UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් ජීවමාන කල සිට පැවැති නැඟෙනහිර බෞද්ධ උරුමය

දකුණෙන් කුඹුක්කන් ඔය සීමා කොට ඇති, උතුරෙන් කෝකිලායි කලපුවට ගලා බස්නා වැලිඔය සීමා කොට ඇති, බටහිරින්, අනුරාධපුර දිස්ත්‍රික්කයත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයත්, ඌව, බදුල්ල දිස්ත්‍රික්කයත්, මොණරාගල දිස්ත්‍රික්කයත් යන දිස්ත්‍රික්කවලින් සීමා වූ, නැගෙනහිරින් මහා සමුද්‍රයෙන් සීමා වූ, ඉතා දිගම දිස්ත්‍රික්කය, පළාත වශයෙන් සැලකෙන නැගෙනහිර පළාතට සීමා වූ භූමි භාගය, අපි වර්තමානයේ ඉංගී‍්‍රසීන්ගේ කාලයේ සිට බෙදා ඇති නැගෙනහිර පළාත වශයෙන් සලකනු ලබනවා.


තිරියායේ ගිරිහඩු සෑය

මෙම පළාත අතීතයේ හරි අඩකට වැඩි ප්‍රමාණයක් රෝහණ රාජ්‍යයට අයත් වුණා. උතුරින් මහවැලි ගඟ දක්වා තීරුව පැරණි රෝහණ රාජ්‍යයට අයත්. එතැනින් උතුරට තිබෙන කොටස රජරට ප්‍රාචීන පස්ස නමින් හැඳින්වුණු අනුරාධපුරයෙන් නැගෙනහිර පැත්තට අයත් භූමියේ කොටසක්. අතීතයේ අනුරාධපුරයෙන් හතර පැත්ත පස්ස නමින් හඳුන්වා තිබුණා. උත්තර පස්ස - උතුරු පැත්ත, ප්‍රාචීන පස්ස - නැගෙනහිර පැත්ත, පශ්චිම පස්ස - බටහිර පැත්ත, දක්‍ඛිණ පස්ස - දකුණු පැත්ත යනුවෙන්. අනුරාධපුර රාජ්‍ය කාලයේ මේ භූමිය ප්‍රාචීන පස්ස නමින් හඳුන්වන කොටසට අද නැගෙනහිර පළාත නමින් හඳුන්වන කොටසින් භාගයක පමණ ප්‍රමාණයක් අයත්. අනෙක් කොටස රෝහණ රාජ්‍යයට අයත්, අද නැගෙනහිර පළාත නමින් හඳුන්වා තිබෙන්නේ පැරණි රෝහණ රාජ්‍යයත්, අනුරාධපුර යුගයේ සලකන ලද රාජරට රාජ්‍යයේ ප්‍රාචීන පස්ස නමින් හැඳින්වුණු කොටසත් එකට එක් කොට ගනිමින්. අද ඒ නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශය ඒ යුගයේ හඳුන්වා තිබුණේ පජිනිකර යනුවෙන්. නැගෙනහිර පළාත බැලූ විට ලංකාවේ දීර්ඝ ම මුහුදු වෙරළක් අයිති ප්‍රදේශයක්. ඒ වගේම ඉතා සුන්දර මුහුදු වෙරළක්, කලපු, බොකු වරායවල් ආදී මේවායින් ඉතාම දර්ශනීය මුහුදු වෙරළක් නැගෙනහිර පළාතට අයත්. ඒ වගේම අපි භූගෝල විද්‍යාව හදාරන විට ලංකාව වටා තිබෙන මුහුදු තීරය මහද්වීපයක සමුද්‍ර තටාකය නමින් හඳුන්වනවා. ඒ මහාද්වීපයික සමුද්‍ර තටාකයේ ඉතාම දර්ශනීය මුහුදු තීරය තිබෙන්නේ නැගෙනහිර පළාතේ යි. ක්‍රමයෙන් ගැඹුරට යන නොගැඹුරු මුහුදු තීරයක් තිබෙන්නේ නැගෙනහිර පළාතේ යි.

ඒ වගේම අපේ රටේ ආර්ථිකය රඳා පැවතුණේ මුල් කාලයේ කෘෂිකර්මය සහ වාණිජ්‍යය යන කරුණු දෙක මතයි. එයි අංක එක කෘෂිකර්මයයි. නැගෙනහිර පළාතේ තිබෙන කුඹුක්කන් ඔයෙන් පටන් ගත් විට මා ඔය නමින් හැඳින්වෙන වැලි ඔය දැනට වනගත ව තිබෙන, ඒ වගේම වැව් අමුණු සිය ගණනින් සංවර්ධනය වූ වෙල්එළි, අක්කර දස දහස් ගණනින් පැතිරුණු වෙල්එළි, පානම හැලවෙළිය වෙල් එළිය, දිගාමඬුල්ලේ වෙල්එළිය, පදවිය වෙල්එළි, ඒ වගේම ත්‍රිකෝණමඩු සේරුවිල ප්‍රදේශයේ වෙල්එළි වැනි පැතිරුණු මහා ධාන්‍යාගාර බවට පත්වුණු වෙල්එළිවලින් පිරි ප්‍රදේශයක්. නැගෙනහිර පෙදෙස, ආර්ථික සංවර්ධනයේ මහා හාස්කම් දැක් වූ ප්‍රදේශයක්. දුටුගැමුණු රජතුමාගේ යුද්ධය සම්පූර්ණයෙන්ම නඩත්තු කරන ලද්දේ දිගාමඩුල්ලේ වෙල්එළිවලින් ලැබුණු ධාන්‍ය සම්පතෙන්. ඒ වගේම මුළු ලංකාව වටේ ම ගලා ගෙන ගොස් මුහුදට වැටෙන ගංගා 103 ක් තිබෙනවා. නැගෙනහිර පළාත හා උතුරු පළාත දෙක ම එක් කොට ගත් විට ගංගා 103 න් 64 ක් ගලා ගෙන යන්නේ උතුරු හා නැගෙනහිර පළාත හරහා ය. මේ ගලා ගෙන යන ගංගා සෑම එකක්ම මුහුදට වැටෙන තැන් පැරණි වරාය වශයෙන් හැඳින්වෙනවා. කුඹුක්කන් ඔය මුහුදට වැටෙන කුමන, හැඩ ඔය මුහුදට වැටෙන ශාස්ත්‍රවෙල, කරඳඔය මුහුදට වැටෙන කුමන, හැඩ ඔය මුහුදට වැටෙන ශාස්ත්‍රවෙල කරඳඔය මුහුදට වැටෙන අරුගම්වේ, ගල් ඔය මුහුදට වැටෙන ගල්වරාය (කල් වරාය) කල්මුණේ, මහවැලි ගඟ මුහුදට වැටෙන තිරිකුණාමලේ, යාන් ඔය මුහුදට වැටෙන ගල් වරාය, ඒ වගේම දිගට පිහිටා තිබුණු ප්‍රධාන වාරය සහ තව අතිරේක වරාය සමූහයක් මේ වෙරළ ආශි‍්‍රත ව ඔයවල් මුහුදට වැටෙන තැන් ආශ්‍රය කර ගෙන තිබෙනවා. මේ නිසා මේ ගංගාවලින් පෝෂණය වූ මෙම නැගෙනහිර පළාත් අතිශය දියලු තැනිවලින් යුතු සශ්‍රීක භූමියක්. වර්තමාන තත්ත්වය ගැන කල්පනා කර බලන විට අපේ සංස්කෘතියේ හද බිමක් වශයෙන් සැලකීමට හැකි තත්ත්වයක් ඇති භූමියක් ගැන මම කෙටියෙන් වචන කීපයකින් සඳහන් කළේ. ඒ වගේ ම දර්ශනීය මුහුදු වෙරළ මෙන් ම වෙරළබඩ තැන්න නමින් හඳුන්වන වෙරළේ සිට මීටර් 30 ක් පමණ රට ඇතුළට වන්නට තිබෙන වෙරළබඩ තැන්න ලංකාවේ තිබෙන දර්ශනීය ම වෙරළකි. ඊළඟට අඩතැනිවලට එනවිට තැන් තැන්වල ශේෂ කඳු නමින් හඳුන්වන කඳුගැටවලින් දර්ශනීය ම වූ භූමිභාගයකි. මධ්‍ය කඳුකරය දක්වා දක්නට ලැබෙන මේ ශේෂ කඳු පද්ධතිය. මේ ආකාරයට සශ්‍රීක වූ මේ භූමි භාගය අතීතයේ ජනාවාස වූයේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩමවීමටත් පෙර ය.


කොළඹ විද්‍යෝදය පිරිවෙනේ දී 2008 අපේ‍්‍රල් 29 දිනට යෙදුණු අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උළෙලේදී පැවැත් වූ ශාස්ත්‍රීය දේශනයෙන් උපුටා ගැනිණි.

බුදුරජාණන් වහන්සේ බුදු වූ ක්‍රිස්තු පූර්ව 06 වන සියවස වන විට ලංකාවේ මේ ප්‍රදේශ සෑහෙන දුරට ජනාවාස වී තිබුණා. ඒ නිසායි, බුදුරජාණන් වහන්සේ සේරුවිල, ඒ වගේ ම දීඝවාපිය, ඒ වගේ ම පැරැණි නැගෙනහිරට අයත් මහියංගනය, රුහුණේ තිස්සමහාරාමය මේ කියන භූමිභාගවලට වැඩම කොට ඒ ස්ථාන උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර කළේ. නිකම් ම මුඩු බිමකට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නැහැ. එදා යම් මනුෂ්‍ය ;කාට්ඨාස මේ ප්‍රදේශයේ වාසය කළා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර දීම උන්වහන්සේගේ ධාතූන් වහන්සේ මේ භූමිවල තැන්පත් කර තියෙනවා. කේශධාතු තැන්පත් කරන ලද්දේ මහියංගනේ, 08 වන සියවසේ සිට ප්‍රචලිත වී තිබෙන සිද්ධාන්ත පිළිගතහොත් තපස්සු භල්ලුක දෙදෙනා ගෙන, කේශධාතු තැන්පත් කර ඇත්තේ තිරියායේ යි. ඒ වගේම ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ රුහුණට ගෙනැවිත් හත්තොට්ඨ ජනපදයේ තැන්පත් කර මහාකාල නමැති කෙළෙඹියා විසින් පුද පූජා පවත්වමින් සිටියා. කාවන්තිස් රජුගේ කාලය වනවිට, ගෝඨාභය රජ කාලය වන විට, ඊට පෙරාතුව ඒ අය ලලාට ධාතූන් පිදුවා. එබැවින් මෙම කරුණු දෙස බලන විට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය වන විට රුහුණේ නැගෙනහිර නමින් හඳුන්වන මේ නැගෙනහිර පළාත එදා ජනාවාස වී වී තිබුණු බවත් ඒ වගේ ම බුදු දහම පිළිබඳ දැනීමක් ලබා ගෙන තිබුණු බවත් ඒ වගේ ම බෞද්ධ පූජනීය ස්ථාන, පූජනීය වස්තු තිබුණු පළාතක් බවත් අපට දක්නට ලැබෙනවා. එහෙත් මහා සංඝයා වහන්සේ සිටි බවට කරුණු දක්නට නැතත්, ඇවිත් ගිය බවට කරුණු තිබෙනවා. බුදු සසුන ප්‍රතිෂ්ඨාපනය වූයේ මිහිඳු හිමියන් පැමිණීමෙන් පසුව බව අපට පිළිගැනීමට සිදුවෙනවා. මා පසුබිමක් වශයෙන් මේ වචන කීපය සඳහන් කළේ නැගෙනහිර පළාතේ ජනාවාස බිහිවීම පිළිබඳව ය. බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසු විජය කුමාරයාගේ පැමිණීමෙන් පසු බව ඉතිහාසය ගැන කතා කරන විට විජය කුමාරයාට පෙර ඉතිහාසයක් අපේ රටේ තිබුණු බවට ද මගේ කතාවෙන් පැහැදිලි වෙනවා.

නමුත් ඒ ගැන පසුවට තබමු. පඬවස්දෙව් රජතුමාට බිසවක් අවශ්‍ය වූ අවස්ථාවේ බිසවක් ලබා ගත්තේ ශාක්‍ය ජනපදයෙන්, එම බිසව භද්දකච්ඡායනා කුමරියයි. භද්දකච්ඡායනා කුමරිය ලංකාවට ගොඩ බැසීමෙන් පසුව ඇයගේ සහෝදරයින් 06 දෙනෙක් ලංකාවට පැමිණ පඬුවස්දෙව් රජතුමා බැහැ දැක ලංකාවේ තැන් තැන්වල ජනපද පිහිටුවා ගත්තා. එයින් ජනපද කිහිපයක් මේ නැගෙනහිර පළාතට අයත් වෙනවා. ගෝණ (රාමගෝණ) නමින් පිහිටුවා ඇතිජනපදය, අද අපි තිරිකුණාමල ප්‍රදේශය නමින් හඳුන්වනු ලබනවා. ගෝණ නදිය නමින් මහවැලි ගඟ එදා හැඳින්වුණා. ගෝකණ්තිස්ථ නමින් මහවැලි ගඟේ තිරිකුණාමලේ වරාය හැඳින්වුණා. ඒක දිගට ම අපේ ඉතිහාසයේ එසේ හඳුන්වා තිබෙනවා. ඒ වගේ ම රෝහණ නමැති සහෝදරයා නැගෙනහිර පළාතේ රෝහණ නමින් ජනපදයක් බිහි කළා. ඒ වගේ ම දීඝ නමැති කුමාරයා දීඝවාපී නමින් ජනපදයක් බිහි කළා. මේ ආකාරයට මේ නැගෙනහිර පළාතේ බුදුරජාණන් වහන්සේගේ ඤාති, ශාක්‍ය පණ්ඩු ශාක්‍යයන්ගෙන් පැවතෙන පරම්පරාවේ කුමරවරුන් විසින් බුදුරජාණන් වහන්සේගේ අභාවයෙන් පසු නැවත වරක් අර තිබුණු ජනපදවලට අමතර ව වැදගත් ජනපද ගණනාවක් බිහි කළා. රෝහණ කුමාරයා බිහි කළ ජනපදය අද මුළු රෝහණ යම හඳුන්වන පොදු නමක් බවට පරිවර්තනය වී තිබෙනවා. නමුත් දිගාමඩුලු, දීඝ ජනපදය එලෙසම තිබෙනවා. ඒ වගේ ම රාමගෝණ ජනපදය තිරුකෝණමලේ නමින් දෙමළ භාෂාවෙන් තිරු යොදා ගෝණ, කෝණ නමින් හදා ගෙන අද අපි පාවිච්චි කරනවා.

මේ සිද්ධි දෙස බලන විට මහින්දාගමනය සිදුවීමට පෙරාතුව මේ ප්‍රදේශයේ ශාක්‍ය ආර්යයන් විසින් පිහිටුවා ගත් බෞද්ධ ජනපද ගණනාවක් තිබුණු බව අපට පෙනෙනවා. එලෙස බෞද්ධ ජනපද ගණනාවක් තිබීමෙන් අපට පැහැදිලිව පෙනී යන්නේ මේ ජනපදවල ජීවත් වූ ජනතාව බෞද්ධයන් වූ බවයි. එහෙම නම් අපට මෙයින් පැහැදිලි ව තීරණය කළ හැකි වන්නේ නැගෙනහිර පළාත බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිට බෞද්ධ ජනපද පැවති හා එයින් පසුව වඩාත් බෞද්ධ ජනපද පැතිරී ගිය ප්‍රදේශයක් බවයි. මේවා ඔප්පු කරන්නට තිබෙන සාධක මොනවාද?

අද එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරු පළාත හා නැගෙනහිර පළාත දෙමළ නිජ බිමක් වශයෙන් ඉදිරිපත් කරනවා. හකීම් මන්ත්‍රීතුමා නැගෙනහිර පළාත මුස්ලිම් නිජ බිමක් වශයෙන් ඉදිරිපත් කරනවා. දැන් මෙය ඉතා බරපතල ප්‍රශ්නයකි. එක පැත්තකින් ද්‍රවිඪ ජනතාව අපේ නිජබිම යැයි කියා සිටිනවා. මෙසේ කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය, සෑම දෙමළ කෙනෙකුම නොවෙයි. ඒ වගේ ම නැගෙනහිර පළාතේත් මුස්ලිම් නිජබිමක් තිබුණු බව හකීම් මහතා පවසනවා. අපේ මහා සංඝයා වහන්සේ, අපේ ජනතාව මේ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතු යි. වර්ෂ 2000 දී සාගර විශ්වවිද්‍යාලයේ සචිත්තානන්ද නමැති කථිකාචාර්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් ලියා තියෙනවා.

2000 වසරේ දී යැවූ මේ ලියවිල්ල 2007 වන තුරු ලංකාවේ කිසිවෙකු දැන සිටියේ නැහැ. මේ ලියවිල්ල ලියා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයටයි. සිංහල රට කියන මේ රට ඉස්සර දෙමළ රජවරු පාලනය කළ බව එම ලියවිල්ලේ ඔහු කියා තියෙනවා. වර්ෂ 1815 දී දෙමළ රජවරුන් විසින් මේ රට ඉංගී‍්‍රසීන්ට භාර දී ඇත.

මතු සම්බන්ධයි

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා සඳුදාය
 

මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]