මෙම මහා සංවර්ධන ක්‍රියාවලියට අයත්ය. මෙම සියලු කාර්ය සංවිධානයෙහිදී කැලණි විහාර කෘත්‍යාධිකාරි,මොරවක ධම්මානන්ද හිමියන්ගේ දූරදර්ශී මග පෙන්වීමත්, කාර්යශූරත්වයත් වෙසෙසින් සිහිපත් කළ යුතුය. එසේම මෙම කටයුතු සඳහා විශේෂ කැපවීමකින් දායක සභාවේ පද්මසිරි හපන්ගම මැතිතුමා කටයුතු කළ ආකාරයද ප්‍රශංසනීය වේ.

තවත් විශේෂිත සිද්ධියකි. කැලණි විහාර මළුවේ පිය ගැටුණු වැලිතලාව ඉතා පැරැණි විය. පෙරහර සමයේ ඒ මත නව වැලි අතුරනු ලැබේ. නමුත් මෙම අවස්ථාවේ මතකයේ හැටියට වසර හතළිහකට පසුව එම පැරැණි වැලි සම්පූර්ණයෙන්ම ඉවත්කර මහමළුව නවවැලි යොදා සැකසීමද අගය කළ යුත්තකි. මේ සියලු දෑ මෙසේ පූර්ණත්වයට පත්වුයේ කැලණිය රාජමහා විහාරාධිපති, මහාචාර්ය අතිගරු කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ නිසි මග පෙන්වීම නිසා සහ උන්වහන්සේගේ පුණ්‍ය බල මහිමය නිසා යැයි මට සිතේ

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා සඳුදාය
 

මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]