UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර චූලගණ්ඨි මහා නිකායේ උපසම්පදා මහෝත්සවය

සහ අමරපුර මහා සංඝ සභාවේ සභාපති, මහ ලේඛකාධිකාරී නා හිමිවරු පිළිගැනීමේ උළෙල

ජූනි 28 සවස 3.00 ට බළපිටිය ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරස්ථානයේ දී,

උතුම් අවස්ථාවක්

ගිහි පැවිදි දෙපිරිසේම ගෞරවයට පත් වැලිතොට බළපිටිය මෙරටට මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා රාශියක් දායාද කළ පුණ්‍යක්ක්‍ෂේත්‍රයකි. වැලිතර ඤාණවිමල තිස්ස මහ නාහිමි, වැලිතර ඒ.යූ. ඒ. ඤාණතිලක මහ නා හිමි, රන්දොඹේ ධම්මාලංකාර මහ නා හිමි, බෝගහපිටියේ ධම්මජෝති මහ නා හිමි, වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමි වැති යතිවරු රටට දැයට දායාද කළ මෙම ප්‍රදේශය අප අමරපුර චූලගණ්ඨි මහ නිකායේ ද ආරම්භක ස්ථානයයි.

අමරපුර උපසම්පදාව ඇතිකර සිය භික්‍ෂු වංශය අරඹා වසර දෙසිය පහක් යෙදෙන මෙම අවස්ථාවේ දී අමරපුර චූලගණ්ඨි මහා නිකායේ උපසම්පදා විනය කර්මයත් සිදුවෙන අතර අප අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති අති ගෞරව අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන් සහ නව මහ ලේඛකාධිකාරී ආචාර්ය බ්‍රාහ්මණ වත්තේ සීවලී නා හිමියන් ද පිළිගෙන උපහාර දක්වන්නට අවස්ථාව ලැබීම අප ලද භාග්‍යයක් කොට සලකමි.

කවදත් ශාසනික ආගමික මහා මෙහෙයක යෙදෙමින් අති විශාල මෙහෙවරක යෙදෙන මේ සංඝ පීතෘන් දෙදෙනා වහන්සේට අමරපුර චූලගණ්ඨි මහ නිකායේ සුබාශිංෂණය අප මේ මොහොතේ ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

--------------------------------------------------------------------------

අමරපුර මහා සංඝ සභාවේ නව සභාපති කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි

අමරපුර චූලගණ්ඨි මහා නිකායේ උපසම්පදාපේක්‍ෂක හිමිවරුන් රාශියක් උපසම්පදා කිරීම අමරපුර චූලගණ්ඩි මහ නිකායේ මහ නායක අරමංගොඩ පඤ්ඤාතිලක නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන මේ මොහොතේ තවත් සද් කාර්යයක් සිදුවේ. එම කාර්යය නම් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් සහ නව මහ ලේඛකාධිකාරි බ්‍රාහ්මණවත්තේ සිරි සීවලී අනු නාහිමිපාණන් වහන්සේලා, දෙනම පිළිගෙන උපහාර දැක්වීමයි.

අමරපුර මහ නිකාය පිහිටවූයේ බළපිටිය ප්‍රදේශයේ නිසාත් එහි ආදි කර්තෘත්වය හා දායකත්වය ආදිය සිදුවූයේ එම ප්‍රදේශයේම නිසා අමරපුර භික්‍ෂු වංශයේ නිජබිම ලෙස ඓතිහාසික වැලිතොට බළපිටිය අනාදිමත් කාලයක් පුරා කීර්තියට පත් වූ ප්‍රදේශයකි. එම නිසා අභිනව නා හිමිවරුන් වෙත මෙම ප්‍රදේශයේ දී සිදු කරන උපහාරය අමරපුර නිජබිමෙන් සිදුවන උපහාරයක් ලෙස සැලකීම නිවැරැදි ය.

මේ අනුව අද පූජෝපහාර ලබන අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි මෙරට භික්‍ෂූන් වහන්සේ අතර සුවිශේෂි හිමි නමක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත කරුණකි. උන්වහන්සේ මේ රටේ සිටින අග්‍රගන්‍ය ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. එමෙන්ම ඉතා සරලව සදහම් කරුණ ලියන ලේඛක හිමිනමකි. ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේ නමකි. චාම් හා සරළ බව නා හිමි චරිතයේ සුවිශේෂ ය. දෙස් විදෙස් කාගේත් සම්භාවනාවට පත් මේ මහා යතිවරයාණන් වහන්සේ අවුරුදු විසි දෙකකට ආසන්න කාලයක් අමරපුර මහා සංඝ සභාවේ ලේකම් වශයෙන් සිදුකළ සේවය සුළු පටු නොවේ. ඒ නිසාම පසුගියදා බෝයගම විමලසිරි නා හිමියන්ගේ අපවත්වීමත් නිකායේ සියලු නිල කාලයත් නිමා වූ ඬසාම අභිනව නිලධාරීන් තෝරා ගැනීමේ දී නව සභාපතීන් වහන්සේ ලෙස අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ තේරී පත්වූහ.

මීට වසර 75 කට පෙර 1933 ජනවාරි 26 වන දින ගම්පහ දිසාවේ කොටුගොඩ ග්‍රාමයේ උපත ලද නා හිමියෝ නිවුන් දරුවන් දෙදෙනෙකු අතරින් වැඩීමලා ලෙස උපත ලැබීය. කුඩා අවධියේ දී ගමේ පාසලෙන් අධ්‍යාපනය ලබා නව යොවුන් වියට පිවිසෙද්දී අහම්බෙන් වාගේ පැවිදි දිවියට යොමු වූයේ තමා තුළ ඇති වූ අදහසක් අනුව එය මල්පල ගන්වමිනි. ඒ අනුව 1948 අගෝස්තු 17 වන දින ගල්කිස්ස සිරි ධර්මපාලාරාමයේ දී උණවටුනේ ධම්මපාල නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් කොටුගොඩ ධම්මාවාස නමින් පැවිදි දිවියට පිවිස රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනින් හා මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනින් ද අධ්‍යාපනය ලැබූ කොටුගොඩ ධම්මාවාස හිමියෝ සිය ඉදිරි ගමනට අවශ්‍ය ඉංගී‍්‍රසි භාෂා අධ්‍යාපනය කොළඹ “ප්‍රෙම්බ්‍රෝක්” විද්‍යාලයෙන් ලබා ගත්හ.

හීනටියන ධම්මාලෝක මහ නාහිමි වජිරාරාමාධිපති නාරද නාහිමි ආදී එකළ වැඩ සිටි විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේලාගේ ඇසුර ලබමින් සිය තරුණ කාලයේ පැවිදි ජීවිතය හැඩ ගස්වා ගත් නා හිමියෝ 1964 ධර්මපාල ධර්මදූත සංවිධානය පිහිටුවා උතුරු නැගෙනහිර ප්‍රදේශවලද වැඩම කරමින් ධර්ම ප්‍රචාරක සේවයක යෙදෙන්නට විය. එකළ අගවිනිසුරු පදවිය හෙබවූ රාජනීතීඥ හේම බස්නායක ආදී ප්‍රභූ නායකයන්ගේ සහාය උන්වහන්සේට නොමදව ලැබුණි. ලංකාවේ පමණක් නොව ආසියාතික හා බටහිර රටවලටද දහම් ප්‍රචාරයේ ගිය කොටුගොඩ අනු නා හිමියෝ ලේඛකයෙකු වශයෙන් ද පුවත් පත්, සඟරාවලට, ලිපි ලේඛන ආදිය ලියමින් විවිධ මාතෘකා යටතේ විශාල දැනුම් සම්භාරයක් රටට දායාද කළහ.

මෙසේ කටයුතු කරගෙන යද්දී නා හිමියන් ධර්මදේශනා ගුවන් විදුලියෙන් ඇසූ පුවත් පත් වලින් ලිපි කියවූ අමරපුර සංඝ සභාවේ හිටපු සභාපති අපවත් වී වදාළ කොස්ගොඩ ධම්මවංශ මහ නාහිමියෝ කොටුගොඩ නා හිමියන් කොළඹ ජය ශේකරාරාමයට වැඩම කරවා විශේෂ වගකීමක් පැවරුවේ අමරපුර මහා සංඝ සභාවේ ඉදිරි කටයුතු වලට සම්බන්ධ කරගනිමිනි. එතැන් සිට අමරපුර මහ සංඝ සභාවේ සහකාර ලේකම්, ලේකම් හා මහ ලේඛකාධිකාරි පදවි වසර විසි දෙකකට අධික කාලයක් හෙබවූ කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ තමන් වහන්සේ පැවිදි වූ අමරපුර ශ්‍රී සුමංගල පාර්ශ්වයේ ද අනුනායක හිමියන් ලෙසද සම්මානිත වූහ.

මෙසේ ගෞරව බුහුමනට ලක් වෙද්දී පසුගිය වසරේ මියන්මාරේ රාජ්‍ය මගින් අග්ග මහා පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලද අනුනා හිමියන් වහන්සේට පසුගිය දා අමරපුර මහා නිකායේ අනුනායක පදවිය බඳු මහා සංඝ සභාවේ සභාපති පදවිය පිරිනමා උපහාර දක්වන්නට අමරපුර සංඝ සභාව තීරණය කරන්නට යෙදුණි. ඒ අනුව අමරපුර මහා සංඝ සභාවේ සිව්වන සභාපති මා හිමියන් වශයෙන් පුදලද කොටුගොඩ ධම්මාවාස අනුනා හිමිපාණන් වහන්සේ අමරපුර චූල ගණ්ඨි මහා නිකායේ වාර්ෂික උපසම්පදාව යෙදෙන මෙම ජූනි 28 වන දින සවස බළපිටිය වැලිතර ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරයේ දී (නායක) ගිහි පැවිදි සම්භාව්‍ය සභාවක් හමුවේ පවත්වනු ලබන උපහාර උත්සවයේ දී අමරපුර නිජබිමෙන් ගෞරවයට පාත්‍ර වන බව සඳහන් කරමු. අභිනව මහා සංඝ සභාපති අනු නාහිමියන්ට තෙරුවන් බෙලෙන් සෙත්වේවායි පතමු.

-------------------------------------------------------------------------

අමරපුර මහා සංඝ සභාවේ නව මහා ලේඛකාධිකාරී

ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී අනු නා හිමි

ඉදිරිමුණි, බී. ද සිල්වා උපාසක මහතා සහ ලද්දූ එමිනෝනා දම්පතීන්ට ලැබුණු දරුවන් සිව් දෙනාගෙන් අන්තිමයා වූයේ අමරපුර මහා සංඝ සභාවේ නව මහ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනු නා හිමියන් ය.

කුඩා කළ බළපිටිය රේවත මහා විදුහලෙන් පස්වන පන්තිය දක්වා අධ්‍යාපනය ලබා පසුව පැවිදි දිවියට ඇතුළත් වීමට නාගදීප රාජ මහා විහාරයට ගෙනගිය මෙම කුඩා දරුවා 1951 මැයි 21 වන දින ‘බ්‍රාහ්මණවත්තේ සීවලී’ නමින් පැවිදි දිවියට ඇතුළත් වූයේ නාගදීප රාජ මහා විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියන්ගේ ආචාර්යත්වයෙනි. උතුරේ නාගදීපයේ සිට දෙමළ මාධ්‍යයෙන් උගත් සීවලී නා හිමියන් දෙමළ මාධ්‍යයෙන් සාමාන්‍යපෙළ විභාගය සමත්විය. ප්‍රාචීන, ප්‍රාරම්භ ආදී විභාග සමත් වී ශාස්ත්‍රවේ දී උපාධිය ද ලබා පාසල් ගුරුවරයෙකු වශයෙන් පොළොන්නරුවේ ගිරිතලේ මහ විදුහලට සේවය සඳහා 1964 දී එක් වූ අතර පාසල් රාශියක සේවය නිමා කලේ කැලණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයා ලෙස ය.

1971 සිට ගුවන් විදුලියේ දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කිරීමට යොමු වූ සීවලී නා හිමිගේ ද්‍රවිඩ බසින් දහම් පත්‍රිකා ද ලියා පළකළහ. ද්‍රවිඩ පුවත්පත් සඟරා වලට එම භාෂාවෙන් බුදුදහම පිළිබඳ වැදගත් ලිපි සැපයූ නා හිමියන් ප්‍රායෝගිකව සිංහල ද්‍රවිඩ සමගිය උදෙසා කැපවිය.

අමරපුර මහා නිකායේ මහා සංඝයා වහන්සේ වෙතින් 1958 දී උපසම්පදා පදවියට ඇතුළත් වූ සීවලී හිමියන් බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා සිය ජීවිතය කැප කරන්නට විය. ඒ අනුව 1971 දී ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ දායකත්වය ලබා ගනිමින් කොළඹ බේස්ලයින් පාරේ නාගදීප ශාඛා විහාරය ආරම්භ කළහ. ශ්‍රී පාද නල්ලතන්නියේ නව බෞද්ධ මධ්‍යස්ථානයක් ගොඩනැඟී ය. මේ අතරතුර 1991 දී මදුරාසි විශ්වවිද්‍යාලයට ද්‍රවිඩ බසින් ලියා ඉදිරිපත් කරන ලද ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථය වෙනුවෙන් ආචාර්ය උපාධිය දිනාගත් සීවලී නා හිමියෝ අමරපුර නිකායේ නියෝජ්‍ය ලේකම් වරයා ලෙසත් අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක ධූරයටත් පත්ව සංඝ සමාජයෙන් ද ගෞරව සම්මානයට පත් වූහ. කිලිනොච්චියේ ලුම්බිණි මහා විහාරය පිහිටුවා ද්‍රවිඩ ජනතාවට ද සදහම් පණිවිඩය ලබා දීමට වෙහෙසුන සීවලී නා හිමියන් විදේශීය රාජ්‍යවලට ද වැඩමවා බුදු දහම ව්‍යාප්ත කිරීමේ කටයුතු වල යෙදෙමින් විශාල මෙහෙවරක් සිදු කරන ලදී. අමරපුර නිකායික මහ සඟරුවන පසුගිය දා බ්‍රාහ්මණවත්තේ සීවලී අනු නාහිමියන්ට අමරපුර මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී පදවිය පිරිනමා ගෞරව දක්වන ලදී.

---------------------------------------------------------------

ශාසනික පී‍්‍රතියට හේතුවකි

තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කර තිබෙන්නේ මහණෙනි, ඔබ මේ ශාසනයේ අන්තිම පුද්ගලයන් නොවන්න. කියා යි, ශාසනයේ අන්තිම පුද්ගලයන් බවට අප පත්වන්නේ අපද ආර්ය මාර්ගය අනුගමනය නොකරමින්, මහණදම් නොපුරමින් ආර්ය මාර්ගය අනුගමනය කරන,මහණදම් පුරන ශිෂ්‍ය පිරිස් ද ඇති නොකරමින් සසුන නැතිවී යෑමට ඉඩ හළොත් ය. එසේ ම ශාසනික දුබලතා දැක ඒවාට කළ හැකි ප්‍රතිකර්ම නොකළහොත් ය.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රබල පාර්ශ්වයක් වන අපේ සමස්ත ලංකා අමරපුර චූලගණ්ඨි නිකාය වසර 122 ක ඉතිහාසය තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක වී තිබෙන්නේ ඉහත සඳහන් බුද්ධානුශාසනයට අනුකූලවය. පැවිද්දකුට භික්‍ෂු සමාජයේ පූර්ණ සාමාජිකත්වය හිමි වන්නේ උපසම්පන්න භික්‍ෂූභාවයට පත්වීමෙනි. පිළිවෙත් සරු උපසම්පන්න භික්‍ෂූන් වහන්සේ ඇති කිරීම පිණිස දායක වී ඇති අපේ භික්‍ෂු පරපුරට මේ වසරේ දී ද උපසම්පදා විනය කර්මය සිදුකිරීමට හැකිවීම ශාසනික පී‍්‍රතියට හේතුවකි. මෙම පුණ්‍යොත්සවයට සමගාමීව ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ අභිනව සභාපති ස්වාමීන් වහන්සේ සහ අභිනව මහා ලේඛකාධිකාරී ස්වාමීන්ගේත් පිළිගැනීමට ලැබීම ද පී‍්‍රතියට කරුණකි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ඉතිහාසය දෙස බලන විට එහි ප්‍රගතියට මහඟු මෙහෙවරක් කළ මහ තෙර නමකි. කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දීර්ඝ කාලයක් මහා ලේඛකාධිකාරී පදවිය දැරූ උන් වහන්සේ එහි සභාපති පදවියට පත්වීම අවංකව ම සතුටු වියයුත්තකි. අභිනවයෙන් මහා ලේඛකාධිකාරී පදවියට පත් වූයේ එතෙක් නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය දරමින්, කොටුගොඩ නාහිමියන්ට මහත් ශක්තියක් ලබාදුන් බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියන් ය. ඒ දෙනම ම අපේ නිකායයේ මූලස්ථානය වන වැලිතර පුෂ්පාරාම මූල මහා විහාරස්ථානයේ දී ප්‍රදේශවාසී අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ සහ ප්‍රභූ ජනයාගේ සහභාගීත්වය ඇතුව පිළිගැනීමට ලැබීම ගැන අප සතුටු විය යුතු ය. මෙම සියලු කාර්යයන් අපේ නිකායයේ ආදි කර්තෘභූත අතිපූජ්‍ය වැලිසර ඤාණතිලක මහානායක මා හිමියන් වහන්සේගේ ශ්‍රී නාමයට පූජෝපහාරයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]